ප්‍රජාතන්ත්‍ර‍වාදය ඔක්සිජන් වගේ – අජිත් මුණසිංහ


අජිත් මුණසිංහ
අජිත් මුණසිංහ පසුගිය ජුනි 30දා මාතරදී පැවැත්වුණු ‘ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට සමු දෙමු ද? හිට්ලර්ට ඉඩ දෙමු ද?‘ සම්මන්ත්‍ර‍ණයේ බරපැන ආදී සියලු සංවිධාන වගකීම් දරාගත්, දිගුකාලීන සමාජ අත්දැකීම් ඇති සමාජ ක්‍රියාකාරිකයෙකි. එම සාර්ථක සම්මන්ත්‍ර‍ණය සංවිධානය කිරීමේ අත්දැකීමෙන් පසු ඔහු විසින් තබන ලද සටහනක් අපි මෙහි නැවත පළ කරන්නෙමු.  
“යකාගෙ හැටියට විමානෙ” තියරියෙන් දේශපාලුවෝ චන්ද ගරාගැනීමේ “මාකටිං” වැඩ උතුරේත් දකුණේත් ජයටම කෙරෙනවා. ඉල්ලුම හැටියට සැපයුමේ න්‍යාය දානවා. ජාතිවාදී හැඟීම් මිනිසුන් තුල මුල්බැස තිබීම ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් නොවෙයිලු.මිනිස්සු වෙනස් කළ නොහැකියිලු. මොනවා කරන්නත් බලය තිබිය යුතුයිලු. බලය ගන්නනම් ජහමනයා ඉන්න මතවාදය අනුව ෆෝම් කරන්න ඕනලු.
මේක දුෂ්ට චක්‍රයක්. ජාතිවාදී ජහමනයා දේශපාලුවන් බලයට ගේනවා – දේශපාලුවෝ ජනතාව තුළ ජාතිවාදය අවුලවනවා.
මේකෙන් ගැලවීමක් නැත්ද? අපිට තියෙන අමාරුවට අපි ජනතාව ජාතිවාදයෙන් ගලවා ගැනීමට හා ජාතිවාදය මාකට් නොකර චන්ද බලයක් හැදිය හැකි බවට පක්ෂ දැනුවත් කරන්න උත්සාහ කරනවා. පක්ෂ වල එවුවොත් ෂෝට් කට් වලට මිසක් අමාරු වැඩවලට කැමති නෑ
අතින් කාලා හරක් බලන වැඩ කරන්න ගියාම ගොබ්බයෝ හිතන්නේ අපි NGO කාරයෝ ඩොලර් කාක්කෝ කියලා ඒ විතරක් නොවෙයි ගහන්න මරන්නත් කතා කරනවා. ගෙවල්වල ගෑනුත් අහනවා …තමුසෙලාට පිස්සුද ඕයි! කියලා….
ප්‍රධාන පක්ෂ දෙකෙන් මේ මොහොතේ ජාතිවාදය මත පදනම් නොවී දේශපාලනය කරන්න උත්සාහ කරන්නේ UNP ය පමණයි. ඒකත් උන්ගේ තියෙන සද්භාවයක් හෝ මහලොකු දේශපාලන දැනුමක් නිසා නොවෙයි , ලංකාව තුල ධනවාදය තව දුරටත් පවත්වාගෙන යාමටනම්, එසේ වන්නැයි ජාතිකවත් ජාත්‍යන්තරවත් බලකෙරී තිබෙන නිසයි. හරි! හරි ! දැන් ඊනියා සමාජවාදියෝ රෙදි උස්සන් එන්න අවශ්‍ය නෑ….උඹලා ධනවාදය ආරක්ෂා කරනවාදැයි අහන්. 
අපට අහන්න තියෙන්නේ එක දෙයයි , ලංකාවේ ධනවාදය අර්බූදයට ගිහිල්ලා එන්න හදන්නේ සමාජවාදයද ? හිට්ලර් ද ? 
ධනපති ප්‍රජාතන්ත්‍රවාදය තේරෙන්නේ නැති, එය හෝ දිනාගැනීමට ඉදිරිපත් නොවන ජනතාවක් සමාජවාදයක් වෙනුවෙන් සටන් කරාවි ද? අන්ත පසුගාමී සංඝයෝ සෙට් එක සහ අන්‍යාගමික පූජක සෙට් එක ජනතාව ගොනාට අන්දමින් පෙර කී දුෂ්ට චක්‍රය දිගටම පවත්වාගෙන යන්න උත්සාහ කරනවා. ඒක උතුර, දකුණ , නැගෙනහිර , සිංහල දෙමළ මුස්ලිම් කියලා වෙනසක් නෑ.
පොඩි පොඩි දේශපාලන පක්ෂ හා කල්ලි කණ්ඩායම් මොන බයිලා කිවුවත් උන් කරන වැඩ ප්‍රධාන දහරාවේ පාර්ශව දෙකෙන් එකකට සෘජු හෝ වක්‍රාකාරයෙන් සහායක් වීම නොවැළැක්විය හැකියි.
අප UNP යට කඩේ යනවායැයි චෝදනාව එන්නේත් ඒනිසයි….කිසිම චෝදනාවකට ලක්නොවී හෙනම පඬි ටෝක් එකක් දීගෙන ලංකාව කිසිදා ගොඩදැමිය නොහැකි “අසූචි වලක්” කියලා හිටිය හැකියි. අන්තිමට හිට්ලර් පන්නයේ බලයක් ගොඩනැගිලා රටටම කෙළවෙලා ජාත්‍යන්තර මැදිහත්වීම් වෙලා මහා විනාශයක් වෙන දවසට පඬියෝ එකෙකුවත් හොයාගන්නටවත් නැතිවෙයි.
මේතරමින් හෝ තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උඩ හැමෝම බල්ටි ගහනවා.
ඔක්සිජන් තියෙනකොට තියෙනබව දන්නෙත් නෑ. ඔක්සිජන් අඩුවේගෙන යනකොට ටික ටික හුස්ම හිරවෙනකොට තමයි වැඩේ තේරෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයත් ඒවගේ තමයි. ඒවෙනකොට ප්‍රමාද වුණා වැඩිවිය හැකියි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා