මීහරක් පීටී (කේපොයින්ට් නවකතාවෙන් පිටුවක්)


එකල කඳවුරේ කපා දමා තිබූ ගසක මහ කොටයක් ද මීහරක් පීටී දීම සඳහා යොදා ගැනිණි. දහදෙනෙකු පමණ ලවා එය ඔසවා දෙදෙනෙකුගේ උර මත තබා කඳවුර වටා දුවන්නට බල කරන ලදී. බොහෝ දෙනෙකු පය ඔසවා ගැනීමට බැරිව කොටයත් සමගම ඇද වැටී කොටයට යට වී තුවාල වූ හ. වැටෙන අයට පහර දී නැවතත් කොටය උර මත තබන ලදී. එය බැරි අයට අනෙකුත් ව්‍යායාම වර්ග නොකඩවා කරවන ලදී. එය ද බැරිවුන්ට පොලුවලින් පහර දෙන ලදී.
මේ සියල්ල අවසානයේදී ශාලාව තුළට පන්නා දමන ලද එක් සිරකරුවකු සූ සූ හ`ඩ නගමින් පැමිණ කොරිඩෝවේ ඇද වැටුණේ ය.
‘‘ඒයි නැගිටපන්. ඔතන නිදා ගන්න බැහැ ’’ උදේනි ගුගුළේ ය.
සිරකරු වහා කෙළින් වී හිඳ ගත්තේ ය. ඔහු වේගයෙන් වෙව්ලූවේ ය. එක තැන සිටිය නොහැකිව අත පය ගැසුවේ ය. ඔහුගේ ගතින් දහදිය ගඟක් ගලා ගියේ ය.
‘‘මොකද තෝ දඟළන්නෙ. තව ගුටි කන්න ඕනැ වෙලා ද?’’
‘‘සමාවෙන්න සර්, මං දඟලන්නෙ නැහැ. මං දඟලන්නෙ නැහැ සර්. සමාවෙන්න සර්.’’ සිරකරුවා දෙඩෙව්වේ ය.
සිරකරු බිත්තියට හේත්තු විය.
‘‘බිත්තියට හේත්තු වෙන්නෙ නැහැ එකෙක්වත්. කොන්ද කෙළින් තියාගෙන හිටපියව්!’’
සිරකරු වේගයෙන් හුස්ම ඉහළ ඇද්දේ ය. තද සීතලකින් සේ වෙව්ලුවේ ය.
‘‘අනේ සර් මං බිත්තියට විතරක් පොඞ්ඩක් විතරක් හේත්තු වෙන්න ද?’’ ඔහු ඇසී ය.
ඔහුගේ පාලනයකින් තොර හඬ උවමනාවට වඩා උස් හඩක් විය. උගුරේ හිර කරගෙන සිටි වේදනාබර ළතෝනියක් වචනත් සමග පිටවන්නට විය.
‘‘හේත්තු වෙන්නෙ නැහැ තෝ. ඔහොම හිටපිය.’’
‘‘අනේ සර්, මට අමාරුයි.’’ ඔහු කීවේ පාලනයකින් තොර මහ හඬකිනි.
‘‘ඇයි තෝ බබා උකුං ද?’’ උදේනි සිරකරු දෙසට අඩියක් දෙකක් තැබුවේ ය.
‘‘නෑ සර්. අනේ ගහන්න එපා. මං මෙහෙම ඉන්නම්. මං බිත්තියට හේත්තු වෙන්නෙ නැහැ සර්. ගහන්න එපා.’’
එසේ කියා නිමේෂයක් ගත වන විට ඔහු ඇද වැටුණේ ය. මරණ මංචකයේදී පවා බිත්තියෙන් හෝ වාරු ගැනීමට බියෙන්, මුල් දිරා ගිය ගසක් හිටි හැටියේ බිම ඇද වැටෙන්නා සේ ඔහු මැරී ම වැටුණේ ය. මරණය ඇතැම් විට එතරම් ක්ෂණික විය. තවත් විටෙක වේදනාකාරී ලෙස මන්දගාමී විය.
කේපොයින්ට් නවකතාව හෙට, අගෝස්තු 21දා සවස 3ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී දොරට වඩිනවා. ඒ එක්ක පරම්පරා තුනක රැඩිකල් තරුණයන් නියෝජනය කරන සිව්දෙනෙකු වන වික්ටර් අයිවන්, උපුල් කුමාරප්පෙරුම, විදර්ශන කන්නන්ගර සහ ගීතිකා ධර්මසිංහ සහභාගි වන සංවාද සභාවක් ද පැවැත්වෙනවා. ඔබ එන්න. ඔබ ආවොත් මට එය ධෛර්යයක්. එන්නට බැරිනම් පොත අරන් කියවන්න. අදහසක් දක්වන්න. තවත් කතාවක් ලියන්නට එය මට අත්වැලක්.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා