මතුගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීලාට මිලියනයක දුරකථන; පොහොට්ටුව පළාත් පාලනය කරන හැටි මෙන්න


පොහොට්ටුවේ නායකත්වයෙන් යුත් මතුගම ප්‍රාදේශීය සභාව මුලින් ම කළ වැඩ අතර එකක් වන්නේ යෝජනාවක් සම්මත කර සියලු මන්ත්‍රීවරුන්ට ජංගම දුරකථන මිළ දී ගැනීමයි. එක් දුරකථනයක් වෙනුවෙන් රු. 30,000ක මුදලක් වෙන් කර තිබේ.
මන්ත්‍රීවරුන් 35ක් වෙනුවෙන් ජංගම දුරකථන මිළ දී ගැනීම සඳහා මතුගම ප්‍රාදේශීය සභාව වැය කරන මුදල රු. මිලියනයකටත් වැඩි ය.
මතුගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මතුගම නගරයේ පවා අතුරු මාර්ග කැඩී බිඳී අබලන්ව ගොසිනි. නගරයේ අතුරු මාර්ගවල පවා බොහෝ විදුලි පහන් දැල්වෙන්නේ නැත. කාණු පද්ධති අබලන් ය. නගරයේ පදික වේදිකා අවදානම් ය. බැහැර කරන කසල ඇතුලත්මුදලිගම පැත්තේ ජනාකීර්ණ ප්‍රදේශයක ගොඩගසන අතර එය ප්‍රදේශවාසීන්ට කරදරයක් වී තිබේ. ප්‍රශ්න දහසක් තිබේ. එහෙත්, ඒ සියල්ලට ම වඩා ලොකු ම ප්‍රශ්නය මන්ත්‍රීවරුන්ට ජංගම දුරකථන නැතිකමයි.
පළාත් පාලන මැතිවරණයට තරග කළේ ජංගම දුරකථනයක්වත් නැති හිඟන්නන් ද?
මෙහි තවත් පැත්තක් ද තිබේ. ප්‍රාදේශීය සභාවේ විපක්ෂ භූමිකාව කරන එක්සත් ජාතික පක්ෂය ද මෙම යෝජනාවට අත උස්සා ඇත.
එපමණ ද? නැත. දූෂණය නැති කිරීමට කටයුතු කරන බව කියන ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු දෙදෙනා ද මෙයට විරුද්ධ වී නැත.
මෙය මතුගම ප්‍රාදේශීය සභාවේ මෙන් ම තවත් බොහෝ තැන්වල ද මේ වන විට සිදු වී ඇතුවාට සැක නැත. ජංගම දුරකථන, ඒවායේ බිල්, ගමන් වියදම් වැනි තවත් බොහෝ දේ පළාත් පාලන සභිකයෝ යෝජනා සම්මත කිරීම හරහා පළාත් පාලන ආයතනවලින් ලබා ගනිති.
මහ නගර සභාවක නගරාධිපතිවරයකුට හිමි මාසික වැටුප රුපියල් 30,000 කි. උප නගරාධිපතිවරයාගේ වැටුප රුපියල් 25,000 කි. සෙසු මන්ත්‍රී වැටුප රුපියල් 20,000 කි. නගර සභා සහ ප්‍රාදේශීය සභාවල නගරාධිපතිවරුන්ගේ සහ සභාපතිවරුන්ගේ වැටුප රුපියල් 25,000 කි. උප නගරාධිපති සහ උප සභාපති වැටුප රුපියල් 20,000 කි. සෙසු මන්ත්‍රී වැටුප රුපියල් 15,000 කි.
පළාත් පාලන මන්ත්‍රී වැටුප් වෙනුවෙන් පමණක් වසරකට මහජන මුදල් රු. කෝටි 160ක් පමණ වැය වේ.
ශ්‍රී ලංකාවේ බොහෝ පළාත් පාලන ආයතනවලට ජනතාව විසින් නැවත පත් කර ගනු ලැබුවේ පළාත් පාලනය විනාශ කළ රාජපක්ෂයින් විසින් නායකත්වය දෙන පොදු ජන පෙරමුණේ පාලනයන් ය. නැවත පත් වූ බොහෝ අය පසුගිය සමයේ පළාත් පාලන ආයතනවල සිටි අන්ත දූෂිත පිරිස් ය. සියයට 25ක කාන්තා නියෝජනයක් ද සහිත නව පළාත් පාලන ආයතනවල යම් හෝ වෙනසක් සිදු කිරීමේ හැකියාව මහජනතාව විසින් ම මෙම රාජපක්ෂවාදී පොල්ලෙලි පත් කර ගැනීම හරහා අහිමි කරගෙන තිබේ.
පළාත් පාලන පනත යටතේ රැස්වීම් නැරඹීමේ අවස්ථාව මහජනතාවට හිමි ය. රු. 25ක් ගෙවා රැස්වීම්වල වාර්තා අධ්‍යයනය කිරීමේ වරප්‍රසාදය ද තිබේ. එහෙත්, මහජනතාව තබා මාධ්‍ය හෝ මේ අවස්ථා පාවිච්චි කරන්නේ නැත. එසේම, පළාත් පාලන ආයතන කාරක සභාවලට මහජනතාව පත් කරන්නට ද පුළුවන. එහෙත්, පොදුජන පෙරමුණෙන් දැමූ ඕනැ පොල්ලෙල්ලක් සභාවට පත් කර යැවූ ජනයා මේ බලතල පාවිච්චි කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකි ද? අවසානයේදී බිහි වී තිබෙන්නේ තිබුණු පළාත් පාලන ආයතනවලටත් වඩා නරක පද්ධතියකි.
හිටපු දූෂිතයන් නැවත පත් කරගැනීම හරහා මහජනතාව දැවැන්ත පරාජයක් අත්විඳි බව වෙනම කාරණයකි. එහෙත්, පළාත් පාලන ආයතන ගැන ගැඹුරින් සිතන්නට කැමති අයට අවශ්‍ය නම් ආසියා පදනම මගින් ප්‍රකාශයට පත් කර තිබෙන පළාත් පාලන ආයතනවල කමිටු පත් කිරීම නම් මෙම ලියවිල්ල කියවන්න.
මෙම ලිපිය පළ වීමෙන් පසු අපගේ පාඨකයකු විසින් දන්වන ලද පරිදි පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීලාත් රු. 30,000 බැගින් වැය කර ජංගම දුරකථන 23ක් ගන්නවා ලු. මේ සභාව හරිහමන් ආදායමක්වත් තිබෙන එකක් නෙමෙයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා