ගෝඨාගේ වියත් දෙකේ දේශපාලනය


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ව්‍යාපාරයක් දියත් වී තිබේ. ‘වියත් මග’ එහි ප්‍ර‍මුඛ ක්‍රියාමාර්ගයකි. එහි කිසියම් රැස්වීමක් ෂැංග්‍රිලා හෝටලයේ තිබුණා ය කියා ලංකාවට ඒකාධිපතියකු ආවොත් මාර ආතල් එකක් ලැබේ ය කියා සිතන අය උෂාර් වී සිටින අතර, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුණොත් ලංකාව මිනී කනත්තක් වේ යයි සිතෙන අයට අධික බිය ඇති වී ගුද මාර්ගය හීන් වී ඇත.
ජනාධිපති ධුරයට තරග කිරීමට ගෝඨාභය රාජපක්ෂ පළමුව එක්සත් ජනපදයේ කැමැත්ත ලබා ගත යුතු ය. සිය එක්සත් ජනපද පුරවැසිභාවය ඉල්ලා අස් කර ගත යුතු ය. එය පිළිගත යුත්තේ එක්සත් ජනපදය විසිනි. ගෝඨාභය රාජපක්ෂ යනු යුද අපරාධ සම්බන්ධයෙන් නම සඳහන් වී ඇති අයෙකු නිසා ඔහුට මෙය පහසු නැත.
සරලව කියනවා නම් ලංකාවේ ජනාධිපති වන්නට නම් ගෝඨා ඇමරිකාවේ උවමනා එපාකම්වලට අනුව වැඩ කරන පුද්ගලයකු බවට පැහැදීමක් ඇති කරගෙන එක්සත් ජනපද දේශපාලනාධිකාරයෙන් අවසර ගත යුතු ය. ගෝඨා ජනාධිපතිවරණයට එනවා නම් අනිවාර්යයෙන් ම ඒ පසුපස එක්සත් ජනපදය සිටිය හැකි බව සකල දේශප්‍රේමීන් අවබෝධ කර ගත යුතු ය.
කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂට මේ මොහොතේ නම් ජනාධිපතිකමටත් වඩා වැදගත් වන්නේ කුප්‍රකට මිග් ගනුදෙනුව, ඇවන්ට්ගාඩ් වැනි අති දූෂිත හොර ජාවාරම් හා ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සිට සිය ගණනක් ඝාතන, අතුරුදහන් කිරීම්, පැහැර ගැනීම් සම්බන්ධයෙන් ඇති චෝදනාවලින් ගැලවීමයි. ඒ හා සම්බන්ධ පරීක්ෂණවලදී නිලධාරීන් බියට පත් කර, පක්ෂපාතී තීන්දු ලබා ගැනීමේ උවමනාව වෙනුවෙන් මෙවැනි සංදර්ශන ඉතා වැදගත් ය. ගෝඨාභය බලයට එන බව හා එසේ පැමිණි විට ඔහුට එරෙහිව කටයුතු කරන නිලධාරීන්ට පරිප්පු කන්නට වෙන බව නැවත නැවත මතක් කිරීමට මෙම වැඩසටහන් ඉවහල් වේ.
ඒ අතරවාරයේ ලංකාවේ සරලමතික දේශපාලන ගොන්පාට්කාරයන්ට ඒකාධිපතියෙකු ආවොත් ලංකාවට අම්මට සිරි වෙනු ඇත යන සිය ගතානුගතික මෝඩ චූන් එක ටුයිං ටුයිං කර ගන්නට ද මෙය උපකාර වේ.
ලංකාව ඒකාධිපතියන් නොහිටපු රටක් නොවේ. සිරිමා බණ්ඩාරනායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ වැනි අය එක එක මට්ටම්වලින් ඒකාධිපතිවාදය භාවිතා කළ හ. මේ අය විසින් තරුණ ජීවිත දහස් ගණන් බිලි ගත් බව නම් ඇත්ත ය. එහෙත්, රටට කරපු සංවර්ධනයක් නම් නැත. ඇතැමෙක් සිය පවුල් නම් පරම්පරා හතකට ගොඩ දමා ගත් හ.
ගෝඨාභය රාජපක්ෂ යනු ඉහත නම් සඳහන් කරන ලද සියලු දේශපාලකයන්ට වඩා පසුපසින් සිටින්නෙකි. ඔහු සිය සොයුරාගේ දේශපාලන කෞශල්‍යය තුළ පූර්ණ බලැති නිලධාරියකු ලෙස යුද්ධයේදී හා පශ්චාත් යුද සමයේ නගර අලංකරණය වැනි කාරණාවලදී යම් දස්කම් දැක්වූ බව අපි පිළි ගනිමු.
ගෝඨාභය රාජපක්ෂ පසුපස කාල් ගාන අය ඔහුගෙන් බලාපොරොත්තු වන්නේ කුමනාකාරයේ දේශපාලනයක් ද යන්න අපි නො දනිමු. අප දන්නේ ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් හති වැටී ඇති බව පමණි. රට සංවර්ධනය කරන්නට බැරි වන්නට ප්‍රධාන හේතුව ප්‍රජාතාන්ත්‍රික නිදහස යයි සිතන අය ගෝඨාභයගෙන් බලාපොරොත්තු වන්නේ ඒකාධිපතිවාදී දැඩි පාලනයකි. ගෝඨාගෙන් විනය බලාපොරොත්තු වන අය නීතියේ පාලනය, රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, දූෂණය නැති කිරීම, පවුල්වාදය වැනි දේ ගැන ඔවුන්ගේ අදහස් ඍජුව ප්‍රකාශ කළ යුතු ය.
කුමන අඩුපාඩු තිබුණත් වත්මන් රජය විසින් රාජපක්ෂ යුගයේ තිබුණු මර්දනය නැති කරන ලදී. වාමාංශික මුග්ධයන් හැරුණු කොට වත්මන් රජය මර්දනයක නියැලෙනවා ය කියන ඒ මට්ටමේ පල් මෝඩයන් කිසිවෙකු මේ රටේ නැත. බොහෝ අයට තිබෙන චෝදනාව වන්නේ දැක්කාම එළුවාත් රැවුල පාන නිවට කරණවෑමියාගේ තත්වයට මේ ආණ්ඩුව පත් වී ඇති බව ය. කුමන ගැටලු තිබුණත්, මේ රජය දේශපාලන හේතූන් මත රාජ්‍යය මිනිස් ඝාතන කිරීම, පැහැරගෙන යාම්, අතුරුදහන් කිරීම් නැති කළේ ය. අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය සාපේක්ෂ වශයෙන් ස්වාධීන කළේ ය.
විසුළුසහගත තත්වය වන්නේ ලබා දුන් ප්‍රජාතාන්ත්‍රික වටපිටාව හා නිදහස අපහරණය කරන රජයේ වෛද්‍ය නිලධාරි සංගමය වැනි ත්‍රස්ත ස්වරූපී සංවිධාන පවා ගෝඨාභය බලයට ගෙන ඒමට වැඩ කිරීමයි.
මේ රට සංවර්ධනය කරන්නට නම් දේශපාලන හා සමාජ ස්ථාවරත්වය අවශ්‍ය ය. නිරතුරුව ම එය බිඳ දමමින් ගැටුම් අවුළුවන, කඩාකප්පල්කාරී බලවේග දෙකක් තිබේ. එකක්, වාර්ගික ගැටුම් ඇති කරන අන්තවාදී බෞද්ධ භික්ෂු බලවේගයයි. අනෙක, දොස්තර සංගමයේ සිට අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලය දක්වා වන වාමාංශික වෘත්තීය සමිති බලවේගයයි.
ගෝඨා ඇත්තට ම රට සංවර්ධනය කරන්නට එනවා නම් ඔහුට මුලින් ම මුහුණ දෙන්නට සිදු වන්නේ මෙම බලවේග දෙකට ය. පාරේ කුණු දාන, තැන තැන කෙළ ගහන, රජයේ දේපල සුළු පරිමාණෙන් සොරකම් කරන, කුඩු කසිප්පු විකුණන ලාංකික මෝඩ පීඩිත පන්තිය එන්නේ ඊළඟට ය.
මොන බයිලා ගැහුවත්, දැනට මේ රටේ ක්‍රියාත්මක වන ආර්ථික වැඩපිළිවෙල හැර වෙන විකල්පයක් ගෝඨාටත් නැත. ඒ නිසා ගෝඨා එනවා ය කියා අපට නම් බය වෙන්නට දෙයක් නැත. පිස්සන් කලබල වුණාට වෙදුන් කලබල විය යුතු නැත. අප ගෝඨා එන එක වැළැක්විය යුතු ය. ඒ මේ රට පිලිපීනය වැනි ඒකාධිපති උම්මත්තකයකුගේ මළ විකාරයක් වන එක වළක්වා ගන්නට ය. ගෝඨා ආවත් අප නම් බය නැත. එයාටත්, එයා වටේ නළියන කුණු පණුවන්ටත් ඕනෑ හැටියට නටන්නට බැරි විදියට මේ සිස්ටම් එක ශක්තිමත් කළ යුතු ය.
ගෝඨාභය එනවා නම් එන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව, එක්සත් ජාතික පක්ෂයේ මරි වැඩ නිසා ය. මේවා වළක්වන්නට කිසිවක් කිරීමේ හැකියාව ඊනියා වාමාංශික අන්තවාදීන්ට නම් නැත. 2015 ජනවාරි 8 වෙනස සිදු කරන්නට දායක නොවී, අනියමින් රාජපක්ෂලාට කඩේ ගිය මේ බලු කුක්කන් දැන් ගෝඨාභයට බය වී වලිග දෙපරැන්දේ ගසාගෙන, චූ පෙරමින් කරන කෙඳිරිගෑම්වල නම් ඇත්තේ ඉල ඇදෙන විහිළුවක් පමණි. උන්ට නම් ගෝඨාභය ම සරණ ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා