ජනබලය කොහෙට ද?


2018 සැප්තැම්බර් 5දා කොළඹදී පැවැත්වුණු ‘ජනබලය කොළඹට’ විරෝධතාව අතිශය වැදගත් දේශපාලන අවස්ථාවකි.
පොදුජන පෙරමුණේ පීක් එක හෙවත් කූටප්‍රාප්තිය පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් අවසන් වී ඇති බව එයින් ඉතා පැහැදිලිව සලකුණු කරන ලදී.
දේශපාලනයේදී මෙවැනි කූටප්‍රාප්තීන් තිබේ. උදාහරණයක් ලෙස 2004 මහමැතිවරණය එවැනි කූටප්‍රාප්තියකි. එහිදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කරන ලද සියලු අපේක්ෂකයන්ට ජය ලැබිණි. අවසානයේදී ජවිපෙට මන්ත්‍රී ආසන 39ක් ම ලැබිණි. මෙම මැතිවරණයේදී ජාතික හෙළ උරුමයට ද අනපේක්ෂිත ජයග්‍ර‍හණයක් ලැබිණි. එහෙත් එය එතනින් අවසන් විය. මේ පක්ෂ දෙක ම අද වන විට මැතිවරණවලදී යන්තම් ජාමෙ බේරාගන්නා පක්ෂයි. 2004දී ඔවුන් සිටියේ උපරිමයේ ය.
එපරිද්දෙන් ම 2018 පෙබරවාරි මස පැවැත්වුණු පළාත්පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ සිටියේ ද උපරිමයක බව දැන් ඔප්පු වී තිබේ. ඔවුන්ගේ ඊළඟ තීරණාත්මක පියවර වූ කොළඹ වටලා, හැකිනම් ජනාධිපති නිල නිවසත් වටලා, වාඩිලාගෙන සිට, බලපෑම් කර, ආණ්ඩුව බලයෙන් පහකර, මහින්දට අගමැතිකම ලබාගැනීමේ සැලැස්ම අසාර්ථක විය. එයට මූලික හේතුව වුණේ මහජන සහයෝගයේ මඳකමයි.
කොළඹ ජනතාව මෙම උද්ඝෝෂණය මගහැරිය හ. ඈත ප්‍රදේශවල සිට කොළඹ වැඩට එන ජනතාව ද එක්කෝ නොපැමිණ සිටිය හ. නැතිනම් කලින් පළා ගිය හ. උද්ඝෝෂණය සඳහා රැගෙන එන්නට හැකි වුණේ සීමිත පිරිසකි. කලින් සැලසුම වුණේ ආණ්ඩු පෙරළීම නිසා සාමාන්‍ය උද්ඝෝෂණයකට අවශ්‍ය සූදානම හෝ ඔවුන් තුළ නොතිබිණි. අඩු තරමේ රැස්වීමක් පැවැත්වීමට වේදිකාවක්, ශබ්ද විකාශන ආදිය පවා නොතිබිණි. සවස් වන විට උද්ඝෝෂණය සම්පූර්ණයෙන් ම ජවයෙන් තොර කලකිරීමක් බවට පත් විය.
මෙම උද්ඝෝෂණය එක් පැත්තකින් රාජපක්ෂ පවුලේ අභ්‍යන්තර බල අරගලය එළිපිට ප්‍ර‍කාශ කිරීමක් විය. පොදුජන පෙරමුණේ සංවිධායක බලය වූ බැසිල් රාජපක්ෂ මෙම උද්ඝෝෂණයට නායකත්වය දීමෙන් මගහැරියේ ය. එය කරට ගත් නාමල් රාජපක්ෂට ගෝඨාභය රාජපක්ෂ ද කපාගෙන ඉදිරියට ඒමේ උවමනාව තිබිණි. වඩාත්ම ජනප්‍රිය නායකයා වන මහින්ද රාජපක්ෂගේ ලේ උරුමය සමීපස්ථ පවුල තුළ ම රඳවා ගැනීමට උත්සායක් ඒ පසුපස තිබිණි.
මෙම පරාජය ඉතා සංකේතාත්මක ය. රාජපක්ෂවාදය නිත්‍ය වශයෙන් පරාජය කිරීම දේශපාලනික වශයෙන් අතිශය වැදගත් ය.
වත්මන් ආණ්ඩුව ජනතා අපේක්ෂා මුදුන්පත් කළ එකක් නොවේ. එහෙම ආණ්ඩු කවදාවත් තිබුණේ නැත. එහෙත්, වත්මන් ආණ්ඩුවේ සාධනීය ලක්ෂණ රැසක් තිබේ. ඒ පිළිබඳ අප මීට කලින් විස්තර කළ ලිපියක් මෙසේ ය:

වර්තමාන ආණ්ඩුවේ මිනුම් ලකුණු (benchmarks) මොනවා ද?

ආණ්ඩුවේ අඩුපාඩු රැසක් තිබේ. එය ප්‍ර‍ජාතාන්ත්‍රික වන තරමට ම දුර්වල ද එකකි. ස්ථාවර නැත. අභ්‍යන්තර අවුල් වියවුල් එමට ය. අධිෂ්ඨානයකින් ක්‍රියා නොකරයි. දූෂණය මුළුමනින් ම නැති කිරීමට අසමත් විය.
එහෙත්, මේ ආණ්ඩුව රටේ ප්‍ර‍ජාතාන්ත්‍රික පදනම් ශක්තිමත් කර තිබේ. පොදුජන පෙරමුණේ ආණ්ඩු පෙරළීමේ තැත පරාජය වුණේ ප්‍ර‍ජාතාන්ත්‍රික පදනම නිසා ම ය.
වත්මන් ආණ්ඩුවට තව වසරකට වැඩි ධුර කාලයක් තිබේ. ඔවුන්ට එම ධුර කාලය තුළ කටයුතු කරගෙන යාමේ නිදහස ලබා දිය යුතු ය. මේ ආණ්ඩුව අනිවාර්යයෙන් ම වෙනස් කළ යුතු ය. ප්‍ර‍ජාතාන්ත්‍රික පදනම් ආරක්ෂා කරන ශක්තිමත්, ස්ථාවර ආණ්ඩුවක් රටේ සංවර්ධනය සඳහා අවශ්‍ය ය. ඒ වෙනුවෙන් මහජනතාව හමුවේ ප්‍ර‍චාරණ හා උද්ඝෝෂණ කටයුතු කිරීමේ අයිතිය ඕනෑම දේශපාලන පක්ෂයකට, කණ්ඩායමකට තිබේ.
රාජපක්ෂවාදයට අප විරුද්ධ ය. එහි අතීත ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධය, ඒකාධිපතිවාදය, භීෂණය හා දූෂණය අපට අමතක නැත. ඔවුන් වෙනස් වී ඇති බවක් ද පෙන්වා නැත. වෙනස් වෙනවා නම් කාට කාටත් කාලයයි මෙය.
ජනබලය කාටවත් සින්න කර දීමට අපට උවමනාවක් නැත. අප කරන්නේ ජනබලය හරි මගට යොමු කරන්නට අවශ්‍ය මැදිහත්වීම් කිරීමයි. බලය අවැසි අය තම වැඩපිළිවෙල ඉදිරියට ගෙන ආ යුතු ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා