දූෂිතයන්ට එරෙහි නඩු කල්යාම පිටුපස ඉන්නෙ රනිල් හා මෛත්‍රී ද?


රාජපක්ෂ පවුලේ අයට හා එහි අන්තේවාසිකයන්ට එරෙහිව ඇති නඩු දිගින් දිගට ම කල් යමින් තිබේ. බැසිල් රාජපක්ෂට මල්වානේ ඉඩම හා නිවස සම්බන්ධයෙන් තිබෙන නඩුව ඇසීම සඳහාපෙර දිනයකදී අධිකරණය විසින් නියම කරන ලද දිනයන් සියල්ල අවලංගු කරමින් එක් දිනයකට පමණක් නඩු විභාගය නියම කර ඇත. අධිකරණය එසේ පෙර ලබා දී තිබු දින අවලංගු කොට ඇත්තේ වෙනත් නඩු එම දිනවලට විභාග සඳහා නියම වී ඇති බව පවසමින් බව වාර්තා වේ. එමගින් සිදු වන්නේ මේ නඩුව තවත් කල් යාමයි එසේ වන්නේ ඇයි?
එපමණක් නොව, බොහෝ අධිකරණවල ජ්‍යේෂ්ඨ විනිසුරුවරු විවිධ උපායමාර්ග පාවිච්චි කරමින් මේ නඩු මගහරිති. ඇතැම් තැනක මේ නඩු අවසානයේදී පැවරෙන්නේ කණිෂ්ඨ විනිසුරුවරුන්ට ය. එසේ වන්නේ ඇයි?
දූෂණ චෝදනා විමර්ශනය කිරීමට අලුතෙන් පිහිටුවන ලද විශේෂ මහාධිකරණය සම්බන්ධයෙන් රජයට උනන්දුවක් නැත්තේ ඇයි? ඒවා අජිත් පී. පෙරේරාලාගේ වැඩ යයි අධිකරණ ඇමති තලතා අතුකෝරළ තැන තැන කියමින් යන්නේ ඇයි?
තලතා අතුකෝරළ පිටුපස සිටිමින් ඩිලාන් පෙරේරා කරන භූමිකාව කුමක් ද? මෙම අධිකරණයෙන් ඊළඟට ඇසෙනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ අයගේ දූෂණ නඩු යයි කියමින් ඩිලාන් පෙරේරා තලතා බිය කරන්නේ කාගේ උවමනාවට ද?
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වී සිටි රවී විද්‍යාලංකාරගේ විෂය ප්‍රවීණත්වය හේතුවෙන් ඔහුට සේවා දිගුවක් ලබා දෙන්නැයි ඉදිරිපත් වූ යෝජනාවලට රනිල් වික්‍රමසිංහ හා සාගල රත්නායක අනුකූලතාවක් නොදැක්වූයේ ඇයි? (රවී විද්‍යාලංකාරට තිබෙන වෙනත් චෝදනා විමර්ශනය කළ යුතු වුව ද, ඔහු වනාහි මුල්‍ය අපරාධ විමර්ශනයෙහි විශේෂඥයකු බව අමතක කළ යුතු නැත.)
රාජපක්ෂලාට හා ඔවුන්ගේ අන්තේවාසිකයන්ට එරෙහිව තිබෙන චෝදනා සම්බන්ධ නඩු විභාග මෙසේ කල් යාමට පැහැදිලි හේතු දෙකක් තිබේ.
1. එවැනි නඩුවල තීන්දු දෙන විනිසුරන්ට රාජපක්ෂලා නැවත බලයට පැමිණියහොත් පළිගැනීම්වලට මුහුණ දෙන්නට සිදු වේ ය යන බිය
2. එවැනි නඩු විභාග කර යුක්තිය ඉටු කිරීම තමන්ගේ උවමනාවකට කෙරෙන්නක් නොවන බව තලතා අතුකෝරළගේ සිට රනිල් වික්‍රමසිංහ හරහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දක්වා ම පුද්ගලයන් පෙන්නුම් කිරීම හා එම නිසා විනිසුරන් වැඩිදුරටත් අනාරක්ෂිත තත්වයට පත් වීම
රාජපක්ෂලා සම්බන්ධයෙන් මෙවැනි නම්‍යශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ විට තමන්ටත් ඔවුන් යළි බලයට පැමිණියහොත් එහි කෘතගුණ භුක්ති විඳීමට ලැබෙනු ඇති බව වික්‍රමසිංහලා සිරිසේනලාට පෙන්වා දෙමින් තිබෙන බව ද අනියම් ආරංචි මාර්ග පවසයි.
මහජනතාව විදියට මහත්වරුනි අපට ඔබට කීමට ඇත්තේ සරත් ෆොන්සේකාට සිදු වූ දේ සිහිපත් කර ගන්නා ලෙසයි. අඩි යටක් යට ඉඩ ද තවම එහෙම ම ය.
දූෂිතයන්ට එරෙහිව යුක්තිය ඉටු කිරීම පමා කරන ඔබ දෙපල මේ කරන දෙයට විපාක නුදුරු අනාගතයේ ම භුක්ති විඳීමට ඉඩ ලැබිය හැකි බව පමණක් අපි ඔබට මතක් කර දෙන්නෙමු.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා