හේම නලින් මාධ්‍යවේදියා මැරුණා ද? මැරුවා ද?


හේම නලින් කරුණාරත්න මතුගම ප්‍රදේශයේ ඉපිද, මතුගම ශාන්ත මේරි විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ, රාජකීය විද්‍යාලයෙන් ඉගෙනගෙන ජාතික රූපවාහිනිය හරහා මාධ්‍ය ප්‍රවීණත්වය ලබා ගත් අයෙක්.
ඔහු රූපවාහිනී මාධ්‍ය ඉතිහාසයේ සලකුණක් තැබුවෙ 9.05 ටෙලි විචිත්‍රාංගයෙන්. එය ටෙලි සඟරා වැඩසටහනක් කිව්වත් කමක් නැහැ. ඒ හා සමාන රේඩියෝ සඟරා වැඩසටහනක් ඊට කලින් ප්‍රේමකීර්ති ද අල්විස් කළා. ඒකෙ නම සැරිසර.
හැබැයි, 9.05 දිගු කලක් පැවතුණේ නැහැ.
පස්සෙ කාලෙක මේ රේඩියෝ සඟරාවල මොඩ්ල් එක වුණේ අටපට්ටම. එය අනුගමනය කළේ හේම නලින්ගෙ ප්‍රබුද්ධ ශෛලිය නෙමෙයි. ⁣ගොන්පාට් කිරීමයි. අද වන විට මේ වැඩසටහන් යැපෙන්නෙ යූටියුබ් මත යි.
හේම නලින්ලා අවසානයේදී ලංකාවෙ ⁣රූපවාහිනී කර්මාන්තයෙන් ම ඉවතට විසි වුණා ය කිව්වොත් බොරුවක් නෙමෙයි.
ජාතික රූපවාහිනිය තුළ ම කොයි තරම් පරිහාණියක් වුණා ද කියනවා නම් ටයිටස් තොටවත්ත නම විකුණන පිරිස් පවා මාකට් එකට බාල කොරියන් ටෙලි නාට්‍ය හඬ කවලා සප්ලයි කරන අය බවට පත් වුණා.
සමස්ත රූපවාහිනී කර්මාන්තය ම සුපර් ස්ටාර් වැඩසටහන් පන්නයේ මාකට් එකට කරන එදා වේල වැඩසටහන්වලට සීමා වෙද්දි එහි හේම නලින් වැනි අයට කරන්නට ඒ තරම් දෙයක් නැති වුණා.
යන්තමින් වයස 55 පිරෙනකොට හේම නලින් ජීවිතෙන් සමුගත්තෙ විකසනය කරගන්නට බැරි වුණ නිර්මානශීලී මාධ්‍ය අදහස් රැසක් සඟවගෙන බවට සැකයක් නැහැ.
හේම නලින් කරුණාරත්නගේ මරණයත් එක්ක ඔහුගේ හැකියාවන් මල්ඵලගන්වන්නට ඉඩක් මාධ්‍ය ක්ෂේත්‍රයේ විවර නොවුණේ ඇයි කියන මාතෘකාව සාකච්ඡා කරනවා නම් හොඳයි නේ ද?
මාධ්‍ය යැපෙන්නෙ වෙළඳපොළ මත බව ඇත්ත. හැබැයි, මාධ්‍යවලට පුළුවන් වෙළඳපොළ පරිණාමය කරන්නත්. ඒක හොඳ අතට කරන මාධ්‍ය දුලබ ලංකාවකින් තමයි හේම නලිනුත් සමුගත්තෙ.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා