සිරා ගැටයක් ද? දිරච්ච ලණුවක් ද? රනිල් ද? මහින්ද ද?

රාජපක්ෂ පවුල බලය ගන්නට තීරණය කර තිබේ. පවුලේ යම් යම් ගැටලු තිබුණත් ඒවා නිරාකරණය කරගෙන සුපුරුදු අයුරින් පාලනය ගෙන යන්නට ඔවුන් අරමුණු කර ඇති බව පෙනේ.
මෙය වනාහි රට දරුණු ආර්ථික අර්බුදයක ගිලී ඇති මොහොතකි. එම අර්බුදයට මූලික හේතු වන්නේ ඇමරිකානු ජාතිකවාදී ප්‍රතිපත්ති නිසා ඩොලරය ශක්තිමත් වීම, ආනයන වැඩි වීම නිසා ගෙවුම් ශේෂය ඉහළ ගොස් රුපියල අවප්‍රමාණ වීම හා තෙල් මිළ ඉහළ යාමයි. මේ සාධක අභ්‍යන්තරිකව පාලනය කිරීම පහසු නැත.
අර්බුදයෙන් ගොඩ ඒමට ක්ෂණික පිළියම් නැත. එයට අවශ්‍ය වන්නේ ඉවසීම, බුද්ධිය හා ස්ථාවරත්වයයි. ආණ්ඩුව, විපක්ෂය හෝ මහජනතාව එය පසුගිය සමයේදී ප්‍රදර්ශනය කළේ නැත. ඒ වෙනුවට ප්‍රදර්ශනය කළේ මුග්ධත්වය, අවස්ථාවාදය, මජරකම, ප්‍රජාතන්ත්‍ර විරෝධය හා නොඉවසිල්ලයි.
වර්තමාන බල පෙරළිය එම තත්වයේ ම දිගුවකි. රාජපක්ෂ පවුල බලය ලබාගැනීම ඉක්මණ් වීමට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්කේ අන් කිසිවක් නොව පසුගිය සමයේ අධිකරණය වෙතින් පළ වූ ස්වාධීනත්වයයි. දුමින්ද සිල්වාගේ මරණීය දණ්ඩනය තහවුරු කිරීමේ නඩු තීන්දුවෙන් මෙන් ම ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි සොරකම් චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමේ නඩු තීන්දුවෙන් ද මෙකී තත්වය ප්‍රදර්ශනය කෙරිණි. රාජපක්ෂ පවුලේ අයට එරෙහි ඇති දූෂණ චෝදනාවලදී අධිකරණය මෙල්ල කර තබා ගැනීම අත්‍යවශ්‍ය ය.
මෙම මොහොතේ බලයට පැමිණෙන නව ආණ්ඩුවකට රට ගොඩගැනීමට අලුතින් කරන්නට දෙයක් නැත. කරන්නට හැකියාවක් ද නැත. එහෙත්, එක් දෙයක් කළ හැකි ය. එනම්, මේ මොහොතේ රට පුරා පැන නැගී තිබෙන උද්ඝෝෂණ රැල්ල මර්දනය කිරීමයි. පැවති ප්‍රජාතාන්ත්‍රික වටපිටාව අපහරණය කරමින් සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තවාදී වෘත්තීය සමිති, බස් සංගම්, වාමාංශික අන්තවාදී කණ්ඩායම් ආදිය මෙම වෙනස තුළ කෙසේ ක්‍රියා කරනු ඇද්ද යන්න ඉදිරියේදී දැකගත හැකි වනු ඇත. බොහෝ විට සිදු වන්නට ඉඩ තිබෙන්නේ මේ සියලු පාර්ශ්ව මර්දනය හමුවේ සිය ඊනියා රැඩිකල් න්‍යායපත්‍ර හකුළාගැනීමයි.
පැවති ආණ්ඩුව රටට අවශ්‍ය මහජන විනය ඇති කිරීම සඳහා කටයුතු නොකළ බව ඇත්තකි. එහෙත්, ඔවුහු සාපේක්ෂ වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට හා නීතියේ ආධිපත්‍යයට ගරු කළ හ. එසේම, දැඩි වගකීමකින් කටයුතු කරන ස්වභාවයක් හා හොඳ නායකත්වය පෞරුෂයක් ද ඔවුන් වෙතින් පළ වූයේ නැත. ආණ්ඩුව ද හැසිරුණේ තවත් එක් රාජ්‍ය ආයතනයක ස්වරූපයෙනි. එවැනි පැවැත්මකට සුදුසු පරිදි ලංකාවේ ආයතන ශක්තිමත් වී නැති බව ද, දැවැන්ත අකාර්යක්ෂම රජය පාලනය නොකර ඉදිරියට යා නොහැකි බව ද ඔවුහු වටහා නොගත් හ. අවසානයේදී රට අර්ධ අරාජිකත්වයක ගිලී යද්දී ද ඔවුහු සතුටින් සැරිසරමින් කාලය ගෙවූ හ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර ඇති ආකාරය ව්‍යවස්ථා විරෝධී ය. නීති විරෝධී ය. එබැවින් එය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයකි. රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරෙහි සිටියදී ම මහින්ද රාජපක්ෂ දිව්රුම් දුන්නේ නීතියට පටහැණිව ය. එසේ කිරීමෙන් එක පැත්තකින් පාර්ලිමේන්තුවට බලපෑම් කර තම පාර්ශ්වයට පිරිස් දිනාගෙන බල තුලනය වෙනස් කිරීමේ හැකියාව ලබාගෙන තිබේ. අනෙක් පැත්තෙන් අධිකරණය ද බියට පත් කර මෙම කුමන්ත්‍රණකාරී ක්‍රියාවට එරෙහිව කටයුතු කිරීම වළක්වා ගන්නට ඔහු අරමුණු කර ඇති බව පෙනේ.
මෙයට එරෙහිව සටන් කිරීමේ අරගලකාරී පෞරුෂයක් රනිල් වික්‍රමසිංහගෙන් පළ විය. ඔහු ජාතිය අමතා ප්‍රකාශ කළේ තමන් තවමත් නීත්‍යානුකූල අගමැති බවයි. එක්සත් ජාතික පක්ෂයේ උපායමාර්ගය වන්නේ පාර්ලිමේන්තුව කැඳවීමයි. එහිදී තමන්ට බහුතර බලය පෙන්විය හැකි බව ඔවුහු පවසති.
එහෙත්, රාජපක්ෂ පවුල පැත්තෙන් ලැබෙන ආරංචි අනුව ඔවුන් ක්‍රීඩාවට බැස තිබෙන්නේ නීති පොත ඉරා දමමින් බව පෙනේ. ඔවුන්ට හැකි නම්, රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන සිරගත කළත් පුදුම විය යුතු නැත. එහෙත්, එජාපය සටනට මුහුණ දෙන එඩිතර ස්වරූපය අනුව එසේ කිරීම පහසු නැත. එහෙත්, මේ වන විටත්, එජාපයේ රවි කරුණානායක ඇතුළු පිරිසක් මහින්ද රාජපක්ෂ සමග එක් වී ඇති බවට ආරංචි පැතිරෙමින් තිබේ. ගැටලු මතු වන්නේ එය වළක්වා ගැනීමට එජාපය සමත් වුවහොත් ය. එසේම, ජාත්‍යන්තරය මෙම මොහොතේ ප්‍රතිචාර දක්වන ආකාරය ද ඉතා වැදගත් ය. සදාචාරාත්මක වාසිය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට බව අප අමතක නොකළ යුතු ය.
කෙසේ වෙතත්, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන මේ මොහොතේ නාමකරණය වන්නේ ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළ, ජනවරමට පටහැණිව ගිය කුමන්ත්‍රණකරුවන් දෙදෙනෙකු ලෙස වීම රටට හොඳ තත්වයක් නොවේ. ජාත්‍යන්තර තත්වයන් ඔවුන් කළමනාකරණය කරගන්නේ කෙසේ ද යන්න ඉදිරියේදී දකින්නට ලැබෙනු ඇත. තමන් බලය අල්ලා ගත් ආකාරය ලෝකය ඉදිරියේ සාධාරණීකරණය කරගන්නට අසමත් වුවහොත් ඔවුන්ට ගැටලුවලට මුහුණ දෙන්නට සිදු වනු ඇත. ව්‍යවස්ථාව අනුව 2020 වනතෙක් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව ද නැත.
රාජපක්ෂ පවුල නැවත බලය අල්ලා ගන්නේ එක පැත්තකින් නීති විරෝධී ලෙස ය. අනෙක් පැත්තෙන් ඔවුන් ඉදිරියේ තිබෙන්නේ පහසුවෙන් ජයගත නොහැකි අභියෝග සම්භාරයකි. චීනය, ඉන්දියාව හා බටහිර රටවල් සමග ඔවුන්ගේ සම්බන්ධකම් පෙර පරිදි ම ද යන්න පැහැදිලි නැත. ජනාධිපති මෛත්‍රීපාල හා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ දැනටමත් ඉන්දියාවට චෝදනා එල්ල වී තිබේ.  රනිල් වික්‍රමසිංහගේ රජය විසින් චීනයට 99 වසරකට බදු දෙන ලද හම්බන්තොට වරාය නැවත පවරා ගත යුතු බව ගෝඨාභය රාජපක්ෂ මෙම සතියේ ලංකාදීප පුවත්පතට ලියූ කොලමෙහි ද සඳහන් කළේ ය.
රාජපක්ෂ පවුල් පාලනය තුළ ඇමතිවරුන් ලෙස පත් වන්නේ කවුරුද යන්නත්, ඒ සමග වත්මන් ආණ්ඩුවෙන් එක්වන්නේ කවුරුද යන්නත් ඉදිරි පැය කිහිපය තුළ ප්‍රදර්ශනය වන අතර ඒ සමගම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක හැඩය ද තීරණය වනු ඇත. කෙසේ වෙතත්, මෙම සැලැස්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ එකක් නම්, එයින් මහින්ද රාජපක්ෂ තව වටයකින් අමාරුවේ දැමීමක් සිදු වුවත් පුදුම විය යුතු නැත. 2015 අගෝස්තුවේදී ද එය සිදු විය.
නාට්‍යය අපට පුරෝකථනය කරන්නට අපහසු ගැටුමක් සමග ඉදිරියට ඇදේ. හෙට නැවත හමුවෙමු.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා