පාසල්වල අන්තවාදය ප්‍රවර්ධනය කරන්නට අවසර දෙන්නේ ඇයි?


ටියුෂන් වෙළඳපොළ අන්තවාදයට ගොදුරු වී තිබෙන අධ්‍යාපනය මතට දේශපාලන, ජාති, ආගම් අන්තවාදය පෙරළීම
මේ දවස්වල සමාජයේ සාකච්ඡා කරනු ලබන ප්‍රධාන කාරණාවක් වන්නේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම. පසුගිය දිනෙක ගුරුවරයකු හා වාම ක්‍රියාධරයකු වන විදර්ශන කන්නන්ගර සහෝදරයා විසින් පෙන්වා දෙන ලද කරුණක් වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ පාසලක පැවැත්වුණ වැඩසටහනකදීත් මේ නඩු තීන්දුව විවේචනය වන ආකාරයේ අදහස් පළ වූ බව යි.
විදර්ශන කන්නන්ගර පැවසූ පරිදි එහිදී “හාමුදුරු කෙනෙකුව මාංචු දාල ගෙනියන්න තියෙන අයිතිය මොකක්ද?..මේක බෞද්ධ රටක්…අනික සන්ධ්‍යා කියන්නෙ කොටි ගැහැනියක්..” යනුවෙන් පවසා තිබෙනවා.
‘අරුණැල්ලක ප්‍රභාශ්වර’ නම් වන මෙම වැඩසටහන පාඨලී චම්පික රණවක අමාත්‍ය ධුරය දරණ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් නායකත්ව පුහුණු වැඩසටහනක් මුවාවෙන් පාසල් දරුවන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන තෙදින කඳවුරු මාලාවක්. අදාළ පාසලේ පැවැත්වුණේ 400වන කඳවුර බව ඔවුන් කියනවා. එවැනි කඳවුරක් පිළිබඳ වාර්තාවක් එයට අනුග්‍රහය දක්වන විජය පුවත්පත් සමාගමේ වෙබ් අඩවියේ මෙසේ පළ වී තිබුණා. මෙම වාර්තාවට අනුව, එම වැඩසටහනට බහුජාතික සමාගමක් වන ෆොන්ටෙරා ආයතනයේ අනුග්‍රහය ලැබෙනවා.
මෙම වැඩසටහන තුළ මූලික වශයෙන් විසකුරු ජාතිවාදය අලුත් වටයකින් පෙරමුණට ගෙන ඇති එකක් බව යි විදර්ශන කන්නන්ගරගේ අදහස. මෙහි සම්පත් දායකයා ලෙස මූලිකව කටයුතු කරන්නා තමන් මාධ්‍යවේදියකු ලෙස හදුන්වා ගන්නා ජයසිරි කාරියවසම් නැමැත්තෙකි. ඔහු දිවයින පුවත්පතේ වාර්තාකරුවකු බව පෙනේ. දිවයින පුවත්පතේ තවත් මාධ්‍යකරුවන් ද මෙයට සම්බන්ධ ය.
ජාතිවාදය, බහු ජාතික සමාගම්, මෙගාපොලිස් අගනාගරිකත්වය ආදිය එකට ඈඳමින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විවිධ බලවේග විසින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් නියාමනය කිරීම අත්‍යවශ්‍ය ය. මේවා කරන පුද්ගලයන් විවිධ දේශපාලකයන්ගේ අනුග්‍රහයෙන්, ජාත්‍යන්තර ආධාර ලබමින් මේ කරන්නේ අනාගත පරපුරේ විඥානය ඔවුන්ට උවමනා පරිදි විකෘති කර ගැනීම යි.
මාස කීපයකට ඉහතදී මහනුවර දිස්ත්‍රික්කයේ දිගන ප්‍රදේශයේදී සිදු වූ මුස්ලිම් විරෝධී ජාතිවාදී ප්‍රහාරවලට ද වැඩියෙන් ම සම්බන්ධ වුණේ ළාබාල තරුණ පිරිස් ය. සාමාන්‍යෙයන් අන්තවාදී දේශපාලනික අරමුණු වෙනුවෙන් නව යෞවනයන් උපයෝගී කර ගැනීම සුලබ ය. කොටි සංවිධානය ළමා සොල්දාදුවන් භාවිතා කළ අතර, ජවිපෙ දෙවෙනි කැරැල්ල සමග ද බොහෝ ළමයි සම්බන්ධ වූ හ.
තරුණ අන්තවාදය අද දවසේ රට හමුවේ පවතින දැවැන්ත අභියෝගයකි. තරුණ අන්තවාදය පිටුදැකීමට අවශ්‍ය නම් පාසල් අන්තවාදී දේශපාලනයට උපයෝගී කර ගැනීමට ඉඩ නොදිය යුතු ය.
පාසල් අධ්‍යාපනය මේ වන විට ටියුෂන් වෙළඳපොළ අන්තවාදයට ගොදුරු වී හමාර ය. එයින් අසහනයට පත් වී සිටින ළමා හා යොවුන් පරපුර මත දේශපාලන, ජාතික හා ආගමික අන්තවාදය අතහැරීම ගහෙන් වැටුණු ළමයාට ගොනා ඇනීමක් පමණක් නොවේ. එයින් සමස්ත සමාජයට ම දැඩි හානියක් සිදු විය හැකි ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා