62 ලක්ෂයේ ජනවරමට අලුත් නායකත්වයක් අවශ්‍යයි


මේ මොහොත වන විට පවතින තත්වය ඛෙදනීය ය. 62 ලක්ෂයේ ජනවරමට පයින් ගසා ද්‍රෝහී ජනාධිපති සිරිසේන විසින් නීති විරෝධී අන්දමින් පත් කරන ලද පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය නැති නීති විරෝධී අගමැති මහින්ද රාජපක්ෂ සිය සුපුරුදු දූෂිත හා ප්‍ර‍ජාතන්ත්‍ර‍ විරෝධී චර්යාව අනුව යමින් බහුතර විශ්වාසය පෙන්වීම සඳහා මන්ත්‍රීවරුන් මිළ දී ගනිමින් සිටියි.
රාජපක්ෂ යනු හුදු පුද්ගලයකු නොවේ. රාජපක්ෂ යනු සමාජ ක්‍ර‍මයකි. එහි මූලික ලක්ෂණය අන්ත පසුගාමිත්වයයි. එය වනාහි රජාට ඇඳීමේ, කේන්දරකාරයන් ලවා අන්දාගැනීමේ, ජාතිවාදයේ පටන් ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට, යහපාලනයට, නීතියේ ආධිපත්‍යයට, දූෂණ විරෝධයට හා මිනිස්කමට පවා නිගරු කරන ක්‍ර‍මයකි. අප එරෙහි වන්නේ මහින්ද රාජපක්ෂ නම් පුද්ගලයාට හෝ ඔහුගේ සමීපස්ථ පවුලට හා අන්තේවාසිකයන්ට පමණක් නොවේ. සමස්තයක් ලෙස මෙම දුෂ්ට පසුගාමී සමාජ ක්‍ර‍මයට ම අපි එරෙහි වෙමු. ඒ නිසා මන්ත්‍රීවරුන් මිළ දී ගෙන, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයට පමණක් නොව යුක්තියට ද විහිළු කරමින් බලය තහවුරු කරගත්තත් අප නම් රාජපක්ෂ පිළිගන්නේ ද, ඔහුගේ ක්‍ර‍මයට ගරු කරන්නේ ද නැත.
ලංකාව සාධනීය ලෙස වෙනස් කරන්නට නම් රාජපක්ෂ ක්‍ර‍මය පරාජය කළ යුතු ය. අප 2015 ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේන 62 ලක්ෂයක ජනවරමකින් බලයට පත් කළේ ඒ වෙනුවෙනි. ඒ වෙනුවෙන් උර දුන් ප්‍ර‍ධාන ම දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. එම පක්ෂයේ අනේක අඩුපාඩු තිබේ. එහෙත්, ඒ සියල්ල ම අතර එම පක්ෂයේ නායකත්වයෙන් බොහෝ සාධනීය දේ සිදු විය. රාජ්‍ය ප්‍ර‍තිසංස්කරණ, නීති සංශෝධන, ආයතන ශක්තිමත් කිරීම, ස්වාධීනත්වය ඇති කිරීම, නිදහස, සංස්කෘතික නවීනත්වය වැනි බොහෝ දේ ඒ අතර වේ. නාගරික සංස්කෘතිය සමග බැඳුණු මෙකී බොහෝ ලක්ෂණ පසුගාමී ග්‍රාමීය සංස්කෘතිය හිස් මුදුනින් වැළඳ ගත් පසුගාමී ප්‍ර‍ජාවන්ට ජීර්ණය නොවූ බව ඇත්තකි. මහජනයා වෙනස වෙත යොමු කිරීමේ උපායශීලී නායක පෞරුෂයක් එජාප නායකත්වයෙන් පළ වූයේ නැත. එජාපයට දැන් තිබෙන නායකත්වයට විකල්පයක් ද නැත.
මහජනයා තබා ජනාධිපති සිරිසේන නම් පසුගාමී චරිතය මෙහෙයවාගෙන යාමට හෝ එජාපට උවමනාවක් හෝ වැඩපිළිවෙලක් නොතිබිණි. අවසානයේදී සිදු වුණේ හරකා කඹේ කඩාගෙන ගියා වැනි වැඩකි. ඌ ගියේ සුපුරුදු ගාලට ය. ඒ ගැන පුදුම විය යුුතු නැත.
සමාජ වෙනස්කම් ඉබේ සිදුවන්නේ නැත. ඒ සඳහා නායකත්වයන් අවශ්‍ය ය. එජාපට එවැනි නායකත්වයක් සැපයිය නොහැකි බව මෙම අත්දැකීමෙන් ද ඔප්පු විය. එසේ නම් දැන් කරන්නට තිබෙන්නේ කුමක් ද?
62 ලක්ෂයේ ජනවරම තවමත් වෙනස් වී නැත. එසේම, ඒ අපේක්ෂාවල යුක්තියුක්තභාවය ද අහෝසි වන්නේ නැත. අපට දැන් අවශ්‍ය වන්නේ ඒ ජනවරමට අලුත් නායකත්වයකි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා