දයාන් ජයතිලකගේ කරණම හා ගෝටා 2020 දුෂ්ටභීත දේශපාලනය


දයාන්ගේ ලක්බිම සම්මුඛ සාකච්ඡාව කියවන්න
සෙලරොෆෝබියා කියන වචනය දුෂ්ටභීතිකාව ලෙස සිංහලට පරිවර්තනය කරන්නට පුළුවන්. එයින් අදහස් වන්නේ අපරාධකරුවන්ට හා නරක මිනිසුන්ට තිබෙන බිය යි.
ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල මේ වන විට යම් ආකාරයක දුෂ්ටභීතිකාවක් ඇති බවට සාධක තිබෙනවා. ඒ ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට තිබෙන බිය නිසා යි. භයානක පුද්ගලයකු ලෙස ඔහුට තිබෙන අපකීර්තිය නිසා බියපත්ව ඔහුට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සිතාමතා පමා කරන හා ඒ හා සම්බන්ධ තම වගකීම්වලින් කූට ලෙස ගැලවෙන පුද්ගලයන් සිටින බව දකින්නට ලැබෙනවා.
මෙය ඉතා ම නරක තත්වයක්. 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්වාධීන පොලිස්, අධිකරණ ආදී කොමිෂන් සභා පිහිටෙව්වා. මේ වන විට ආණ්ඩුවට මේවාට අත පොවන්නට තිබෙන ඉඩ අඩු යි. එහෙම අත පොවන්නට යාමෙන් අත පිච්චෙන්නට කොයි තරම් අනතුරුදායක ඉඩක් තිබෙනවා ද යන්න පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයකු ඇතුළු දෙදෙනෙකු අල්ලස් ගනිද්දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම විසින් අත්අඩංගුවට ගැනීම තුළින් පෙනෙනවා.
හැබැයි, මේ තත්වයේ වාසිය අත්පත් කර ගන්නට රාජපක්ෂ දුෂ්ටත්වයේ අක්ෂය සමත් වී තිබෙනවා. ඔවුන් විසින් අවිධිමත් ලෙස පත්කිරීම් කරන ලද පුද්ගලයන් ඉත්තන් ලෙස පාවිච්චි කරන්නට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා. ඒ ඔස්සේ සමස්තයක් ලෙස ම දුෂ්ටභීතිකාවක් නිර්මානය කර ගන්නට ද ඔවුන් සමත් වී තිබෙනවා.
මේ දුෂ්ටභීතිකාවේ ම දිගුවක් දේශපාලනයට ද යොමු වී තිබෙනවා. ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීම සඳහා වන වියත්මග ප්‍රමුඛ ව්‍යාපාරයයි.
වියත්මගට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ 2018 ජුනි 10දා ලක්බිම පුවත්පතේ සාකච්ඡාව ඔස්සේ දයාන් ජයතිලක ගෙන එන විවේචනය ඉතා වැදගත් වන්නේ ඒ නිසා යි.
දයාන් ජයතිලක යනු රාජ්‍ය නායකයන්ට පහසුවෙන් මිළ දී ගත හැකි, නිශ්චිත ප්‍රතිපත්තියක් නැති තුච්ඡ අවස්ථාවාදියකු බව සැබෑ යි. හැබැයි ඔහු බුද්ධිමතෙක්. ඒ නිසා ඉතා දක්ෂ ලෙස අවශ්‍ය නම් කබරගොයා තලගොයා කරන්නටත්, කබරගොයා තලගොයා කරන්නටත් ඔහුට පුළුවන්.
දයාන් ගෝඨාභයගෙන් හැළෙන්නේ ඔහුට එම වැඩසටහන තුළ කැපී පෙනෙන තැනක් නො ලැබෙන බව ඔහුට පෙනී යන නිසා බව ලක්බිමේ සම්මුඛ සාකච්ඡාව කියවන විදියට පැහැදිලි වෙනවා. රොහාන් ගුණරත්නට ඔහුට වඩා තැනක් දීම ඔහු කුපිත කිරීමට හේතු වී තිබෙන බව පෙනෙනවා. මේ රොහාන් ගුණරත්න කියන්නේ ද දයාන් ජයතිලක ජාතියේ ම අවස්ථාවාදී බුද්ධිමතෙක්.
පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වුණ රැස්වීම ව්‍යාපාරික පැළැන්තිය ගෝඨාභය රාජපක්ෂට එක් වීම සංකේතවත් කළ අවස්ථාවක් යයි පවසන ගමන් ම දයාන් ජයතිලක ගෝඨාභය කල්ලියේ ඉන්නේ මහා ධන කුවේරයන් හා අන්තවාදී හමුදාකාරයන් බව පෙන්වා දෙනවා.
ඔහු ඉදිරිපත් කරන මූලික කාරණා අතර වැදගත් කරුණක් වන්නේ ගෝඨාභයගේ විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් රට නැවත අර්බුදයකට යාමට තිබෙන ඉඩකඩ යි. ගෝඨාභයගේ ආර්ථික ප්‍රතිපත්ති සහ ඔහු වටා සිටින පිරිස්වල අන්තවාදී දේශපාලනය එයට අනුපූරක වන බවත් දයාන් ජයතිලක පෙන්වා දෙනවා.
ජාතිවාදී අන්තවාදීන්, මිලිටරි අන්තවාදීන් හා කෑදර ධනපති අන්තවාදීන් විසින් වට කරගෙන සිටින ගෝඨාභය රාජපක්ෂ විසින් ලංකාවට ලබා දිය හැකි එක ම අලුත් දෙය කෘර පාලනයක් පමණක් බව පැහැදිලි යි. ජනතා ප්‍රශ්නවලට කිසිම විසඳුමක් නැති මේ පිරිස දන්නා එක ම දෙය ද ඝාතනය, භීෂණය හා සූරාකෑම පමණි.
ගෝඨාභය රැල්ල පරාජය කිරීම සඳහා එක් වීම ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන සියලු දෙනාගේ සමාජ වගකීමක් වන්නේ එහෙයිනි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා