කාන්තා නියෝජනය 2015 ජනවාරි 8 විප්ලවයේ ලොකුම ජයග්‍රහණයයි


අත්සන් අතර අත්සන. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පසුගිය නොවැම්බරයේදී අප ද සහභාගි වූ මැතිවරණවලදී කාන්තා අපේක්ෂිකාවන්ට එරෙහි හිංසනයට විරුද්ධ 16 දින ප්‍රචාරක තවලමේ අත්සන් පුවරුවේ සිය අත්සන තබමින්. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත රිට්සු නකේන් පසෙකින්.
කාන්තා අයිතිවාසිකම්, නිදහස හා විමුක්තිය ගැන අලුත් මානයක් රටේ ඇති වෙලා තිබෙනවා. පළාත් පාලනයේ 25%ක කාන්තා නියෝජනය තහවුරු කරන්නට රජය ගත් පියවර එහිදී තීරණාත්මකයි. ඒ අනුව, පෙබරවාරි මාසයේදී පැවැත්වුණ පළාත් පාලන මැතිවරණයෙන් පසුව, පළාත් පාලන ආයතනවලට කාන්තාවන් 2000ක් පමණ තේරී පත් වුණා. මෙතරම් කාන්තා මහජන නියෝජිතයන් පිරිසක් සක්‍රිය දේශපාලනයේ ඉදිරියට පැමිණීම ඉතා වැදගත් සන්ධිස්ථානයක්.
එහෙත්, ඉන් පසු කාන්තා සංවිධාන හෝ දේශපාලන පක්ෂ හෝ මාධ්‍ය හෝ මේ කාන්තා නියෝජනය පිළිබඳ අවධානයක් යොමු කර ඇති බවක් පෙනෙන්නට නැහැ. විශේෂයෙන් ම කාන්තා සංවිධාන මේ කාන්තා මන්ත්‍රීවරියන් අමතක කර දැමීම විසින් නරක ප්‍ර‍තිඵල ඇති කරන්නට පුළුවන්. මේ කාන්තාවන් වැඩිදෙනෙකු තේරී පත් වුණේ කොට්ඨාස මට්ටමින් නෙමෙයි. ඒ නිසා ඔවුන්ට වැඩ කරන්නට කොට්ඨාස නැහැ. කොට්ඨාසයක වැඩ කරන විට අදාළ මන්ත්‍රීවරයාගෙන් එයට බාධා ඇති වන්නට පුළුවන්. ඒත් ඔවුන්ට යම් යම් විෂය ක්ෂේත්‍ර‍වල වැඩ කරන්නට පුළුවන්. ඒ සඳහා පළාත් පාලන ආයතනවල කමිටු ක්‍ර‍මය පාවිච්චි කරන්නට පුළුවන්. මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීම, ඔවුන්ගේ ධාරිතාවන් ගොඩනැගීම හා උපකාර කිරීම ඉතා වැදගත්.
රටේ ප්‍රධාන ම පළාත් පාලන ආයතනය වන කොළඹ මහ නගර සභාවේ පුරපති ධුරයට රෝසි සේනානායක නම් කිරීමෙන් එක්සත් ජාතික පක්ෂය මේ අවස්ථාව අනාගතයේ කාන්තා නායකත්වයන් ගොඩනැගීම වෙනුවෙන් ආයෝජනය කිරීමට තමන් සූදානම් බව පෙන්නුම් කළා. කොළඹ නගරය කාන්තාවන්ට සුරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීම සඳහා යම් යම් මුලපිරුම් ඇගේ නායකත්වයෙන් මේ වන විට සැලසුම් කරමින් තිබෙනවා. පසුගිය දිනෙක ඒ හා සම්බන්ධ සාකච්ඡාවකට සහභාගි වන්නට අපට ද අවස්ථාව ලැබුණා.
කාන්තා දේශපාලන නියෝජනය පිළිබඳ එක් වැදගත් මූලික තර්කයක් තමයි, හුදෙක් කාන්තාවක් වීම දේශපාලන නියෝජනයට සුදුසුකමක් නොවෙයි කියන එක. ඒක ඇත්ත. හැබැයි ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කිසිම දාක කාන්තාවන්ගේ නියෝජනය 6.5% ඉක්මවලා නැහැ. වර්තමාන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%යි. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225ක් අතර කාන්තාවන් ඉන්නේ 12ක් පමණයි. මෙවැනි ඓතිහාසික අසාධාරණයක් නිවැරදි කරන්නට විශේෂිත පියවර අවශ්‍යයි. පළාත් පාලනයේ කාන්තා නියෝජනය වැඩි කරන්නට ගත් තීරණය දෙස අප බැලිය යුත්තේ ඒ දෘෂ්ටිකෝණයෙනුයි.
දේශපාලන පක්ෂ වැඩි හරියක දේශපාලන මණ්ඩල වැනි ඉහළ ව්‍යූහයන්වල කාන්තා නියෝජනයක් නැති තරම්. පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටින බව කියන වාමාංශික පක්ෂවල නම් නායකත්වයේ කාන්තාවන් ඇත්තේ ම නැති තරම්.
තත්වය මෙහෙම තිබියදී ඇතැම් අති වාමාංශික කණ්ඩායම් දැඩි පරමාදර්ශවාදී ස්ත්‍රීවාදයක් යළි කරළියට ගෙන එන්නට උත්සාහ කරන ආකායකුත් අප පසුගිය දිනවල දුටුවා. එහි කිසියම් පුරුෂභීතිකාවක ලක්ෂණ ද දකින්නට ලැබුණා. පිරිමිකම බරක් ලෙස හඳුන්වන අදහසකුත් එහි පළ වුණා.
පුරුෂ විරෝධී ස්ත්‍රීවාදය යල් පැන ගිය පරමාදර්ශවාදී අදහස් පද්ධතියක්. අරගලයකදී අවසන් අරමුණ ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා පරමාදර්ශ හොඳයි. උදාහරණයක් තමයි කොමියුනිස්ට් සමාජය. එහෙත් එය පරිකල්පනයක් පමණක් විය හැකියි. දෙමළ ඊලාම් නම් වෙනම දෙමළ රාජ්‍යය පවා මෙවැනි පරමාදර්ශයක්. කාන්තාවන්ට සමතැන දිනා ගැනීම සඳහා වන අරගලයේදී පීතෘ මූලිකත්වය, පුරුෂාධිපත්‍යය වැනි සමාජ විද්‍යාත්මක සාධක සමග ගැටෙන්නට සිදු වෙනවා. එතැනදී පරමාදර්ශවාදීන් බිහි කිරීමට වඩා වැදගත් වන්නේ සමාජයේ පුද්ගලයන්ගේ චර්යාවන් වෙනස් කිරීමයි. උදාහරණයක් ලෙස කාන්තාවන්ගේ දේ්ශපාලන නියෝජනය වැඩි කරන්නට කටයුතු කිරීම, කාන්තා ව්‍යවසායකයින් වැඩි කරන්නට කටයුතු කිරීම, විධායක හා කළමනාකරණ ශ්‍රේණිවල සිටින කාන්තාවන් සංඛ්‍යාව වැඩි කිරීම, කාන්තාවන් ශ්‍රම බලකායට එකතු වීම දිරි ගැන්වීම, කාන්තාවන්ට සුරක්ෂිත පරිසරයක් නිර්මානය කිරීම, කාන්තා හිංසනය හා අපචාර පිටුදැකීම වැනි සංයුක්ත පියවරවලට සහයෝගය දැක්වීම ඉතා වැදගත්. කාන්තාවන් බලසතු වන්නට එවැනි පියවර ඉවහල් වෙනවා. හුදු ප්‍රතිරෝධයෙන් පමණක් කිසිවක් සිදු වන්නේ නැහැ. පවත්නා තත්වයන් වෙනස් කරන්නට ගන්නා ක්‍රියාමාර්ග ඉතා වැදගත්.
පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කිරීම මෙවැනි එක් වැදගත් සංයුක්ත පියවරක්. ඡන්දයෙන් කාන්තාවන් තේරී පත් වූ පමණින් සියල්ල අවසන් වන්නේ නැහැ. එය දේශපාලන නියෝජනයේදී කාන්තාවන් බලසතු කිරීමේ ගමනක ආරම්භය ලෙස සැලකීමයි විය යුත්තේ. ඔවුන් වෙනුවෙන් දේශපාලන පක්ෂ භේද ඉක්මවා ගිය වැඩසටහන් දියත් කිරීමේ වගකීමක් කාන්තා සංවිධානවලට තිබෙනවා.
මේ ආණ්ඩුවට නම් අඩු ගානේ තමන් විසින් මුලපුරන ලද මෙවැනි වැදගත් පියවර ගැන රට දැනුවත් කිරීමේ උවමනාවක් හෝ ඇති බවක් පෙනෙන්නේ නැහැ. රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන්. ඔවුන් වෙනුවෙන් පළාත් පාලන මට්ටමේ සිට සාධාරණ අන්දමින් නියෝජනය ලබාදීම ආරම්භ කිරීම 2015 ජනවාරි 8න් ඇරඹුණු විප්ලවයේ ප්‍ර‍ධාන ජයග්‍ර‍හණයක්. ඒත් කවුරුද ඒ ගැන කතා කරන්නෙ? අපේ රටේ කාන්තා පරපුරවත් එය තේරුම් ගන්නවා ද?

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා