19ට දැන් බනින අය එය උඩ දාගෙන සම්මත කළේ ඇයි?

19වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය මාළු දැලක් සේ පණුවන්ට රිංගන්නට පුළුවන් සිදුරු සහිත ලේඛනයක් බව ඇත්ත ය. එහි ගැටලු රාශියක් කෙරෙහි දැන් අවධානය යොමු වී තිබේ.
එහෙත්, 19වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය යනු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වූවකි. එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මූලිකත්වයෙන් දියත් කරන ලද්දකි. එයට තුනෙන් දෙකේ ඡන්ද බලය ලබා දීම සඳහා පෙරමුණ ගෙන කටයුතු කළේ මෛත්‍රීපාල සිරිසේනයි. මන්ත්‍රීවරුන් 215ක් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් හ. 2018 අප්‍රේල් 19දා 19වන සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වන විට පාර්ලිමේන්තු බහුතරය හිමි වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි.
දැන් 19වන සංශෝධනය එක්සත් ජාතික පක්ෂය පිට පටවන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම ව්‍යවස්ථා සංශෝධනයෙහි තිබෙන සියලු ගැටලුවලට වගකිව යුතු ය. දැන් එයට එරෙහිව තප්පුලන රාජපක්ෂවාදීන් අතරින් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන්නේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණි. රාජපක්ෂවරුන් විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය පරාජය තීරණය කරන ලද 2015 අගෝස්තු මහ මැතිවරණයේදී සරත් වීරසේකර පරාජය විය. 19වන සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් කිසිවෙකු දැන් පාර්ලිමේන්තුවේ නැත.
විමල් වීරවංශ පක්ෂ බව කියන ගමන් සංශෝධනවලට පක්ෂ වූ නිසා පක්ෂ වන බව ද කීවේ ය. බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු ආවේවත් නැත. දැන් ඔවුන් හැසිරෙන්නේ හරියට ඒ වෙලාවේ තමන් හිටියේ බීලා වැඩි වෙලා නිසා මතක නැහැ වගේ ය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර මන්ත්‍රීවරයා පවා ඡන්දය දීමෙන් වැළකී සිටියා මිස විරුද්ධව ඡන්දය දුන්නේ නැති බව ද මතක තබා ගැනීම වැදගත් ය.
19වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කතා කරන විට මෙම යථාර්ථය මගහැර තර්ක කළ නොහැකි ය. දැන් සරත් නන්ද සිල්වා, විජේදාස රාජපක්ෂ වැන්නන් ඇතුළුව ව්‍යවස්ථාවේ සිදුරු මත පදනම්ව තර්ක කරන සියලු දෙනා අතීතය සිහිපත් කරගත යුතු ය.
19වන ව්‍යවස්ථා සංශෝධනය ගැටලු පිරි එකක් විය හැකි ය. ව්‍යවස්ථා පූජනීය නැත. ඒවා වෙනස් කළ හැකි ය. වෙනස් කළ යුතු ය. එහෙත්, එය කළ යුත්තේ ආචාරධාර්මික ලෙස ය. කඩාකප්පල්කාරී ලෙස සිදුරුවලින් රිංගා තමන්ට කැමති කැමති පරිදි අර්ථකථන සැපයීමෙන් හා බලහත්කාරයත්, කුමන්ත්‍ර‍ණත් යොදාගැනීමෙන් නොවේ.
රාජපක්ෂලාගේ මෙම ව්‍යවස්ථා අවභාවිතා කිරීමේ පූර්වාදර්ශය ඉතා නරක තත්වයකි. එය බෙදුම්වාදීන්ට පවා උඩගෙඩි දීමකි. ඔවුන් ද මෙම පූර්වාදර්ශය අනුගමනය කළහොත් තත්වය ඉතා නරක වනු ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය මේ මහා චිත්‍ර‍ය දෙස බලා සාධාරණ විසඳුමක් මෙම ප්‍ර‍ශ්නයට දිය යුතු ය. එහෙත්, රටක ජනාධිපතිවරයකු ම මෙවැනි කඩාකප්පල්කාරී කුමන්ත්‍ර‍ණවලට සහභාගි වන සංදර්භයක් තුළ තත්වය ඉතා සංකීර්ණ වේ.
කෙසේ වෙතත්, මහමැතිවරණයකදී වඩා හොඳ තත්වයක් වෙනුවෙන් නැවත ජනවරමක් ලබා ගත යුතු ය. මෙම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ගැටලු නිරාකරණය කරගත යුතු ය. සමස්ත ව්‍යවස්ථාව ම සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් තිබේ. එහිදී විශේෂයෙන් ම ජාතීන් අතර සංහිඳියාව සැලකිල්ලට ගත යුතු ය.
එහෙත්, සියල්ලට පළමුව මෙම කුමන්ත්‍ර‍ණය පරාජය කළ යුතුව තිබේ. පහත දැක්වෙන්නේ 19 සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුවේ පවත්වන ලද කතාවයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා