බ්‍රිගේඩියර්ගේ ශීර්ෂඡේදන මුද්‍රාව වීරකමක් ද?

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත කර සිටින ආරක්ෂක නිලධාරියකු වන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නිදහස් දා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක යෙදුණු දෙමළ පිරිසක් ඉදිරියේ ගෙල සිඳින ඉරියව්වක් පෑමේ සිද්ධිය මේ වන විට දැවැන්ත ආන්දෝලනයකට හේතු වී තිබේ. පිරිසක් එය දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය මර්දනය ප්‍රකාශ කරන ක්‍රියාවක් ලෙස උලුප්පා දක්වන්නට උත්සාහ කරන අතර තවත් පිරිසක් එය සිංහල වීරකමක් ලෙස පෙන්වන්නට ප්‍රයත්න දරති. මේ දෙක ම වැරදි ය. මෙය වෘත්තීය අපරිණතකම නිසා සිදු කරන ලද මෝඩකමක් පමණි.

මේ වන විට යුද්ධය නිමා වී වසර අටකට වැඩි ය. ලංකාවේ සාපේක්ෂ සාමයක් ඇත. සාමය ස්ථාවර කිරීම සඳහා ජාතීන් අතර සංහිඳියාව හා සහජීවනය ඇති කළ යුතු ය. සුළු ජාතීන්ගේ දේශපාලන ඉල්ලීම් සාකච්ඡා කළ යුතු වන්නේ ඒ නිසා ය. තිබුණේ දේශපාලන අරගලයක් මත පදනම් වූ යුද්ධයක් බව ද, යුද්ධයෙන් කොටි සංවිධානය පරාජය වූ මුත් ඉල්ලීම් අවසන් වී නැති බව ද අප මතක තබා ගත යුතු ය.

යුද්ධවල අතුරු ඵල රැසක් තිබේ. වඩා සුවපහසු ජීවිතයක් සොයා යුරෝපා, ඇමරිකා, ඕස්ට්‍රේලියා මහාද්වීපවලට සංක්‍රමණය වීමට පහසු මාර්ගයක් යුද්ධය නිසා නිර්මානය විය. ඒ ඔස්සේ දෙමළ ජාතිකයන් විශාල පිරිසක් විදේශගත වූ අතර එයින් දෙමළ ඩයස්පෝරාව නිර්මානය විය. එයින් මෙකී සංක්‍රමණය අවසන් වූයේ නැත. ඩයස්පෝරා සම්බන්ධකම් පාවිච්චි කරමින් ලංකාවේ පුද්ගලයෝ අඛණ්ඩව ම ඒ රටවලට සංක්‍රමණය වෙමින් සිටිති.

එහෙත්, රටක පුරවැසිකම ලබා ගැනීම ලෙහෙසි නැත. අධ්‍යාපනය වෙනුවෙන් වීසා ලබා ගැනීමට විශාල මුදලක් අවශ්‍ය ය. වෘත්තික සුදුසුකම් මත තාවකාලික හෝ ස්ථාවර පදිංචි වීසා ලබා ගැනීම සඳහා ඒ රටවලට අවශ්‍ය කුසලතා තිබිය යුතු ය. සංචාරක වීසාවක් ලබා ගැනීම පවා පහසු නැත. හේතුව, ලාංකිකයන් වෙනත් රටකට ගියොත් ආපසු මේ රටට නො එන තරමට රටට ආදරය කරන පිරිසක් නිසා ය. එබැවින්, සංචාරක වීසාවලින්, අධ්‍යයන වීසාවලින් හෝ වීසා නොමැතිව බෝට්ටුවෙන් හෝ ඒ රටවලට ගොස් ආපසු නො එන පිරිස විශාල ය. ඔවුන් කරන්නේ තමන්ට ආපසු සිය රට යා නො හැකි බව කියා දේශපාලන රැකවරණ පැතීමයි.

කිසිදු රටක් ආවාට ගියාට දේශපාලන රැකවරණ දෙන්නේ නැත. ඒ සඳහා තමන් පෞද්ගලිකව අසාධාරණ මර්දනයකට ඉලක්ක වී ඇති බව පෙන්විය යුතු ය. බොරුකාරයන්ට එය ඔප්පු කිරීම ලෙහෙසි නැත. මේ සම්බන්ධ මගේ පෞද්ගලික අත්දැකීමක් තිබේ. එකල අපි හිරු පුවත්පත මහත් දුෂ්කර තත්වයන් යටතේ මාසිකව පවත්වාගෙන යමින් සිටියෙමු. අපගේ දේශපාලන කණ්ඩායමට සම්බන්ධව සිටි පල්ලියෙන් නෙරපා හරින ලද කතෝලික පූජකවරයකුට සිය සොයුරියගේ රස්තියාදුකාර පුතා මෙසේ විදේශ රටක දේශපාලන රැකවරණ සඳහා යැවීමට ඕනෑ විය. ඒ වෙනුවෙන් හිරු පුවත්පතේ කර්තෘ රෝහිත භාෂණ විසින් ව්‍යාජ හිරු පුවත්පතක් සැලසුම් කරන ලදී. එහි මුල් පිටුවේ උද්ඝෝෂණයක ඡායාරූපයක් පළ කරන ලදී. එම ඡායාරූපය කොළඹ පැවති සත්‍ය උද්ඝෝෂණයක ඡායාරූපයක් තුළට, එම උද්ඝෝෂණයට සම්බන්ධ නො වූ ඉහත කී පුද්ගලයා ෆොටෝෂොප් මගින් ඇතුළු කර සකස් කරන ලද්දකි. මා මෙය විවෘතව කියන්නේ මෑතදී පවා මෙම කණ්ඩායමේ සිටි එක්තරා පුද්ගලයකු මෙම පුවත්පතේ උත්තරීතරකම ගැන පම්පෝරි ගසමින් මට අවලාදයක් නැගූ හෙයිනි.

පසු කලෙක මෙම දේශපාලන කණ්ඩායමේ වැඩි දෙනෙක් විවිධ උප්පරවැට්ටි භාවිතා කරමින් යුරෝපා රටවලට සංක්‍රමණය වූ හ. ඒ අතරට ඉහත පූජකවරයා හා රෝහිත භාෂණ ද ඇතුළත් වූ හ. මෙම කණ්ඩායමේ තවත් අයෙකු දේශපාලනයෙන් අයින් වී යුරෝපයේ ස්ථාවර පදිංචිය ලබා ගැනීමට උත්සාහ කර අසාර්ථක වූ පසු, යළි දේශපාලනයට සම්බන්ධ වී වෙබ් අඩවියක් ආරම්භ කර, එයට තර්ජන ඇති බවට ව්‍යාජයක් මවා පා, එම වෙබ් අඩවිය වසා දමා, දේශපාලන රැකවරණ ලබා ගනිමින් ස්විට්සර්ලන්තයට පැන ගත්තේ ය. මේවාට සම්බන්ධ ඇතැම් පුද්ගලයන් ඉතා ප්‍රසිද්ධ ප්‍රභූ චරිත වන බැවින් මා ඒ ගැන දැනට ඊට වඩා විස්තර ලියන්නේ නැත. මෙවැනි කතා තව රැසක් මා සතුව ඇත. සිංහල වාමාංශික දේශපාලන වීරයන් ගැන ඒ කතා සියල්ල කීවොත් බල්ලන් බත් කන්නේ ද නැත.

තවත් එක් කතාවක් කියමි. මෙම කණ්ඩායම විසින් පසු කලෙක වීඩියෝවක් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලබා දෙන ලදී. එහි වගකීම ඔවුහු ප්‍රසිද්ධියේ භාර ගත් හ. ඒ අන් කිසිවකට නොව අවුරුදු ගණනාවකට වීසා ප්‍රශ්න හා ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ය. තරුණයන් පිරිසකට වෙඩි තබන දර්ශනයක් වූ එම වීඩියෝව රූපගත කළ හමුදා සෙබළකු විය හැකි ඇත්ත පුද්ගලයා ඇතැම් විට තර්ජනයට ලක් වන්නට ඇත. එහෙත් එම වීඩියෝව වෙනත් පිරිසක් විසින් විකුණාගෙන කන ලදී. 

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් රැඩිකල් අතිවාමාංශික ස්ථාවර ගත් හා දැනටත් ගනිමින් සිටින පුද්ගලයන් වැඩි දෙනෙකුගේ උන්නතිකාමී පෞද්ගලික සැලසුම්වල මෙවැනි පටු අරමුණු ඇති බව මම විවෘතව ම කියමි. විශේෂයෙන් ම, මර්දනයක් නැති, මහ පොළවේ ස්වයං නිර්ණය සම්බන්ධ අරගලයක් ද නැති සංදර්භය තුළ අලුතෙන් ස්වයං නිර්ණ වීරයන් පිරිසක් බිහි වීම පසුපස ඇත්තේ මෙවැනි පටු අරමුණු ය. හිරු කණ්ඩායම වීසා නිසා පරිහාණියට පත් වන්නට පෙර, දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් අවංක, පරිත්‍යාගශීලී අරගලයක් කළ බව රෝහිත භාෂණ වැනි අයගේ මුල් යුගයේ දේශපාලන අවංකභාවය සම්බන්ධයෙන් ගෞරවයෙන් පවසමි. දැන් ස්වයං නිර්ණ අයිතිය සම්බන්ධයෙන් වීරයන් වීමට උත්සාහ කරන ඇතැම් කට්ටිය ඒ කාලයේත් සිටිය හ. ඒ වුණාට අල්ප මාත්‍රයකින් හෝ ඒ වැඩවලට උදව් කළේ නැත.

මගේ මෙම අත්දැකීම මා සටහන් කළේ දෙමළ ඩයස්පෝරාවේ හා එයින් යැපෙන සිංහල කල්ලි ආදියේ ඇත්ත ගැන සාක්ෂි ලෙසයි. මේ ගැන නො දත් මෝඩ නිලධාරීන් කරන බොරු වීර රංගන හා ඒවාට උඩගෙඩි දෙන අය ලබා දෙන්නේ ඉතා පහසු උඩ පන්දු බව ඔවුන් දන්නේ ද නැත.

දෙමළ ඩයස්පෝරාවට සිය ආර්ථික අරමුණු වෙනුවෙන් තවත් දෙයක් අවශ්‍ය ය. ඒ වනාහි ලංකාවේ සිවිල් යුද්ධයක්, ගැටුමක් හෝ අර්බුදයක් ඇති කර ගැනීමයි. ඒ වෙනුවෙන් කළ හැකි හොඳම දෙය හමුදාව හා පොලිසිය කුපිත කිරීමයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ ග්‍රීස් යකුන්ගේ කතාවක් නිර්මානය කරගෙන මෙය කළ ආකාරය මතක ද?

හමුදාව හා පොලිසිය කුපිත කිරීම ගරිල්ලන්ගේ එදා සිට ම තිබුණු උපායකි. තමන්ට සම්බන්ධකම් නැති ගමක පාරක් අයිනේ සැඟව සිට හමුදාවට ප්‍රහාරයක් එල්ල කළ විට හමුදාව කරන්නේ ඒ ගමට කඩා පැන ගම්වැසියන්ට පහර දී ඇතැම් විට මරා දැමීමයි. එවිට එම සිද්ධිය පිළිබඳ ගරිල්ලන්ට පක්ෂ අය, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් හා මාධ්‍ය විසින් හුවා දක්වනු ලැබේ. ඒ මගින් නිර්මානය කරනු ලබන සමාජ අනුකම්පාව මුදල් බවට පත් වී ගරිල්ලා සංවිධාන, දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය ආදිය වෙත ගලා යයි. අනෙක් පාර්ශ්වයට ද වාසි ඇත. මෙමගින් නිර්මානය කරනු ලබන්නේ විෂම චක්‍රයකි.

මෙය තේරුම් ගැනීමට තවත් උදාහරණයක් දැක්විය හැකි ය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙයවන පෙසප හා ජවිපෙ සතියක් ගානේ කුමන හෝ හේතුවක් මත විශ්වවිද්‍යාල සිසුන් වීදි බස්සන්නේ ඇයි? එම සිසුන් අතර සිටින ළහිරු වීරසේකර වැනි දේශපාලන ක්‍රියාකාරිකයන් හැම විට ම ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නේ ඇයි? ඔවුන්ට අවශ්‍ය පොලිසිය හා හමුදාව කුපිත කර ගැනීමයි. රතුපස්වලදී ද මෙය සිදු විය. එසේ කුපිත කර ගත් විට බොහෝ විට හමුදාව, පොලිසිය අතින් මිය යන්නේ අතට අසු වන අහිංසකයන් ය. එවිට එය ආණ්ඩුවට එරෙහිව පාවිච්චි කළ හැකි මෙවලමක් වේ. රාජපක්ෂ ආණ්ඩුව එපා වී සිටි අප පවා එම මෙවලම පාවිච්චි කළෙමු. දේශපාලනය එහෙම තමා ය. (හැබැයි එම සිද්ධිය නිර්මානය කිරීමට හා මිනිසුන් මරණයට යොමු කිරීමට අප සම්බන්ධ වූයේ නැත.)

ළහිරු වීරසේකර අභිමුව ලංකාවේ පොලිසිය විසින් පසුගිය කාලයේ දක්වන ලද වෘත්තිකභාවය ඉතා වැදගත් ය. කිසිම මරණයක් සිදු නො විය යුතු බවට ද, එසේ සිදු වුවහොත් එයට වගකිව යුතු අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ඇති බව ද රජයේ ප්‍රධානීන් පොලිසියට සන්නිවේදනය කර තිබීම මෙම තත්වයට හේතුවයි.

ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් බුද්ධිමත් වෘත්තිකයන් විය යුතු ය. ඊනියා මිනීමරු සෝබනයට පශ්චාත් යුද සමයේදී කළ හැකි කැකිරි ගෙඩියක් නැත. මෝඩ සිංහල ජාතිවාදීන් චූන් කිරීමෙන් තමන්ට හෝ රටට කිසිදු සෙතක් අත් වන්නේ නැත. මෝඩ සිංහල අන්ත ජාතිවාදය යනු දෙමළ ජාතිවාදයේ ම නිවුන් සොහොයුරා ය.

මෙම බ්‍රිගේඩියර්වරයා වහාම රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා ආරක්ෂක කළමනාකරණය පිළිබඳ පුහුණුවකට යැවිය යුතු ය. ඔහු ලංකාවේ නීතියෙහි මූලික දේ දැන ගත යුතු ය. ඔහු කටයුතු කළ යුතුව තිබුණේ මෙසේ නො වේ. කොටින් ම ඔහුගේ අසංවර හැසිරීම උද්ඝෝෂකයන්ගේ අතට ම දුන් ඉතා පහසු උඩ පන්දුවක් බව ඔහු සහ ඔහු වැනි අනෙක් අය දැන්වත් දැන ගත යුතු ය. එම උද්ඝෝෂණය පිළිබඳ සාමාන්‍ය අන්දමින් කටයුතු කළා නම් අඩු ගානේ මෙය වාර්තා වන්නේවත් නැත. දැන් ඉතින් ගලේ පැහැරුවාට පසු බෙට්ට වහන්නට ගලට බෝර දමන්නට සිදු වේ. 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)