ඡන්දෙ දෙන්නෙ කාට ද?

මට කිසිදු දේශපාලන පක්ෂයක් සමග බැඳීමක් නැත. එහෙයින් ඡන්දයේදී අහවල් පක්ෂයට ඡන්දය දෙන්නැයි කියන්නට මට අවශ්‍යතාවක් නැත. මා මෙම ඡන්දයේදී ඡන්දය වර්ජනය කරන්නේ හෝ කිසිදු දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන්නේ හෝ නැත. මෙය ගමේ ඡන්දයකි. මා දන්නා ගමේ ආණ්ඩුවට පත් වීමට සුදුසු මිනිසුන් හා විශේෂයෙන් කාන්තාවන් කීපදෙනෙකු ස්වාධීන කණ්ඩායමකින් තරග කරන අතර ඉන් එක් අයෙකු ඉන්නේ මගේ නිවස ඉදිරිපිටයි. එවැනි කාරණා අමතක කර ඡන්දය දෙන්නට තරම් මට කිසිදු පක්ෂයක් වැදගත් නැත.

මෙම මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ අතරින් මේ මොහොතේ රටට වැදගත් පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. එහෙත්, එහි නායකයා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයන්ගේ ඍජු සහචරයකු වන අතර එම අවමානය මත මේ වන විට ඇත්තට ම ඔහු ඉල්ලා අස් වී තිබිය යුතු ය. එක්සත් ජාතික පක්ෂය මෙම පුද්ගලයා නායකත්වයෙන් නෙරපා දැමිය යුතු ය. එහෙත්, ඒ සඳහා එම පක්ෂයට ශක්තියක් නැත. එය මහත් අවාසනාවකි. එහි ප්‍ර‍තිඵලය ලෙස එක්සත් පක්ෂය එක් පුද්ගලයකුගේ උද්ධච්ඡ මෝඩකමට යට වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය යනු අද වන විට එහි නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටවත් ෂුවර් නැති පක්ෂයකි. කොටින් ම පක්ෂ නායකයා පවා ලංකාවේ කාටවත් ෂුවර් නැත. ඔහුට වුව ඔහු ෂුවර් නැති නම් පුදුම විය යුතු නැත.

පොදුජන පෙරමුණ යනු රාජපක්ෂ පවුලේ හා සහචරයන්ගේ පක්ෂයයි. එහි පැවැත්මේ මූලික අවශ්‍යතාව රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ සහචරයන් විසින් කරන ලද වංචා, දූෂණ, අපරාධ ආදියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වා ගැනීමයි. ඒ වෙනුවෙන් ඕනෑම පසුගාමිත්වයක් සමග එකතු වීමට කැමති මෙම පක්ෂයට ඉඩ දීම රටට හානියකි.

ජවිපෙ යනු දූෂණයට හරි අවස්ථාවක් නො ලැබුණු නිසා පක්ෂයක් ලෙස දූෂණ විරෝධය ගැන මහ ලොකුවට කතා කරන පක්ෂයකි. එහෙත්, මෙම පක්ෂයේ සිටි අය එයින් ඉවත් වූ පසු දූෂණයේ යෙදී ඇති ආකාරය අනුව ඉතා පැහැදිලිව ම කිව හැකි දෙයක් වන්නේ මෙහි සිටින අය ද අනෙක් පක්ෂවල අයට නො දෙවෙනි බවයි. අනෙක් පැත්තෙන්, ඉතිහාසයේ හැමදාමත් ආසන කීපයක් රත් කරමින් මාධ්‍යවලින් හැම එකට ම විරුද්ධ වෙමින් සිටින පක්ෂයකින් ඇති ප්‍රයෝජනය සීමිත ය. මේ විදියට නම් සම්ම ජාතියේ රාජ්‍ය බලයට පත් නො වන ජවිපෙ සම්බන්ධයෙන් මට කිසිදු උනන්දුවක් නැත. ජවිපෙට මෙම මැතිවරණයේදී සභාවක් දිනා ගැනීමට තබා කොට්ඨාසයක් දිනා ගැනීම වුව අසීරු ය. ඔවුන්ට යම් ආසන සංඛ්‍යාවක් සමානුපාතික ලැයිස්තුවෙන් ලැබෙනු ඇත.

ඡන්දය වර්ජනය කරන බව කියන අය ඡන්දය දාන්නට නො එන මිනිසුන් තමන්ගේ ගිනුමට දාගන්නට බලන් සිටියාට මෙම මැතිවරණයේදී ඡන්දය ප්‍ර‍කාශයට පක් කිරීමේ සැලකිය යුතු අඩුවක් සිදු වෙතැයි මම නො සිතමි.

මැතිවරණ ප්‍ර‍තිඵල ගැන විවිධ පුරෝකථන සිදු වෙමින් තිබේ. ඒ පුරෝකථන ගැන මට නම් කීමට ඇත්තේ ඒවා සිදු වන්නේ තම තමන්ගේ පක්ෂපාතිත්වය අනුව බවයි. එහෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ මෙම මැතිවරණය ජය ගන්නා බවට කිසිදු පුරෝකථනයක් නැති බව ද දක්නට ඇත. අවසාන තරගය ඇත්තේ එක්සත් ජාතික පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //මා මෙම ඡන්දයේදී ඡන්දය වර්ජනය කරන්නේ හෝ කිසිදු දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන්නේ හෝ නැත. //

    කෙලින්ම චන්දය කටුගානවා කිව්වනම් ඉවරනේ පැරා, චන්දය වර්ජනය කරන්නේ නෑ කියන්නේ චන්දයට යනවා කියන දෙයයි , "කිසිදු දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන්නේ හෝ නැත. " කියන්නේ චන්දය කටුගානවා කියන දේ ඇර වෙන මොනවද ?

    //ජවිපෙ යනු දූෂණයට හරි අවස්ථාවක් නො ලැබුණු නිසා පක්ෂයක් ලෙස දූෂණ විරෝධය ගැන මහ ලොකුවට කතා කරන පක්ෂයකි. එහෙත්, මෙම පක්ෂයේ සිටි අය එයින් ඉවත් වූ පසු දූෂණයේ යෙදී ඇති ආකාරය අනුව ඉතා පැහැදිලිව ම කිව හැකි දෙයක් වන්නේ මෙහි සිටින අය ද අනෙක් පක්ෂවල අයට නො දෙවෙනි බවයි.//

    මේකටනම් 200% එකගයි !!

    //පොදුජන පෙරමුණ යනු රාජපක්ෂ පවුලේ හා සහචරයන්ගේ පක්ෂයයි.
    එහි පැවැත්මේ මූලික අවශ්‍යතාව රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ සහචරයන් විසින් කරන ලද වංචා, දූෂණ, අපරාධ ආදියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වා ගැනීමයි.//

    දැන් පැරා රාජපක්ෂ පවුලේ කවුද වංචා දුෂණ වලට මෙතෙක් වරදකරු උනේ ? වසර 3ක් තිස්සේ මේ ආණ්ඩුව පොල් ගානවද පොදුජන වියාපාර පොල් ගානවද ?

    මටනම් හිතන්නේ දුෂණ වංචා කොයි ආණ්ඩුව හිටියත් කරන දේවල් කියල අපි චන්දය දෙන්න ඕනේ සමස්ත හානිය අවම කවුද කියල බලල, රනිල් චන්ද්‍රිකා කියන්නේ මේ රට වසර 30ට වඩා පාලනය කිරීමට දායක උන උදවියයි ඔවුන් වසර 3 කින් ඉවරකල හැකිව තිබු යුද්දය වසර 30ට ඇදගෙන ගියා, මහින්ද මොන දුෂණ කලත් මේ යුද්දය ඉවර කළා විතරක් නෙමෙයි සුද්දාගෙන් පසු කළහැකි විශාලම සංවර්දනය කළා. රනිල් බලයට ඇවිල්ල මහින්ද ලබාගත්ත ණයට ආසන්න ණය මුදලක් ලබාගෙන කිසිදු සැලකියයුතු යමක් නොකළ වකවානුවකයි මේ සිටින්නේ.

    මගේ තර්කය මෙච්චරයි, මහින්දගේ "පොදුජන පෙරමුණ " ට බලය ලැබෙනවා කියන්නේ මයිත්‍රී පාලට තදබල පීඩනයක් එල්ලවෙනවා කියන දෙයයි එම තදබල පීඩනය නිසා

    //එක්සත් ජාතික පක්ෂය මෙම පුද්ගලයා නායකත්වයෙන් නෙරපා දැමිය යුතු ය. එහෙත්, ඒ සඳහා එම පක්ෂයට ශක්තියක් නැත. එය මහත් අවාසනාවකි. එහි ප්‍ර‍තිඵලය ලෙස එක්සත් පක්ෂය එක් පුද්ගලයකුගේ උද්ධච්ඡ මෝඩකමට යට වී ඇත. //

    එක්සත් ජාතික පක්ෂයේ උද්ධච්ඡ මෝඩකම පාලනය කිරීමට සිරිසේන පෙලබෙනු ඇති මොකද ඔහු රනිල්ගේ ගේ වැඩපිළිවෙල අනුමත කරනවා කියන්නේ මහින්ද පිල බලවත් වෙනවා කියන දෙයයි. මහින්ද බලවත් වෙනවා කියන්නේ තම ජනපති කමට කෙලවෙනවා කියන දෙයයි.

    ඔබට මතක ඇති මම කලින් යහපාලනයට චන්දය දුන්න මට අතීතයට යන්න පුළුවන් නම් මම නැවත කරන්නේ යහපාලනයට චන්දය දෙන එකයි, නමුත් මේ අවස්ථාවේ මම පොහොට්ටුවට චන්දය දෙන්නේ හරියට චෙස් ක්‍රීඩාව කරන කෙනෙකුගේ මානසිකත්වයන්. මේ විදියට දේසපාලුවන් බෙදා වෙන්කළ විටයි ජනතාව වන අපට යම් වාසියක් වෙන්නේ.

    ReplyDelete
  2. "කිසිදු දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන්නේ හෝ නැත. " කියන්නේ චන්දය කටුගානවා කියන දේ ඇර වෙන මොනවද ?


    මම ඡන්දෙ දෙන්නෙ ස්වාධීන කණ්ඩායමකට.

    ReplyDelete
  3. එතකොට පැරා දෙන්නේ සිරිල් අයියාටද?

    ReplyDelete
  4. ඔව් චන්දය නොදෙනවට වඩා " ස්වාධීන කණ්ඩායමකට" දෙන එක හොදයි, නව චාන්ද ක්‍රමය ගැන මගේ අවබෝදය බින්දුවයි, ස්වාදීන කණ්ඩායමක එක පුද්ගලයකුට හෝ තේරී පත්වීමට කොතරම් සම්බාවිතාවක් තියනවද පැරා, ඔබට මේ ගැන දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. ප්‍රබල ස්වාධීන කණ්ඩායම් මේ ඡන්දෙදි වැදගත් සාධකයක්. ඒ ගැන කවුරුවත් කතා කරන්නෙ නැහැ. ඒවායින් මැතිවරණවලට ඉදිරිපත් වෙලා තියෙන ඇතැම් අය දේශපාලනයේ පරිණත සමාජ නායකයන්. ඔවුන්ට ඡන්දය දෙන්නට මිනිසුන් පොළඹවන්නෙ ඔවුන්ගෙ පෞරුෂය. ඇතැම් විට ඒක දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්ට වඩා ශක්තිමත් පෞරුෂයක්. මේ ඡන්දෙදි සෑහෙන ස්වාධීන අපේක්ෂකයන් පිරිසක් පත් වන්නට ඉඩ තිබෙනවා.

      Delete
  5. රනිල් වික්‍රමසිංහගේ උද්දච්ච කමට යුඑන්පියට මෙවර ගෙවන්න වෙන වන්දිය ඇති විශාලය.

    ReplyDelete
  6. ඔබ කියනව මේ අවස්ථාවේ රටට වැදගත් පක්ෂය එක්සත් ජාතික පක්ෂය කියල. එහෙම කියන්නෙ කොහොමද මොකක්ද නිර්නායකය. මේක ප්‍රාදේශීය සභා මැතිවරණය බලයේ ඉන්න පක්ෂය මේකට වැදගත් වන්නේ නෑ. ඊලගට ඔබ කියනව තව බොරැවක් ගේ ඉස්සරහ ඉන්න කෙනාට ඡන්දෙ දෙනව කියල, නෑ ඔබ ඡන්දෙ දෙන්නේ එක්සත් ජාතික පක්ෂයට, අවංක වෙන්ඩ බොරැ එපා. ජ.විපෙ. ගැන කතාවනම් කුහක කතාවක් ජ.වි.පෙන් ගිය අය ගැන කියනව ඉන්න අය ගැන කියන්නෙ නෑ, අපි බලන්නේ සාපේක්ෂව හොද පක්ෂය, හොදම පක්ෂ හොයන්ඩ නෑ, අවංක වෙන්ඩ කුහක නොවී.

    ReplyDelete
    Replies
    1. මේ අවස්ථාවෙ රටට වැදගත් වෙන්නෙ රට සංවර්ධනය කරන්නට තිබෙන අවසාන අවස්ථාව වගේ දෙය පාවිච්චි කරන්නට දැක්මක් තියෙන පක්ෂයක් මිස හුදු හැම දෙයකට ම විරුද්ධ වෙන පක්ෂයක් නෙමෙයි.

      සාපේක්ෂව හොඳ පක්ෂය ගැන කතා කරනවා නම්, මේ අවස්ථාවේ සාපේක්ෂව ඉදිරිගාමී පක්ෂය එක්සත් ජාතික පක්ෂය. ඒක කියන්නට මම නම් බය නැහැ. එහි ගැටලුව තියෙන්නේ නායකත්වයේ. ඒ ප්‍රශ්නය නැතිනම් මම එජාපයට ඡන්දය දෙනවා.

      ජවිපෙ කියන්නෙ දේශපාලනික ඇදහිලි කල්ලියක්. ඒක ගැන හැදෑරීමක් තියෙන කෙනෙකු වශයෙන් මට ජවිපෙ ගැන අදහස වෙනස් කර ගන්නට තරම් කිසිම දෙයක් වෙලා නැහැ.

      අනෙක, මෙහෙම දේකුත් තියෙනවා. ජවිපෙට දීලා බලමු කියන එක 2004දි මේ රටේ ජනතාව දැනටමත් කරලා තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පත් වුණ ජවිපෙ අපේක්ෂකයන් සියලු දෙනා ජනතාව ඉහළ ම මනාපෙන් පාර්ලිමේන්තුවට පත් කළා. කොටින් ම කියනවා නම් අනුර බණ්ඩාරනායක පවා පසුබස්වමින් විජිත හේරත් හා එස්. අමරසිංහ පළමු, දෙවන තැන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගත්තා. ඊට පසුව පැවැත්වුණ පළාත් සභා මැතිවරණයේදී පළාත් සභා මන්ත්‍රීන් 100ක් විතර පත් කළා. ඒ ජන බලයෙන් ජවිපෙ මොනවද කළේ? වැඩිය ඕනැ නැහැ, ඒ මන්ත්‍රීවරුන් අතරින් කීදෙනෙකු තවමත් ජවිපෙ ඉන්නවා ද කියලා හොයලා බලන්න.

      Delete
    2. //මේ අවස්ථාවේ සාපේක්ෂව ඉදිරිගාමී පක්ෂය එක්සත් ජාතික පක්ෂය//

      මෙතන පැරා මේ කියන කතාව සමග මම එකගයි ඊට හේතුව මට මේ රජය සමග වැඩ කිරීමට පළමුවරට අවස්තාව ලැබුන, මෙතන මේ පවතින රජයේ යම් හෝ වැඩක් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් මෙතැනදී රනිල්ට විශාල විවේචන ආවත් ඔහු කරලා තියන එක හොදක් කියන්න ඕනේ ඒ තමයි ඔහු පත්කර ඇති සමහර අමාත්‍යංශ ලේකම් වරුන් ඉතා දක්ෂ උදවිය, මේය බැලිය යුත්තේ මයිත්‍රී පාලගේ ඇමතිවරුන්ගේ ලේකම් වරුන් ගැන සෙව්වහම මොකද බොහෝ මයිත්‍රී පාලගේ ඇමති වරුන්ගේ ලේකම් වරු ඉතා නුගත් මිනිසුන්.

      මෙහෙම සාදනිය දේවල් තියන රනිල්, වැඩි බලයක් ලැබෙන විට පිස්සු කෙලින්න පටන්ගන්නවා. මෙනිසා මේ තත්වය බැලන්ස් කිරීමට මයිත්‍රී පාලට පීඩනයක් ලැබෙන්න ඕනේ මේ පීඩනය ලබාදීමට තමයි මම පොහොට්ටුවට චන්දය දෙන්නේ.

      මෙතන පැරා පෙන්වාදෙන ස්වාදීන කණ්ඩායම් කතාව වැදගත් හැබැයි ඔවුන්ට ලැබෙන බලය ගැන කල් ඇතුව ත්ක්සේරුකිරිමට මට එතරම් දැනුමක් නෑ

      Delete
  7. මෙවර පොහොට්‍ටුවෙන් ඉදිරිපත්වන කිසිදු අපේක්ෂකයෙකුට තමන්ගේයැයි කියා පෙන්වීමට පිරිමි ඇඟක් නැත. ඔවුන් තමන්ගේ කටවුට්, බැනර්, පෝස්ටර් මගින් ප්‍රදර්ශනය කරනු ලබන්නේ මහින්දගේ පිරිමි ඇඟයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා