2018-02-11

මෙහෙම වුණේ ඇයි? ඩූ යූ නෝ වයි?

වට කරගෙන ඉන්න එවුන් ටිකත් එක්ක ම යන්න කල හරි දොරේ! 
මෙම සටහන තබන විටත් පළාත් පාලන මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් වෙමින් තිබෙන මුත්, නො නිල ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.

එම ජයග්‍රහණයේ සුවිශේෂ ලක්ෂණය වන්නේ සිංහල බෞද්ධ බහුතර ඡන්ද පදනම මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන එම දේශපාලන පක්ෂය විසින් හිමි කර ගැනීමයි. බලයේ සිටින පක්ෂ දෙක අතරින් එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු නො වූ පරාජයකට ඇද වැටී තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත අසරණ අඩියකට වැටී තිබේ.

මෙම මැතිවරණ ප්‍රතිඵලය ඉතා පැහැදිලිව ම 2015 ජනවාරි 08 ජයග්‍රහණය ආපසු හරවන හා එහි ආයුෂ කෙටි කරන එකක් බව පැහැදිලි ය. වත්මන් ආණ්ඩුවට මේ අන්දමින් 2020 දක්වා ඉදිරියට යන්නට ලැබෙන්නේ නැත.

එක්සත් ජාතික පක්ෂයේ පරාජය ලංකාවේ සමාජ සංවර්ධනයෙහි ලා බරපතල ගැටලුකාරී තත්වයක් නිර්මානය කරන්නකි. ලංකාවේ සමාජ ආර්ථික දිශානතිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට යම් දැක්මක් තිබිණි. කාර්යක්ෂම රාජ්‍ය නියාමනයක් සහිතව, පෞද්ගලික අංශයේ හා විදේශ ආයෝජනවල මූලිකත්වයෙන් සිදු වන ආර්ථික සංවර්ධනයක්, නියාමනයක් සහිත විවෘත වෙළඳපොළක් හා වඩා කාර්යක්ෂම රාජ්‍ය අංශයක් පිළිබඳ ඔවුන්ට දැක්මක් තිබිණි. එහෙත් එය ද දූෂිත ය.

රාජපක්ෂ පවුල් පාලනයේ ආර්ථික උපායමාර්ගය ද ඊට වඩා ගොඩක් වෙනස් එකක් නො වේ. එහි තිබුණු මූලික ලක්ෂණය විනයක් නැතිකමයි. රාජපක්ෂ පවුලේ අයගේ හා ඔවුන්ගේ සහචරයන්ගේ කොල්ලකාරී, පටු අරමුණු එහිදී මූලික විය.

මෙම පාලනයන් දෙකෙහි මූලික වෙනස ඇත්තේ ආර්ථික උපායමාර්ගය හෝ දූෂණය සම්බන්ධයෙන් නො වේ. රාජපක්ෂ පාලනය වනාහි ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති නැඹුරුවක් සහිත එකකි. දේශපාලන විරුද්ධවාදීන් ඝාතනයේ සිට, කප්පම් ගැනීම සඳහා මිනිසුන් පැහැර ගෙන යාම, බරපතල අපරාධකරුවන් ගංගාවල ගිල්වා මැරීම වැනි බොහෝ අවනීතික තත්වයන් එසමයෙහි රජ කළේ ය. දේශපාලකයන්ගේ, හමුදා පොලිසිවල හා රජයේ නිලධාරීන්ගේ පීඩනයට නිරන්තරයෙන් ලක් වන්නට මහජනතාවට සිදු විය.

2015 ජනවාරි 8දා බලයට පත් වූ එජාප-ශ්‍රීලනිප හවුල් පාලනය විසින් මෙම තත්වය තීරණාත්මක ලෙස වෙනස් කරන ලදී. ගත වූ වසර තුන තුළ රටෙහි ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ රැසක් සිදු වූ අතර, වඩා නිදහස් වාතාවරණයක් රට තුළ ඇති විය. එකදු දේශපාලන විරුද්ධවාදියකු හෝ මරා නො දමන ලද මෙතරම් දිගු කාලයක් මෑත ලංකා ඉතිහාසයේ කිසිදු කලෙක තිබුණු බවක් අපි නො දනිමු.

නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල යම් ශක්තිමත් වීමක් සිදු වූ අතර වත්මන් රජයේ දූෂණවලට එරෙහිව පවා නීතිය ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබේ. එහෙත්, ඒවායේ අඩුපාඩු එමට ය.

මේ අතර, රටේ ඇති වූ සාපේක්ෂ නිදහස් වාතාවරණය වාමාංශික පක්ෂ, රජයේ සේවකයන්, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන ආදිය විසින් අපහරණය කරන ලදී. මහජනතාව අපහසුතාවට පත් කරන වර්ජන, උද්ඝෝෂණ ආදිය පාලනය කිරීමේ කිසිදු උවමනාවක් ආණ්ඩුවට නො තිබිණි. මෙම තත්වයන් ඉතා සියුම් ලෙස රාජපක්ෂවාදීන් විසින් හසුරුවනු ලබන බව හෝ තේරුම් ගැනීමේ උවමනාවක් ඔවුන්ට නො තිබිණි.

කෙසේ වෙතත්, 2018 පෙබරවාරි 10 තීන්දුව ද 2015 ජනවාරි 08 තීන්දුව වැනි ම වූ එකකි. එය විසින් වත්මන් ආණ්ඩුවේ සදාචාරමය පැවැත්ම තීරණය කර තිබේ.

මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුවට එසේ වූයේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය. එතැනදී මෛත්‍රී යනු කෘත්‍රිමව නිර්මානය කරන ලද නායකයකු බැවින් ඔහුට හා ඔහුගේ පක්ෂයට අත් වූ ඉරණම බලාපොරොත්තු විය හැකි තත්වයකි. එහෙත් එජාපයට එසේ වූයේ ඇයි ද යන්න සාකච්ඡා කළ යුතු ය. 

එජාපයේ නායකත්වයේ සිට සංවිධායකවරුන් හා පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් දක්වා බොහෝ දෙනෙකු සිතාගෙන සිටියේ තමන් මෙම මැතිවරණය ජය ගනු ඇතැයි කියා ය. ඔවුන්ට තමන් ජයග්‍රහණය කරවූ බලවේගය අමතක විය. අලුත පහළ වූ සල්ලි මාධ්‍ය හා ප්‍රචාරක ආයතනවලට විසි කිරීමෙන් හා ප්‍රතිවාදීන් සමග හොර ඩීල් දැමීමෙන් ජය තහවුරු කර ගත හැකි යයි ඔවුහු විශ්වාස කළ හ. 

බිම් මට්ටමේ ඔවුන්ට සිටියේ දක්ෂ සංවිධායකයන් නො වේ. ඔවුන් දේශපාලනයේ ද අපරිණතයෝ ය. උදාහරණයක් ලෙස, මා ජීවත් වන මතුගම ආසනයේ සංවිධායක ධුරය හොබවන්නේ ගිනි පොළී ජාවාරමෙන් ධනවතකු වූ ජගත් පී. විතානයි. නිර්දය ලෙස ප්‍රදේශවාසීන් සූරා කෑමෙන් ම ධනතවතකු වූ, ගෞරවනීය නමක් නැති අයෙකුට සල්ලි විසි කිරීමෙන් (ඇත්තට ම ඔවුන් එසේ වියදම් කරන්නේ ද නැත) පමණක් කරන්නට පුළුවන් තරම මෙම මැතිවරණයෙන් ඔප්පු විය. ඔහුට අඩු ගණනේ ඔහුගේ ගමේ කොට්ඨාසයවත් දිනා ගැනීමට බැරි විය. මතුගම ආසනයේ එජාපය දිනා ගත් කොට්ඨාස දිනා ගත හැකි වූයේ සුළු ජාතික දෙමළ හා මුස්ලිම් ඡන්ද නිසා ය. මතුගම වැසියන්ගේ අවාසනාවේ ගැඹුර වන්නේ මෙතැනට බැල්ම දාගෙන සිටින අනෙකා පාලිත තෙවරප්පෙරුම වීමයි. 

රනිල් වික්‍රමසිංහගේ සිට පහළට එජාප නායකයන් පසුගිය සමයේ හැසිරුණේ උද්ධච්ඡ මෝඩයන් පිරිසක් ලෙසයි. ඔවුන් පසුපස ගොස් තනතුරු ලබා ගත් බැලයන් කිසිවෙකුට මෙය පෙන්වා දීමේ අවශ්‍යතාව ද නො තිබිණි. අලුත් ධනෝපායන මාර්ග, විදේශ සංචාර අවස්ථා ආදිය භුක්ති විඳිමින් ඔවුන් සිටියේ මාර සතුටිනි. හැබැයි දිය සැළියේ ලිපි ගිනි මොළවන තෙක් සතුටින් පීන පීනා සිටින කකුළුවන් සේ ය. 2015 ජනවාරි 8 හා ඉන් පසුව මහ මැතිවරණයේදී පවා ඔවුන්ට උපකාර කළ පුරවැසි බලවේගය ඔවුහු හිතාමතා ම බැහැර කළ හ. එසේ කරමින් ලෝක තක්කඩින් හයියෙන් හයියෙන් බදා ගත් හ.

මේ ගෙවන්නේ ඔය කාරණා සියල්ලේ වන්දියයි. එහෙත්, අවාසනාවන්ත තත්වය වන්නේ ඒ වන්දිය අවසාන වශයෙන් ගෙවන්නේ රටේ සමාජ වෙනසක් සැබැවින් අපේක්ෂා කළ ජනතාවක් වීමයි. 

ජනතාව නැවත ඉල්ලා සිටින්නේ ඒකාධිපතිවාදය, සමාජය බෙදා වෙන් කිරීම, දූෂණය, මර්දනය හා ප්‍රජාතන්ත්‍ර විරෝධය යයි මෙම ප්‍රතිඵලය සමග ඇතැම් විට රාජපක්ෂලා සිතනවා ඇත. එහෙත්, මෙම මැතිවරණ ප්‍රතිඵලය එසේ විග්‍රහ කර නො ගත යුතු ය. මේ සිදු වූයේ විරෝධයේ හා කලකිරීමක ප්‍රකාශනයයි. තවමත් වැරදි නිවැරදි කර ගන්නට කාලය නැත්තේ නැත. එහෙත්, ගිය නුවණ ආපසු අදින එක ලෙහෙසි නැත.

පුරවැසියන් ලෙස අප ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සාමය, සංවර්ධනය හා සමාජ වෙනස සම්බන්ධයෙන් වූ අරගලය කිසි සේත් ම අත හැරිය යුතු නැත. මේ පරාජය අලුත් ජවයක අවශ්‍යතාවේ ප්‍රකාශනයක් ලෙස විග්‍රහ කර ගත යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.