ජනාධිපතිතුමාට ඩෝං යාමෙන් ආණ්ඩුවේ හුළං යයි ද?

Divaina.com
ජනාධිපතිතුමාට කැබිනට් මණ්ඩලයේදී කේන්ති ගොස් හෙවත් ඩෝං ගොස් හෙවත් මළ පැන ඇති බව මාධ්‍යවල වාර්තා විය.

මළ පැනීම මිනිස් ගතියකි. ඉවසීම ජනාධිපති ගතියකි. එක්සත් ජාතික පක්ෂයේ පිහිටෙන් බලයට පැමිණ, එක්සත් ජාතික පක්ෂය සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවා ගත් ජනාධිපතිවරයා නියම නායකයකු ලෙස අගමැතිවරයා සමග සුහදව කතා බහ කර විසඳා ගත යුතු දේවල් මාධ්‍ය සංදර්ශන කර ගත යුතු නැත.

එක අතකට මෙම මාධ්‍ය සංදර්ශනය ද කතා කරගෙන කරන දෙයක් වන්නට ද පුළුවන. එක පැත්තකින් එයින් එක්සත් ජාතික පක්ෂයේ මොරාල් එක නැංවෙයි. එවිට යූඇන්පීකාරයෝ පණ ගසා පක්ෂෙට වැඩ කරනු ඇත. අනෙක් පැත්තෙන්, පොදු ජන පෙරමුණේ අය මෙයින් තවත් අවුල් වෙනවා ය. දැනටත් පොදු ජන පෙරමුණට අරමුණක් නැත. රාජපක්ෂ පවුලේ අරමුණ වන කෙසේ හෝ නඩුවලින් ෂේප් වීම සමග මෛත්‍රී යටතේ අගමැති වීම වුව පෑහෙන්නට පුළුවන. එහෙත්, එය පොදු ජන පෙරමුණේ අරමුණ ද යන්න පැහැදිලි නැත.

මේ විදියට එකට ගමනක් නැතැයි කියන ගමන් ම තමන් ගුණමකුවකු නො වන බව ද ජනාධිපති පවසා තිබේ. ඔහුට විරුද්ධව නැගෙන සුප්‍රකට ආප්ප චෝදනාව සාධාරණ එකකැයි අපි නො සිතමු. පොළොන්නරුවේ ග්‍රාමසේවකවරයකු වූ ඔහු ඉදිරියට ආවේ රාජපක්ෂලාගේ උපකාරවලට වඩා බණ්ඩාරනායකලාගේ උදව්වෙනි. එහෙත්, එම ආප්ප චෝදනාව නිසා ඔහු ගුණමකුවෙකි ය යන අවලාදය ඔහුට එල්ල වේ.

එජාපයේ කුමන වරද තිබුණත්, ඔහු තමන් ඉහළට නගින්නට පාවිච්චි කළ ඉණිමග වූ එජාපයට පහර දීමත් සමග ම ඔහු අනෙක් පාර්ශ්වයෙන් ද ගුණමකු චෝදනාවක් අසා ගන්නවා සිකුරු ය. ඔහු ශ්‍රීලනිපය තුළ හෝ ශ්‍රීලනිප ඡන්ද පදනම තුළ හෝ ජනප්‍රිය නැති බව ද, ඔහුගේ ජනප්‍රියත්වය පදනම් වූයේ එජාපය හා සිවිල් සමාජය තුළ බව ද අවබෝධ කර ගන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අසමත් විය.

ශ්‍රීලනිපයේ නායකත්වය භාරගැනීම ඔහු හසු වූ මාරාන්තික උගුලයි. ඒ උගුල විසින් ඔහුගේ සීමාවන් හෙළිදරව් කරන ලදී. ඒ සීමාවන් වනාහි නායකත්වයේ සීමාවන් වීම අතිශය කණගාටුදායක තත්වයකි.

ඔහු අසරණ කිරීමට හේතු වූ තවත් ප්‍රධාන කාරණයක් වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයයි. එය ද ජාඩියට මූඩිය වැනි ම වූ එකකි. හරිහමන් නායකයකු වූවා නම් අගමැති රනිල් වික්‍රමසිංහට මේවා වැඩි හරියක් ගොඩින් බේරා ගැනීමට තිබිණි.

උදාහරණයක් ලෙස මහ බැංකු බැඳුම්කර සිද්ධිය කිසි සේත් ම සිදු විය යුතු එකක් නො වී ය. සිදු වුණ වරද හැකි ඉක්මණින් නිවැරදි කළ හැකි විය. එහෙත්, එසේ නො කර, එය ජනාධිපති කොමිෂමක් දක්වා දුර ගෙන යන ලදී. මේ ජනාධිපති කොමිෂමෙනුත් නීතියෙන් යමක් කළ නො හැකි නම් එයින් ද වැඩක් නැත. අනෙක් පැත්තෙන් ජනාධිපතිවරයා එම කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීමක් භාර ගන්නා බවක් ද පෙනෙන්නට නැත. ඔහු කරන්නට යන්නේ නීතිපති මත තබා ඇඟ බේරා ගැනීමටයි. අභ්‍යන්තර වෙළඳාමක් හෙවත් ඉන්සයිඩර් ට්‍රේඩිං එකක් සිදු වී ඇති බව ඔප්පු කිරීමට සාක්ෂි නැතිනම් මෙම වාර්තාව ද පුස්ස බින්දාක් වැනි වනු ඇත.

සමස්තයක් ලෙස ගත් කල, සාකච්ඡා කර ප්‍රශ්න විසඳා ගන්නේ නැතුව මේ ආණ්ඩුවට ගමනක් නැත. මේ ගමන නො ගිහින් යන්නට වෙන ගමනක් ද නැත. ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත් කරන තැනට තල්ලු වුණහොත්, එය සිය දිවි නසා ගැනීමකට නො දෙවෙනි වනු ඇත. අනෙක් පැත්තෙන්, මේ වන විට මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය ද ශීඝ්‍රයෙන් පිරිහෙමින් තිබේ. මහින්දට මෛත්‍රීපාල සමග එකතු වුණත්, බහුතරය නැත. අනෙක් පැත්තෙන් මහින්ද රනිල් සමග එක් වීම පවා සිදු විය නො හැක්කක් නො වේ. ඒ වෙනුවෙන් මෛත්‍රීපාල පන්නා රනිල් ජනාධිපති කරවීම වුව විය හැකි දෙයකි. 

මහින්ද විසින් ප්‍රවර්ධනය කරනු ලබන ඊනියා එජාප විරෝධය මහින්දට වැදගත් දෙයක් නො වේ. රනිල් ද ඒ ජාතියේ ය. ඔවුන්ට පක්ෂ එතරම් වැදගත් නැත. එජාප විරෝධය කර ගසා ගැනීම මෛත්‍රී විසින් කරන ලද ලොකු ම වැරැද්දයි.

කෙසේ වෙතත්, ඔය දෙපාර්ශ්වයේ ම වගකීම වන්නේ පළාත් පාලන ඡන්දයෙන් පසු ඔය පටු වාද භේද ඉවත ලා යළි සමබරතාව ආරක්ෂා කරගෙන ඉදිරියට යාමයි. මේ අලකලංචිවලින් කවුරු බලාපොරොත්තු ඇති කර ගත්තත් අවසානයේ සිදු වන්නේ ඔය ටික ය. මන්ද, අනෙක් දේවල් හිතන්න ලේසි ය. කරන්න අමාරු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අවුරුදු 3කට කලින් කොහොම හිතුවත්, මම අද හිතනවා මෛත්‍රි ශ්‍රිලනිප නායකත්වය බාර ගැනීම තිබුනු ප්‍රායෝගිකම තෝරාගැනීම කියලා (හැබැයි වැඩේ පටන් ගනිද්දිම ලංසා, අරුන්දික, මුතුහෙට්ටි වගේ අපතයෝ කට්ට්ය හලලා ම වැඩේ පටන් ගන්න ඕන තරම් ඉඩ තිබුනා. ඒක වුනේ නැහැ ). තමන් සීන් එකෙන් අතුගෑවිලාම යන එක වලක්වා ගන්න එක මෛත්‍රි ට තිබුන මූලිකම අභියෝගය. ඒක ප්‍රැක්ටිකල් යහපාලන ප්‍රේමීන්ගෙත් අවශ්‍යතාවයක්. එතනදි මහින්ද යටපත් කරන එක වගේම රනිල්වත් තුලනය කරගෙන යන්න ඕන වෙන බව ඔහු නියමෙට පෙරදැක්කා. රනිල් ශුවර් නැති ජොකියා, හෙනම ඩීල් කාරයා. ඇත්තම කියනවානම් රාජපක්ශ හොර ගුහාව ආරක්ශා කරන්නේ රනිල්-සාගල ප්‍රමුක කට්ටියනේ. මේ අතරෙදි තමයි වාසනාවට හෝ අවාසනාවට රනිල්ව කොන්ට්‍රෝල් කරන්න නියම අවිය හම්බවුනේ - බැඳුම්කරේ. මම හිතන්නේ ඔය කේස් එකට රවී හැර එක යූ ඇන්පී නායකයෙක්වත් නීතිය ඉදිරියට ගෙන එන්නේ නැහැ. නමුත් මේ දීගය තියෙනකම් ඔය අවිය පාවිච්චි කරයි රනිල් ප්‍රමුක ඇණිය අන්ඩ කොන්ට්‍රෝල් තියාගන්න. ඒකත් නරකම නැහැ (රාජපක්ශගෙ කාලෙ ඔයවගේ ඒවා පාවිච්චි කලේ පලිගන්න, බ්ලැක්මේල් කරන්න නේ!) අර පැරා කියනවා වගේ මේකෙදි මේස චාරිත්‍ර බලා පොරොත්තු වෙන්න බැහැ.

    මෛත්‍රි ඔය රනවිරුවො, බ්‍රෙසියර් සීන් එක, කාන්තාවන්ගෙ මත්පැන් තහනම වගේ පොපියුලර් ඒවායින් කරන දේ (ඒවා වැරදි සහ අන්තිම පසුගාමී තමයි ) උනත් ඒකෙන් කරන්නෙ මහින්ද ඒවා පාවිච්චි කරන එක වලක්වන එක. මේ දවස්වල යන දැඩි එජාප විරෝධය උනත් මම නම් හිතන්නේ ශ්‍රී ලංකා කොටස් පොහොට්ටුවට යන එක වලක්වගන්න (අද දවසේ ප්‍රමුකතම කාර්යය!) කරන එකක්. මහින්ද ඇත්තටම හොල්මන් වෙලා (කාන්තා මත්පැන් කේස් එකේදි කියනවා මේක මංගලයි මෛත්‍රියි සෙට් වෙලා කරපු දෙයක් කියලා.)

    ඇත්තම කියනවානම් මෛත්‍රි ජන 8 පස්සෙ කරපු පලවෙනි කතාවේ කියපු දේවල් මම තාම හිතනවා කරයි කියලා. අඩු ගානේ ඒ කියපු දේවල් අත ඇරලා දාන්න තවම මට හිතෙන්නේ නැහැ. එක එක පසුගාමිත්වයන් පෙන්නුම් කලත් රිසල්ටන්ට් එක බලද්දි මට තාම හිතන්නේ ජන 8 අපි තවමත් දිනුම් කියලා. බැලූ බැල්මටම වුනත් ඔය ස්ට්‍රයික් රැලි වගේ ඒවා වුනත් ගොඩ දාන්නේ මෛත්‍රි මිසක් රනිල් ප්‍රමුක යූඇන්පිය නෙමෙයි. පලාත්පාලන චන්දෙ දි මගේ මූලික අරමුන මහින්දව අතුගාලා දමන එක ට උපරිමයෙන් කන්ට්‍රිබියුට් කරන එක. දෙවනුව රනිල්ගේ නායකත්වය අර්බුදයට යවන එක.

    මේ කොන්ටෙක්ස්ට්එ කෙ හොඳටම තේරුම් අරන් තියෙන එකම දේශපාලකයා මට පේන විදියට නම් රන්ජන් විතරයි (අපි දන්න උගත්, බුද්ධිමත්, ඩොක්ටරේට් තියෙන දේශපාලකයො එකෙක්වත් නෙවෙයි). එයා කෙලින්ම බැඳුම්කර හොරුන්ට ඇටෑක් කරනවා. තැනක කියලා තිබුනා අපි ගෙනාපු ජනාධිපතිව අපි රැක ගත යුතුයි වගේ එකක්. මේ වගේ සෙන්සිබල් දේශපාලකයො එක දහ දෙනක් හිටියනන්..

    - Dimithri

    ReplyDelete
  2. මේ ටික කියන්නෙ පුළුවන් සංවරවම භාෂාව පාවිච්චි කරල. ඔබ කිව්වා වගේම මයිත්‍රී ට අමතක උන වැදගත්ම දෙය ඔහු බලයට ආවෙ රනිල් පිහිටෙන් මිසක් නිදහස් පක්ෂයෙන් නෙමෙයි. මේව සාකච්චා කරල බේරගන්න පුළුවන් දේවල්. මයිත්‍රී හදන්නෙ අනුකම්පාව විකුනලා චන්දය දිනන්න. ගොඩක් වෙලාවට මහින්ද එයි මයිත්‍රී ගෙ දෑත් ශක්තිමත් කරල අගමැති වෙන්න. එතකොට වෙන්නෙ මහින්ද ගෙ අන්ත දුෂිත මිනිස්සුන්ට ආයෙමත් ඇමති පට්ටං ලැබිල නතර උන තැනින් ආයෙත් හම්බකරන්න. හැබැයි මයිත්‍රී ගෙ අනුකම්පාව මහින්දට නං ඇතිකරන්න පුළුවන් භුමිකම්පාවක්. ඔබ මේ කියන කිසිම දෙයක් මයිත්‍රී ට තේරුම් ගන්න බැරි එකනං ඔහුගේ මරිමෝඩ කම සහ දේශපාලනයේ බොළඳ කම ඔහුම ප්‍රදර්ශනය කරනව.
    ස්තුතියි.!

    ReplyDelete
    Replies
    1. "අන්ත දූෂිත" ලෙස ඔබ අදහස් කරන්නේ රුපියල් කීයට වඩා වැඩි වන්චා ද? ට්‍රිලියන 1 ට වඩා වැඩි ඒවා විය යුතුයි?

      Delete
    2. මෛත්‍රී බලයට ආවේ එජාප පිහිටෙන් වගේම කවදාවත් දිනන්න බැරිව හිටපු සුළුතර එජාපයට බලයක් නැතිවත් ආණ්ඩුවක් අටවල රනිල්ට අගමැති වෙන්න පිහිට වෙන්නේ මෛත්‍රී, ඒ නිසා ඒ ඩීල් එක සම්පුර්ණයි.
      මෛත්‍රී එජාපයට පිණට ආණ්ඩුවක් අටවල දීල, රාජ්‍ය බලය ලබා දීමෙන් පසුව පැවති අගෝස්තු ජන්දේදී රනිල් ප්‍රමුඛ එජාපයට ලබා ගන්න හැකි වුනේ ඉතා සුළු වැඩි ආසන ගණනක්. එහෙම ගන්නත් තමන් නායකයා වෙච්ච පක්ෂෙට ජන්දේ දෙන්න එපා කියල ප්‍රසිද්ධියේ කියල වක්‍රව රනිල්ට උදව් කලා. ඒත් රනිල්ට හරි ආකාරයේ ජයක් ලැබන්න බැරි වුනා.

      එජාපය මෛත්‍රීට දුන්නට වඩා ඉතා වැඩි යමක් මේ වෙද්දී මෛත්‍රී රනිල්ට දීල තියෙනවා. ඒ බව රනිල් දන්නා නිසා තමයි මෛත්‍රී ගැන ලේ කෝප වෙලා නටන එජාප කුක්කන්ව ශේප් කරන්නේ.

      Delete
    3. එතකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පළමු වතාවේ අගමැති වෙනකොට කොහොම බහුතරයක්ද තිබුණේ? පළමු සන්ධාන ආණ්ඩුවට කොච්චර බහුතරයක් හිමි වෙලා තිබුණද? ඒ වගේම එජාපය සුළුතරයක් නම් තිබුණේ කොහොමද විපක්ෂයේ ලොකුම පක්ෂය වුනේ? මෙතන යන්නේ වෙන ගේමක්. මෛත්‍රීට කවදාවත් එජාපය නැතිව තනියම ආණ්ඩුවක් පිහි‍ටුවා ගන්න බෑ. තනියම රට පාලනය කරනවා නම් එක්කෝ මෛත්‍රී ඒකාධිපති පාලකයෙක් වෙන්න ඕන. ඒක කවදාවත්ම බෑ, මොකද තියෙන ජාත්‍යන්තර සබඳතාවල තත්ත්වය පේනවනේ. එහෙම නැත්නම්, පොහොට්‍ටුවයි, ජවිපෙයි එක්ක සන්ධානයක් ගහන්න වෙනවා. ඒක කවදාවත්ම සාර්ථක වෙන්නෙ නෑ, මොකද ඒකෙන් වෙන්නේ මෛත්‍රීට ක්ෂණික විනාශයක්. අනික මොනවද ඔට්‍ටු, මෛත්‍රී ඔය බැඳුම්කර සිද්ධියෙන් වුනේ මොකක්ද කියලාවත් හරියට දන්නෙ නෑ. දන්නෙ පත්තරේ ගිය දෙයක් තමයි.කොටින්ම කිව්වොත් වාර්තාවවත් හරියට කියවලා තේරුම් ගන්න බෑ.

      Delete
  3. හිටපු ජනාධිපති මරා ගැන මා ලියූ සිව්පදයක් මෙසේ ය.

    වසවර්තියෙකු වුව ජනපති වෙනු පිණිස
    ඡන්දය ඉල්ලනා විට බෝසත්ය යස
    බෝසත් කෙනෙකු වුව ජනපති වූ විගස
    වසවර්තියා වැඩි හොඳ බව නැත කුකුස

    ඡන්දෙට කලින් මැති දුටු සඳ කුමක් වැනී
    කලකින් නුදුටු හිත මිතුරෙක් දැක්ක වැනී
    ඡන්දෙන් පසුව මැති දුටු සඳ කුමක් වැනී
    අළුගෝසුවා රෑ මැද හමුවුනා වැනී

    අහම්බෙන් ජනාධිපති වුණු විජේතුංග හැරුණුකොට අන් සියලු දෙනා පටන් ගත්තේ කෙලෙස වුවද නතර වූයේ ජනඝාතක දූෂිතයින් ලෙසයි.

    තමා ඔසවා තැබූ සමාජ බලවේග වලට විරුද්ධ වෙමින් අරඹා ඇති සිරිසේනගේ වෙනස්වීම අප්‍රියජනක අපුල අදමිටු එකක් නමුත් එහි දිශානතිය ජනඝාතක දූෂිත අන්තයක් කරා යොමු වී ඇති බවක් තවමත් නොපෙනේ. ඔහු ගමන් කරන්නේ ගොබ්බ අමන මරිමෝඩ අන්තය දෙස වීම දැඩි කනගාටුවට කරුණකි.

    ReplyDelete
    Replies
    1. නව ජනාධිපති දිවුරුම් දෙන දා ලියවුණු පැල් කවි - History may repeat

      http://rasikalogy.blogspot.com.au/2015/01/history-may-repeat.html

      !

      Delete
  4. //අභ්‍යන්තර වෙළඳාමක් හෙවත් ඉන්සයිඩර් ට්‍රේඩිං එකක් සිදු වී ඇති බව ඔප්පු කිරීමට සාක්ෂි නැතිනම් මෙම වාර්තාව ද පුස්ස බින්දාක් වැනි වනු ඇත. //

    //President’s Counsel Nihal Fernando, making a special statement today, said he would withdraw from representing Perpetual Treasuries Limited (PTL) at the conclusion of CEO Kasun Palisena giving evidence.

    Nihal Fernando PC had informed the Bond Commission last week that he would make a decision by Wednesday (6) on if he would continue to represent PTL after it was found that PTL had tampered with evidence submitted to the Commission.

    PTL Chief Dealer Nuwan Salgado informed the Bond Commission during hearings on September 4 that he was instructed by PTL CEO Kasun Palisena to delete call recording that may be ‘harmful to the company’.

    The tampered call recordings had been handed over to the Bond Commission on August 29 as evidence to be used to establish if Arjun Aloysius (or any other party) had divulged insider information to Perpetual Treasuries Limited.

    At yesterday’s hearing it was discovered that former Perpetual Treasuries director Arjun Aloysius had leaked sensitive, insider information on the February 27, 2015 bond auction to PTL CEO Kasun Palisena.//


    http://www.asianmirror.lk/news/item/25204-president-s-counsel-nihal-fernando-withdraws-from-representing-ptl-at-the-bond-commission

    https://goo.gl/saVQYh


    ඉන්සයිඩර් ට්‍රේඩිං කියන්නේ මේවා නෙමෙයි නම් මොනාද පැරා ?

    ReplyDelete
  5. සොරුන්ට සර්ව සාධාරණ නඩු විභාග අවශ්‍ය නැත.-අජිත් පැරකුම් ජයසිංහ-
    අභ්‍යන්තර වෙළඳාමක් හෙවත් ඉන්සයිඩර් ට්‍රේඩින් එකක් සිදුවී ඇති බව ඔප්පු වන්නේ නැතිනම් මේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පුස්ස බින්දාක් මෙන් වනු ඇත.-අජිත් පැරකුම් ජයසිංහ-
    කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න -අගමැති-
    හොරුන්ට දඬුවම් දෙන්න එපාද? -ජනපති-
    මේක විහිළුවක් -රවී කරුණානායක-
    අහෝ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය. ඔබ නැති පාඩුව මට අදම ප්‍රක්ත්‍යක්ෂ විය -මහ ජනතාව-

    ReplyDelete
  6. මම නම් මේ ආණ්ඩුවට සපෝට් කරන්නෙ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සංවේදී බව නිසයි . කොටින් කීවොත් අවුරුදු දහස් ගනනක් තිස්සේ මුල් බැසගත් කාන්තා ප්‍රතිරූපය කනපිට හරවන නිසයි. ඒ ඇර වෙන දෙයක් නම් නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා