වැඩ කරනවාට වඩා වර්ජන කරන රජයේ සේවයට විසඳුම


වැඩ වර්ජන 41ක් නිසා ගිය වසරේ වැඩ කරන මිනිස් දින 104,327ක් නාස්ති වූ බව Sunday Times පුවත්පත වාර්තා කළේ ය.

මේ වර්ජන අතරින් වැඩි ප්‍ර‍මාණයක් කළේ රජයේ සේවකයිනුයි. එම වර්ජනවල පාඩු විඳගන්නට සිදු වන්නේ මේ රටේ වැඩ කරන ජනතාවටයි. 

මේ වැඩවර්ජන අතරින් එකකට හේතු මෙහි පළ වන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ලියුමේ තිබෙනවා. හෙද නිලධාරීන් වර්ජනය කරන්නට එක් හේතුවක් තමයි දුම්රිය සේවාවේ වැටුප් වැඩිවීම නිසා ඇති වුණ බව කියන විෂමතා. එසේම, ඇඟිලි සලකුණු ක්‍ර‍මය ක්‍රියාත්මක කිරීමත් වර්ජනයට තවත් හේතුවක්. ඔවුන්ගේ තර්කය වන්නේ දොස්තරලාට අත්සන් පොතක් නැති තත්වය තුළ තමන්ට පමණක් ඇඟිලි සලකුණු ක්‍ර‍මය ක්‍රියාත්මක කිරීම අසාධාරණ බවයි.

වෛද්‍යවරුන් අතරින් ඇතැම් අය සිය රාජකාරිය නිසි ලෙස ඉටු නො කර පෞද්ගලික චැනල් ව්‍යාපාරවලට ප්‍ර‍මුඛතාව දී කටයුතු කරන බව ප්‍ර‍කට කරුණක්. එසේ වුවත්, ඔවුන් තමන් විසින් ම පුරවා ගන්නා දිනපොතක් ඔස්සේ අතිකාල හා වෙනත් දීමනා ලෙසත් අති විශාල මහජන මුදල් ප්‍ර‍මාණයක් ගසා කන බවත් ප්‍ර‍සිද්ධයි. එහෙත්, ඔවුන්ට අත්සන් පොතක් දැම්මොත්, ඔවුන්ටත් අර සේවාවට එහෙම නැහැ, මේ සේවාවට එහෙම නැහැ වැනි තර්ක රැසක් තිබේ.

මේ වර්ජනයෙන් පසුව කරන ලද දුම්රිය වර්ජනය ද මෙවැනි ම අසාධාරණ හේතු මත සිදු වූ එකක්. ඔවුන් වර්ජනය කළේ දුම්රිය රියදුරු සහායකයන් ලෙස අ.පො.ස. උසස් පෙළ සමත් පිරිසක් තරග විභාගයක් හරහා අලුතින් බඳවා ගැනීමටයි. ඔවුන්ට අවශ්‍ය දුම්රිය දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ සේවකයන් පමණක් ඒ වෙනුවෙන් බඳවා ගැනීමයි. එසේ කරන්නේ දුම්රිය රියදුරු සහායකවරයා තමන්ගේ වහලකු ලෙස තබා ගැනීමටයි. දුම්රිය රියදුරු සහායක සේවාව විධිමත් වී ඔවුන් දුම්රිය රියදුරන් දක්වා උසස් විය හැකි තත්වයට පත් වීම වළක්වන්නටයි ඔවුන් වර්ජනය කළේ. (කියවන්න දුම්රිය වර්ජනයේ ඇතුළු පැත්ත)

දුම්රිය වර්ජනය නිසා විශේෂයෙන් ම රජයේ සේවකයන් නිවාඩු ගැනීම, පමා වීම, වේලාසනින් පිටවීම වැනි හේතු මත තවත් විශාල මිනිස් පැය ගණනක් අහිමි වුණා. 

පෞද්ගලික අංශයේ වර්ජනයට පෙළඹෙන්නන් අතර ප්‍ර‍මුඛ පිරිසක් වන්නේ බස් සේවකයිනුයි. ඔවුන්ගේ වර්ජන හේතුවෙනුත් තවත් මිනිස් පැය විශාල වශයෙන් අහිමි වෙනවා. 

කිසියම් ආණ්ඩුවක් ප්‍ර‍ජාතාන්ත්‍රිකව කටයුතු කිරීමේ නැඹුරුවක් පෙන්වන හැම විට ම, විශේෂයෙන් ම රජයේ සේවකයෝ කෙළවරක් නැතිව වැඩ වර්ජන ආරම්භ කරති. 1956දී බලයට පත් වූ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සමාජවාදී ආණ්ඩුවේ කාලය මේ සඳහා කදිම නිදසුනක්. 

එහි ප්‍ර‍තිඵලයක් ලෙස ඊළඟ වතාවේ දැඩි ඒකාධිපති ස්වරූපී පාලනයක් බලයට පැමිණීමේ ඉඩක් ද තිබෙනවා. 

රජයේ සේවකයන්ගේ වර්ජන සම්බන්ධයෙන් සානුකම්පිතව සලකා බැලීමේ අවශ්‍යතාවක් නැහැ. ලංකාවේ රජයේ සේවය යනු මූලිකව ම දේශපාලකයන්ට, නිලධාරීන්ට හා රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම වෙනුවෙන් පවත්වාගෙන යන එකකි. මහජන සේවය සිදු වන්නේ එකී වැටුප් ගෙවීම සාධාරණීකරණය කරන මට්ටමට පමණි. 

ඒ අනුව ගත් කල රජයේ සේවකයන් යනු මහජන මුදල් ගසා කන රජයේ සේවයේ පංගුකරුවන් පිරිසක් මිස සැබෑ වැඩ කරන ජනතාවක් නො වේ. මෙය කෙතරම් දුරට ඇත්ත ද යන්න වටහා ගැනීමට කළ යුතුව තිබෙන්නේ ළඟ ම රජයේ කාර්යාලයට ගොස් බැලීම පමණි. 

රජයේ සේවකයන්ගේ ඊනියා වැඩ වර්ජන සම්බන්ධයෙන් දැඩි පියවර ගත යුතුව තිබේ. අසාධාරණ වර්ජන සිදු කරන්නන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කළ යුතු ය. නීති ප්‍ර‍මාණවත් නැතිනම් නීති හැදිය යුතු ය. 

එසේම, රාජ්‍ය ව්‍යවසායන් අත්‍යවශ්‍ය මූලික සේවාවන්ට පමණක් සීමා කළ යුතු ය. එම අංශවල ද වටිනාකම එකතු කළ සේවා පවත්වාගෙන යාමට පෞද්ගලික අංශය දිරි ගැන්විය යුතු ය. 

උදාහරණයක් ලෙස, දුම්රිය සේවයේ යම් ප්‍ර‍මාණයක් ගුණාත්මක සේවාවන් සඳහා පෞද්ගලික අංශයට ලබා දිය හැකි ය. 

මේ මොනවා කළත්, අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යා හැකි හමුදාවක් ද නැතුව බැරි බව පැහැදිලි ය.

සමාජවාදී ආණ්ඩුවක් හෙට පත් වුණොත් නම් මේ ටික අනිවාර්යයෙන් කරනවා ඇත. දැන් සිට ම කිරීමෙහි කිසිම වරදක් නැත. 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දුම්රිය සේවයයි රජයේ හෙදසේවයයි අතර තිබෙන සම්බන්ධය මොකද්ද එකකට වැටුප් වැඩිකලාම අනෙකාට ඇතිවන විශමතාවය මෙකද්ද ? දැන් බලන්න ඔවුන් කරන්නේ එකම රාජකාරි නොවේ . අනෙක දුම්රිය සේවකයා රජයේ ආරාග්‍යශාලාවකට යන්නනේ රෝගියෙක් වශයෙන් මිස නිලධාරියෙක් වශයෙන් නොවයෙිනේ . ඉතිං නර්ස්ලට වඩා පඩිය වැඩිනිසා සර්කියන්න වෙනවද ? මොන විහිළුවක්ද මේක ?

    ReplyDelete
  2. අන්තිමට වෙන්නේ මෙහෙම ගිහිල්ලා මේ රට හදන්න නම් ඒකාධිපති පාලකයෙක් හෝ හමුදා පාලනයක් තිබිය යුතුයි කියා ජනතාව අතරේ මතයක් නිර්මාණය වීමයි.දැන් මේ පැරා වුනත් යටින් කියලා තියෙන්නේ ඒකනේ.

    ඊට පස්සේ තියෙන්නේ "ප්‍රජාතන්ත්‍රවාදයට" අන්තිම ඇණේත් ගහලා වලදාන එක විතරයි.එතකොට ඔය වර්ජන,තර්ජන සනීපෙට තියෙයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා