දූෂණ විරෝධය හා බැඳුම්කර පත්තරයේ අද තත්වය

බැඳුම්කර පත්තරේ වර්ජනය කරන්න ය කියලා අපි මේ කැම්පේන් එක කරනකොට ඇතැමුන් කිව්වා අප කරන්නෙ අනියම් ප්‍රචාරයක් ය කියලා. ඒ නිසා මා මේ වැඩේ අතහැරියා. එම පුවත්පත නිරීක්ෂණය කිරීමත් දිගට කරගෙන යන්නට බැරි වුණා.

කොහොම වුණත්, මේක බැඳුම්කර පත්තරේ නිසා ගන්න එපා ය කියා මා කියද්දිත් මගේ පියා වෙනත් ඉරිදා පුවත්පතක් නවතා ඒ පත්තරේට යොමු වුණා. ඔහු වෙනුවෙන් පත්තර මිළ දී ගන්නට යද්දි මා දැක්ක දෙයක් තමයි, මේ පත්තරේ වෙළඳපොළෙන් සොයා ගන්නට අමාරුව. ඒකට හේතුව ඉල්ලුම ඉහළ යාම බව තමයි මගේ නිරීක්ෂණය. 

අනෙක් පැත්තෙන්, මේ පත්තරේ දේශපාලනික ලයින් එක ඉතා සියුම් විදියට එක්සත් ජාතික පක්ෂය ගොඩදැමීමයි. ඒ පණිවුඩය එහි දෙන්නෙ රස දවටලා ඉතා සූක්ෂම විදියට. වෙනත් මාධ්‍ය එක එක බලවේගවලට කඩේ යන විදියට වඩා වෙනස්ව. කඩේ යාම කරන්නෙ අරපිරිමැස්මෙන්.

පත්තරේ ඒ තරම් විශේෂත්වයක් නැහැ. හැබැයි, එක කැපී පෙනෙන වෙනසක් දැක්කා. මේකෙ එක එක දේශපාලකයන්ගෙ සම්මුඛ සාකච්ඡා නැහැ. ඒකෙන් කරුණු දෙකක් පැහැදිලි කර ගන්නට පුළුවන්. අපේ කැම්පේන් එකෙන් පස්සෙ දේශපාලකයන් මේකට සම්මුඛ සාකච්ඡා දෙන්නට මැලිකමක් දක්වනවා. අනෙක තමයි, දේශපාලකයන්ගෙ සම්මුඛ සාකච්ඡා කියන්නෙ පාඨකයන් ආකර්ශනය කර ගැනීමෙදි වැදගත් දෙයක් නො වන බව. ඒ වෙනුවට එමගින් සිදු වෙන්නෙ දේශපාලකයන්ට ප්‍රචාරය ලබා දෙන බව පෙන්වමින් පුවත්පත සහ මාධ්‍යකරුවන් දේශපාලකයන් සමග හුරතල් වීම පමණක් බව.

මේ ඉරිදා පත්තරේ වෙළඳපොළට එන්නෙ සෙනසුරාදා. අද උදේ 8.30ට මම ඒජන්සියෙ බැලුවා ම පත්තරේ ඉවරයි. වෙනත් කඩේක එක පත්තරයක් තිබිලා ගත්තා.

දූෂණ විරෝධය වෙනුවෙන් කැම්පේන් කරන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ජනතා විමුක්ති පෙරමුණ වැනි අය මේ තත්වය විග්‍රහ කරන හැටි දැනගන්නට කැමතියි.

මේ පිළිබඳ මගේ අදහසක් මෙහෙමයි. ලංකාවේ දූෂණ විරෝධයට ලොකු ඉල්ලුමක් නැහැ. ඒක මූලිකත්වයට ගත්තට කිසිම සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන්නෙ නැහැ. මේකට හොඳම උදාහරණය තමයි රාජපක්ෂ පවුල. ඔවුන් සහ ඔවුන්ගේ සහචරයන් මහජන මුදල් ඉතා නින්දිත ලෙස සොරා කෑ බව කවුරුත් දන්නවා. ඒවා චෝදනා ඔප්පු කරන්නට බැරි විදියට දක්ෂ ලෙස ඒවා කර තිබෙන බවත් පැහැදිලියි. මේ කතාව බැඳුම්කර ගනුදෙනුවටත් අදාළයි. කොයි තරම් විමර්ශන කළත්, තවමත්, අප සිතන පරිදි මූලික සාක්ෂිය වන අභ්‍යන්තර තොරතුරු ගනුදෙනුකරුවන්ට ලබා දීම ඔප්පු කරන්නට අවශ්‍ය සාක්ෂි සොයා ගන්නට සමත් වී ඇති බවක් මා නම් දකින්නෙ නැහැ. අවසානයේදී ඒ විමර්ශනයත් මාධ්‍ය සංදර්ශනයක් හා තවත් මහජන මුදල් නාස්තියක් පමණක් වෙන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. 

මා මතු කරන කාරණය වන්නේ මහජනතාව මේ දූෂණ චෝදනා ගණන් නො ගන්නා බවයි. ඒක එහෙම වෙන්නෙ ඇයි? පිළිතුර සරලයි. ලංකාවේ සමස්ත සමාජය ම දූෂිතයි. මහජනතාව දේශපාලකයන්ට වඩා දූෂණයෙන් වෙනස් වෙන්නෙ දූෂණයේ සංඛ්‍යාත්මක අගයන් මත විතරයි. සරල උදාහරණයකින් මේක පැහැදිලි කළ හැකියි. දැන් මේ රටේ ගොවීන් ය කියලා ගැමි දිළින්දන් පිරිසකට කුඹුරුවලට පොහොර දාන්න ය කියා සල්ලි දෙනවා. එහෙම ය කියලා මේ පිරිස අතර ඉන්න ඇතැමුන් හරියට කැපවීමෙන් ගොවිතැන් කරනවා ද? නැහැ. මූලික අරමුණ ගොවිතැන නෙමෙයි. මහජන මුදලින් දෙන මේ පොහොර දීමනාව ගසා කෑම. මේ රජය කරපු දේ රාජපක්ෂලා කළ දේට වඩා නිවැරදියි. මේ මුදල් වෙන දේවලට පාවිච්චි වෙන එක හොඳයි. නැතිනම් වෙන්නෙ සල්ලිවලින් පසේ රසායනික සංයුතිය වෙනස් වුණ එක විතරයි. 

සමාජයේ ඊළඟ තලය වන්නෙ රජයේ සේවකයන්, නිලධාරීන් සහ දේශපාලකයන් අයත් වන මධ්‍යම පංතිය. මේ පිරිස තමයි දූෂණයේ රජවරු. අඩුවෙන් වැඩ කර වැඩියෙන් මහජන මුදල් ගසා කෑමේ සිට, කොමිස්, බදු වංචා ඇතුළු දූෂණ රැසකට මොවුන් සම්බන්ධයි.

සිවිල් සමාජයේ වඩාත් ම ඝෝෂාකාරී අංශය වන රාජ්‍ය නොවන සංවිධානවල අරමුදල් භාවිතය ගිනුම්ගත දූෂණයක් ලෙස සලකන්නට ඕනැ තරම් සාධක ඉදිරිපත් කරන්නට පුළුවන්. 


සාමාන්‍යයෙන් ගත්තාම මේ රටේ ජනතාව කොයි තරම් දූෂිත ද කියන එක තේරුම් ගන්නට මහපාර තරම් වෙනත් තැනක් නැහැ. පොලිසිය නැතිනම් ඉරි කපන, වැරදි පැත්තෙන් රිංගා ඉස්සර කරන, අධි වේගයෙන් යන, ජංගම දුරකථන ඇමතුම් ගනිමින් රිය පදවන රියදුරන් සිටින, වරදක් කර අහු වුණාම පොලිසියට පගාවක් දී ෂේප් වෙන්නට අපේක්ෂා කරන, පාරෙ හරියට පයින් නො යන, කහ ඉර බදු ගන්න, පාරට කුණු ගෙනත් දාන, පොලිතින් පුච්චන, දරුවන් පාසල්වලට දාන්න බොරු ගොඩක් කරන, මෙකී නොකී තවත් බොහෝ දේ කියන්නට පුළුවන් දූෂිත ජනතාවක් ඉන්න රටක දූෂණ විරෝධයට ඉල්ලුමක් හැදෙන්නෙ කොහොම ද?

අද මේ බැඳුම්කර පත්තරේ ම රංජන් රාමනායකගෙ සම්මුඛ සාකච්ඡාවක් තිබෙනවා. එහි ඔහු සඳහන් කරන අන්දමට සියලු දීමනා සමග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රු. ලක්ෂ තුනහමාරක විතර වැටුපක් ලබා ගන්නවා. එයින් රු. ලක්ෂයක් යනු විශේෂ දීමනාවක් ලෙස පසුගිය වසරේ ඔක්තෝබරයේ සිට ලබා දෙන එකක්. රන්ජන් රාමනායක කියන විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් මේ දීමනාව ප්‍රතික්ෂේප කළේ ඔහු විතරයි. ජවිපෙ මන්ත්‍රීවරුනුත් ඒක ගත්තා.

ඒ දවස්වල ජවිපෙ මන්ත්‍රීවරුන් කිව්වෙ අපි ඒ දීමනාව ගන්නවා. නැතිනම් ඒකත් ආණ්ඩුව හොරකම් කරන නිසා. ඒ දීමනාවෙන් මහජනතාවගේ සුබසිද්ධිය සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා ය කියලායි. තවම නම් ජවිපෙ තම මන්ත්‍රීවරුන් හයදෙනා විසින් ගන්නා ලද ලක්ෂයේ දීමනාවෙන් කරපු දේවල් රටට කියලා නැහැ.

මේවා ගැන කතා කරන පරිගණක භාවිතා කරන්නන් වන ලංකාවේ අන්තර්ජාල ප්‍රජාවෙන් 99%ක් විතර මෘදුකාංග සොරකම් කිරීමේ යෙදෙනවා.

දූෂණය කියන්නෙ ඔන්න ඔය විදියට මේ රටේ මුල් බැහැ ගත්ත එකක්. දූෂණයට එරෙහිව වැඩ කරන්නට ඕනැ. දූෂණයට එරෙහිව අරගල කළ යුතුයි. ඒ සඳහා ජවිපෙ වැනි පක්ෂයක් පෙරමුණ ගැනීමත්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැනි අය ඒ සමග අත්වැල් බැඳ ගැනීමත් ඉතා හොඳයි. මා කියන්නෙ මෙයයි. දූෂණය ගැන කතා කරන විට මේ ඇත්ත දැනගෙන සිටිය යුතුයි. මේ රටේ සුපිරිසිදු කවුරුත් නැහැ.

අපේ මේ වෙලාවෙ අරමුණ දූෂණ විරෝධයට ප්‍රමුඛත්වය දීම නෙමෙයි. අප ප්‍රමුඛත්වය දෙන්නෙ සංවර්ධනයට. ඔබ දූෂණ විරෝධයට ප්‍රමුඛත්වය දෙන්න. අපි විරුද්ධ නැහැ. හැබැයි අප ප්‍රමුඛත්වය දෙන දෙයටත් ගරු කරන්න. 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. බැඳුම් කරේ වෙනුවෙන් පත්තරයක් ගැහුවත් නැතත් මිනිස්සු ඒ පත්තරේ කියෙව්වත් නැතත් බැඳුම්කර වංචාව මේ මැතිවරණයේදී තීරණාත්මක සාධකයක් වෙනවා. මේ චන්දය ආණ්ඩු මාරුවකට තරම් බලපෑමක් නොවෙන එක ඇත්ත. නමුත් මිනිස්සුන්ට තම විරෝධය දක්වන්න ලැබෙන පළමු අවස්ථාව. පැරා මේ තරම් කෑගහද්දීත් තාත්තා ඒ පත්තෙරේම හොයන එක මගේ කතාව ඔප්පුවෙන හොඳ උදාහරණයක්.
    තව දෙයක්, ලෝකේ සංවර්ධිත රටවල් එකක්වත් ලංකාව තරම් දූෂිත වෙලා නෑ. දුෂිත රටවල් එකක්වත් සංවර්ධනය වෙලත් නෑ.

    ReplyDelete
  2. තවම මම මේ පත්තරේ මිලදී ගෙනවත් , කියවාවත් නැහැ. ඒක ඒලෙසම පවතියි.

    ReplyDelete
  3. ජනතාවගෙන් සියයට පනහකට වඩා වැඩි පිරිසක් කුඩා හෝ දූෂණයක් කරන බව මට හිතෙනවා.

    ReplyDelete
  4. ඕකම තමයි මහින්ද ත් කලේ

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා