ස්වයං නිර්ණ අයිතිය කැවුං කන්න ද?

(ඡායාරූපය ලංකාදීප වෙබ් අඩවියෙනි.) 
ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ සංවාදයක් ෆේස්බුක්හි සිදු වනවා දැක්කා. එතනදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් කණිෂ්ක ජයලත් අහමින් සිටි ප්‍රශ්නය තමයි තමයි ලංකාවේ ජනවර්ගයන් විසිරී සිටින ස්වභාවය අනුව ස්වයං නිර්ණ හිමිකම ප්‍රායෝගිකව යොදා ගන්නෙ කෙසේ ද යන එක. ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් කැම්පේන් කරන කැලුම් නවරත්නට හා ටෙරල් අබේසිංහට ඒකට පැහැදිලි උත්තරයක් තිබුණෙ නැහැ. නැතිනම් උත්තරේ මට තේරෙන විදියට ටිකක් මේ වගේ. ඒ හිමිකම පිළිඅරගෙන, මේ බලන්න සිංහල අපි ඉන්නෙ ඔයාලා එක්ක, ඔයාලා හරි හොඳයි, අපිත් දැන් හොඳයි, අපි කැමතියි ඔයාලා එක්ක එකට ඉන්න, මේ බලන්න අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ වගේ කිව්වා ම ඒ අය ඉන් මෙහා ප්‍රායෝගික විසඳුමකට එකඟ වෙයි වගේ එකක්.

ලංකාවට අදාළව ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ සංවාදය හිර වෙන තව තැනක් තමයි මුස්ලිම් ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගන්නට දෙමළ ජනයා සූදානම් ද කියන ප්‍රශ්නය. එතනදි දෙමළ ජාතිය හැසිරෙන්නෙත් සිංහල ජාතිය හැසිරෙන ආකාරයටමයි. තව තියෙනවා. මුස්ලිම් හා මැලේ අනන්‍යතා අතරත් ගැටුමක් තියෙනවා. කඳුරට දෙමළ ජනතාව හා ලාංකීය දෙමළ කියන ජනකොටස අතරත් අනන්‍යතා ගැටලුවක් තිබෙනවා. 

ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ කැම්පේන් එකේ මේ ප්‍රායෝගික සීමාවන් හිරු කණ්ඩායමේ දේශපාලනය විසින් සලකුණු කරලා ඉවරයි. රෝදය නැවත සොයා ගන්නට අවශ්‍යතාවක් නැහැ. අවසානයේදී ස්වයං නිර්ණ අයිතිය පිළිබඳ සාකච්ඡාව මහජනතාවගෙන් ඉතා දුරස්ථ එකක් බවට පත් වී තිබීම පිළිබඳ වගකීම වමට භාර ගන්නට වෙනවා. ඒකට මූලික හේතුවක් තමයි ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් පෙනී සිටි අය සිංහල සමාජයේ මුල් බැස ගන්නට උත්සාහ නො කර දෙමළ සමාජය වැළඳ ගන්නට යාම. සරලව කියනවා නම්, සිංහල සමාජයේ ශක්තිමත් පදනමක් ගොඩනගා ගන්නේ නැතුව දෙමළ සමාජය එක්ක ගනුදෙනු කරන්නට ගියාම වෙන්නේ එහි තිබෙන ශක්තිමත් ජාතිවාදී පදනම්වලට යට වී යාම. හිරු කණ්ඩායමට දෙමළ සමාජයට බලපෑමක් කරන්නට බැරි වෙන්නට හේතුව ඒක. අඩු තරමේ දෙමළ අරගලය විනාශ වී යාම වළක්වා ගන්නට තරමේ බලපෑමක් හෝ ඔවුන්ට කරන්නට බැරි වුණා.

දෙමළ ජාතිවාදය සමග වැඩ කර මා ලබපු අත්දැකීම ඇතුළෙ මට නම් කියන්නට තියෙන්නේ ඔවුන්ගේ පැත්තෙන් ඉදිරිපත් වුණ සාධනීය ම අදහස තමයි අභ්‍යන්තර ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ සංකල්පය. මට මතක විදියට මේක ගැන 2002, 2003 කාලෙ ප්‍රභාකරන්ගෙ මහවිරු කතාවක තිබුණා. නැතිනම්, ඒ දවස්වල ඒ ගැන කොටි සංවිධානය පැත්තෙන් කරුණු ඉදිරිපත් කෙරුණා. ඒක එක්තරා විදියකට සම්මුතික විසඳුමකට සූදානමක් තීරණාත්මක විදියට පෙන්නපු අවස්ථාවක්. ඒකට හේතු වුණේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂයේ සහ ජාත්‍යන්තර ප්‍රජාව කියන එකේ බලපෑම මිසක් වමේ බලපෑමක් නෙමෙයි.

ඒ වුණාට ඒ වෙලාවෙ වාමාංශික ජවිපෙ කළේ සිංහල ජාතිවාදය උපරිමයෙන් උසිගන්වලා ඒ අවස්ථාව මුළුමනින් ම විනාශ කිරීම. ඒකෙන් කොටි සංවිධානයත් ආපහු ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ කොන්දේසි විරහිත තැනකට තල්ලු වුණා.අනෙක් පැත්තෙන් සිංහල ජාතිවාදී අන්තවාදය අන් කවරදාවත් නො වූ විදියට ශක්තිමත් වුණා. මහින්ද රාජපක්ෂ බලයට ගෙන එන්නට වැඩ කළ සියලු දෙනා ඒ තත්වයට වගකිව යුතුයි.

රනිල්ගේ යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහනේ තිබුණු නවලිබරල්වාදී ලක්ෂණ ප්‍රමුඛ කරගෙන ජවිපෙ නොවන වමත් 2004දී එජාප ආණ්ඩුව පරද්දන්නට හාෆ් හාටඩ් විදියට වැඩ කළා.

මහින්ද රාජපක්ෂට අප ගරු කළ යුතු එක කාරණයක් තමයි ඔහු අවදානම අරගෙන මේ ප්‍රශ්නයේ සුසමාදර්ශීය වෙනසක් නිර්මානය කළා. ඒකට කොටින් හා දෙමළ සමාජයත් කැමති වුණා. අන්තිම යුද්ධය කෙරුණේ මේ දෙපාර්ශ්වයේ ම උවමනාව මතයි. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මහින්දට විතරක් බණින එක තේරුමක් නැහැ. ජවිපෙ හා එය සමග සිටි අයගේ මූලිකත්වයෙන් තමයි යුද්ධය සඳහා ඔහුට පාර කපා දුන්නෙ. ශක්තිය දුන්නෙ. හිරු කණ්ඩායම වගේ ඒවාත් යුද්දෙදි හිටියෙ කොටින්ගෙ පැත්තෙ. මේ හැමෝම මේකට දායක වුණ අය. ඒ නිසා දැන් ඒ සුසමාදර්ශීය වෙනස භාර ගන්න ඕනැ.

ඒක ඇතුළෙ ස්වයං නිර්ණය වෙනුවෙන් අන්තිම හුස්ම වගේ වුණ රුද්‍රකුමාරන්ගෙ පාරජාතික ආණ්ඩුවත් දිය වෙලා ගියාට පස්සෙ දැන් මේ ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ න්‍යායට මොකක්ද කරන්නෙ කියන එක සාකච්ඡා කරන එක ඒ තරම් තේරුමක් නැහැ. 

ප්‍රායෝගිකව මේ සඳහා තිබෙන මාර්ගය වැටිලා තිබෙන්නෙ සමාජ විනාශයක් මැදිනුයි. ඒ කියන්නෙ මෙහෙමයි. නැවත මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ වැනි කෙනෙකු බලයට ගෙනෙන්නට ඕනැ. සිංහල ජාතිවාදය මුදුනට ම ගෙන යන්නට ඉඩ දෙන්නට ඕනැ. අර රුවන්ඩාවෙ, සුඩානෙ එහෙම වුණා වගේ මහා විනාශයකින් පසුව පුළුවන් දෙමළ ජනතාවට ස්වයං නිර්ණ හිමිකම පදනම් කරගෙන ජාත්‍යන්තර සහයෝගය ඇතිව ජනමත විචාරණයකට වුණත් යන්න. මේ මොහොතේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිතුමා වැඩ කරමින් ඉන්න ගෝඨා-2020 ව්‍යාපෘතියෙ හරය මට පෙනෙන විදියට ඒකයි. ඒ වගේ මහා විනාශයකින් පස්සෙ සිංහල සමාජයට ප්‍රජාතන්ත්‍රවාදය ගැන සැබෑ උවමනාවක් ඇති වෙයි කියන උපකල්පනය තමයි ඒකෙ තියෙන හොඳම ගොන් පාට් එක. ඒ වුණාට නිර්මාල්ගෙ කැම්පේන් එක අවංකයි.

හැබැයි මේ ස්වයං නිර්ණ හිමිකම පිළිබඳ සංවාදය හරි ෂෝක් එකක් මේ වෙලාවෙ. මොකද තමන්ට කිසි අමාරුවක් නැතුව මාර ප්‍රගතිශීලී ය කියලා පෙනී සිටින්නට මේක හරි ආතල්. තව ඔය වීසා, එසයිලම්, ඩයස්පෝරා වගේ බිස්නස්වලටත් මේක මරු. තොප්පිය ගැලපෙන කට්ටිය දාගත්තට කමක් නැහැ. යුද්දෙට බැකප් කරපු කට්ටියට වුණත් මේකෙන් පුළුවන් ගොඩ යන්න පාරක් කපා ගන්න. ලංකාවෙන් පිට ගිහින් ස්ථාපිත වුණ කට්ටියට දැන් ඉතින් ලංකාවට මොනවා වුණාම මොකද? එහෙ ඉඳන් බලා ඉන්න එකනේ තියෙන්නෙ.

මම නම් කියන්නෙ දැන් මේවා ගැන සාකච්ඡා මුදුනට ගන්න එක තේරුමක් නැහැ. ජාතිය ඉක්මවා යන දේශපාලන ප්‍රජාවක් ගොඩනැගීම වෙනුවෙන් වැඩ කිරීම තමයි ජාතික ප්‍රශ්නයට තිබෙන එකම ප්‍රායෝගික විසඳුම. ඒක තමයි ඉතිහාසය එක්ක ඉදිරියට යන්නට තියෙන පාර. පුනරුදය ව්‍යාපාරය මෙය ලාංකීය ජාතිය ගොඩනැගීම ලෙස සලකුණු කරනවා. ප්‍රායෝගික දේශපාලනයක් ගැන හිතන ජවිපෙට හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අවශ්‍ය නම් යොමු විය හැකි තැනක් ඒක. ඒකෙ තියෙන අභියෝගය තමයි, සිංහල මූලික ශ්‍රී ලංකාව සුළු ජාතීන් ඉදිරියේ  ප්‍රවර්ධනය කරන්නට බැරිකම. ජනවාර්ගික සමානාත්මතාව තහවුරු කරන රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් පිළි නො ගෙන ඔය වැඩේ කරන්න බැහැ. දෙමළ ජාතික සන්ධානය ජාතික දේශපාලනයට සම්බන්ධ කර ගන්නට වැඩ කිරීමත් ඉතා වැදගත්.

පෞද්ගලිකව මම නම් ලාංකීය ජාතිය කියන සීමාව ගැන වුණත් එච්චර ගණන් ගන්නෙ නැහැ. මම කියන්නෙ අපි එතනින් එහාට පුළුල් වෙන්න පුළුවන් නම් ඒක වුණත් භාර ගත යුතුයි. මේවා තීරණය කරන්නෙ ඉතිහාසය විසින් මිස පුද්ගලයන් හෝ දෘෂ්ටිවාදයන් විසින් නෙමෙයි. පුද්ගලයන්ට, දෘෂ්ටිවාදයන්ට පුළුවන් බලපෑම් කරන්නට විතරයි.

මේ සංවර්ධනයන් ඉතා සුඛනම්‍ය දේශපාලන ක්‍රියාමාර්ග ඔස්සේ සිදු නො වන බවත් අපි තේරුම් ගන්නට ඕනැ. ඒ නිසා තමයි මා වැනි තවත් බොහෝ අය මේ මොහොතේ වඩාත් ම ඉදිරිගාමී අරමුණු සහිත දේශපාලන පක්ෂවල ඒ අරමුණු එක්ක විතරක් වැඩ කරන්නෙ. ගොඩනගා ගත් සාපේක්ෂ සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය රැක ගනිමින් තමයි අපි ඉදිරියට යන්නට ඕනැ. 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments


  1. පැරා ,

    මුලින්ම "ස්වයං නිර්ණ අයිතිය" කියන දේ නිසා අදාළ ජනකොටසකට ලැබෙන වාසි මොනවද කියල කරුණාකර පැහැදිලි කරනවද ?

    මට තේරෙන විදියට ස්වයං නිර්ණ අයිතිය මගින් උතුරේ දෙමල දෙසපාලුවන්ට පුළුවන් කෙලින්ම විදේශ වලින් අරමුදල් සම්පාදනය කිරීමට, එච්චව්ර විතරක් නෙමෙයි ඔවුන්ට පුළුවන් ලෝකයේ සිටින ඔවුන්ගේ ජනතාවට කෙලින්ම ඉඩම් වකිනිමත් පුරවැසිකම් ලබාදීමත් කියන සරල දේවල් කීපය ලබාදෙන්න.

    ඊට ඉස්සල්ල ලෝකයේ සුළු ජනකොටස මොකද්ද කියල බලන්න වටිනවා සිංහලය තමයි ලෝකයේ ඉන්න සුළු ජනයා වෙන්නේ ඉතිරි දෙමල මුස්ලිම් ජනතාව ලෝකයේ බහුජනතාව වෙනවා, මෙවැනි දෙයකින් වෙන්නේ අදාල ජාතියට තම ජාතිය විශාල කරගන්න අවස්තාව තියනවා ඊස්රයලේ වෙන්නේ ඕක නෙමෙයිද ?

    //අඩු තරමේ දෙමළ අරගලය විනාශ වී යාම වළක්වා ගන්නට තරමේ බලපෑමක් හෝ ඔවුන්ට කරන්නට බැරි වුණා.//

    මට තේරෙනවා ඔබලාගේ කනගාටුව

    //මහින්ද රාජපක්ෂ බලයට ගෙන එන්නට වැඩ කළ සියලු දෙනා ඒ තත්වයට වගකිව යුතුයි.//

    ඔව් ඔබේ කතාවේ ලොකු ඇත්තක් තියනවා බැරිවෙලාවක රනිල් බලයට ආවනම් තවම උතුරේ යුද්දේ, එහෙනම් ඕනෑම NGO එකෙකෙට හේත්තු වෙලා කල්ල මරේ දාගන්න තිබුනනේ.


    //අර රුවන්ඩාවෙ, සුඩානෙ එහෙම වුණා වගේ මහා විනාශයකින් පසුව //

    හිහි එතකොට එක්සත් ජාතීන්ගේ සංවිදානය ඔවුන්ට සොයන් පාලනය දෙන්න නේද ඔය රටවලට ගියේ ?

    අවසාන ලෙස කියන්න ඕනේ උතුරේ මහඇමති කම දීල අදාළ මහාමතිට ම්ද්යම රජයෙන් අරමුදල් දුන්න තමන්ගේ ජනයාට සේවය කරන්න ඒ මුදල් කිසිම සේවයක් නොකර නැවත හරවා ඇරපු මහඇමතිද සොයන් පාලනය කරලා ජනතාවට සේවය කරන්නේ?

    සමහර දාට පැරා කට බොරු කිව්වත් දිව බොරු නොකියන තත්වයට පත්වෙනවා, මෙවෙලාවට තමයි බලන් ඉන්න අයට පෙන්නේ පැරා නිරුවස්තරෙන් පෙරහරේ යනවා.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ මේ අහලා තියෙන ප්‍රශ්න ටිකට උත්තර ඒ ලිපියෙ තියෙනවා. ඒක වෙන විදියකින් ඇහුවත් ඒක ම තමයි කියන්න තියෙන්නෙ.

      Delete
    2. පැරා,

      එකට උත්තර දීල නෑ. කොහෙද ඔබ කියල තියෙන්නේ ස්වයං නිර්ණ අයිතිය දෙමල මිනිහට ඇති වාසි හෝ මුස්ලිම් මිනිහට ඇති වාසි ගැන ඔබ කියල තියන්නේ දෙමල මිනිහට ස්වයං නිර්ණ අයිතිය දෙනවට මුස්ලිම් මිනිහ විරුද්ද වෙනවා කියන අදහසක්.

      ඇයි ඔබට සරල තේරෙන සිංහලෙන් ස්වයං නිර්ණ අයිතිය මගින් අදාළ ජනකොටසට ඇති වාසි අවාසි ගැන කියන්න බැරි ?

      Delete
    3. මම මේ ලිපිය ලියල තියෙන්නෙ ස්වයං නිර්ණ හිමිකම ගැන සංවාදය මේ මොහොතට අදාළ නැහැ කියන ස්ථාවරයේ ඉඳන්. ඒ වුණාට ඔබ අහන නිසා කියන්නම්. යම් ප්‍රජාවකට කුමන හෝ ආකාරයකින් බලය ලැබෙනවා නම් ඒ ප්‍රජාවේ සාමාජිකයන්ට සමානව නැතත්, කිසියම් ආකාරයකින් ඒ බලය භුක්ති විඳින්නට අවස්ථාව ලැබෙනවා. දෙමළ ජනතාවට තිබෙන ප්‍රශ්න වෙනුවෙන් විසඳුම් සොයන්නට කිසියම් සුවිශේෂ ව්‍යූහයක් ඔවුන්ට ලැබෙනවා. ඒක ඔවුන්ගේ ප්‍රශ්න ගැන විශේෂ අවධානය යොමු කරන්නට සකස් කරපු එකක් නිසා තියෙන එකට වඩා ඔවුන්ට ඒක වටිනවා.

      උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය 25%කින් වැඩි කරන්නට පියවර අරගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලය අදාළ ආයතනයට පත් වන කාන්තාවට විතරක් නෙමෙයි සමස්ත කාන්තාවන්ට ම බලපානවා.

      Delete
    4. පැරා,

      //ඒක ඔවුන්ගේ ප්‍රශ්න ගැන විශේෂ අවධානය යොමු කරන්නට සකස් කරපු එකක් නිසා තියෙන එකට වඩා ඔවුන්ට ඒක වටිනවා. //

      හත්වලාමේ මම පැහැදිලිව අහල තියනවා නේද

      {ඇයි ඔබට සරල තේරෙන සිංහලෙන් ස්වයං නිර්ණ අයිතිය මගින් අදාළ ජනකොටසට ඇති වාසි අවාසි ගැන කියන්න බැරි ?}

      කියල ඉතින් ඔබ උදාහර කීපයක් පෙන්වන්නකෝ නිකම් "ප්‍රශ්න විසදෙනවා කියනවා" වෙනුවට.
      ඔබට පෙන්වන්න බැරිද එහෙම විසදෙන ප්‍රශ්න කීපයක්.

      උදාහරණයක් ලෙස උතුරු පලත්සබාව විග්නේශ්වරම්ට ලැබීම නිසා හැදුනු යටිතල පහසුකම් කීපයක් ඔබට නම්කරන්න බැරිද ?

      හැබැයි මටනම් පුළුවන් මහින්දගේ රජය යටතේ කරලා තියන සාමාන්‍ය ජනතාවට ලැබිල තියන පහසුකම්.

      01. උතුරු නැගෙනහිර ජනයාට සම්පුර්ණයෙන් විදුලිබලය ලැබිල තියනවා
      02. උතුරට දුම්රිය ලැබිල තියනවා
      03 උතුරට අන්තර්ජාල පහසුකම් ලැබිල තියනවා (රනිල්ගේ සොයන නිර්ණය තිබුනානම් ) කැලේ මරාගන්න තිබුන, වෙන එකක් තියා ඔබත් කිලිනොච්ජ්චි ගිහිල්ල බ්ලොග් කෙටුවේ රජය ලබාදීපු යටිතල පහසුකම් නිසා නේද
      04 පොලවේ වලල්ල තියන බිම්බෝම්බ ලක්ෂගනනක් ඉවත් කරලා තියනවා.

      ඔය ඉහත එකම දෙයක්වත් ඔය කියන දෙමල දෙසපලුවෝ කරලා තියනවද ? ඕකුන් තමන්ගේ මිනිසුන්ට කරපු එකම පලදායි වැඩක් ඔබට නම්කරන්න වත් බැරිද ? නිකන් වචන අස්සේ හැංගෙන්න එපා පැරා අවංකව ඇත්ත කියන්න.

      ඔබට කියන්න පුලුවන්ද මන්දයම රජය ප්‍රතිපාදන දුන්නේ නෑ කියල, දුන්න ඒවත් කිසිම වැඩක් කලේ නැත්තේ තමන්ගේ ජනතාවට ඇති ආදරය හින්දද ?

      Delete
    5. //කාන්තා නියෝජනය 25%කින් වැඩි කරන්නට පියවර අරගෙන තිබෙනවා. එහි ප්‍රතිඵලය අදාළ ආයතනයට පත් වන කාන්තාවට විතරක් නෙමෙයි සමස්ත කාන්තාවන්ට ම බලපානවා//

      මේ විශ්වයේ ප්‍රථම කාන්තා අගමැතිනිය සිරි ලංකාවේ නේද ? ඉතින් මොනවද කාන්තාවන්ට ලැබුනේ, ඒ අගමැතිගේ දියණියත් රටේ ජනාධිපති උනා නේද ? යකෝ එහෙම බැලුවම අපි ඇමරිකාවටත් වඩා හොදයි නේ මොකද තවම ඇමරිකාවේ කාන්තා ජනාධිපති කෙනෙක් ඇතිවෙලා නෑ.

      ඔබට මතකද පබා කෙලි පාර්ලිමේන්තු යවල අවුරුදු 6ටම වචන දෙකතුනක් කතාකලා.

      Delete
    6. ස්වයං නිර්ණ අයිතිය ඉල්ලුවෙ දෙමළ ජාතික සන්ධානය නෙමෙයි. ඒක ඉල්ලලා පළි ගහමින් හිටියෙ කොටි. උන්ට බලය ලැබුණ නම් වෙන්නෙ ඕකෙ අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්. එහෙනම් සමහර විට වවුනියා හරියෙ මෙක්සිකෝ තාප්පෙ වගේ එකක් බඳින්න වෙන්නත් තිබුණා.

      මං මේක කියන්නෙ උන් බලය නැතුවත් රාජ්‍යයක් හදාගෙන අවුරුදු ගානක් පවත්වාගෙන ගිය නිසා.

      Delete
  2. Terrel Abeysinghe: //ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් කැම්පේන් කරන කැලුම් නවරත්නට හා ටෙරල් අබේසිංහට ඒකට පැහැදිලි උත්තරයක් තිබුණෙ නැහැ.//අජිත් පැරකුම් ජයසින්හ ගේ දීර්ඝ අදහස් දැක්වීම් පිළිබදව කතා කිරීම පසුවට තියලා මුලින්ම කියන්න ඕන එක තමයි, කණිෂ්ක ජයලත් ට මම උත්තරයක් දුන්නේ නැහැ. එයා අහාලා තියෙන ප්‍රශ්නය නිරාකරණය කරගන්න ප්‍රශ්නයක් ඇහුවා මිසක. උත්තරේ දුන්නයින් පස්සේ අජිත් පැරකුම් ජයසින්හට පුළුවන් කියන්න ඕනේනම් 'ටෙරල් අබේසින්හටත් උත්තරයක් නැහැ' කියලා. වාමාන්ශික ව්‍යාපාරය ජාතීන්ගේ ප්‍රශ්නය පිළිබඳව පුළුල් සාකච්ඡාවක් කළ යුතු බව අවිවාදිතයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා