මචං, උඹට ආදරෙයි කියන්න පමා වුණාට සමා වෙයන්!

පදවි වැව වගේ සොඳුරු මිනිහෙක් - ඡායාරූපය: nearby.lk
පදවිය මහසෙන් විදුහලේ ආර්ථික විද්‍යාව උගන්වමින්  සිටි අප කල්‍යාණ මිත්‍ර සුදත් ගුණරත්න අද උදෑසන පන්තියේදී මාතෘකාව පමණක් කියා විනාඩි කිහිපයක් නිහඬව බලා සිට, පපුව අල්ලාගෙන පුටුවෙහි වාඩි වී මිය ගිය බව අසා මහත් සේ කම්පාවට පත් වුණෙමි.

ඔහුත්, මාත් අතර බොහෝ දේශපාලනික වෙනස්කම් තිබිණි. එහෙත්, එවැනි ප්‍රාණසම මිතුරන් ළඟ බොහෝ විට දැකිය හැකි පරිදි ම ඒ වෙනස්කම් සියල්ල නො වෙනස් මිත්‍රත්වයට හා ආදරයට දෙවෙනි විය. මහ ලොකු දේශපාලනයකින් තොරව, තුරුණු වියේ එකට වැටී දුක සැප බෙදා හදා ගත් ජීවිතයක හදවතේ ගැඹුරට ම කා වැදුණු මතකයන් අප අතර තිබිණි.

ඔහු දිගට ම මා ලියන ලිපි කියැවූයේ ය. උඹේ අදහස්වලට මං එකඟ නැහැ මචං යි කියා වුව ද මගේ පැහැදිලි කිරීම් ඔහු සන්සුන්ව අසා සිටියේ ය. පසුකාලීන බොහෝ දේශපාලන සහෝදරයන් සේ තමන් අකැමැති සැම දෙය පැතලි ලෙස ප්‍රතික්ෂේප නො කරන පුළුල් දැක්මක් ඔහුට තිබිණි. මිනිසුන්ට ඒ පුළුල්කම ලැබෙන්නේ අව්‍යාජව, අවංකව, පූර්ණ ලෙස තමන් ලද ජීවිතය ජීවත් වීමෙනි. 

අව්‍යාජ ගැමියකු වූ, ගමේ ම ඉපිද, මහා යුද්ධයක් මැද පවා ගම හැර නො ගොස්, එහි දරුවන්ට අනුරාගයෙන් අකුරු උගන්වමින් සිට, ගමේදී ම දිවි ගමන අතරමග නතර කළ සුදත්ට නගරවල සිටින විෂඝෝර සර්පයන්ගෙන් මිදී ජීවත් වීමේ වාසනාව ලැබිණි.

සුදත්ගේ හදවත එසේ හිටිහැටියේ නතර වුණ ද, කකියන අපේ හදවත්වල ඔහුගෙන් ණයට ගත් ජවය තවමත් ජීවමාන ය. අනුරාගී ගුරුවරයකු වූ ඔහුගෙන් අනුප්‍රාණය ලද තවත් බොහෝ මිනිසුන් ඈත පදවියේත් ලොව අන් තැන්වලත් සිටිනවා ඇත.

අවුරුදු දහයකටත් වැඩි කාලයකින් රුව නො දුටු, දුරකථනයෙන් පමණක් හඬ ඇසූ ඔහු බලන්නට ළඟදී ම එන බව මම කීවෙමි. ඊට පෙර ඔහු නතර වූයේ ය.

මචං, උඹට ආදරෙයි කියන්න පමා වුණාට සමා වෙයන්!


සුදත් ගුණරත්නට
============


රිදුණු තැවුණු හද අරගෙන
පදී රටට මං එනකොට
උඹ හිටියා එහේ මිතුර
අත් විහිදා වැළඳගන්න

කරුංකා පුවක් තල තල
තලා කොළ විටක් කාගෙන
ගුරු නිවාසෙ පිටිපස්සේ
මිතුරු උණුසුමට ගුලි වුණ

වන්නි කැලෙන් මරු එනකොට
දරු මල්ලන් කර පින්නන්
උන් මරුවන් වුණ හැටි ගැන
කතා කළෙමු කම්පාවෙන්

කන්න ගණන් වැහි නොමැතිව
වැවේ වතුර හිඳී ගිහින්
ජීවිත වේලී යද්දිත්
දෙගොඩ තැලූ හිනා ගඟුල

පුංචි පුංචි කතා මිසක්
මහ ලොකු හීනයක් නො දුටු
ලෝබ නැතුව කහට නැතුව
ශිල්ප සතර බෙදා දුන්නු

පදවි වැව වගේ මිනිහෙක්
ආදරය කරන මිතුරෙක්
බුද්ධංගල පාමුල සිටි
වග ආඩම්බරයෙන් කීවෙමි

මුල් පත්වීමෙන් පස්සේ
තව තව පත්වීම් ලැබිණි
ඒත් මචං ඒ මුල ළඟ
තිබුණු සිසිල යළි නො ලැබිණි

රිදුණු තැවුණු හද අරගෙන
උඹට ආදරෙයි කියන්න
පදී රටට මං ආවා
ඉතින් මචං උඹ කොහේ ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අජිත් ඔබේ කවි ටික නං වැදුනා පතුලටම.
    එයට ආවේශය සැපයුනු චරිතය වූ දිවංගත ඔබේ ළබැඳි මිතුරාගේ ගමන් මග උවදුරු රහිත වේවා!

    ReplyDelete
  2. "සුදත්ට නගරවල සිටින විෂඝෝර සර්පයන්ගෙන් මිදී ජීවත් වීමේ වාසනාව ලැබිණි."

    සුදත්,ගම අව්‍යාජද?

    ReplyDelete
    Replies
    1. ගම අව්‍යාජ නැත. නගරය කෘර ය.

      Delete
  3. good bye to your friend, this is sensitive

    ReplyDelete
  4. Dear Sudath, I love you too. My sincere sympathies goes out to your family.

    ReplyDelete
  5. සුදත් ගුණරත්නට නිවන් සුව පතමි.
    හිතට දැනුන හුගක් මේක...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා