කැස්සට හෙම්බිරිස්සාවට ආණ්ඩු පෙරළීම

හචිං! 
මේ රටේ දේශපාලන ක්‍රමය ඉතා පසුගාමී, දූෂිත එකක් බව අමුතුවෙන් කිව යුතු නැත. එයින් බිහි වන්නේ අඳබාල නායකයන් බව නො දන්නා කෙනෙකු නැත. මෛත්‍රීපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ හෝ අනාගතයේ පෙනෙන කිසිම දුරක සිටින කිසිම දක්ෂිණාංශික හෝ මධ්‍යස්ථ හෝ වාමාංශික හෝ නායකයකු සම්බන්ධයෙන් බලාපොරොත්තු තැබීම තේරුමක් නැත.

අප දේශපාලකයන් රාජ්‍ය නායකත්වයට පත් කර ගන්නේ ඔවුන් හොඳ නායකයන් නිසා නො වේ. අපට ඔවුන් තෝරා ගන්නේ අපට සිටින අය අතුරිනි. ඔවුන් ඉතා බොළඳ, පහත්, කෘර අයුරින් හැසිරීමට ඉඩ ඇති අය බව අප දැන සිටිය යුතු ය. පුරවැසියන් ලෙස අපගේ වගකීම වන්නේ ඔවුන්ට ඉදිරියෙන් සිටීම මිස ඔවුන් පසුපසින් වැටී කලකිරීම නො වේ.

වර්තමාන මොහොත තේරුම් ගත යුත්තේ එසේ ය. කලකිරීමට පත් ජනයා වෙත බල ව්‍යාපෘති තල්ලු කිරීම දේශපාලනයේ කොටසකි. එහෙත්, හෙම්බිරිස්සාවට, කැස්සට පවා ආණ්ඩු පෙරළිය යුතු යයි කියන බලලෝභීන්ගෙන් ජනතාව පරිස්සම් විය යුතු ය.

මේ මොහොතේ ද නැවතත් දකින්නට ලැබෙන්නේ මේ ආණ්ඩුව පෙරළා රාජපක්ෂ පවුල බලයට එන්නට දත කන ස්වභාවයකි. ඔවුන්ට බලය ඉතා හදිසි වී තිබෙන්නේ ඔවුන්ට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග වළක්වා ගැනීමට බව මහජනතාව ලෙස අප තේරුම් ගත යුතු ය. ඔවුන් පසුපස අන්ධ භක්තියකින් ගාටන පසුගාමී, ජාතිවාදී මහජන බලවේගය පාවිච්චි කර ඔවුන් අවසානයේදී කරන්නේ අන් යමක් නොව, මෙන්න මේ ඔවුන්ගේ පවුලට පමණක් වැදගත් වැඩේට ඩීල් දා ගැනීම ය.

රජයෙන් යැපෙන බොහෝ මධ්‍යම පංතිකයන්ට තමන් ලබන ආදායමේ තරමට හෝ මහජනතාවට වැඩක් කිරීමට උවමනාවක් නොමැත. තමන්ගේ රැකියාව හරියට නො කරන මොවුන් ඇතැමෙක් තම මුළු කාලය ම යොදවා තිබෙන්නේ කඩාකප්පල්කාරී දේශපාලනයටයි.

කඩාකප්පල්කාරීන් 200ක් විතර ඉන්න තැනක් දියවන්නාව අසබඩ තියෙනවා. උන් දෙන ආදර්ශය අනුව තමයි රාජ්‍ය ආයතන, සිවිල් සංවිධාන, මාධ්‍ය හා ජනතාව වන අප ක්‍රියා කරන්නෙ. දාහක් ප්‍රශ්න තියෙද්දි අපි කතා කරන්නෙ ඒවා විසඳා ගන්න හැටි නෙමෙයි. ඒ සඳහා පවත්නා ක්‍රම සහ විධි යහපත් කර ගන්න හැටි නෙමෙයි. හැම කැස්සකට, හෙම්බිරිස්සාවකට ම අප කතා කරන්නෙ ආණ්ඩු පෙරළන එක ගැන.

තව කොච්චර ආණ්ඩු හැදුවත්, මේ ඉන්න නායකයන්ගෙන් ඔයිට වඩා වෙනස් තත්වයක් බලාපොරොත්තු විය නො හැකි ය. එහෙයින් තවත් මහජන මුදල් නාස්ති කිරීම සඳහා 2020 වනතෙක් ආණ්ඩු පෙරළීම් ගැන කතාවලට ජනතාව සහයෝගය නො දිය යුතු ය.

කුමන ගැටලු තිබුණත්, වර්තමාන ආණ්ඩුව විසින් ආරම්භ කර, කරගෙන යමින් තිබෙන යහපත් දේ රැසක් තිබේ. කෙටියෙන් කියන්නේ නම්, 2014 වන විට දැවැන්ත ආර්ථික අර්බුදයක එළිපත්තේ සිටි ලංකාව එයින් මුදාගෙන ආර්ථික ස්ථාවරත්වයක් වෙත යොමු කර තිබේ. පසුගිය වසර කීපය තුළ සුවිසල් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ මාලාවක් දියත් කරන ලදී. දේශපාලන ඇඟිලි ගැසීම් අවම කර රාජ්‍ය ආයතන ශක්තිමත් කරන ලදී. දේශපාලනය නිසා මේ වසර තුන තුළ කිසිවකු මිය ගියේ නැත. සාමය, සංහිඳියාව තිරසාර කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ රටේ කතිකාවක් ඇත.

මේ කිසිවක් පරිපූර්ණ නැත. මහ බැංකු බැඳුම්කර සිද්ධිය වැනි මතභේදාත්මක සිදුවීම් වාර්තා විය. ඒ පිළිබඳ විමර්ශන සිදු වේ. උදා වූ ප්‍රජාතාන්ත්‍රික අවකාශය අපහරණය කරමින් මධ්‍යම පංතික නිකමුන් පාරවල් බ්ලොක් කරමින් ද, නිරන්තර වර්ජන සිදු කරමින් ද මහජනතාව පීඩාවට පත් කරයි.

මේ රටට මේ මොහොතේ අවශ්‍යව තිබෙන්නේ සංවර්ධනය පිළිබඳ පුළුල් අවධානයකි. මහජනතාව වැඩ කළ යුත්තේ ඒ වෙනුවෙනි. කඩාකප්පල්කාරිත්වය වෙනුවෙන් නො වේ.

වර්තමාන එජාප-ශ්‍රිලනිප හවුල් පාලනය 2020 දක්වා ඉදිරියට ගෙන යා යුතු ය. ආණ්ඩුව විසින් ආරම්භ කර තිබෙන කටයුතු කඩාකප්පල් නො කළ යුතු ය. ඒවා වඩා ජනතා හිතවාදී තත්වයට පත් කිරීම වෙනුවෙන් අප මැදිහත් විය යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා, මේ ඉන්න නායකයින්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි එකේ නරකද අනුර කුමාරට චාන්ස් එකක් දීල බැලුවොත්?

    ReplyDelete
    Replies
    1. අනුර කුමාර ඒ තරම් අවුලක් නැහැ. හැබැයි ජවිපෙ අවුල්. අනුරට දැන් තියෙන්නෙ ජවිපෙන් කැඩිලා එජාප එක්ක එකතු වෙන එක. හැබැයි, එජාපයේ අනුරට වඩා දක්ෂ නායකයන් ඉන්නවා. මංගල, ඉරාන්, හර්ෂ වගේ අය, අකිල පවා අනුරට වඩා ඉස්සරහින් ඉන්නෙ මගේ තක්සේරුව අනුව.

      අනුර දැන් විරෝධතා දේශපාලනයෙන් මිදිලා ඇවිත්, රාජ්‍ය පාලන දේශපාලනයේ අත්දැකීම් ලබා ගන්නට ඕනැ.

      Delete
    2. මේක වෙන තැනක දාපු කමෙන්ට් එකක්. දිමිත්‍රි මංගල ගැන අහනවා. මේක තමයි මගේ පිළිතුර.

      //මංගල දේශපාලන නායකත්වයට ඉතාම සුදුසුයි. මංගල ඉදිරියට ගත හැකි නම් එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය, කුලවාදය, ආගම්වාදය, ජාතිවාදය වැනි බොහෝ සාධකවලින් ජයග්‍රහණයක්.//

      Delete
    3. පැරකුම් තුමා
      තවම ඒ ගැන සිතන්න බෑ.... ඔය කොම්සම නිකම්ම නිකම් කොමිසමක් පමණයි .අවම වශයෙන් රාජකීය විශේෂ කොම්සමකකුත් නොවන නිසා දඬුවම් දෙන්න බෑ කියලා මට සිතන්නේ
      ඔක්කොම රෙකමදෝරු පමණයි

      තව නගර සභා චන්ද අනුව බො දේ වෙනස් වෙයි. ආප්ප කපු සිරා කොයි පැත්තට යයි කියලා හිතන්න බෑ චන්දිකා තවම් සිරාව කොන්ට්‍රෝල් කරනවා. මහින්ද ගාවගත්විට චන්දිකා , රනිල් 2කටම කෙලවෙනවා. නමුත් රනිලට unp එක තියනවා. චන්ද්‍රිකාට මොකුත් නෑ පොහොට්ටුවට තනිවම බෑ සන්ධන ගතවෙන්න වෙනවා slsp එක්ක. චන්ද්‍රිකාට එකට ඉඩ දෙන්නේ නෑ දුන්නොත් ඈ අනාතයි.

      unp එකට රනිල් වෙනුවට කෙනෙක් නෑ ඔහු ඉන්නකම් තාම පැරණි unp එකමයි. නායකත්වයට චෙලේන්ජ් කරන්න කවුරුත් නෑ. සජිත් හිටියට මේ වෙලාවේ චෙලේන්ජ් කරන්නේ නැ හේතුව රවිය කැපුන එකේ සජියට ඕක තව 5කින් hari ගන්න පුළුවන් වෙන නිසා

      මංගල නියම unp කෙනෙක් නොවෙයි බට්ට පනින එකෙක් චන්ද්‍රිකාත් එක දන්නවා සිරත් එක දන්නවා

      එහින්දා සිරාට විකල්පයක් නෑ 2020 වෙනකම් ඔහොමම යනවා

      Delete
  2. /අනුර දැන් විරෝධතා දේශපාලනයෙන් මිදිලා ඇවිත්, රාජ්‍ය පාලන දේශපාලනයේ අත්දැකීම් ලබා ගන්නට ඕනැ./
    jvp එකට පුළුවනි කෘෂිකර්මන්තෙයි, ජලසම්පතුයි, පරිසරයයි ඉල්ලගෙන එයාලගේ ක්‍රමවේදය කරලා පෙන්වන්න, මයිට්‍රි දැන් කරනවට අමුතුවෙන් විනාශයක් එයාලට කරන්න බෑ, ඔය වගේ විප්ලවවාදීන්ට උගත හැකි එකම ක්‍රමය තැත්වරද ක්‍රමයයි.

    ReplyDelete
    Replies
    1. ජවිපෙට සීමිත කලාපයක හෝ ආයෝජකයින් සමඟ කර්මාන්තයක් බාරදුන්නනම් හොඳයි. ට්‍රේඩ් යූනියන් වැඩේ බලාගන්න​

      Delete
  3. //2014 වන විට දැවැන්ත ආර්ථික අර්බුදයක එළිපත්තේ සිටි ලංකාව එයින් මුදාගෙන ආර්ථික ස්ථාවරත්වයක් වෙත යොමු කර තිබේ. //
    GSP බදු සහනය වැනි එකකට අමතරව සැලකියයුතු දෙයක් වෙලා නෑ පැරා

    //
    පසුගිය වසර කීපය තුළ සුවිසල් ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ මාලාවක් දියත් කරන ලදී.

    //

    http://www.dailymirror.lk/article/Sri-Lanka-becomes-more-corrupt-122724.html
    එහෙම උනා නම් 2015 ට වඩා අද දුෂණය වැඩි උනේ කොහොමද ?

    //මේ කිසිවක් පරිපූර්ණ නැත. මහ බැංකු බැඳුම්කර සිද්ධිය වැනි මතභේදාත්මක සිදුවීම් වාර්තා විය. ඒ පිළිබඳ විමර්ශන සිදු වේ.//

    ඔබ නම් කියනවා විමර්ශන වෙනවා කියල ඔබ මේ මැතිවරණයට පසුව බලන්න මොකද වෙන්නේ කියල මේ නඩුවට උනේ මොකද්ද කියල හොයන්න බැරි වෙයි, ඔබට මතකද සරත් සිල්වා අගවිනිසුරු වෙන්න ඉස්සල්ල ඔහුට විරුද්දව වැටුන නඩු වලට උන දේ, ඔහු නිවැරදි කරු උනෙත් නෑ වැරදි කරු උනෙත් නෑ නඩුවට වෙච්ච දේකුත් නෑ කවුරුත් අහන්නෙත් නෑ. අන්න එක තමයි මේ නඩුවටත් වෙන්නේ, මෙතන තියෙන්නේ ජනපතිව සුද්ද කරන්න කරන දෙයක්.

    ඔබෙන් මට වෙන දෙයක් අහන්න තියනවා පැරා දැනට අතිවිශාල රාජ්‍ය සේවයක් තියනවා, දැන් මේ රාජ්‍ය සේවයේ මිනිසුන් ව ගෙදර යවන්න බෑනෙ, ඔබට බැරිද මේ අයව සාධනීය ලෙස රැකියාවල යොදවන්නේ කොහොමද කියන අදහසක් ඉදිරිපත් කලොත්.

    ReplyDelete
    Replies
    1. /එහෙම උනා නම් 2015 ට වඩා අද දුෂණය වැඩි උනේ කොහොමද ?/ දුෂණය වැඩි වීම නොවේ, පාරදෘශ්‍යතාව, සහ විවේචනය කිරීමේ හැකියාවයි වැඩිවී තියෙන්නේ.

      Delete
    2. මයිට්‍රිගේ උත්සාහය විවේචනය නැවැත්වීමයි, එකෙන් ඉරගන්නේ එයමයි.

      Delete
  4. පැරා
    සංඛ්‍යා ලේඛන‍ හෝ විද්වත් අදහස් ඇසුරින් මෙය පැහැදිලි කළ හැකිද ? - ස්තූතියි ‍
    //කෙටියෙන් කියන්නේ නම්, 2014 වන විට දැවැන්ත ආර්ථික අර්බුදයක එළිපත්තේ සිටි ලංකාව එයින් මුදාගෙන ආර්ථික ස්ථාවරත්වයක් වෙත යොමු කර තිබේ.////

    ReplyDelete
    Replies
    1. මේ පිළිබඳ ලියවෙලා තිබෙනවා. මම මේ ගැන ලිපියක් ලියන්නම්. මට පොඩි කාලයක් දෙන්න.

      Delete
    2. මේ පිළිබඳ ලියවෙලා තිබෙනවා. මම මේ ගැන ලිපියක් ලියන්නම්. මට පොඩි කාලයක් දෙන්න.

      Delete
  5. බහුතරයක් මිනිස්සු එකතුවෙලා 2015දි පෙරලුවේ පෙරලන්න බෑම කියපු ආණ්ඩුවක්. කැස්ස හෙම්බිරිස්සාව නිසාවට නෙවෙයි. තිබුන යහපාලන උණට. ලක්ෂ 62කට හැදුන ඒ උන දැන් නිව්මෝනියාවට ඇවිත්. උන්ට යහපාලනය කියන එක එදාටත් වඩා ඕන අදට. රවීට, සුජීවට සහ මලික්ට මැදමූලනට යන්න පුළුවන්. රට යන්නේ යහපාලනයට.

    ReplyDelete
  6. බඩ ගැනම විතරක් නොහිතන තර්කානුකූලව සහ බුද්ධිමත්ව හිතන්න පුලුවන් ඡන්දදායකයන් පිරිසක් බිහිවෙනකම් ඔය තට්ටු මාරු දේශපාලනය නවත්තන්න බෑ.

    ReplyDelete
  7. ආප්ප සිරාත් මේකට වගකියන්න ඕන.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා