රේඩියෝ සංස්ථාවේ වෙළඳ දැන්වීම් සේවයේ නම වෙනස් කිරීම

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ නම ටිකක් පරණ තාලෙ එකක්. හැබැයි, ඒ නම පත්තියම් වුණ එකක්. ඒ නිසා එය වෙනස් කළ යුතු ද කියන ප්‍රශ්නය ඇසූ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධනට ලැබෙන්නට ඇති පිළිතුර සිතා ගත හැකියි.

රින්සෝ කියන සෝදන කුඩු වර්ගයේ නම ලංකාවෙ සමාජයට කොයි තරම් පත්තියම් වුණාද කියනවා නම් අද පවා වෙනත් සෝදන කුඩු වර්ගයක් භාවිතා කරද්දි පවා මිනිස්සු රින්සො දානවා ය කියනවා.

මේ වටිනාකම් ගැන අවබෝධයක් නො තිබුණු ඒ සමාගමේ ලොක්කෝ ජාත්‍යන්තර වෙන්න රින්සෝ රින් කළා.

අපේ මිනිස්සු තාමත් සියලු පීවීසී බටවලට කියන්නෙ එස්ලෝන් බට කියලා. සියලු රබර් සෙරෙප්පුවලට බාටා කියන අයත්, සෑම උපත් පාලන කොපුවකට ම ප්‍රීති කොපු යයි කියන අයත් මේ රටේ ඉන්නවා.

හැබැයි, හැම රේඩියෝ චැනලයකට ම වෙළඳ සේවය කියන තත්වයක් රටේ නැහැ. ඇත්තම කියනවා නම්, වෙළඳ සේවය ඒ තරම් නවීන රේඩියෝ චැනලයක් ලෙස සැලකෙන්නේත් නැහැ.

වෙළඳ සේවය කියන නම වැටෙන්නට ඇත්තෙ Commercial Service කියන එකේ පරිවර්තනයක් ලෙස වෙන්නට ඇති. මෙතන කොමර්ෂල් කියන වචනයෙන් වෙළඳ කියන අදහසට වඩා එන්නෙ වෙළඳ ප්‍රචාරණ කියන අදහසයි.

කොමර්ෂල් කියන වචනය රේඩියෝ හෝ රූපවාහිනී මාධ්‍ය දැන්වීම්වලටත් භාවිතා වෙනවා. ඒ නිසා කොමර්ෂල් සර්විස් කියන යෙදුමෙන් වෙළඳ ප්‍රචාරණ දැන්වීම් විකාශය කරන සේවය වැනි අදහසක් දෙන්නට ඇති.

ඒ දවස්වල ලංකාවෙ සිංහල බසින් ප්‍රධාන රේඩියෝ චැනල් දෙකයි තිබුණෙ. ඒ දෙක පළමුවන සේවය, දෙවන සේවය ලෙසත්, තවත් කලෙක ස්වදේශීය සේවය හා වෙළඳ සේවය ලෙසත් හැඳින්වුණා. පළමුවන සේවය හෙවත් ස්වදේශීය සේවයේ වෙළඳ ප්‍රචාරණ වැඩසටහන් තිබුණෙ නැහැ.

මුල් කාලෙ ඉංග්‍රීසි බසිනුත් කොමර්ෂල් සර්විස් එකක් තිබුණ බව මතකයි. ඒත්, පසු කලෙක ලංකාවේ ඉංග්‍රීසියෙන් රේඩියෝ චැනල් දෙකක් අහන්නට තරම් ශ්‍රාවකයන් පිරිසක් නැති බව වැටහුණු නිසා ගුවන් විදුලිය එක ඉංග්‍රීසි චැනලයකට සීමා කර ගත් බවයි මගේ අදහස. දැන් එය වැඩිත් නැති, අඩුත් නැති නාලිකාවක්. හැබැයි, ගෝල්ඩ් එෆ්.එම්. එහි ඉඩ අල්ලාගත් බවයි මා සිතන්නෙ.

කෙසේ වෙතත්, වෙළඳ සේවය කියන්නෙ ඇමරිකා එක්සත් ජනපදය වගේ වැරදි පරිවර්තනයක් වෙන්නට පුළුවන්. United States of America නිවැරදිව පරිවර්තනය කළොත් එය ඇමරිකාවේ එක්සත් රාජ්‍ය විය යුතුයි.

අැෆ්‍රිකා අප්‍රිකාව වූ හැටිත්, ෆ්‍රන්සය විය හැකිව තිබූ ෆ්‍රාන්ස් රට ප්‍රංශය වූ හැටිත් මේ ආකාරයට ම විකෘතියි.

ඉංග්ලිෂ් භාෂාව ඉංග්‍රීසි වූ හැටි ඊටත් වඩා විකෘතියි.

ගුවන් විදුලිය කියන වචනය ම පවා විකෘතියක්. Sri Lanka Broadcasting Corporation කියන සංස්ථාවේ නම ශ්‍රී ලංකා විකාශන සංස්ථාව නො වී ගුවන් විදුලි සංස්ථාව වුණ හැටි පුදුමයි.

Broadcasting කියන විෂයට දැන් රූපවාහිනියත් ඇතුළත්. ඒ නිසා මෙම සංස්ථාව ශ්‍රී ලංකා රේඩියෝ වුණා නම් සරලයි.

කොහොමත්, අප හැමෝම දන්නා රේඩියෝවට ගුවන් විදුලිය කියන්නෙ මොකට ද? රේඩියෝ විකාශය සිදු වන්නෙ විද්‍යුත් චුම්බක තරංගවලිනුයි. එය විදුලිය නෙමෙයි. ඒ නිසා එය ගුවන් විදුලියක් නෙමෙයි. 

කොහොම වුණත්, මා හිතන්නෙ දැන් ලංකාවෙ රේඩියෝ චැනල් සංඛ්‍යාව උවමනාවට වඩා වැඩියි. ගුවන් විදුලි සංස්ථාවට වුණත්, මා දන්නා තරමින් සිංහලෙන් රේඩියෝ චැනල් හත අටක් තියෙනවා. රජයට අයත් තවත් රේඩියෝ චැනලුත් තියෙනවා, අයිටීඑන් එෆ්එම් වගේ.

මේ අතරවාරයේ ඉතා තරගකාරී පෞද්ගලික සිංහල රේඩියෝ චැනල් දුසිම් දෙකක්වත් විකාශය වෙනවා. ඒ අතරේ ගුවන් විදුලි සංස්ථාව විකාශය කරන පන්නයේ වැඩසටහන් විකාශය කරන චැනලුත් ගණනාවක් තිබෙනවා.

මේවා පවත්වාගෙන යන්නට අවශ්‍ය වෙළඳ දැන්වීම් ලබා ගන්නේ විකාශන රේටිං ය කියන අවිශ්වසනීය, මතභේදාත්මක ක්‍රමයක් ඔස්සේයි. කොහොම හරි, රේටිං හරහා ගොඩ දාගන්නා නිසා හොඳයි. අපේ මේ බ්ලොග් පඩංගු වගේ බලන සංඛ්‍යාව හරියට ගණන් හදා ගන්නට ක්‍රමයක් නැති එක රේඩියෝ, රූපවාහිනී කර්මාන්තයට මාර ආශිර්වාදයක්, ඇත්ත වශයෙන් ම.

ගුවන් විදුලි සංස්ථාවේ සේවකයින් දාහක් විතර ඉන්නවා, මා හිතන විදියට. ඔවුන්ගේ රැකියා වෙනුවෙන් මේ චැනල් විකාශය විය යුතුයි.

මේක තමයි රාජ්‍ය අංශයේ සාමාන්‍ය ස්වභාවය. එහි ප්‍රධාන සේවාව වන්නේ රජයේ සේවකයන්ට රැකියා සැපයීමයි. මහජන සේවය ඉන් අනතුරුවයි. මේක කිව්වයි කියලා කවුරුවත් තරහ වෙන්න එපා ඔන්න. මේක තමයි ඇත්ත.

ලංකාවේ රාජ්‍ය මාධ්‍ය කියන්නෙ ඉතා ප්‍රබල ක්ෂේත්‍රයක්. රාජ්‍යය මාධ්‍ය පවත්වාගෙන යා යුතු නැත කියන මූලධර්මය ලංකාවෙදි යථාර්ථවාදී නැහැ. හේතුව, ලංකාවේ මාධ්‍ය කර්මාන්තය කියන්නෙ දියුණු ප්‍රජාතාන්ත්‍රික භාවිතාවක් තිබුණු හෝ තිබෙන අංශයක් නෙමෙයි. එහෙම ධාරිතාවක් ලංකාවේ මාධ්‍යවලට ඇත්තේ ම නැහැ.

විශේෂයෙන් ම සංවර්ධන සන්නිවේදනය, ප්‍රජාව විසින් ධාවනය කරනු ලබන මාධ්‍ය වැනි අංශවලදී ලංකාවේ පෞද්ගලික මාධ්‍ය ඉතා පසුගාමීයි. රජයේ මාධ්‍ය පවා මේ වන විට ඒ කෙරෙහි තිබෙන අවධානයෙන් ආදායම් සෙවීමේ ප්‍රමුඛතාව වෙත යොමු වී තිබෙනවා.

ශ්‍රී ලංකා රේඩියෝ සංස්ථාවට කරන්නට පුළුවන් දෙයක් තියෙනවා. මේ ගැන මා මීට පෙර ප්‍රවෘත්ති මාධ්‍ය නියාමන පනත සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීත් කරුණු ඉදිරිපත් කළා. මා ඉදිරිපත් කළේ ඇයි ලංකාවේ රාජ්‍ය මාධ්‍යවලට පරමාදර්ශී ප්‍රමිති සහිත ආදර්ශන නිර්මානය කරන්නට බැරි කියන එකයි. එවැනි තත්වයකදී නියාමනය පහසුයි. නියාමනය සඳහා වෙනම ව්‍යූහයන් සකස් නො කළත්, පෞද්ගලික නාලිකාවලට අනුගමනය කරන්නට ප්‍රමිතිගත මාධ්‍ය මේවායි කියා ඒ ආදර්ශන පෙන්වා දෙන්නට පුළුවන්.

එහෙත්, අවාසනාව වන්නේ මේ වන විට ලංකාවේ රාජ්‍ය මාධ්‍යවල එවැනි පරමාදර්ශී ආදර්ශනයන් බවට පත් කිරීමට අවශ්‍ය ධාරිතාවන් නැති වීමයි. පෞද්ගලික මාධ්‍යවල කුමන අඩුපාඩු තිබුණත්, බොහෝ පැතිවලින් ඔවුන් රාජ්‍ය මාධ්‍ය පසු කර බොහෝ දුර ගිහින්. 

මෙය සෙසු අංශවලට වඩා බලපාන්නේ ප්‍රවෘත්ති සම්බන්ධයෙනුයි. ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ප්‍රමිතියක් පවත්වා ගන්නට අසමත් වන විට සෙසු කුමන පැත්තකින් ආදර්ශයක් වුවත් එහි ඵලදායිතාව අඩුයි.

ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ප්‍රමිතිය ගැන කතා කරන විට බොහෝ දෙනෙකුට එක පාරට ම මතක් වන්නේ ආණ්ඩුවට විරුද්ධ පක්ෂයේ, රජයට විරුද්ධ අයගේ ක්‍රියාකාරිත්වයන් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළ වෙනවා ද, නැද්ද යන්නයි. එහෙම නැහැ කියලා කෝ සමබරතාව කියා අසනු දැකිය හැකියි.

මෙතන තියෙන්නේ ප්‍රවෘත්ති යනු මොනවා ද යන්න සම්බන්ධයෙන් ම වැරදි අර්ථ නිරූපණයක් මත පදනම් වීමේ ගැටලුවක් ය කියායි මා සිතන්නේ. ඒ ගැන පසුව කතා කරමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. According to the CIA world fact book;
    government operates 5 TV channels and 19 radio channels; multi-channel satellite and cable TV subscription services available; 25 private TV stations and about 43 radio stations; 6 non-profit TV stations and 4 radio stations (2017).
    ලාංකීය සිතුවිලි මහතා හෝ මහත්මිය මේ ගැන යූ ටුයුබ් සබදතාවයක් දේවි.

    ReplyDelete
  3. ගුවන් විදුලි සංස්ථාව = radio station
    radio waves = electromagnetic waves = ගුවන් විදුලි

    ReplyDelete
  4. පැරා . නිල වශයෙන් යුඑන්පි . ශ්‍රීලංකා .මුස්ලිම් ජේවීපී දෙමල එකසත් කදුරට එකසත් වගේ දේශපාලන නම්වලින් රෙදිඕ චැනල් පටන්ගතහොත් අහන එකාට එක හරි වැදගත් සේවාවක් වෙයි

    තමන් කැමති දේ අහලා තමන් කැමති නැති ඒවා ඇහෙනකොට මල්පනින විරුද්ධ වාදීන්ට කුල් වෙන්න පුළුවන් එතකොට

    ReplyDelete
  5. සාමාන්‍ය ව්‍යවහාරයේදි කිව්වේ රේඩියෝ සිලොන් කියලයි. සංස්ථාව උනේ 1972 දී. රේඩියෝ කියන එකට direct translation එකක් නැති නිසා ගුවන් විදුලිය කියලා කියමු. "ගුවන් විහිළු" කියලා කිව්වත් කමක් නෑ.

    ReplyDelete
  6. හිංදි භාෂාවෙන් ඉන්දියාවේ රේඩියෝ එකට කියන්නේ ආකාෂ්වාහිණී, TV එකට දුර්දර්ශන්. ඒ අතින් බැලුවාම ලංකාවේ TV එකට කියන රෑපවාහිණී කියන නම විතරයි ගැලපීම අතින් ඉහලම එක.

    ReplyDelete
  7. මම නම් ඔය රේඩියෝ සිලෝන් එක ගුවන් විදුලිය වීමේ ලොකු වැරද්දක් දකින්නේ නැහැ. භාෂාවකින් තවත් භාෂාවකට වචන පරිවර්තනය වීමේදී ඔහොම දේවල් සිදුවීම ස්වභාවිකයි නේද? හොඳම උදාහරණෙ ලංකාවේ සමහර නගර/ගම් වලට ඉංග්‍රීසියෙන් භාවිතා වෙන වචන.

    මම නිවුස් බලන ක්‍රමය - රාත්‍රී 7 සිට 10.30 පමණ වනතෙක් TV චැනල් තුන හතරක (Peo TV තියෙන නිසා පුළුවන් ඉතින්) සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් ප්‍රචාරය වන, අපි තමයි එක, පැත්ත ගියත් ඇත්ත කියනවා මල්ලි වගේ News යැයි කියා ගන්නා ආතල් ගොසිප් වැඩසටහන් කිහිපයක් බලා අවශ්‍ය තොරතුරු ටික පෙරා ගන්නවා.

    ReplyDelete
  8. radially transmitting = radio
    අරීය දෙව්ව = රෙදෙව්ව

    රෙදෙව්ව is I think a word coined by Elion Nanayakkara.

    ReplyDelete
  9. අපි පොඩි කාලයේ තිබුණේ රජයේ ගුවන් විදුලි සේවා පමණක් වුණාට අද තරම් ආණ්ඩුවේ හොරණෑවක් වුනේ නෑ කියායි මට හිතෙන්නේ, ප්‍රවෘත්ති ප්‍රකාශනයේ දී හැර.

    දැන් නම් සින්දු අතරත් දේශපාලන දැන්වීම් යනවා ඇහෙනවා CITY FM වගේ චැනල්වල!

    ReplyDelete
  10. universal joint සර්වලෝක පූට්ටුව වෙච්ච එක ඕක මොකද්ද

    ReplyDelete
  11. දැන් නම් සින්දු අතරත් දේශපාලන දැන්වීම් යනවා ඇහෙනවා CITY FM වගේ චැනල්වල!

    ඇයි දෙබිඩ්ඩන්ට මොකද්ද එකට තියන අවුල? ඉතින් එහෙමනම් ඇයි ඔහේ ඒවා අහන්නේ

    ReplyDelete
  12. මිනිස්සු අහන්නේ ඔවුන් කැමති දේ
    එහෙම නැතිව බලෙන් අස්සවන්න බෑ
    එහෙම බලෙන් අස්සවන්න නම් නියාමන ගේන්න වෙනවා
    එහෙම ගෙනාවම නාන්න වෙනවා
    දැන් සුදර්ෂණ නාමින් පවතිනවා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා