කොරේ පිටට මරේ හෙවත් සංවර්ධන නිලධාරි හා පළාත් පාලන මන්ත්‍රීන්

තවත් සංවර්ධන නිලධාරීන් 20,000ක් බඳවා ගන්නට නියමිත බව ආණ්ඩුව පවසයි. රජයේ රැකියා බලාගෙන උපාධි සහතික ලබා ගත්, වෙනත් රැකියාවක් කිරීමට සුදුසුකම්, කුසලතා නැති, එහෙම නැතිනම් ඵලදායී වැඩක් කිරීමට උවමනාවක් නැති තවත් පිරිසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගාල් වනු ඇත. 

මහින්දගේ කාලයේ මෙවැනි පත්වීම් 80,000ක් දෙන ලදී. එම ඊනියා සංවර්ධන නිලධාරීන් සංවර්ධනයට දේශපාලකයන් තරමට ම කොඩිවිනයක් විය. මේ අතර සිටින ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස හැඳින්වෙන පිරිස අතරින් වැඩිදෙනෙකුට වැඩක් ඇත්තේ ම නැත. ඇතැම් උපාධිධාරී සංවර්ධන නිලධාරි මහතුන් කළේ බැසිල්ගේ දිවි නැගුමෙහි ඇට පැකට් බෙදීම වැනි පොඩි පොඩි අතානාත්තු ය. 

හැබැයි, මේ කාටත් ලංකාවේ ආර්ථිකය උසුලාගෙන සිටින සැබෑ වැඩ කරන ජනයා අතරින් වැඩි දෙනෙකු ලබන වැටුපට වඩා වැටුප් පමණක් නොව, මහජන මුදලින් මෝටර් සයිකල් ද ලැබිණි. 

තවත් සංවර්ධන නිලධාරීන් 20,000කට රැකියා දෙන එක නරක යයි අපි නො කියමු. හැබැයි මේ සංවර්ධන නිලධාරීන් ලක්ෂයම දැන්වත් හරිහමන් විදියකට වැඩට යෙදවිය යුතු ය. සෑම ගමකට ම සේවය සැලසීම සඳහා බලතල සහිත නිලධාරීන් 35ක් පමණ සිටින රටක ගමේ මිනිහාට යම් තරමකට පහසුවෙන් සොයා ගත හැක්කේ ග්‍රාම සේවක හා මිඩ්වයිෆ් නෝනා පමණි. කෘෂි සංවර්ධන නිලධාරීන් දස දහස් ගණනක් සිටින රටක දවසින් දවස ගම්වල කුඹුරු මෙතරම් පුරන් වන්නේ කෙසේ ද? ඒ සම්බන්ධයෙන් මෙම නිලධාරීන් විගණනයට ලක් නො වන්නේ ඇයි?

මහජන මුදලින් වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප් ආදියට හිමිකම් කියන මෙම නිලධාරීන් රටේ සංවර්ධනය සඳහා ඇත්තෙන් ම සේවයට යෙදවිය යුතු ය. එය කරන්නේ කෙසේ ද?

ලලිත් වීරතුංගගේ හිස් මුදුනට වැදුණු ටොක්ක සමග රජයේ ඉහළ නිලධාරීන් නීතියට පිටින් වැඩ නො කළ යුතු බවට සිහිපත් කරමින් මුත්‍රා බර හැදෙන්නට ඇත. 

මහජනතාවගේ පැත්තෙන් මීළඟ පියවර ගත යුත්තේ වැඩ නො කර කර අරින, අයිස් ගහන, බොරු කරන, ජනතාව පීඩාවට පත් කරන රජයේ සේවකයින් මට්ටු කිරීමට ය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වැදගත් වන්නේ මෙතැනදී ය. 

පළාත් පාලන නියෝජිතයන් ගම් මට්ටමේ රාජ්‍ය සේවා නිරීක්ෂකයන් බවට පත් කළ යුතු ය. ගමේ පළාත් පාලන නියෝජිතයා ලවා ගමට අදාළ රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවා ගත යුතු ය. රජයෙන් සිදු වන අසාධාරණකම් හා නො කෙරෙන දේවල් සම්බන්ධයෙන් ජනතාව බලමුළු ගැන්වීමට පළාත් පාලන නියෝජිතයන් කටයුතු කළ යුතු ය.

රටට ඉදිරියට යන්නට නම්, සිදු වන ප්‍රතිපත්ති වෙනස්කම්වලින් ප්‍රයෝජන ගෙන ගමේ සංවර්ධනයට වැඩ කළ හැකි බිම් මට්ටමේ සැබෑ නායකයන් පිරිසක් මෙම පළාත් පාලන මැතිවරණය හරහා ගොඩනගා ගන්නට සියලු පක්ෂ මහජනතාවට උපකාර කළ යුතු ය. 

පළාත් පාලනය උදේනි අතුකෝරළලාගෙන් සංකේතවත් වන යුගය අවසන් කිරීමට ඉදිරි පළාත් පාලන මැතිවරණය අවස්ථාව කර ගනිමු. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments


  1. මේව සිල් රෙදි දුන්නට වඩා ලොකු පගාවල්.
    මේ දෙන්නෙ චන්ද අල්ලස් නෙවෙයි කියල කාටවත් කියන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඉතිහාසය පුරා සියලු ආණ්ඩු රජයේ රැකියා හද හදා දී තිබෙනවා. ලංකාවෙ විශ්වවිද්‍යාලවලින් පිට වෙන කලා උපාධිධාරීන් වැඩි දෙනෙකුට වෙන කරන්නට දෙයක් නැහැ. උන්ට පුහු නම්බුකාරකමට කරන්නට වෙන රස්සාවක් හොයා ගන්නට බැරි වුණාම තරුණ අසහනය වැඩි වෙනවා. එතකොට ජවිපෙ, පෙසප වගේ පක්ෂ උන්ව අල්ලගෙන කැරැලි ගහන්නට පෙළඹෙනවා. ඒ නිසා මේ මිළ සමාජ සමබරතාව වෙනුවෙන් ගෙවන එකක්. ඒ නිසා පගාවක් නෙමෙයි.

      හැබැයි, මේ හොර සංවර්ධන නිලධාරීන්ගෙන් වැඩ ගන්නට ක්‍ර‍මයක් හදන්නට ඕනැ.

      Delete
    2. මේ වෙලාවේ මැතිවරණයක් සඳහා දින නියම කරලා ගැසට් එකක් නිකුත් කරලා තියෙනවා නම් කරන්න බෑ. ඒත් එහෙම නොවෙන නිසා පගාවක් නෙවෙයි.

      Delete
  2. උපාධිධාරීන්ට වසරක අධ්‍යාපන පුහුණුවක් දී ගුරුවරුන් කළ යුතුයි. එය තමයි ඔවුන්ට හොඳම රැකියාව.

    ReplyDelete
  3. මේ රට හදන්න නම් රජයේ රස්සා දෙන එක සිමාසහිත කරන්න ඕනේ.දැනටමත් මේ තියෙන රාජ්‍ය සමාගම රටට බරක්.

    ReplyDelete
  4. අපොයි.. ගමකට නිලධාරින් 35ක්? අපොයි අපොයි..

    ReplyDelete
  5. පැරා,
    ඔය කියන සංවර්ධන නිලධාරීන් ගේ කාර්ය කුමක්ද? ඔවුන් කුමක් සඳහා පෙනිසිටිනවද? ලිපිකරුවන්ද? නැතිනම් මොන කේෂ්ත්‍ර වලද ඔවුන් යෙදෙන්න? ඔවුන්ගේ රාජකාරි ක්‍රියා පටිපාටිය ගැන විස්තරක් කරන්න
    කරුණාකරලා

    ReplyDelete
    Replies
    1. මං දන්න සංවර්ධන නිලධාරි සමහරුන් හැමදාම ගෙදර. තව සමහරු පසුගිය කාලයේ දිවි නැගුමේ ඇට, පැළ එහෙම බෙදුවා. ඔය පාසල්වලට එහෙම දාලා තියෙන ගෑල්ලමයි විදුහල්පතිලා කියන ඔක්කොම ජාති කරනවා. නිශ්චිත රාජකාරියක් නැති නිසා ගිය ගිය තැන අතපල්ලෙන් වැටෙන අයත් ඉන්නවා.

      සාමාන්‍යයෙන් ගත්තාම ඔවුන්ට රාජකාරියක් නැති තරම්. ඇතැම් අය ලිපිකරු වැඩ කරනවා. පිරිමි හුඟදෙනෙකු ක්ෂේත්‍ර‍ නිලධාරිවරු වෙලා ආණ්ඩුවෙන් දීපු මෝටර් සයිකලෙන් ළමයින්ව ඉස්කෝලෙට, පන්තිවලට, නෝනව වැඩට එහෙම එක්කන් යනවා.

      Delete
    2. පැරා ,
      කරකවලා අතහැරියා වගේ පිළිතුරක් !!!!
      එ කියන්නේ මේ සංවර්ධන නිලධාරි සැම රජයේ ආයතනයකම ඉන්නවා කරන්න කියලා නිල රාජකාරියක් නැතිව. කම්කරුවෝ නොවන කම්කරු. රජයේ ස්ථිර සේවකයෝද මේ අය
      එම සංවර්ධන නිලධාරි තනතුරට අවශ්‍ය මුලික අධ්යාපන සුදුසු කම මොකක්ද [ දේශ පාලන බලය හැර]

      සජිත් ප්‍රේමදාස මහතාගේ සම්මුක පරීක්ෂණයක් [උස /සිකුරිටි, මිටි /කම්කරු ]කලේ මෙවන්
      සංවර්ධන නිලධාරින් පත්කිරීමටද

      Delete
    3. සංවර්ධන නිලධාරීන් ලෙස බඳවා ගත්තේ උපාධිධාරීන්. එම බඳවා ගැනීම් දේශපාලනික පත්වීම් නෙමෙයි. සියලු උපාධිධාරී රැකියා විරහිත අයට දුන්නා. ඇතැමෙක් කරමින් සිටි රැකියා දාලා ඇවිත් මේ සුරක්ෂිත, වැඩ අඩු රැකියා භාර ගත්තා.

      දැන් දුන්න දේ දීලා ඉවරයි. මේ අය ඇත්තෙන් ම රටේ සංවර්ධනයට යොදවා ගැනීමයි කළ යුතු.

      Delete
    4. සත්තලං පැරා..... කියපන්කො බන් සජත් ගැන අහපු⁣ දේටත් උත්තර....


      මේක post නොවුනොත් සත්තලං මං හිතනව ඔයා රෙදි හෝදනව තමයි කියල....

      Delete
    5. මම දන්න කෙනෙක් ඉන්නවා උපාධිධාරී.හොද ව්‍යාපාරයක් කරගෙන හිටියේ.ඔය රැකියා දෙන වෙලාවේදී කාලෙකට කලින් රැකියා විරහිත උපාධිධාරී සංගමයේ ලියාපදිංචි වෙලා හිටපු නිසා ඉල්ලන්නෙත් නැතුව රැකියාව ලැබුණා.දැන් සතියට දවසක් සංවර්ධන නිලධාරී රැකියාවට යනවා.ඉතුරු දවස් ටිකේ එයාගේ ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා.

      Delete
  6. ආණ්ඩුව රස්සාලුත් දෙන්න ඕන නේ .නැත්තම් ඔය උපාධි අරන් ඉන්න බහුතරයක් ගැනු ළමුන්ට පරස්තාවක් වත් කොර ගන්න බැරිව ගෙදරට නාකි වෙනවා

    ReplyDelete
  7. චන්දෙ නොතියත් බෑ. මේ රස්සා 20,000න් චන්දෙ ගොඩ දා ගන්නත් බෑ.

    ReplyDelete
  8. සමහර ආයතන වල ඵලදායී රැකියාවන් තියෙනවා. ඒත් ගැටලුව තමයි සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව උදාහරණයකට ගත්තෙත් අවුරුදු 100කට වැඩි ඉතිහාසයක් තියෙන සමුපකාර පරීක්ෂක (සමුපකාර සංවර්ධන නිලධාරී) තනතුර උපාධි හා සමාන සුදුසුකම් සහිත අය බදවා ගන්න පටන් ගත්තේ පසුගිය අවුරුදු කීපය තුල වීම. මේ තනතර ගත්තහම ප්‍රමාණවත් තරම් කාඩරයක් නැතිව තමයි පලාත් දෙපාර්තමේන්තු බොහොමයක් වැඩ කරන්නෙ. ලංකාවෙ සමුපකාර ව්‍යාපාරයට අයත් ගමේ සණස සමිතියේ ඉදන් අධ්‍යාපන සමුපකාරය දක්වා නියාමනය, විගණනය හා සංවර්ධන ප්‍රවේශාත්මක කටයුතු වෙන්නෙ මේ කුඩා කාඩරය හරහා. ඉතින් මේ වගේ දෙපාර්තමේන්තු වල මේ වගේ තනතුරු හදුනාගෙන ඒ වගේ අත්‍යවශ්‍ය තැන් වලට නිලධාරීන් පත්කරන්න පුළුවන් (හැබැයි සේවා ව්‍යවස්ථා අනුව තරඟ විභාග හරහා). ඒත් රාජ්‍ය පරිපාලන සේවයේ මිනිස්සුත් බයයි උපාධිධාරීන්ට අවස්ථාව දෙන්න. ඒ හින්ද වඩා ඵලදායී තනතුරු උපාධිධාරීන්ට දීම වෙනුවට දියාරු තනතුරු දීම තමයි සිද්ධ වෙන්නේ.

    ReplyDelete
  9. පැරා ගොටගෙ 2020 ජනාධිපති සිහිනය වෙනුවෙන් පැවති එලිය සම්මන්ත්‍රණයට ගියද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා