නීතිය හා වෙනස හෙමින් නමුත් ක්‍රියාත්මක වෙමින් තිබේ

ලූලා ද සිල්වා 
බ්‍රසීලයේ ජනප්‍රිය ජනාධිපතිවරයකු ලෙස දෙවරක් ධුරය ඉසිලූ ලූලා ද සිල්වාට අවුරුදු නවයහමාරක සිර දඬුවමක් නියම වී තිබේ. ඒ දූෂණ චෝදනා සම්බන්ධයෙනි. 

ලංකාවේ ඉන්නේ ලූලා නැති වලට පණ්ඩිතයන් වූ කනයින් හෙවත් නායකයන් නැති නිසා නායකයන් වූ අයයි. ගිය ආණ්ඩුවේත්, මේ ආණ්ඩුවේත් නායකයින් සෑම කෙනෙකුම පාහේ දූෂණවලට සම්බන්ධ ය. 

එපමණක් නොව, රජයේ නිලධාරීන් සෑහෙන පිරිසක් ද මේ දූෂණවල හවුල්කාරයෝ ය. 

ලංකාව මුල සිට අග දක්වා ම කුණු වුණ දූෂණයකි. එහෙත්, දූෂණය සම්බන්ධයෙන් ආණ්ඩුවට විතරක් බනින්නට කවුරුත් කැමති ය. ඒ අදහස පවා පරම දූෂිත එකකි. 

විශේෂයෙන් ම ආණ්ඩුවට දූෂණය පටවා සුද්ද වෙන්නට උත්සාහ දරන දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍ය ආදිය රජයටත් වඩා දූෂිත ය. 

ආණ්ඩුව දූෂණයෙන් ගලවා ගැනීම සෑම මැතිවරණයක ම මූලික පොරොන්දුවක් වූ මුත් කිසිදු දේශපාලකයකුට අාණ්ඩුව නොව, අඩු තරමේ තමන්වත් දූෂණයෙන් ගැලවී සිටීමට බැරි විය. වර්තමාන ආණ්ඩුව පැටලුණු මහ බැංකු බැඳුම්කර වංචාව වැනි සිදුවීම් සම්බන්ධයෙන් දැන් විමර්ශන සිදු වෙමින් තිබේ.

එහෙත්, පසුගිය ආණ්ඩුවේ නායකයන්ගේ දූෂණ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම මේ ආණ්ඩුවේ සිටින ඩීල්කාරයන් විසින් වළක්වා ඇති බවක් පෙනේ. 

එහෙත්, මේ රැකවරණය රජයේ නිලධාරීන්ට ලැබෙන්නේ නැත. මහින්ද රාජපක්ෂගේ දේශපාලන බලය පාවිච්චි කර නීතිපති ලවා නඩු ඉවත් කරවා ගන්නට කාදර්ලාට, චන්දන කත්‍රිආරච්චිලාට හැකි වුණත් රජයේ නිලධාරීන්ට එවැනි වරප්‍රසාද ලබා ගැනීම අති දුෂ්කර ය. හිටපු ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරියට මරණීය දණ්ඩනය ලැබී තිබියදීත් මහින්දගෙන් ඇය වෙනුවෙන් සමාවක් ලබා ගන්නට හැකි විය. එහෙත්, කිසිදු රජයේ නිලධාරියෙකුට එවැනි අවස්ථාවක් ලැබේදැයි අපි නො දන්නෙමු. 

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ සිට ම රජයේ නිලධාරීන්ට අධිකරණය හමුවේ සිය නිර්දෝෂීභාවය ආරක්ෂා කර ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්නට සිදු වී තිබේ. 

අලුත්ම ඩබල හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක හා නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහයි. දසනායකට චෝදනා එල්ල වී තිබෙන්නේ කප්පම් ගැනීම සඳහා තරුණයන් 11දෙනෙකු කොළඹදී පැහැරගෙන ඝාතනය කිරීමට උදව් කිරීම සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාගේ නම ද ගෑවී ඇත. 

නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට චෝදනා එල්ල වී තිබෙන්නේ යාපනයේ සමූහ ඝාතනයට ලක් කර මරා දමන ලද විද්‍යා සිසුවිය එම අපරාධයට ලක් වන අයුර වීඩියෝ කළ බව කියන ස්විට්සර්ලන්ත පුරවැසියකු වන ලාංකික සම්භවයක් ඇති දෙමළ ජාතිකයකුට රටින් පැන යන්නට උදව් කිරීම සම්බන්ධයෙනි. 

පේදුරුතුඩුවේදී අණ නො තකා ධාවනය කළ බව කියන වැලි ට්‍රක් රියදුරකු වෙඩි තබා ඝාතනය කළ උප පොලිස් පරීක්ෂකවරයකු හා පොලිස් කොස්තාපල්වරයකු ද රිමාන්ඩ් කරන ලදී. වෙඩි තැබූ උප පොලිස් පරීක්ෂක දෙමළ ජාතිකයකු නො වුණි නම්, කියන්නේ වෙන කතාවකි. කොස්තාපල් මුස්ලිම් ජාතිකයෙකි. 

මෙවැනි ම වෙඩි තැබීමක් නිසා පසුගිය ඔක්තෝබරයේදී යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් ද මිය ගිය හ. එහිදී ද වෙඩි තබා තිබුණේ දෙමළ පොලිස් නිලධාරියෙකි. 

දේශපාලනඥයන්ට මෙන් ම රජයේ නිලධාරීන්ට ද එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු ය. ආණ්ඩුව හා රජය විනයගත කළ හැක්කේ එසේ ය. 

මේ හැම කෙනෙකු ම වැරදිකරුවන් නො වන්නට පුළුවන. ඇතැම් විට වැරදිකරුවන් වුණත්, නීතිය ඉදිරියේ ඔවුන් නිදහස් වන්නට පුළුවන. තමන් කළ කී දේ ගැන තමන්ගේ හෘදය සාක්ෂිය දන්නවා ඇත. 

බූරු ගැසුවත් එක ය. බූරු පිටියේ බකං නිලාගෙන හිටියත් එක ය. මූලිකව ම තමන්ගේ නම ආරක්ෂා කර ගැනීම රජයේ නිලධාරීන්ගේ වගකීමකි. 

දේශපාලකයන් යනු හදන්නට බැරි පිරිසකි. ඉදිරියේදී හෝ බලාපොරොත්තු තැබිය හැකි කිසිදු දේශපාලකයකු මේ රටේ නැත. ඉන්නවා නම් නිර්භයව නම කියන්නැයි මම මීට පෙර ද අභියෝග කළෙමි. කිසිවෙකු ඒ අභියෝගය භාර ගන්නට ඉදිරිපත් වූයේ නැත. 

සියල්ල අප බලාපොරොත්තු වන තරම් හොඳින් සිදු වන්නේ නැත. එහෙම වෙනවා නම්, අප අතර සිටින වැඩිදෙනෙකු ද හිරේ යා යුතු ය. හැබැයි යමක් සිදු වෙමින් තිබේ. ඒ සිදු වන දෙයෙහි වැදගත්කම අප අවබෝධ කර ගත යුතු ය. ඒ වෙනස ඇති වූයේ පසුගිය සමය තුළ ලංකාවේ රාජ්‍යය තුළ, අධිකරණය තුළ, පොලිසිය තුළ ඇති වූ යම් වෙනස්කම් නිසා ය. කුහක නොවී ඒ වෙනස ඇති කළ මිනිසුන් දිරි ගැන්විය යුතු ය. ඒ වෙනස වර්තමාන ආණ්ඩුවට පවා අභියෝගයක් වන තැනට වර්ධනය කළ යුතු ය.   

ලංකාව දූෂණයෙන් හා අපරාධවලින් මුදා ගැනීම ආණ්ඩුවෙන් පටන් ගන්නට බලා සිටින, ආණ්ඩුව එහෙම කරනවා නම් අපි මෙහෙම කළාම මොකදැයි අසන අඳබාලයන්ගේ හඬ නො අසන්න. දූෂණය දුරලීම පටන් ගත යුත්තේ අපෙන් ම ය.

අපි අපේ වගකීම ඉටු කරනවා ද? අපි අපෙන් ම අසමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මොන වැරදි තිබුනත් සුදුවෑන් නැති,හමුදාව පාරවල් වල මිනී මරන්නෙ නැති, ජාතිවාදීන්ට රාජ්‍ය අනුග්‍රහය අඩු, රජයේ මාධ්‍යවල පවුලක් ප්‍රවර්ධනය නොකරන යහපාලනය මැරමූලන වනචාරියාගෙ පවුල් පාලනයට වැඩිය 1000 ගුනයක් හොදයි.... රාජපක්ෂ ත්‍රස්තවාදින්ගෙ කාලෙ උන්ට කඩේ ගියපු උන් තමා "මේ ආන්ඩුවට චන්දෙ දුන්න එක ගැන දුක්වෙනව" වගේ හරක් කතා කියන්නෙ

    ReplyDelete
  2. නිතීය ක්‍රියාවට නැගෙන්න UN රපෝටර්ලම එන්න ඕනා, සතියට කෙනා ගානේ ආවත් වරදක් නෑ.

    ReplyDelete
  3. 'විශේෂයෙන් ම ආණ්ඩුවට දූෂණය පටවා සුද්ද වෙන්නට උත්සාහ දරන දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍ය ආදිය රජයටත් වඩා දූෂිත ය. '

    ඇත්තටම පැරා ආණ්ඩුව කියලා මෙතැනදී නිර්වචනය වන්නේ මොකක්ද? විශේෂයෙන් ලංකාව වගේ රටක. කලින් ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් බොහොමයක් මෙහිත් ඇමතිවරුන්. ඔවුනුත් බනිනවා කලින් රජය දුෂිතයි කියල. එතකොට කවුද ඒ කලින් ආණ්ඩුව කියන්නේ? ඊළගට ගත්තම එතකොට මාධ්‍යයත් බනිනවා. මාධ්‍ය අයිතිත් ඇමතිවරුන්ට නොවේද?

    ReplyDelete
  4. //දේශපාලකයන් යනු හදන්නට බැරි පිරිසකි. //

    ඔය දේශපාලකයො පත්කරන්නෙ පිටසක්වලින් ඇවිල්ලද පැරා...

    ReplyDelete
  5. දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලය වසාදැමීම ,
    ආන්ඩුවේ 18-20ක් එකාබද්දෙට යෑම වැලැක්වීම,
    ඉදිරිට එන ඡන්දෙට,
    ආන්ඩුවේ අකාර්යක්ෂමභාවය වසා ගැනීමට,
    ආන්ඩු විරෝධීන් මර්ධනය ,
    වැනි කරුනු නිසා නීතිය නින්දෙන් අවදිවී ඇතිබවක් සම හරක්ට පෙනේ.නමුත් ආන්ඩුව නීතිය හීනෙන් ඇවිද්දවන බවයි අපට පෙනෙන්නේ.
    කලබල නොවන්න පැරා, ලූලගෙ බ්‍ර‍සීලෙට වඩා උතුම් ලංකාවේ හොරු හොරු අතර මාර එතික්ස් තියෙන බව අපි සිහිතබාගමු.‍

    ReplyDelete
  6. සෙමින් හා අඩුපාඩු ඇතුව නමුත් නීතිය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන නම් සාපේක්ෂව සතුටු විය හැකියි.

    ReplyDelete
  7. //ඉදිරියේදී හෝ බලාපොරොත්තු තැබිය හැකි කිසිදු දේශපාලකයකු මේ රටේ නැත.//

    රන්ජන් රාමනායක ගැන බලාපොරොත්තුවක් තැබිය නොහැකිද ?

    ReplyDelete
  8. මහින්ද බේරන වැරදි කරුවන් රකින උමා ඔය විනාශය සුරකින පාහර ආණ්ඩුව .මහින්ද හිරේ ගියොත් අපට මේ ආණ්ඩුව විශ්වශකළ හැකිය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා