අධ්‍යාපන නිදහසේ කතාව ඕනැ බබෙකුට තේරෙන විධියට

හතු පිපෙන්නා සේ තැන තැන ඇරෙන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ද නියාමනයක් අවශ්‍ය ය.
සමාජයක පැවැත්ම සඳහා සියලු දෙනාට ම මූලික අධ්‍යාපනය ලබා දීම අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි සෑම දරුවෙකුගේ ම මූලික අධ්‍යාපනය වෙනුවෙන් සමාජය සමස්තයක් විදියට බදු මුදලින් වියදම් දරා ගැනීම සාධාරණ වෙන්නෙ. ලංකාවෙ නම් මේ වන විට අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කරන්නට රජය පියවර ගනිමින් ඉන්නවා. ඒ කියන්නෙ මේ රටේ මහජනයා සෑම දරුවකු ම අවුරුදු 13ක් පාසල් යන බවට වග බලා ගන්නට ඕනැ. ඒ වියදම් තමන්ගේ බදු මුදලින් දරා ගන්නට ඕනැ.

අධ්‍යාපනය මිනිස් අයිතියක් ය කියන කාරණේ ඔය මූලික අධ්‍යාපනය සම්බන්ධයෙන් සර්ව සාධාරණයි. ඒ වුණාට උසස් අධ්‍යාපනය, යාවජීව අධ්‍යාපනය වැනි අංශවලදී ප්‍රශ්නකාරීයි. හේතු පැහැදිලියි. ලෝකෙ කිසිම රජයක් සියලු දෙනාට උසස් අධ්‍යාපනය අනිවාර්ය කරලා නැහැ. ඒක පෞද්ගලික තෝරා ගැනීමක්. අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් කියා කීවත් වැරදි නැහැ.

පොදුවේ සමාජයට අවශ්‍ය වෘත්තිකයන් නිර්මානය කර ගන්නට රජය උසස් අධ්‍යාපනය නොමිළේ දෙන එක සාධාරණයි. ඒ සඳහා දක්ෂ සිසුන් තෝරා ගැනීමට ක්‍රමවේදයක් තිබීමත් සාධාරණයි. ඒ වගේ ම තමයි, යම්කිසි කෙනෙකුට තමන්ගේ උන්නතිකාමයන් හඹා යන්නට ප්‍රමිතියෙන් යුත් උසස් අධ්‍යාපනය තෝරා ගැනීමේ අවස්ථා තහවුරු කර දීමත් දියුණු සමාජයක ලක්ෂණයක්. උදාහරණයක් විදියට ලංකාවට තව අවුරුදු 25කටවත් ගගනගාමීන් අවශ්‍ය නො වෙන්නට පුළුවන්. ඒ වුණාට මේ රටේ දරුවෙකුට ඒ ගැන ඉගෙන ගන්නට අවස්ථාව තිබීම ගැටලුවක් නෙමෙයි. හැබැයි, අභ්‍යවකාශ තරණය වෙනුවෙන් සැලසුමක් නැති රටක ගගනගාමීන් බිහි කරන්නට රජය මහජන මුදල් වියදම් කරන්නට ඕනැ නැහැ. ඕනැ කෙනෙකුට පුළුවන් තමන්ගේ මුදල් වියදම් කරලා ඕනැ දෙයක් ඉගෙන ගන්න. නොමිලේ කියන වචනය ඇතුළෙම තියෙනවා මිලක් තිබෙන බව. නිදහස් ය කියන්නේ ඒ මිල වෙන අය ගෙවන බවයි. මේක තේරුම් ගැනීම ඉතා පහසුයි. නොමිලේ ඉගෙන ගන්නා සිසුන්ට උගන්වන ගුරුවරුන්ට පඩි ගෙවන්නේ කාගේ සල්ලිවලින් ද? ඒ මේ රටේ වැඩ කරන ජනයා ගෙවන බදු.

රජයේ විශ්වවිද්‍යාලවලට යන්නේ දිළින්දෝ ද?

අනිවාර්ය අධ්‍යාපනය, ඒ කියන්නේ ලංකාවේ නම් අද වන විට වසර 13ක අධ්‍යාපනය, රජයේ වගකීමක් වීම සාධාරණ බව මා කලිනුත් සඳහන් කළා. හේතුව මූලික අධ්‍යාපනය සැම දෙනාට ම සමාන අන්දමින් ලැබිය යුතුයි. ඒ වුණාට මොකද වෙන්නෙ? මේ රටේ ධනය හා බලය ඇති, බොහෝ විට රජය සමග සම්බන්ධ මධ්‍යම පංතික කොටස් විවිධ කූට ප්‍රයෝගවලින් රජයේ හොඳම පාසල්වල ඉඩ තමන්ගේ දරුවන්ට ලබා ගන්නවා. එතනදී ග්‍රාමීය මෙන් ම නාගරික වැඩ කරන ජනතාවගේ දරුවන් පරිධියේ පාසල්වලට තල්ලු වෙනවා. ඔවුන්ට පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ කඩඉම් පසු කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්නට නම් අසාමාන්‍ය දක්ෂතාවක් අවශ්‍යයි. ඒ වුණාට වඩා හොඳ පාසල් අත්පත් කර ගන්නා දරුවන් සාමාන්‍ය දක්ෂතාවලින් ඒ කඩඉම් ජය ගන්නවා. සමාජය ඒ තිත්ත ඇත්ත හොඳින් දන්නවා. ඒ නිසායි, ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කරගන්නට මේ තරම් තරගයක් සමාජයේ තියෙන්නේ.

වෛද්‍ය විද්‍යාලවලට ඇතුල්වන සිසුන්ගෙන් 47%ක් ම නාගරික සිසුන් බව ද 41%ක් අර්ධ නාගරික සිසුන් බව ද 11% පමණක් ග්‍රාමීය සිසුන් බව ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තවලින් හෙළි වෙනවා. අනෙක් පැත්තට ශාස්ත්‍ර පීඨ වලට ඇතුල්වන සිසුන්ගෙන් 15% පමණක් නාගරික සිසුන් වන අතර 51% ග්‍රාමීය සිසුන්. එහෙම වෙන්නෙ අර මා ඉහත දැක්වූ හේතුව නිසා. වෛද්‍ය පීඨයක සිසුන් උගත් පාසල් මොනවාද කියා අධ්‍යයනය කර බලන්න. වැඩිදෙනෙක් නාගරික ජනප්‍රිය පාසල්වලින් පැමිණි අය. හද්දා පිටිසරින් ආපු ළමයි වැඩිපුර ඉන්නෙ කලා පීඨවල. ඔවුන් වැඩිදෙනෙකුට රජය රස්සා නො දුන්නොත් රැකියාවක් සොයා ගන්නට පුළුවන් ආකාරයේ අධ්‍යාපනයක් විශ්වවිද්‍යාලවලින් ලැබෙන්නේ නැහැ. උසස් අධ්‍යාපනයේ ඇත්ත ඒක. මේ රටේ ග්‍රාමීය, අඩු ආදායම්ලාභී, දිළිඳු සමාජ කොටස්වලට නිදහස් අධ්‍යාපනයෙන් ලැබෙන්නෙ රොඩ්ඩ.

ජාත්‍යන්තර පාසල් ළමයින් ධනපති පන්තියේ ද?

ඒ වගේම ජාත්‍යන්තර පාසල්වලට යන විශාල සිසුන් ප්‍රමාණයක් අයත් වන්නේත්, මේ ජනප්‍රිය පාසල් පොරයෙන් ගිලිහෙන ප්‍රවර්ගයටයි. ඔවුන්ගේ මව්පියන්ට ඒ වියදම දරා ගැනීමට හැකි වීම අපරාධයක් නෙමෙයි. ඔවුනුත් මේ රටේ දරුවෝ. මේ දරුවන් රජය විසින් නො තකා හැරීම නිසා ම ඔවුන් අයත් වන්නේ පීඩිත ප්‍රජාවකටයි. (පීඩිතයන් වන්නේ දුප්පතුන් පමණක් නොවෙයි. කොච්චර පොහොසතුන් වුණත් කාන්තාවන් පීඩිතයි. විෂම ලිංගිකයන් නොවන පිරිස් පීඩිතයි. සුළුතර ජාතීන් පීඩිතයි.) ලංකාවේ ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න දරුවන් සංඛ්‍යාවවත් අධ්‍යාපන අමාත්‍යාංශය දන්නේ නැහැ. ඒ දරුවන්ට ඉතා අසාධාරණ අන්දමින් මේ රටේ විශ්වවිද්‍යාල දොරටු වැසෙනවා. ඔවුන් උසස් අධ්‍යාපනය ලබන්නට පිටරට යා යුතුම ද?

ඔය විදියට ලංකාවේ පීඩිත පංතියේ දරුවන්ගේ අධ්‍යාපන සම අයිතිය අහිමි කරන්නේ පළමු ශ්‍රේණියේදීමයි. එ් අහිමි වීම නිවැරදි කර ගන්නට පුළුවන් අසාමාන්‍ය දක්ෂතා තිබෙන දරුවන්ට විතරයි. ලංකාවේ නිදහස් උසස් අධ්‍යාපනය කියන්නේ ඕකට. ඒකෙ පදනම ම පවතින්නේ ජනප්‍රිය පාසල් හිමි කර ගැනීම හා පෞද්ගලික ටියුෂන් මතයි.

සයිටම් තුවාලය

මහජන මුදලින් පවත්වාගෙන යන නිදහස් යයි කියන අධ්‍යාපනය වගේ ම පෞද්ගලික අධ්‍යාපනයත් මේ රටේත්, ලෝකයේත් ඉතිහාසයක් මුළුල්ලේ ම පවතිනවා. කන්නන්ගර මහතා 1940 දශකයේදී නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ පෞද්ගලික අධ්‍යාපනයට අමතරව මිස එය විනාශ කරමින් නෙමෙයි. එයින් අරමුණු කළේ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමයි. සියලු දරුවන් එක වගේ පාසල්වලට යා යුතු ය කියන මෝඩ, බොරු සමාජවාදී සංකල්පය මත පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීම සිරිමාවෝ බණ්ඩාරනායක කළ දෙයක් මිසක් කන්නන්ගර සංකල්පයක් නෙමෙයි.

අපට තිබෙන ගැටලුව සයිටම් නෙමෙයි. අධ්‍යාපනයේ නිදහස කියන සංකල්පයට මේ සයිටම් විරෝධී උද්ඝෝෂණය හරහා එල්ල වන බලපෑමයි. සයිටම් කියන්නේ ලොකු තුවාලයක්. තුවාලයක් හැදුණාම කකුල කපන්නේ තුවාලය හොඳ කරන්නට බැරි නම් විතරයි. සයිටම් තුවාලෙ හොඳ කරන්නට රජය ගත් පියවරවලට උදව් කළ යුතුව තිබෙන්නේ ඒ නිසායි.

අධ්‍යාපනය විකිණීම

රටට අවශ්‍ය වෘත්තිකයන් බිහි කර ගන්නට මහජන මුදලින් පවත්වාගෙන යන උසස් අධ්‍යාපනය අනිවාර්යයෙන් ම තිබිය යුතුයි. කොයිම රජයක්වත් වාමාංශිකයන් කියන ආකාරයේ අධ්‍යාපනය ‘විකිණීමේ' පිළිවෙත් ඉදිරිපත් කර නැහැ. කොයි ම රජයක්වත් රජයේ පාසල්, විශ්වවිද්‍යාල වසන්නට පියවර අරගෙන නැහැ. ඒවා පුළුල් වෙමින් පවතින්නේ. පෞද්ගලික අංශයකට ඉඩ දීම කියන ප්‍රතිපත්තිය නම් තියෙනවා. පෞද්ගලික අංශයකට ඉඩ දීම කියන එකයි, අධ්‍යාපනය විකිණීම යයි අදහස් කරන එකයි එකක් නෙමෙයි. පැහැදිලිව ම දෙකක්. විකිණීම කියන වචනය ම දේශපාලන සංදර්භය තුළ නිශේධාත්මක අරුත්වලින් යුක්ත එකක්. මිළ දී ගත හැකි හැම දෙයකට ම ඒ විකිණීම කියන නිශේධාත්මක අරුත අදාළ නැහැ. උදාහරණයක් විදියට ඔබ පොතක් මිළ දී ගන්නවා. එය මිළ දී ගත් පළියට ඔබ ඔය කියන විකිණීම කියන නිශේධාත්මක අදහස එතන නැහැ.

යම් දෙයක වටිනාකම කවුරුන් හෝ ගෙවිය යුතුයි. රජය මහජන බදු මුදලින් උසස් අධ්‍යාපනය ලබා දෙන්නේ උසස් පෙළ සමත් වන සිසුන් පස්දෙනෙකුගෙන් එක්කෙකුට පමණක් නම් ඉතිරි හතරදෙනාටත් තමන්ගේ මුදල් වැය කර හෝ කැමති නම් උසස් අධ්‍යාපනය ලබන්නට අවස්ථාව තිබිය යුතුයි. පෞද්ගලික අධ්‍යාපනයෙන් එයට යම් අනුපූරක වීමක් සිදු කර ගත හැකි නම් එය වැරදි නැහැ. මේක අදාළ වෙන්නේ ලංකාවේ දැන් තිබෙන තත්වයට. ඉතුරු හතරත් රජයේ විශ්වවිද්‍යාලවලට ම බඳවා ගන්න ය කියා කියන්නට පුළුවන්. හැබැයි ඒකට ලංකාවේ තිබෙන විශ්වවිද්‍යාල සංඛ්‍යාව තව පස්ගුණයකින් විතර වැඩි කරන්නට ඕනැ. ඒක කරන්නට තව විශාල බදු ප්‍රමාණයක් ගෙවන්නට මේ රටේ ජනතාවට සිදු වෙනවා. ඔබ කැමති ද? ඔය දේශපාලකයන් 500කගේ දූෂණය නැති කර ඉතිරි කළත් ඒ මුදල සොයා ගන්නට දශක් හෝ සියවස් ගණනාවක් යාවි. එතකල් අර සිසුන් හතර දෙනාට මොකක්ද කරන්නෙ? සමස්ත සමාජයේ ම වියදමින් උසස් අධ්‍යාපනය ලබන්නට වරප්‍රසාද ලබා ගත් සිසුවෙකු එසේ අවස්ථාව නො ලද, ඒ වෙනුවෙනුත් පෞද්ගලික ධනය වියදම් කරන, රජයට බරක් නැති තවත් සිසුන් හතරදෙනෙකුට ඉගෙන ගන්නට අවස්ථාව දෙන්නට එපා ය කියා උද්ඝෝෂණය කරන එක මිනිස්කමක් ද?

ලෝකෙ රැල්ල

මෙතනදී කියන තවත් කාරණයක් තමයි උසස් අධ්‍යාපන වියදම් රජය විසින් දැරිය යුතු බවට ලෝකයේ අරගලයක් තිබෙන බව. මේ ලෝකයන් දැන ගත යුතු තව කාරණයක් තියෙනවා. ඒ තමයි ලෝකෙ කොහේවත් ලංකාවේ තිබෙන ජාතියේ මෝඩ දේශපාලනික නවක වධයකුත් නැති බව. ලෝකෙ වෙන තැන්වල තිබෙන අරගල පැන නගින්නේ වෙනත් සංදර්භවලින්. ලංකාව කළ යුත්තේ මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයන එක මිසක් ලෝකෙ රැළිවලට ආවඩන එක නෙමෙයි. පෞද්ගලික උසස් අධ්‍යාපනය මේ රටට අවශ්‍ය රජයේ විශ්වවිද්‍යාල වෙනුවට නෙමෙයි. ඒවාට අනුපූරකයක් ලෙසයි . එහි ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු තිබෙන බව ඇත්ත. ඒවා නිවැරදි කළ යුතුයි. ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු හැම තැනම තිබෙන බව කවුරුත් දන්නවා. ඒ වගේ ම හතු පිපෙන්නා සේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි විය යුතු බවත් අප කියන්නේ නැහැ. ඒවා නිසි නියාමනයකට ලක් වීම අනිවාර්යයි. නියාමනයවත් හරියට කර ගන්නට බැරි නම්, එවැනි රජයකින් පවත්නා අධ්‍යාපන ගැටලුවට විසඳුම් දෙන්න බැරි බව අමුතුවෙන් කියන්නට ඕනැ නැහැ නේ.

ලංකාවේ පවතින තත්වය තුළ අපට ස්වාධීන විශ්වවිද්‍යාල පිළිබඳ බලාපොරොත්තු තියන්නට බැහැ. ඒ නිසා මේ කාර්යයන් වෙනුවෙන් රජයේ හා පෞද්ගලික හවුල්කාරිත්වයන් හොඳ විසඳුමක් ලෙස සැලකිය හැකියි. ඒ එක්කම මේ රටේ මිනිසුන්ට දී තිබෙන ව්‍යවසායකයන් යනු සොරුන් ය, ලාභය යනු අපරාධයකි, වෙළඳපොළ යනු පිටුදැකිය යුතු තැනකි වැනි බොළඳ වාමාංශික අදහස් ගැනත් අලුතෙන් සිතන්නට සමාජය පෙළඹවිය යුතුයි. ඔය පිළිකෙව් කරන ව්‍යවසායකයන් විසින් අතීතයේදී කරන ලද ධන පරිත්‍යාගයන් මත තමයි වර්තමානයේදී මධ්‍යම පංතිකයන් පොර කමින් දරුවන් ඇතුළත් කරන, දැන් රජයට පවරාගෙන තිබෙන පාසල් බොහොමයක් බිහි වුණේ.

ඔය නොමිළේ ඉල්ලන සියල්ල වෙනුවෙන් බදු බරට කර ගැසිය යුත්තේ රජයෙන් ඒ කිසිදු සේවාවක් හරියට නො ලැබෙන, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන්, මැදපෙරදිග ශ්‍රමිකයන්, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් වැනි වැඩ කරන ජනතාව. අරගල ඉදිරියට එන්නේ ප්‍රශ්න නිසා බව ඇත්ත. ඒත්, හැම අරගලයක් ම සාධාරණ නැහැ. උදාහරණයක් විදියට අධ්‍යාපනයට මුදල් වියදම් නො කර ඒකත් ඉතුරු කර ගන්නට තියෙනවා නම්, සියල්ල නිකම් ලැබෙනවා නම් කවුරුද අකැමැති? උදාහරණයක් ලෙස, කුඹුරට බිත්තර වී හා පෝර ටික නිකම් දීලා, වාරිමාර්ගත් නඩත්තු කරලා, වගා හානිත් ප්‍රතිපූරණය කරලා, අස්වනුත් වැඩි මුදලට ගන්නවා නම් ගොවීන් අකැමැති නැහැ නේ. වෙන කවුරුහරි ඇවිත් කුඹුරෙ වැඩත් කරලා දීලා යනවා නම් තව සතුටු වෙයි. දැන් ප්‍රශ්නය කවුරුද ඔය දේවල වියදම දරන්නෙ? අපි බදු ගෙවන්නත් අකැමැතියි නේ. කොහේ හරි සුරංගනාවක් ඉන්නවා ද මේ ඔක්කොම අපට දෙන්න.

රජය මූලික කර ගත් ලංකාවේ මධ්‍යම පංතිකයන්ගේ උවමනාව තමයි, වැඩ කරන පීඩිතයන් තව තවත් මහන්සි වී වැඩ කරමින් රජය හා රජයෙන් මධ්‍යම පංතිකයන්ට ලැබෙන වරප්‍රසාද ටික ආරක්ෂා කර දීම. හැම සටනක් ම සාධාරණ නැහැ. මේ මොහොතේ පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධව සිදු වන සටත් අසාධාරණ සටනක්. ඒ බව තේරුම් ගන්නට බැරි පිරිසක් බිහි වී තිබෙන්නේ ඉතිහාසයක් මුළුල්ලේ ගොඩනගලා තිබෙන මිථ්‍යාව නිසා. ඒ මිථ්‍යාව ප්‍රශ්න නො කර භාර ගන්නා නිසා.

- අජිත් පැරකුම් ජයසිංහ, රාවය - 2017-07-02

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති විය යුතුයි.
    එතකොට දෙමළ සිසුන්ට පර සුද්දන්ගේ බාශාවෙන් ඉගෙන ගන්නේ නැතුව ශ්‍රේෂ්ඨ දෙමල බාශාවෙන්ම ඇලෝපති ඉගෙන ගන්න පුළුවන් වෛද්‍ය විද්‍යාලත් හැදෙයි.
    උන්ව ආණ්ඩුවේ රෝහල් වලට ගන්නේ නැතිනම් කරන්න තියෙන්නේ දෙමළ මුදලාලි කෙනෙක්ගේ පෞද්ගලික රෝහලකට බැඳෙන්නත් පුළුවන්. වෙදා අප්සට් නම් සමහර විට ලෙඩා මැරෙයි. බොහෝ විට ලෙඩත් දෙමලෙක්නේත ඉතින් අපිට පාන්ද.
    එය විදියට තමයි නිදහස් වෙළඳපොලකින් දෙමළ ජනතාවගේ ප්‍රශ්ණයට විසඳුමක් ලැබෙන්නේ.
    ඕකට දේශපාලන විසඳුම් නෑ.

    ReplyDelete
  2. Thank you. Very good article. Jinadasa Ovitige

    ReplyDelete
  3. ඕක ඉතාම කෙටියෙන් මෙහෙමයි, කුපන් එකට නොමිලේ සමුපකාරෙන් බඩු ගන්න එවුන්, සුපර් මාර්කට් වහන්න කියල උද්ගෝෂණය කරනවා වගේ කුහක වැඩක් .

    ReplyDelete
  4. මෙතන වම කියල තියෙන්නේ සුලුධනේෂ්වර පෙරටුගාමී වැනි කණ්ඩායම් වලටයි. බාහුලා ඔතන නැත.

    ReplyDelete
  5. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  6. අර්ධ නාගරික සිසුන්
    ග්‍රාමීය සිසුන්
    නාගරික සිසුන්
    පොදු සාධකය
    සිසුන්

    මතු දිනෙක මේ සිසුන්
    වේමය රටේ මිනිසුන්
    මන උස්ස වෙනුවට
    මැටිමෝල් කරන ලද

    ReplyDelete
  7. //උසස් අධ්‍යාපන වියදම් රජය විසින් දැරිය යුතු බවට ලෝකයේ අරගලයක් තිබෙන බව. //

    ඔහොම 'අරගලයක්' නෑ පැරා... මම ජීවත්වෙන්නෙත් ඇමරිකාවේ... ඔතැන තියෙන්නේ ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යේ මිල අධික පෞද්ගලික විෂ්වවිද්‍යාල වලට ගිහින් වැඩකට නැති කලා උපාධි අරගෙන තමන්ගේ ස්ටුඩන්ට් ලෝන් ගෙවාගන්න පුලුවන් තරමේ රස්සාවක් හොයාගන්න බැරි උන්ගේ කෑගැහීම්ක්... උතුරු ඇමරිකාවේ සහ බ්‍රිතාන්‍යේ ඉතා සාධාරන මුදලකට හොද අධ්‍යාපනයක් ලබාගන්න පුලුවන්

    ReplyDelete
  8. පැරා කිවුවා වාගේ, මහජනතාව ප්‍රාණ ඇපයට තබාගෙන කරණුලබන වෘත්තීය සමිති ක්‍රියාදාමයක් හෝ මොනයම් මලදානයක් 'ත්‍රස්තවාදී' ක්‍රියාවක්ම වන්නේය.

    ඒ අනුව, දැන් ඩෙංගු රෝගය වසංගත තත්වයකට පත්ව ඇති මොහොතක, තමන්ගේ වෘත්තීයට බලපෑමක් නොවන ඉලවු සයිටමයක් අල්ලාගෙන GMOA ත්‍රස්ත සංවිධානය දිගින් දිගටම කරගෙන යන වර්ජන ව්‍යාපාරය මිනීමරු 'ත්‍රස්තවාදී' ක්‍රියාවක්ම වන්නේය.

    මේ අන්ත ආත්මාර්ථකාමී, කුහක GMOA නඩය, සෑමවිටම මෙවන් මිනීමරු වර්ජන කරනු ලබන්නේ වෙනත් තමන්ගේ පුරවැසි සහෝදර පිරිසකට ලැබෙන නිත්‍යානුකුල වරප්‍රසාදයක් හෝ අයිතිවාසිකමක් අහෝසි කරණ මෙන් ඉල්ලමිනුයි.

    උදාහරණ ඕනෑතරම් ඇත.:

    හෙද නිලධාරීන් සඳහා වූ සිව් අවුරුදු සම සෞඛ්‍ය උපාධි වැඩ සටහන අවුරුදු තුනක් දක්වා අඩු කරන මෙන් ඉල්ලා වර්ජනය කිරීම. (හේතුව: සිව් අවුරුදු උපාධියට ජාත්‍යන්තර පිලිගැනීමක් පිලිබඳ ඇතිවූ ඊර්ස්‍යාවයි.)

    සහකාර (AMP) වෛද්‍ය වරුන්ට උපාධි ධාරී වෛද්‍ය වරුන් වීමට ඇති අයිතිය නැති භංගස්ථාන කරණ ලෙස ඉල්ලා වර්ජනය කිරීම. ( හේතුව: ඔවුනුත් තමන්ගේ වෘත්තීය තලයට පැමිණීම පිළිබඳව ඇතිවූ ඊර්ස්‍යාවයි.)

    විකාර ලකුණු ක්‍රමයක් නිසා, පිනට උගන්වන රජයේ විශ්ව විද්යාල වලට ඇතුල් වීමට වරම් නොලැබූ නමුත් උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබූ පුරවැසි දරුවන් පිරිසකට 'මුදල් ගෙවා' එම අධ්‍යාපනය ලැබීමට අවස්තාව ලබාදෙන 'SAITM ය වසාදමන ලෙස ඉල්ලා වර්ජනය කිරීම.

    හැබැයි අමතක කරන්න එපා. මේ නසරානි GMOA නඩයම,

    ඩියුටි ෆ්‍රී වාහන ඉල්ලා
    තම දරුවන්ට සුපිරි පාසැල් ඉල්ලාත් වර්ජනය කලබව.

    හා

    පැමිණීම හා පිටවීම අත්සන් නොකර වැටුප් ලබනා 'එකම' රජයේ සේවක කොටස බව.
    අත්සන් නොකර අතිකාල ලබාගන්නා 'එකම' රජයේ සේවක කොටස බව.
    රැකියාවට අමතරව 'ප්‍රයිවෙට් ප්‍රක්ටිස්‌' කර අසීමිතව මුදල් ඉපයීමට වරම් ඇති 'එකම' රජයේ සේවක කොටස බව.
    එම 'ප්‍රයිවෙට් ප්‍රක්ටිස්‌' කිරීම මගින් උපයන අසීමිත මුදල් සඳහා අදායම් බදු නොගෙවන 'එකම' සේවක කොටස බව.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා