ආණ්ඩුවේ යෝජිත ප්‍රවෘත්ති මාධ්‍ය නියාමනය හරි යන මගුලක් ද?

ලංකාවේ ප්‍රවෘත්ති මාධ්‍ය නියාමනය කිරීම සම්බන්ධයෙන් නව නීති සම්පාදනය කිරීම පිණිස පසුගිය දිනවල ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හා සම්බන්ධ ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා වූ බහුපාර්ශ්වීය කණ්ඩායම විසින් සංවාදයක් ඇති කරන ලදී. එහෙත්, ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ උනන්දුවක් ඇති වූ බවක් දක්නට නො ලැබේ.

ඒ සම්බන්ධයෙන් එක් අතකට පුදුම විය යුතු නැත. මාධ්‍ය ක්ෂේත්‍රයේ සිදු වෙමින් තිබෙන දැඩි පරිවර්තනවලට හැඩගැසීමේ හා දැඩි වෙළඳපොළ තරගකාරිත්වයට මුහුණ දීමේ අභියෝගයට මුළු අවධානය යොමු කර සිටින මාධ්‍ය වෘත්තිකයන්ට හා කළමනාකරුවන්ට මාධ්‍ය ප්‍රතිසංස්කරණ ගැන සිතන්නට හෝ වෙලාවක් නැත.
අභියෝගවල තරම තේරුම් ගන්නට පසුගිය දිනෙක මගේ මිතුරකු පත්තර ලෑල්ලක හිමියකු සමග කළ කතා බහක් සඳහන් කරමි. කොළඹ කොටුවේ රීගල් සිනමා ශාලාව අසල ඇති පත්තර ලෑල්ලෙන් පත්තර අලෙවිය ගැන විමසූ විට ඔහු කියා ඇත්තේ දිනපතා පත්තර අතරින් වැඩිම අලෙවියක් ඇත්තේ ලංකාදීපයට බව හා එහි පිටපත් 80ක් විකිණෙන බවයි. මහත් වෙහෙස දරා මුද්‍රණය කරන පුවත්පත් රූපවාහිනී හා රේඩියෝ චැනල් විසින් තමන්ට හිතෙන අන්දමින් උදේ පාන්දරින් ම කියවනු ලැබේ. දවල් වන විට වෙබ් අඩවි, ගොසිප් අඩවි ඒ ලිපි ටික තමන්ගේ වගේ ඒවායේ පළ කර හමාර ය. බොරු මාධ්‍ය සමීක්ෂණ තොරතුරු, ඇඩ්වටයිසිං කොම්පැනි, රජයේ දැන්වීම්, ඒවා දෙන අයට සල්ලි හා කාන්තා ශරීර පූජා ආදිය ඔස්සේ වෙළඳපොළේ අලෙවි කරන භාණ්ඩ හා සේවා ඔස්සේ පාරිභෝගිකයා මත පටවන වෙළඳ ප්‍රචාරණ වියදම බොහෝ මාධ්‍යවල පැවැත්මේ අභිරහසයි.

ලංකාවට ඇත්තට ම අවශ්‍ය ප්‍රමාණයට වඩා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මේ රටේ තිබේ. ඒවා ආරම්භ කරන්නේ බොහෝ විට වානිජ අරමුණුවලටත් වඩා දේශපාලන අරමුණු වෙනුවෙනි. ඇතැම් ජනමාධ්‍යවල හිමිකරුවන් කවුරුද යන්න කර්තෘවරු, කළමනාකාරවරු හෝ දන්නේ නැත. ඒවායේ වැඩ කරන මාධ්‍යකරුවන් නිරන්තරයෙන් ම රැකියා ස්ථාවරත්වය පිළිබඳ අභියෝගයකට මුහුණ දෙති. ඒ නිසා ඔවුන්ට සිය වෘත්තීය සංවර්ධනය තබා ප්‍රවෘත්ති ගවේශනයට හෝ අවධානය යොමු කරන්නට වෙලාවක් නැත.

පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබුණු කටකතාවක් වන්නේ යම් සංවිධානයකට සම්බන්ධ පිරිස් නිවෙස්වලට පැමිණ රුධිරය පරීක්ෂා කිරීමේ මුවාවෙන් එන්නත් කටු මගින් එච්.අයි.වී. පතුරවා හරිමින් සිටින බවයි. එය අසත්‍ය ප්‍ර‍චාරයක් බව ද වගකීමකින් මාධ්‍ය භාවිතා කරන පිරිස් විසින් පෙන්වා දෙන ලදී.

ලේ පරීක්ෂා කරන මුවාවෙන් එච්.අයි.වී. පතුරුවනු ලබන බවට වන කටකතාව ද දැන් දෙවන අදියරට පිවිස ඇත. අද දින පුවත්පත් ගණනාවක හා රූපවාහිනීවල විකාශ වූ පුවත් සමග මේ කට කතාව නිසා ඉදිරි කාලයේදී භයානක ප්‍ර‍තිඵල ඇති විය හැකි ය.

එමගින් ඇති විය හැකි තත්වයන් පිළිබඳ අප විසින් වෙනත් වෙබ් අඩවියකට ලියන ලද ලිපියක් වන ලේ ගන්න කතාව ඇත්තක් ද යන්න කියවන්න.

අප එම ලිපිය සඳහා පාදක කර ගත්තේ දිවයින පුවත්පතේ හා හිරු රූපවාහිනියේ විකාශය වූ පුවත් දෙකකි. ඒ ඔබ දන්නා කින්නියා සිදුවීම පිළිබඳ ප්‍රවෘත්තියයි.

මේ රජයේ පුවත්පතක් වන දිනමිණ පුවත්පත එම සිද්ධිය වාර්තා කර තිබෙන ආකාරයයි.

වානිජ මාධ්‍යවල වාර්තාකරණය හා මහජන මුදලින් මූලිකව නඩත්තු වන දිනමිණ පුවත්පතේ වාර්තාකරණය අතර වෙනසක් තිබේ ද? අප ලේ ගන්න කතාව ඇත්තක් ද ලිපියෙහි මතු කළ මෙම ප්‍රශ්නවලට පිළිතුරු දිනමිණ පුවතේත් නැත.


දිනමිණ?

ඒවා තනිකර ම පදනම් වන්නේ එම සිදුවීමට භාජනය වූ බව කියන බාල වයස්කාර සිසුවාගේ සහ එම දරුවාගේ පියාගේ ප්‍ර‍කාශ මත ය.

සිසුන් රාශියක් ඉගෙන ගන්නා, ගුරුවරුන් රැසක් උගන්වන, මව්පියන් නිතර ගැවසෙන පාසලකදී මෙවැනි සිදුවීමක් සිදු වන විට එය ඇසින් දුටු තවත් අය සිටිය යුතු ය. මෙම මාධ්‍ය එවැනි අය සොයා ගවේෂනයක් කර නැත. එසේ ගවේශනය කළා නම්, සාක්ෂිකරුවන් හමු වුණේ නැතිනම්, ඒ බව සඳහන් කළ යුතු ය. එහෙත්, මෙහි එවැනි සඳහනක් නැත.


සිසුවාගේ ප්‍ර‍කාශය පිළිබඳ වෛද්‍ය සහ මනෝ වෛද්‍ය මතයක් පිළිබඳ කිසිදු විමසීමක් හෝ කර නැත.


පොලිසියේ වගකිව යුතු නිලධාරියකුගෙන් මේ ගැන විමසා අදහසක් ඉදිරිපත් කර නැත.


මෙම සිදුවීම පිළිබඳ අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් විමසීමට හෝ මෙම මාධ්‍යකරුවා කටයුතු කර නැත. ඒ වෙනුවට විදුහල්පතිවරයා ඒ ගැන නොදත් බව තමන්ට කියූ බවට පියා කරන ප්‍ර‍කාශයක් ගැන රූපවාහිනී ප්‍ර‍වෘත්තියෙහි සඳහන් වේ. එහෙත් ප්‍ර‍වෘත්තිය සමග යන අකුරු පෙළෙහි දැක්වෙන්නේ “විදුහල්පති දැනුවත් නැහැලු” යනුවෙනි. එමගින් විදුහල්පතිවරයා පිළිබඳ ඇති කරන්නේ ද නරක ආකල්පයකි.


දිනමිණ පුවත සමග වෙබ් අඩවියෙහි පළ කර තිබෙන ඡායාරූපය ද බිය තවත් වැඩි කරන එකකි.

මාධ්‍ය නියාමනය සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීම පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවකට අපට ද පසුගිය දිනෙක ආරාධනාවක් ලැබිණි. එහිදී මවිසින් පහත සඳහන් කරනු ලබන අදහස ප්‍රකාශ කිරීම සඳහා දෙවරක් ම අත ඔසවා අවස්ථාව ඉල්ලා සිටිය ද එම අවස්ථාව ලැබුණේ නැත. ඒ ගැන පුදුම විය යුතු නැත. අපට බ්ලොග් කලාව මෙතරම් දුරට ගෙන එන්නට හැකි වුණේත් ඔය කතා සාප්පුකාරයන්ගෙන් අපට අවස්ථාව නො ලැබීම නිසා ය. ඒ නිසා මෙච්චර කල් කළා සේ මේකත් බ්ලොග් එකේ ම ලියමි. මවුන්ට් ලැවීනියා හෝටලයෙන් ලැබුණ පාතරාසයට ස්තුතියි.

මට කියන්නට අවශ්‍ය වුණේ මෙයයි: ලංකාවේ මාධ්‍ය විශේෂඥයන් ජාතික මට්ටමෙන් මාධ්‍ය නියාමනය කරන්නට නීති සම්පාදනය කරමින් සිටින අතර මාධ්‍ය වේගයෙන් ගෝලීය අවකාශයක් බවට පත් වෙමින් තිබේ. ගෝලීය අවකාශයක් ජාතික වශයෙන් නියාමනය කරන්නට යාම ම අවසානයේදී ඇති කරන්නේ භයානක තත්වයකි. චීනයේ සමාජ මාධ්‍ය තහනම මෙයට කදිම නිදසුනකි.

එය සිදු වන්නේ මෙසේ ය. අපි උදාහරණයක් ලෙස සිංහල සමාජ මාධ්‍ය සලකමු. ලියවෙන්නේ අන්තර්ගත නිර්මානය වන්නේ සිංහලෙන් වුණාට මේවා සියල්ල ලංකාවේ හතර මායිමේ සිට ලියවෙන ඒවා නො වේ. දැන් දැන් වෙබ් රේඩියෝ හා වෙබ් රූපවාහිනී ද තිබෙන අතර තව ටික කලක් යන විට ඒවා තව තවත් ජනතාව අතරට යනු ඇත. ලෝකයේ හැම තැනම සිට මුදා හරින මාධ්‍ය ජාතික නීතිවලට යටත් නො වන විට සිදු වන්නේ කුමක් ද? රජය ඒවා බ්ලොක් කරනවා ද?


අපි නිකම් පොඩි ප්‍රශ්නයක් අහමු. දැන් පසුගිය දිනවල ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීරට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් වුණා නේ ද?


දැවැන්ත මුල්‍ය අපරාධයක් සිදු කර 2002දී රටින් පැනගෙන පසුව බ්‍රිතාන්‍යයේ වෙසෙන බව වාර්තා වූ ප්‍රමුඛ බැංකුවේ සභාපති වූ රොහාන් පෙරේරා අවුරුදු 15කට පසුවත් තවම නිරුපද්‍රිතව සිටියි. එපමණක් නොව, මේ වන විට මාධ්‍ය පවා ඔහු පිළිබඳ වාර්තා කිරීම නවතා දමා තිබේ.


මෙම සංදර්භය තුළ අප නම් ඔය කියන මාධ්‍ය නියාමනය යථාර්ථයක් වේ යයි සිතන්නේ නැත. දේශීය වානිජ මාධ්‍ය නම් යම් නියාමනයකට ලක් කළ හැකි වනු ඇත.


එහෙත්, නියාමනයට වඩා පහසු වැඩක් තිබේ. රජය, මාධ්‍ය විශේෂඥයන්, මාධ්‍ය හිමිකරුවන්, කළමනාකරුවන්, මාධ්‍ය‘වේදීන්' අප වැනි බ්ලොග්කාරයන් (විජයානන්ද ජයවීර ඉහත සාකච්ඡාවේදී භාවිතා කළ වචනයයි) ඒ ගැන සිතිය යුතු ය. ඒ තමන්ගේ මාධ්‍යකරුවන් පුහුණු කිරීමයි. රජය ඒ සඳහා මාධ්‍යකරුවන්ට උපකාර කළ යුතු ය. දිරිමත් කළ යුතු ය. අප මේ කරන ආකාරයේ මාධ්‍ය නිරීක්ෂණයක් හෝ කරන්නට උත්සාහ කළ යුතු ය.

මෙහිදී රජයට පහසුවෙන් කළ හැකි කාර්යයක් තිබේ. ඒ තමන් යටතේ ඇති විද්‍යුත්, මුද්‍රිත හා වෙබ් මාධ්‍යවල වෘත්තිකමයභාවය ඉහළ නැංවීමයි. තමන්ගේ මාධ්‍ය ආයතන විසින් කරන ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම්වල ගුණාත්මකභාවය ඉහළ නැංවීමයි. ඒ ආදර්ශය අනුගමනය කරන්නැයි සෙසු මාධ්‍යවලට උපදෙස් දීමට එවිට රජයට පුළුවන.

අප මෙම කින්නියා පුවත ම උදාහරණයකට ගන්න. මෙය සිදු වන ආකාරය තේරුම් ගැනීමට ඉවහල් වන ඡායාරූපයක් පහත පළ වේ.


කෝ බොලේ මයික්වල වයර්?

කින්නියා සිදුවීම වාර්තාකරණයෙහි ඇති ගැටලු අප විසින් පෙන්වා දෙන ලදී. බොහෝ විට මෙම වාර්තාකරණය සිදු කරන්නට ඇත්තේ එක ම මාධ්‍යකරුවකු විය හැකි ය. දැන් මේ රජිත් කීර්ති තෙන්නකෝන් බදුරලියේදී කළ වැඩසටහන වාර්තා කරන වයර් නැති මයික් අපට කියන්නේ ඒ කතාවයි. මයික් යනු මාධ්‍යවලත් සංදර්ශන භාණ්ඩයක් වී තිබේ.

දිනමිණටවත් තමන්ගේ ප්‍රවෘත්ති වාර්තාකරුවාගේ තත්වය ඉහළ නංවා ගන්නට බැරි ඇයි? දිනමිණ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ තමන්ගේ භූමිකාව දන්නවා ද? අඩු තරමේ මෙම සිද්ධියේ පසු වාර්තාවක් හෝ මෙම ප්‍රාදේශීය මාධ්‍යකරුවා යොදාගෙන හරියට කර පෙන්වනවා නම් එතැනින් මා කියන මේ දෙය ආරම්භ කළ හැකි ය.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. 'කෝ බොලේ මයික්වල වයර්?' එෆ් එම් මයික් තියෙන්නේ පැරා. වයර් ඕනි නෑ එව්වට.

    ReplyDelete
    Replies
    1. FM වලත් නැටි කැල්ලක් හරි තියනවනේ

      Delete
    2. මෙතන කතන්දරේ එෆ් එම් නෙමෙයි. එක ප්‍රාදේශීය මාධ්‍යකරුවෙක් මාධ්‍ය ගණනාවක වැඩ කරනවා. සමහර විට ඔක්කොම මාධ්‍යවල පළ වන්නේ එකම වාර්තාව. පොඩ්ඩ පොඩ්ඩ වෙනස් කරන්නෙවත් නැහැ. හැබැයි යන්නෙ වෙන වෙන නම්වලින්. වයිෆ්ගෙ නම, පුතාගෙ නම වගේ. මයික්වල වයර් නැත්තෙ ඒකයි.

      Delete
  2. නෙත්, දෙරණ, හිරු, මයික් එන්නෙත් ස්වර්ණවාහිනී මල්ලේම ද?

    ReplyDelete
    Replies
    1. ප්‍රාදේශීය මට්ටමේදී ඔය ඔක්කොටම වාර්තා යවන්නෙ එකම කෙනා.

      Delete
  3. //එහිදී මවිසින් පහත සඳහන් කරනු ලබන අදහස ප්‍රකාශ කිරීම සඳහා දෙවරක් ම අත ඔසවා අවස්ථාව ඉල්ලා සිටිය ද එම අවස්ථාව ලැබුණේ නැත.//

    මහලොකුවට කඩේගියාට ධනපති පන්තියෙන් තමුන්ට ලැබිල තියෙන තැන පෙනවද පැරා... ඉස්සෙල්ල තමුන්ගෙ පන්තිය ගැන තේරුම්ගන්න..

    ReplyDelete
    Replies
    1. ආ හා හා. මට තේරෙන්නෙ නැහැ ඔය පන්ති කතාව. කරුණාකරලා ලංකාවේ පංති විග්‍රහයක් කරන්න මට තේරුම් ගන්න. ධනපති පංතිය කවුරුද? මං අයිති පන්තිය මොකක්ද? අපි එහෙම පන්තිවලට අයිති වෙන පදනම් මොනවද? කරුණාකර සවිස්තරව, සරල බසින් පැහැදිලි කරන්න. මොකද, අපි වගේ කඩේ යන නො තේරෙන කට්ටියට ඔය ලොකු සංකල්ප තේරුම් ගන්න අමාරුයි.

      Delete
    2. වෙනත් අයට කතා කරන්නට අවස්ථාව නොදී එකම පිරිස හැමදාම කතා කරන එක මම නම් තේරුම් අරගෙන තියෙන්නෙ පන්ති ප්‍රශ්නයක් විදියට නෙමෙයි. ඒක ඒ ඒ පුද්ගලයන්ගෙ මානසික ප්‍රශ්නයක්. අනෙක ඒ සභාවෙ විධිමත් සභාපති කෙනෙකු හිටියෙ නැහැ. සභාවක් හරියට මෙහෙයවන එක වෘත්තිකභාවයක්. සභාපති හරියට වාඩි වෙන එක පවා වැදගත්. ඇඩ් හොක් වුණාම හැම දේම ඇඩ් හොක් වෙනවා. මේවා මට නම් පන්ති ප්‍රශ්න නෙමෙයි. වෘත්තිකභාවය පිළිබඳ ප්‍රශ්න.

      Delete
  4. අපි නිකම් පොඩි ප්‍රශ්නයක් අහමු. දැන් පසුගිය දිනවල ලංකා ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීරට ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් වුණා නේ ද? ......////

    පැරා ,
    එතකොට අර LNW අයිති/කරවන නෙලුම්යාය සම්මාන උළෙල කරවන/ සංවිධානය කරන හාදවයාව, එයත් ඔය ගොඩටම අයිතිද?

    ReplyDelete
  5. අද දවසේ මුද්‍රිත මාධ්‍ය කරුවා මුහුණ දෙන ලොකුම ගැටලුව තම පුවත් පත අලවි කරගැන්මයි. පාලනාධිකාරි, කතුවරුන් මත මේ බර පටවති.
    එසේම කතුවරු මුහුණ දෙන අනිත් ගැටලුව නම් තමන්ට වැටුප් ගෙවන හාම්පුතුන්ගේ අභිලාෂයන්ට අනුව පත්තරය මෙහෙයවීමයි.
    මේ සියල්ල අස්සේ පාඨකයෝ කුණු රසයට ලොල් බඳිති. අන්න ඒ හිදැසට තමා අද බොහෝ පුවත් පත් අලවි කරගන්නට තැත් කරන්නේ.
    එසේම ඔබ දිනමිණ අරබයා කර ඇති ප්‍රකාශයේ නම් සත්‍යයක් ඇත. එය මෙයිට වඩා ගවේෂණාත්මකව කර හැකිව තිබිණි.
    නමුත් වැසි ඇති සත්‍ය නම් ඕකයි.

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔකත් ප්‍ර‍ශ්නයක්ද හලෝ? තමුසෙලා ලංකාවේ මිනිස්සුන්ගේ හදගැස්ම අඳුරගෙන නෑ. අපේ රටේ ඉන්න සිංහල බෞද්ධයන්ම කොච්චර ලොකු මාකට් එකක්ද. කොච්චර දේ තියෙනවන ඒ ගොල්ලන්ට විකුණන්න. හඳහන්, මහරහතුන්, යක්කු, බූතයෝ, අර කොණ්ඩදෙණියේ පොර වගේ බහුබූතයෝ. බලනවා අර මවුබිම කොච්චර ලස්සනට වැඩේ ගෙනියනවද? තරුපතිද මොකක්ද කියලා වෙනම් නැකත් පත්තරයක් තියෙනවා. ඒකේ ලිපි දාන්න ලියන එකා ගෙවන්න ඕන. තව හක්ගෙඩි ගේම් අනන් මනන් කොච්චර තියෙනවද? තමුසෙලාගේ වෙස්ටර්න් මොඩල් මෙහෙ හරියන්නේ නෑ ඕයි. මේ රටට ඕන අර මතුගම මහින්ද විජේතිලක වගේ ජනමූල මාධ්‍යකාරයා් අම්ම අප්ප හරි විකුණන් කන.

      Delete
    2. කියල වැඩක් නෑ ඇනෝ සහෝ. මේ සියල්ලම හොදින් දන්නවා. මුද්‍රිත නෙමේ අද විද්‍යුත් මාධ්‍යවලත් මේ මිසදුටුවන් ලක්ෂ ගණන් ගෙවලා තම ලිපි වැඩසටහන් දාගන්නේ. එහෙම දාගන ඒ මුදල වගේ සිය ගුණයක් අහිංසකයන් රවටලා හම්බකරනවා. මේ වගේ එකක්ට ෆෝන් එකෙන් කතා කරන්නත් මුලින් සල්ලි බැදලා ඉන්න වෙනවා. දිනයක් දෙන්නෙත් මාස දෙකකට වඩා පසුවෙලා. හැබැයි ඇත්තටම මාර්කට් තියෙන්නෙත් මේ බොරුවලටම තමා.

      Delete
  6. අයියෝ ඔකත් ප්‍ර‍ශ්නයක්ද හලෝ? තමුසෙලා ලංකාවේ මිනිස්සුන්ගේ හදගැස්ම අඳුරගෙන නෑ. අපේ රටේ ඉන්න සිංහල බෞද්ධයන්ම කොච්චර ලොකු මාකට් එකක්ද. කොච්චර දේ තියෙනවන ඒ ගොල්ලන්ට විකුණන්න. හඳහන්, මහරහතුන්, යක්කු, බූතයෝ, අර කොණ්ඩදෙණියේ පොර වගේ බහුබූතයෝ. බලනවා අර මවුබිම කොච්චර ලස්සනට වැඩේ ගෙනියනවද? තරුපතිද මොකක්ද කියලා වෙනම් නැකත් පත්තරයක් තියෙනවා. ඒකේ ලිපි දාන්න ලියන එකා ගෙවන්න ඕන. තව හක්ගෙඩි ගේම් අනන් මනන් කොච්චර තියෙනවද? තමුසෙලාගේ වෙස්ටර්න් මොඩල් මෙහෙ හරියන්නේ නෑ ඕයි. මේ රටට ඕන අර මතුගම මහින්ද විජේතිලක වගේ ජනමූල මාධ්‍යකාරයා් අම්ම අප්ප හරි විකුණන් කන.

    ReplyDelete
  7. "ඇතැම් ජනමාධ්‍යවල හිමිකරුවන් කවුරුද යන්න කර්තෘවරු, කළමනාකාරවරු හෝ දන්නේ නැත."එහෙනන් කොහොමද බං ඒ මාධ්‍ය ආයතන වලට දේශපාලන අරමුණු තියන්නෙ

    ReplyDelete
    Replies
    1. පේන්න ඉන්නේ කෙනෙක් එත් හැබැ හිමිකරු සැගව ඉන්නේ. අරමුණ කරා මෙහෙයවන්නේ අර පේන්න ඉන්න කෙනා.

      Delete
  8. සාකච්ඡා සඳහා ආරාධනා ලැබ ගිහින් තුන් හතර දෙනෙකු ගේ දේශන අසා බත් කා ඒමට ලැබීම නම් මහා කාලකන්ණි වැඩක්!

    ReplyDelete
    Replies
    1. සත්තකින් ම. මා මේවාට සහභාගි වීම අවම කරලායි තියෙන්නේ. මේ විෂය ගැන තිබුණු උනන්දුව නිසා ම මෙයට සහභාගි වුණා.

      මෙවැනි වැඩසටහන් සාකච්ඡා යයි කීවාට ඇත්තට ම මේවා සංවිධානය කරන අය එහෙම සාකච්ඡාවලට එච්චර කැමති නැහැ.

      ප්‍රජාතාන්ත්‍රික සමාජ ක්‍රියාකාරිත්වයන් ව්‍යාපෘතිගතකරණය වීම කියන්නේ මේ වන විට සිදු වී තිබෙන ඉතා නරක දෙයක්. මහජන සාකච්ඡා ආදිය ව්‍යාපෘතිවලට ඇතුළත් කරනවා. ඊට පස්සේ තියන්නන් වාලේ ඒවා තියෙනවා.මහජන අදහස් විමසීම් වුණත් එහෙමයි.

      මේ ව්‍යාපෘතිකරණය ගැන සමාජයට හෙළිදරව් කළ යුතුයි. අහිංසක ජනතාව ව්‍යාපෘති අවංක ප්‍රයත්නයන් ය කියලා හිතලා ඒවා වෙනුවෙන් කාලය, ශ්‍රමය, ධනය වැය කිරීම තේරුමක් නැහැ.

      හැබැයි මේ වැඩවලින් සාධනීය ප්‍රතිඵල නො ලැබෙනවා නෙමෙයි. ව්‍යාපෘතියට පවා අවංක වීමයි අවශ්‍ය. බොරු නො කර තමන් කරන දේ සීරියස්ලි කරන වෘත්තිකයිනුත් රටේ ඉන්නවා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා