ලංකාවේ සමාජය බෙදන, කාලකණ්ණිකම පතුරුවන ජිනීවා මෙගා නාට්ටිය

අාණ්ඩුවේ, දෙමළ ඩයස්පෝරාවේ සහ මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධානවල වාර්ෂික ජිනීවා විනෝද චාරිකාව පසුගියදා අවසන් ය. යුද අපරාධ අනුමත කරන මානව හිමිකම් විරෝධීන් වන සරත් වීරසේකර හා කීර්ති වර්ණකුලසූරිය ද මෙවර එයට සහභාගි වූ හ.

ඇමරිකා එක්සත් ජනපදය විසින් දිරිමත් කාන්තාවන්ට වාර්ෂිකව පිරිනමනු ලබන සම්මානයක් රාජපක්ෂ පාලනය විසින් අතුරුදහන් කරන ලද මාධ්‍යකරුවකු වන ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට හිමි වීම මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරය හා සමාන්තරව සිදු වූ සුවිශේෂ සිදුවීම විය. ප්‍රගීත් එක්නැලිගොඩ වෙනුවෙන් යුක්තිය ඉල්ලා ඇය ගෙන ගිය අරගලය නො වන්නට ඔහු මාධ්‍යවේදියකුදැයි අහන මාධ්‍යකරුවන් සිටින රටක ඔහුගේ අතුරුදහන් වීම නම් ලැයිස්තුවක තවත් එක් නමක් පමණක් වන්නට ඉඩ තිබිණි.

දැන් කලක සිට ඇදී යන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ක්‍රියාවලිය හරහා ඇත්තෙන් ම කිසිවක් සිදු වී ද යන්න සිතා බැලීමට කාලය එළඹ තිබේ. 

මේ වන විට ලංකාවේ ආණ්ඩුව වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ මිනී නො මරයි. මාධ්‍යකරුවන්ට පහර නො දෙයි. එහෙත්, ආන්තික දේශපාලන බලවේග මළ මිනී ඉල්ලමින් පෙළපාලි යන අතර, අද නැති නම් හෙට ආණ්ඩුව මිනී මරනු ඇතැයි අපේක්ෂා අභිරුචියෙන් යුතුව පළ කරති.

බලවත් අපරාධකරුවන්ට එරෙහිව නීතියේ මුක්තිය අවසන් කිරීමේ ඇතැම් ක්‍රියාමාර්ග ගැනෙමින් තිබේ. ඒවා විශ්වසනීය ලෙස ඉදිරියට යන්නේ නැත. රටේ ඉහළම තැන්වලින් පරීක්ෂණවලට බලපෑම් සිදු වන බවට චෝදනා නැගේ. එසේම, විමර්ශන අංශ අධිෂ්ඨානයකින් හා වෘත්තික ස්වභාවයකින් කටයුතු කරන බවක් ද දක්නට නො ලැබේ. රාජපක්ෂ පාලනයේ බලපෑම තවමත් ඒවායේ තිබේ.

විමර්ශනවලට වින්දිතයන්ගේ සහයෝගය නො ලැබීමේ ගැටලුවේ ගැඹුර නිරූපණය කළ සිදුවීමක් වන්නේ පහර කෑමට ලක් වූ මාධ්‍යකරුවකු වන කීත් නොයාර් ඔහුට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් නො වීමයි. මෙම සැකකරුවන්ට එරෙහිව ප්‍රබල විද්‍යාත්මක සාක්ෂි පවතිද්දී මෙම මාධ්‍යකරුවා මෙසේ සැඟවී යාම ද ඇත්ත වශයෙන් නින්දා සහගත ක්‍රියාවකි. අපරාධවලට එරෙහි මුක්තිය පැලපදියම් වීමට එක් හේතුවක් වන්නේ වින්දිතයන්ගේ මෙවැනි පරාධීන ක්‍රියා ය. මෙම වින්දිතයා සාමාන්‍ය මිනිසකු නො ව, ජ්‍යේෂ්ඨ මාධ්‍යකරුවෙකි.

රාජපක්ෂ පාලන සමයේ කොළඹ ඝාතක කල්ලි ගැන වැදගත් තොරතුරු දන්නා තිදෙනෙකු වන ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා හා කපිල හෙන්දාවිතාරණ තමන්ගේ අපරාධ වගකීම ගැන විවාද කර ගන්නා විසුළු සහගත තත්වයක් ද මේ අතර පැන නැගී තිබේ.

යුද්ධයේ අවසන් අදියරේදී රජය හා කොටි සංවිධානය විසින් කරන ලද යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනවල කිසිදු ප්‍රගතියක් සිදු වී නැත. 

ජාතීන්ගේ ප්‍රශ්නයට බලය බෙදා ගැනීම ඔස්සේ විසඳුම් සෙවීමේ ද, රාජ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ ද ක්‍රියාවලිවල සැලකිය යුතු ප්‍රගතියක් නැත.  

ලංකාවේ යම් වෙනස්කමක් සිදු වී නම් ඒ වනාහි ලංකාවේ ජනතාව විසින් මහින්ද රාජපක්ෂ පාලනය පැරදවීමත් සමග ඇති වූ තත්වයක් විනා අන් යමක් නො වේ. ඒවාට ජිනීවා මානව හිමිකම් කවුන්සිල් සැසිවලින් සිදු වී තිබෙන බලපෑම අවම ය.

මානව හිමිකම් කවුන්සිලය හා ශ්‍රී ලංකාව සම්බන්ධ ක්‍රියාවලිය වනාහි මේ වන විට විශාල පිරිසකගේ පැවැත්ම සඳහා දිග්ගසමින් පවත්වාගෙන යන මෙගා ටෙලි නාට්‍යයකි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ආණ්ඩුව, දෙමළ ඩයස්පෝරාව, මානව හිමිකම් සංවිධාන ආදිය එක්ව ලංකාවේ මානව හිමිකම් වවාගෙන කෑම මිස මේ නාඩගමින් ලංකාවට වන කිසිදු සෙතක් නැත. මේ සියල්ලන් ම ලංකාවේ සමාජය තුළ මෙම ජිනීවා නාඩගම විසින් නිර්මානය කරනු ලබන කාලකණ්ණිකමට වග කිව යුතු ය. 

තොපි ඔක්කොම බම්බු ගහගනිල්ලා ය කියා, අතීතය අමතක කර, ලංකාවේ ජාතීන් අතර ප්‍රශ්නයට විසඳුමක් නිර්මානය කර ගනිමින් අනාගතය ගොඩනගා ගැනීම වෙත අපගේ දේශපාලනය යොමු විය යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හිටපු මාධ්‍යවේදී කීත් නොයාර් කියා ලියමු,

    ReplyDelete
  2. මං හිතන් හැටියට කීත් නොයාර් ආවේ නැත්තේ පරීක්ෂණ ගැන තිබෙන විශ්වාසය අඩු නිසා. රණ විරුවනට් දඬුවම් කරන්න ඉඩ දෙන්නේ නැහැ කියා ජනාධිපති කියන විට වින්දිතයනට විශ්වාසයක් ඇතිවෙයිද ?

    ReplyDelete
    Replies
    1. ජනාධිපති මොනවා කිව්වත් පුරවැසියන් ලෙස අපට සමාජ වගකීමක් තියෙනවා. එතැනදී සමාජයට ලොකු ටෝක් දීමේ ඔස්තාද්ලා වන ජනමාධ්‍යකරුවන්ට විශේෂ වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉටු නො කර ඉන්නට ඕනෑ තරම් තර්ක හදා ගත හැකියි. එහෙත්, සමාජය වෙනස් කිරීම වෙනුවෙන් ලියනවා නම් ඒ අභියෝගය ගන්නට ආත්ම ශක්තිය තිබිය යුතුයි.

      කීත් නොයර්ලා හැසිරෙන විදියත් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අදාළයි.

      Delete
    2. ගිය දේවල් ගියා කියල.. පරණ වෙච්ච දේවල් අමතක කරල අලුත් රටක් හදන්න කැමැති නැද්ද බන් උඹලා... වෛරයෙන් වෛරය ‍නොසන්සිදේ කියල බුදු හාමුදුරැවොත් කියල තියෙනව.

      Delete
    3. ඒකට මම එකඟයි. ඒ වුණාට මේ ජිනීවා කට්ටිය තුවාලෙ විකුණන් කන හිඟන්නෝ.

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. බයියෝ හිතුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් උන්ගේ ගැලවුම්කාරයා කියලා. එහෙම හිතලා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆොටෝ එකට වැඳපු බයොයොත් හිටියා. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සන්ධ්‍යා එක්නැළිගොඩට තෑගි හම්බ වෙන කොට මුන්ට කාලා ඉන්න බෑ.

      හූ... හූ... ඇද්ද තොපිට?

      Delete
  4. මේ මානව හිමිකම් දේෂපාලකයන්ට මතක් වෙන්නෙම විපක්ෂයට ගියාමනේ...

    ReplyDelete
  5. පැරා,

    //රටේ ඉහළම තැන්වලින් පරීක්ෂණවලට බලපෑම් සිදු වන බවට චෝදනා නැගේ.//

    අන්න දියාරු කළා, කියන්න ඕනේ {රටේ ඉහළම තැන්වලින් පරීක්ෂණවලට බලපෑම් සිදු ප්‍රසිධ්දියේ සිදුවේ } කියලයි , අයි ඔබට මතක නැද්ද රටේ පොලිස්පති "yes sir yes sir three bags full" කිව්වා ප්‍රසිද්ධියේ.


    //එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, ආණ්ඩුව, දෙමළ ඩයස්පෝරාව, මානව හිමිකම් සංවිධාන ආදිය එක්ව ලංකාවේ මානව හිමිකම් වවාගෙන කෑම මිස මේ නාඩගමින් ලංකාවට වන කිසිදු සෙතක් නැත. //
    හරියට හරි.

    //තොපි ඔක්කොම බම්බු ගහගනිල්ලා ය කියා, අතීතය අමතක කර, ලංකාවේ ජාතීන් අතර ප්‍රශ්නයට විසඳුමක් නිර්මානය කර ගනිමින් අනාගතය ගොඩනගා ගැනීම වෙත අපගේ දේශපාලනය යොමු විය යුතු ය.// සිදුවෙන්න ඕනේ මෙයයි.

    //මං හිතන් හැටියට කීත් නොයාර් ආවේ නැත්තේ පරීක්ෂණ ගැන තිබෙන විශ්වාසය අඩු නිසා.//
    මයිත්‍රී රනිල් ඩබල කරන බොරුව ඇස්කන් ඇරගෙන ඉන්න මිනිසුන්ට පේනවා

    ඔබට මතකද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සබාපති වෛද්‍ය නිලංග සමරසිංහ වුන දේ, ඔහුගේ ආරක්ෂාව එක දිනකින් ඉවත්කලා ඔබට මතකයිද දැන් ?

    ReplyDelete
  6. //ආන්තික දේශපාලන බලවේග මළ මිනී ඉල්ලමින් පෙළපාලි යන අතර, අද නැති නම් හෙට ආණ්ඩුව මිනී මරනු ඇතැයි අපේක්ෂා අභිරුචියෙන් යුතුව පළ කරති//

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා