කවිය යනු ඉරිදා ඇඳුම් ඇඳ ගත් සත්‍යයයි

පසුගිය දිනවල මට ප්‍රභාත් වරුසමානගේ නිලිවරම කවි පොත ගැන අදහස් දැක්වීමක් කරන්නට සිදු වුණා ඒ පොතේ දොරට වැඩුමෙදි. ඒ වෙනුවෙන් සූදානම් වෙද්දි තමයි කවිය ගැන අපූරු අර්ථකථනයක් වන මෙම ප්‍රකාශය දැනගන්නට ලැබුණෙ.

කවිය යනු සත්‍යයයි. හැබැයි ඉරිදා ඇඳුම් ඇඳගත්ත. අද ඉරිදා නේ. ඉරිදා නිවාඩු. ක්‍රිස්තියානි ආගමිකයන් එදාට පල්ලි යනවා. පල්ලි යනකොට අඳින්නෙ විසිතුරු ඇඳුම්. නැතත්, ඉරිදාට කවුරුත් අඳින්නෙ නිදහස් ඇඳුම්. උණුසුම් රටක් වන ලංකාවෙ ජීවත් වන පිරිමි අප නම් එදාට උඩට ඇඳුම් නැතිව ඉන්නවා. ගැහැණු ඇතැමුන් නයිටියෙන් දවල් වෙනකල් ඉන්නවා. එහෙම නැතිනම් බ්‍රෙසියර් නැතුව ඉන්නවා.

කවිය කියන්නෙ එහෙම සත්‍යයක්. එක්කෝ සත්‍යයට විසිතුරු සළු පිළි අන්දවලා. නැතිනම් සත්‍යයේ විසිතුරු සළු පිළි ගලවලා බාගෙට නිරුවත් කරලා.

ප්‍රභාත්ගේ කවි හැම එකක ම අලුත්, විසිතුරු ඇඳුම් නැහැ. අප ඉතින් පුරුදු වී ඉන්නේ ගතානුගතික ඇඳුම්වලට නේ.

ප්‍රභාත් මට මුලින් ම හමු වුණෙත් අනුරාධපුරේදීයි. ප්‍රභාත්ගේ කවිවල රජරට සුලබ සංකේත එමටයි. හැබැයි, ඒ සළු ගලවා බාගෙට නිරුවත් කරපු ඇතැම් තැන්වල ප්‍රභාත්ගේ කවි සිතේ සුන්දරකම මට ස්පර්ශ වුණා.

ලෙන්ගතු නැතිය කිය කියා
ලෙන්ගතු නුඹටමයි තමා
සමුගෙන යන්නෙමයි කියා
දැවටුනේ නුඹ අසලමයි සදා

(යශෝධරා නුඹයි, නිලිවරම - පිටුව 16)

දෙරියනක් උඩ සිටන් දුටු ලොවම සුන්දරයි
රඟහලින් එපිට සැඩ ලෝකයම දුෂ්කරයි

(රඟහල සොඳුරුයි නුඹ සේම, නිලිවරම - පිටුව 16)

හෙට දවස නොසිතාම
හිත්පිත් නැති උන් එක්ක
මොණර කොළ ලැබෙනතුරු
අම්මේ මම නටනවා
CLUB එකේ

VIP සෙක්ෂන් එකේ
අලුත් කෙල්ලෝ
රොත්තක්ම ඇවිල්ලා
නෙක පාට උලාගෙන
අඟර දඟර පාන
උන් එකිනෙකා පරයමින්
තරඟයට නටනවා
අම්මේ මම නටනවා

..............

සීතලේ ගුලි ගැහී
අඹුදරු එක්කලා
ලෝකයම නිදද්දී
නොනිදමින් හිරි අරින
උන් සමඟ නිදිවැදී
අම්මේ මම නටනවා

(CLUB කෙල්ලගෙන් අම්මාට, නිලිවරම - පිටුව 42)

මේ දොරට වැඩුමට ඇවිත් තිබුණු වැඩිදෙනෙකු මාව දන්නෙ නැති බව මට සහතිකයි. ඉතින් එතැනදී මාව හඳුන්වා දුන්නෙ ගේය පද රචකයකු ලෙසයි. ඒ වුණාට මා නම් ලියපු මාකට් වුණ ගේය පදයක් නැහැ. මා ලියපු ගී පදයක් ගායනා කළා නම් ගායනා වුණේ මාකට් එකෙන් එළියෙ. මා ගේය පද රචකයකු නෙමෙයි. කවි නම් ලියලා තියෙනවා.

කවියට වඩා ඔය කියන ගේය පද කියන ජාතිය උත්කර්ෂයට නැංවී ඇති බව ප්‍රභාත්ගේ කවි පොතෙනුත් පෙනෙනවා. ඒ බොහෝ කවි ගීත ලෙස විනාඩි තුනේ ස්ථායී අන්තරා සීමාව ඇතුළේ ලියවිලා තිබෙනවා ය කියා මට හිතෙනවා.

ඒකත් ඉතින් එක්තරා විදියකට සතියේ අනෙකුත් දවස්වල ඇඳුම් වගේ. කවිය කියන්නේ ඉරිදා ඇඳුම් ඇඳ ගත් සත්‍යයයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා උන්ට කියන්න ඕන කරලා තියෙන්නේ උඹ බයිලා පදකාරයෙක් කියලයි. පොඩි මිස්ටේක් එකක් වෙලා. සොරි ආ

    ReplyDelete
  2. සළුපිළි හිරවෙන්න ඇඳි වුන් සළුපිළි නැති කවි/කතා ලියනවා, සළුපිළි නැති වුන් සදාචාරවත් කතන්දර කියනවා.

    ReplyDelete
  3. කවිය කියන්නෙ කියා ගන්න බැරිදේ කියන එක. (ජයලත් මනෝරත්න - ගුරු තරුව)

    ReplyDelete
  4. පැරා උඹ ඊශාට ලිව්ව කවියක් හමු වුණා. මචං පළ කරන්න ද?

    ReplyDelete
  5. පැරාගේ කතාවේ දී ඒ වරද නිවැරදි කර තමන්ව දේශපාලන බ්ලොග් රචකයෙකු ලෙස හඳුන්වා දෙන්නට ඇතැයි සිතනවා.

    ReplyDelete
  6. පැරා උඹට මතක ද අපි උඹට මෙන්න මෙහෙම කිව්වා:


    //ඩොක්සාවට එරෙහිව අරගල කරන්න බ්ලොගයක් පටන් ගත්ත පැරා අද ඩොක්සාවේම මුර බල්ලෙක් වෙලා. මේ තත්වය ධනවාදයේ ස්වාරක්ෂණ විභවතාව සමඟ සමරූප්‍ය වෙනවා. ධනවාදයේ සුවිශේෂ ලක්ෂණයක් වන්නේ ධනවාදයට පිටතින් පැමිණෙන පසමිතුරු බලවේග ධනවාදය වෙතම ස්වීකරණය කර ගැනීමේ හැකියාවයි. එලෙසම ඩොක්සාවට එරෙහිව අරගලයක යෙදි පැරා අද ඩොක්සාවේ ආරක්ෂකයා බවට විපරිවර්තනය වෙලා.

    පැරා අද තමා කවුද, මොනවද කරන්නේ කියලා දන්නේ නැහැ. පැරා තවදුරටත් ඉන්නව ද? ඒ ප්‍රශ්නයට උත්තරය පැරා සොයන්නේ මාර්ක්ස්ටත් එහා ගිහින්. කාටීසියානු ද්වයිතය තුළ ඛණ්ඩාංක අහිමි කරගත්ත සෑම චරිතයක් ලෙසම පැරා තම පිහිටුම සොයන්නේ රෙනේ ඩෙකාර්ට් තුළ. තවත් විදියකින් කියනවා නම් පැරා තමාගේ පැවැත්ම ගැන තියෙන සැකයම පැරාගේ පැවැත්මේ සාක්කියක් බවට පත් කරගන්නවා. ඒ තමයි කොජිටෝව.

    විප්ලවීය ගමනක් මාර්ක්ස්ගෙන් අරබා ෆ්‍රීඩ්මන් දක්වා ගොස් අවසානයේදී ඩෙකාර්ට් දක්වා යෑම අවුලක් නොවේද? පූර්ව සුනාමි යුගයේදී වාම විප්ලවීය දේශපාලනයේ සිළුමිණ වැනි පුවත්පතක කර්තෘත්වය දැරූ, එයින් නමක් හදාගත් පැරා අද වෙනකොට මතුගම විත්ති වාර්තාකාරයෙක් බවට පත් වන්නට හෝ බැරිව නන්නත්තාර ඕපපාතික චරිකයක් බවට පත්වුයේ ඇයි.

    අපට Pierre Bourdieu මෙතනට ගෙන එන්න වෙන්නේ පැරාගේ මෙන්න මේ අවුල ඥානනය කර ගන්නයි. ඇත්තෙන්ම පැරා සමාජ බලවේග සමඟ අරගලය ඔබ ඔය කරමින් ඉන්න අඳුරේ අතපත ගෑමෙන් කරන්න බැහැ. කුමාර් සහෝදරයාගේ ප්‍රශ්නය ගැන එක මතයකට එන්න බැරි පැරා ගෝලීය ධනවාදය සමඟ පිළිමල් වෙනවා කියන්නේ භයංකාර විහිළුවක්. පැරා එවැනි අවධානමක් තනියම ගත්තට ඒක අපට ප්‍රශ්නයක් නොවේ. ඒත් පැරා තමන්ගේ භයංකාර විහිළු සදහා මේ රටේ තරුණ පරම්පරාව යොදා ගැනීම අපි තරයේ හෙලා දකිනවා.

    අනාගත පරම්පරාවල සුරක්ෂිතතාව සඳහා අපි මෙසේ පවසනවා: අජිත් පැරකුම් ජයසිංහ තරුණ පරම්පරාව ගොනාට ඇන්දවීම වහාම නතර කරනු!

    අපගේ අත්වල ලේ තැවරී නැත. තරුණ පරම්පරාව අත්වල ලේ තවරා ගන්නවාට අප කැමතිද නැත. තරුණ පරම්පරාවේ බුදිධිමත් සහෝදරවරුනි, ඔබ අපේ සම්පතයි. අපි අපගේ කාර්ය ඉටු කලෙමු. අපි ඔබ ජයටැඹ පේන මනෙයට ගෙන ආවෙමු. අපට එම ජයග්‍රාහී දේශයට පිය නගන්නට නොහැකි වන්නට පුළුවන. අප වෙනුවෙන් ඔබ ජය ග්‍රහණය සමරන්න ඒ දේශයේ දී. අප අපගේ පණනල අනන්ත වා ගැබට එක්කර ඔබගේ ජයග්‍රහණ සැමරුමට අසිරි නද දෙමු.

    අජිත් පැරකුම් ජයසිංහ දර්ශන පතයෙන් ඉවත් කිරීම මේ මොහොතේ වාම විප්ලවීය දේශපලෙනයේ ඵෙතිහාසික කාරියභාරයයි. ඔබට එය කළ හැකිය. //


    උඹ එදා අප පැවසූ දෙය මීටර් කර ගත්තේ නැහැ. උඹට යළි චාන්ස් එකක් ඇවිත්. කරුණාකර අරුණි ලියා තිබෙන ඉස්තරම් ලිපිය කියවපං. අරුණ ඒ ලිපිය අවසානයේ පැහැදිලි කරලා තියෙනවා "කාටීසියානු ද්වයිතය තුළ ඛණ්ඩාංක අහිමි කරගත්ත සෑම චරිතයක් ලෙසම පැරා තම පිහිටුම සොයන්නේ රෙනේ ඩෙකාර්ට් තුළ. තවත් විදියකින් කියනවා නම් පැරා තමාගේ පැවැත්ම ගැන තියෙන සැකයම පැරාගේ පැවැත්මේ සාක්කියක් බවට පත් කරගන්නවා. ඒ තමයි කොජිටෝව. " කියන ප්‍රකාශයේ සාරය. ඊය පස්සේ උඹට වැටහෙයි මෙන්න මේ දාර්ශනික විපරිවර්තනය අජිත් පැරකුම් ජයසිංහ පාවිච්චි කරලා තියෙන බව.

    Cogito ergo sum > Dubito ergo cogito ergo sum

    මේකේ තියෙන පිස්සු හැදෙන කොටස වෙන්නේ උඹ වගේ අපතයෙක් උඹේ සවිඥානික කුජිත වැඩ වහගන්න අවිඥානිකව දර්ශන විද්‍යාව අවභාවිත කරන එකයි.

    ඉතිං පැරා උඹ අප ලියන දේ නොකිව්වාට කමක් නැහැ. අඩුම ගානේ අරුණි කියවපං. බවාන්දකාරෙන් උඹ ගලවා ගන්න අරුණි කියවීම උදව් වෙයි. මචං වමේ දේශපාලනය කියන්නේ ස්ත්‍රී පශ්චාත් භාගය සම්භාහනය කරනවාට වඩා සීරියස් වැඩක්. උඹ නිතරම කියනවානේ උඹ පෙනී ඉන්නේ සමාජවාදය වෙනුවෙන් කියලා. අපි එදත් කිව්වා, අදත් අදත් කියනවා උඹේ සමාජවාදය නට්සි සමාජවාදය කියලා. අපට ඒක හෙටත් එහෙම කියන්න නොවෙන විදියට වැඩ කරපං පැරා.

    උඹ කවුරු වෙනුවෙන් පෙනී හිටියත් අපි පශ්චාත් නූතනවාදී ප්‍රතිගාමීත්වයට එරෙහිව ටෙරී ඊගල්ටන් වෙනුවෙන් පෙනී සිටිනවා.

    උඹට එදා වගේම අදටත් ආදරේ අපි, වෙන කවුරැවත් නොවේ,

    වමේ අපි
    (අන්තර්ජාතික වාම විප්ලවීය දේශපාලනයක ලාංකීය සන්ලකුණ)

    ReplyDelete
  7. පැරා, මේක ලිව්වෙත් අපි. ඇයි උඹ එහෙනම් ඒක මැකුවේ නැත්තේ???

    //පැරා උන්ට කියන්න ඕන කරලා තියෙන්නේ උඹ බයිලා පදකාරයෙක් කියලයි. පොඩි මිස්ටේක් එකක් වෙලා. සොරි ආ//

    ReplyDelete
  8. ////දෙරියනක් උඩ සිටන් දුටු ලොවම සුන්දරයි
    රඟහලින් එපිට සැඩ ලෝකයම දුෂ්කරයි////////////

    නිලියන්ට විතරක් විතරක් නෙමේ පැරා....ජීවිතේම "රඟන" අයටත් අදාලයි. අපි නළුවෝ සහ නිලියෝ කියලා හිතා ගත්තාම හරි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා