අඟහරුවාදා රෑ තමයි රෑ

පුංචි කාලෙ මං 
මාර්තු 21, අඟහරුවාදා රාත්‍රී 9.30ට මාත් එනවා ස්වාධීන රූපවාහිනියට බ්ලොග් ගැන කතා කරන්නට. තරහකාරයන්ට, ඉරිසියාකාරයන්ට, කඩාකප්පල්කාරිත්වයට ලොල් අයට, නිර්නාමිකව ආතල් ගන්නා නම ගැන සැලකිලිමත් පඬිවරුන්ට ආදී කොයි කාටත් ආරාධනා කරනවා බ්ලොග්කරණය ගැන කතා කරන්නට. බලන්න කවුද ඇත්ත කියන්නෙ?

පුංචි කතාවක් කියන්නම් දැනට. ජොලියට මිස මනෝ විශ්ලේෂණයට නෙමෙයි. හැබැයි, එක එක විදියේ මිනිසුන්ගේ අත්දැකීම්වලින් ලෝකය තේරුම් ගන්නට කැමති බුද්ධිමත් මිනිසුන්ට මෙවැනි කතා වැදගත් වෙන්නට පුළුවන්. 

මා මේ බ්ලොගය පටන් අරගෙන දැන් අවුරුදු අටක් විතර වෙනවා. ඊට කලින් මා මේ නමින් ම වෙබ් අඩවියක් පවත්වාගෙන ගියා.

හිරු පුවත්පතෙන් ඉවත් වීමෙන් පසුව 2005දී අප කණ්ඩායමක් ලෙස මුලින් ම පටන් ගත්තේ ලංකා ලෙෆ්ට් කියලා වෙබ් අඩවියක්. අන්තර්ජාලය, වෙබ් අඩවි නිර්මානය ගැන මුළුමනින් ම අලුතෙන් ඉගෙන ගත් ඒ දිනවල ඇත්තට ම මට අන්තර්ජාල සම්බන්ධයක්වත් තිබුණෙ නැහැ.

රාජගිරියේ ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කාර්යාලයේ කොම්පියුටර් කාමරයේ රෑ එළි වෙනකල් අන්තර්ජාලය පෙරළමින් අපි තනිව ම තමයි වෙබ් අඩවි හදන හැටි ඉගෙන ගත්තෙ. මුලින් ම ඩුමේන් එකක් මිළ දී ගන්න ගිහින් වෙච්ච අකරතැබ්බ කියන්නේ ආපහු හැරිලා බැලුවා ම ඒවා රසවත් අත්දැකීම් නිසායි. ඒවා කියවන්නට, අහන්නට කැමති අයට රසවිඳින්නට පුළුවන්. මනෝවිශ්ලේෂකයන්ට ඉතින් සුපුරුදු විදියට හීනමානෙ අරවා මේවා කියන්නට පුළුවන්.

ඒ කාලෙ අපට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නට කෙනෙකු හිටියෙ නැහැ. මා බොහොම අමාරුවෙන් ඇපකාරයන් එහෙම ඉදිරිපත් කරලා, මගේ ගුරු පඩිය තැන්පත් කරන ලංකා බැංකුවේ මැනේජර්ට වැඳලා වගේ රු. 10,000 ක්‍රෙඩිට් ලිමිට් එකකට ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා. උගෙ අම්මට, ඌ ඒක දීල තියෙන්න ජාත්‍යන්තර ගනුදෙනු බ්ලොක් කරලා. අන්තිමට ඒකෙන් ඩුමේන් එක ගන්න බැරි වුණා.

දැන් මොකද කරන්නේ කියලා හොයන අතරෙ තමයි සම්පත් බැංකුවේ වෙබ් කාඩ් කියලා එකක් තියෙනවා කියලා දැන ගත්තෙ. ඒ පාර බැංකු මූලස්ථානෙට ගිහින් එයින් එකක් අරගෙන රෑක මොන්ලාර් ඔෆිස් එකේ සැදී පැහැදී තෙපර බාලා නිදි මරගාතෙ ගත්තයි කියමුකෝ ඩුමේන් එකක්. මදැයි කොළා, Lankaleft.org වෙනුවට lakaleft.org කියලා අකුරක් අඩුවෙන් නේ අරගෙන තිබුණේ. මොනවා කරන්නද ඉතින්? ආයෙ ගත්තා හරි එක.

මුලින් ම සයිට් එක ඩිසයින් කළේ WYSIWYG හෙවත් What You See Is What You Get වර්ගයේ අන්තර්ගත කළමනාකාර සිස්ටම් එකකයි. ඒකෙ ඉංග්‍රීසියෙන් ලියලා, සිංහල ලිපි පේජ්මේකර්වල ටයිප් කරලා පී.ඩී.එෆ්. ෆයිල් විදියට අප්ලෝඩ් කරලා පිටුවලට ලින්ක් එක දැම්මා. සිංහල අකුරු පේන්න පොඩි කෑල්ලක ඉමේජ් එකක් දැම්මා.

කොහොමින් කොහොම හරි සයිට් එක මාට්ටු කරගෙන දියත් කළා කියමුකෝ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ. සිසිර යාපා හරහා ඒ කාලෙ ජනමාධ්‍ය ඇමති වුණ ඩිලාන් පෙරේරා අපට සහයෝගය දුන් නිසා එයාට අපි එන්න ය කිව්වා කතාවක් පවත්තන්න. අපේ ආරාධනයක් නැතුව ම, ඒ කාලයේ පාර්ලිමේන්තුවෙන් සමු අරගෙන හිටි ඩලස් අලහප්පෙරුමත් ඇවිත් හිටියා දියත් කිරීම බලන්න.

ලංකා ලෙෆ්ට් කණ්ඩායම විදියට අප ප්‍රවර්ධනය කළේ එක රටක්; දේශයන් දෙකක් කියන සටන් පාඨය. අපේ පෝස්ටරයේත් දැක්වුණේ ඒ සටන් පාඨය. එය කොල්වින් ආර්. ද සිල්වාගේ භාෂා දෙකක් එක රටක් කියමනේ දිගුවක්. අපත් එක්ක සිටි දෙමළ සහෝදරවරුන් එක්ක තිබුණු සංවාදය ඔස්සේ තමයි ඒ සටන් පාඨය නිර්මානය කළේ. එය ජාතික ප්‍රශ්නයට ෆෙඩරල්වලින් එහාට ගිය කොන්ෆෙඩරල් විසඳුමක් යෝජනා කරපු ව්‍යාපාරයක්. 

ඒ දොරට වැඩුමෙදි අන්තර්ජාලය ගැන දන්න තරුණ දෙමළ සහෝදරයෙකු අපට සිංහල යුනිකෝඩ් ගැන ඉගෙන ගන්නට උදව් කරන්නට ඉදිරිපත් වුණා.

ඊට පස්සෙ අපි සයිට් එකට සිංහල යුනිකෝඩ් සහ පී.ඩී.එෆ්. යන දෙක ම දැම්මා. අප ඉලක්ක කළේ වාමාංශිකයන්වනේ. හැබැයි ඉතින් අන්තර්ජාලයට එන්නට වාමාංශිකයන්ගේ උනන්දුවක් තිබුණෙ නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු රැඩිකල් වාමාංශික වෘත්තීය සමිති සහෝදරයන්ට අපි මේ වෙබ් අඩවිය ගැන කිව්වාම ඔවුන් විවෘතව ම කිව්වා කම්කරුවන්ට ඉන්ටර්නෙට් වැඩක් නැති බව. හැබැයි, එහෙම කියපු අය දැන් ෆේස්බුක්වලදි නැවත අපට හමු වෙනවා. කාලය මැව් වෙනසක අරුමේ.

කාලයක් යනකොට අපේ දේශපාලන කණ්ඩායම විසිරුණා. මට රට දාලා ගිහින් මාස කීපයක් ඉන්දියාවේ හැංගිලා ඉඳලා, කරමින් හිටපු රස්සාවත් නැතුව ආපහු ලංකාවට එන්නට සිදු වුණා.

හැබැයි මා අන්තර්ජාල මාධ්‍යකරණයේ දිගට ම නියැලුණා. ලංකා පේජ්, කලම්බු පේජ්, ලංකා ඊ නිව්ස් වගේ වෙබ් අඩවිවල පරිවර්තන, අන්තර්ගත රචනා ලිවීම වගේ දේවලින් තමයි ඒ දවස්වල පණ ගැට ගසා ගත්තෙ. මේවායේ රස කතා ගොඩක් තියෙනවා. කියන්නට හිතෙන්නෙ නැත්තෙ ගොන් මනෝ විශ්ලේෂකයන් මෙතන ඇවිත් දාන ගොන් පාට් හින්දයි.

ඒ කාලෙ මගේ ගෙදර අන්තර්ජාල සම්බන්ධයක් තිබුණෙ නැහැ. ඒ නිසා මුලින් ම ලංකා බෙල් CDMA දුරකථනයකින් බොහොම හෙමින් තමයි අන්තර්ජාලයට ලොග් වුණේ. ඒ ඉබ්බාගේ පිටේ FTP ක්‍රමයට ගොනු හුවමාරු කරනකොට තිබුණ ආතල් එක හිතා ගන්නට පුළුවන් නේ.

දේශපාලන කණ්ඩායම විසිරුණාට පසුව මා ලක්මැග් කියලා සඟරාවක් කළා. ඒකෙ ඉංග්‍රීසි පිටුවල ගූගල් ඇඩ් දාලා පොඩි සම්තිං එකකුත් ඒ දවස්වල හොයා ගත්තා. අපේ විජේන්ද්‍රන් නම් කිව්වෙ ලක්මැග් කිව්වා ම ඌට මතක් වෙන්නෙ කුකුළු කෑම වගේ ජාතියක් ය කියලායි. ඒකටත් වැඩි ආයුෂ තිබුණෙ නැහැ.

ඔය කාලෙ මා HTML, CSS එහෙම ඉගෙන ගෙන ඒ කාලෙ තිබුණ හෙරිටේජ් ඉනීෂියේට් වගේ වැඩසටහන්වල එහෙමත් වෙබ් මාස්ටර් වැඩේ ළාවට කළා.

ඒවාත් අවසන් වුණාට පසුව තමයි W3Lanka වෙබ් අඩවිය හැදුවෙ. මුලින් ම මේක සිංහල හෝම් පේජ් එකක් විදියට තමයි හැදුවෙ. ඒකෙ මුල පිටුවෙ සිංහල ලට්ට ලොට්ට ගොඩකට ලින්ක් එක්ක කෙටි පුවත් හා දේශපාලන විශේෂාංග ලිපි පළ කළා.

හැබැයි ඉතින් ඒවා නැගලා ගියේ නැහැ. ඒ කාලෙ සිංහල බ්ලොග් අවකාශය අවදි වෙමින් තිබුණා. කොත්තු හා තවත් බ්ලොග් සින්ඩිකේටර හරහා පාඨකයන් වැඩිපුර ගොනු කර ගැනීමේ හැකියාව ගැන මුලින් ම අපේ අවධානය යොමු කළේ ඒ කාලෙ අදට වඩා සමාජශීලී වූ බූන්දි වෙබ් අඩවියේ තරංගයි.

මහින්ද කොටි සංවිධානය පරදවා යුද්ධය දිනලා ටික දිනකින් මා වෙබ් අඩවිය වසා දමා බ්ලොග්කරුවෙකු වුණා.

ලියන එක මගේ අනුරාගයක් බවට පත් වුණේ මේ බ්ලොග් එක නිසා. තාම මා වෙහෙසට පත් වී නැහැ. ඒ නිසා බොරුවට මා අධෛර්යවත් කරන්නට දඟළන අයට මා කියන්නේ ඊට වඩා හොඳයි තමනුත් බ්ලොග් එකක් පටන් ගත්තා නම්.

හැබැයි එක රැයින් තරු වෙන්නට ඕනැ නම් බ්ලොග් එකක් කරන්නට මහන්සි නො වී ගොසිප් සයිට් එකක් කරන්න.

මා බ්ලොග්කරණයේ ඉන්න හේතුව මා කියන්නම්. මට අවශ්‍යයි දේශපාලනයේ නො නැසී ඉන්නට. අල්ලගෙන ඉන්නට. මොකුත් බලාපොරොත්තුවක් නැතුවත් ක්‍රියාශීලීව ඉන්නට. සොයන්නට. හම්බ නො වුණත් සොයන්නට.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)