කුමන්ත්‍රණ න්‍යාය හා ගොඩනැගෙමින් ඇති ප්‍රජාතන්ත්‍රවාදය

දුමින්ද සිල්වා යනු මැරවරයෙකි. භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර ද මැරවරයෙකි. මොවුන් දෙදෙනා ම මහින්ද රාජපක්ෂ නම් මහා මැරවරයාගේ විවිධ කොන්ත්‍රාත්තු ඉටු කිරීමෙන් බලවත් වූ අයයි.

භාරත ලක්ෂ්මන්ගේ දියණිය වන හිරුනිකා ද මැරවරියකි. පුද්ගලයකු පැහැරගෙන ගොස් හිංසනයට ලක් කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහි නඩුවක් අධිකරණයේ විභාග වෙමින් තිබේ. අපට පෙනෙන ආකාරයට නම්, අතරමග සම්මුතියක්, පක්ෂපාතී නඩු තීන්දුවක් ඇති නො වුවහොත්, හිරුනිකාට ද මෙම නඩුවෙන් ගැලවී යන්නට බැරි තරමට සාක්ෂි තිබේ.

දුමින්ද සිල්වා හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර යන මැරවරයන් අතර වෙඩි හුවමාරුවේදී භාරත මිය ගිය අතර දුමින්ද මාරාන්තික තුවාල ලැබී ය. එහෙත්, හිරු කියා මාධ්‍යයක් හිමි වී තිබුණත්, දුමින්ද සිල්වාගේ හිසට වෙඩි වැදුණු බව හා එයින් ඔහු දීර්ඝ කාලීන සංකුලතාවලට ලක් වූ සරළ ඇත්ත සමාජය හමුවේ ඔප්පු කර ගන්නට දුමින්ද සිල්වාට බැරි වී තිබේ. ඒ ඇයි? ජනමාධ්‍යවලට වඩා කටකතාව ප්‍රබල වූයේ කෙසේ ද?

දුමින්ද සිල්වා සම්බන්ධ  විද්වත් වෛද්‍ය මණ්ඩලයේ විද්‍යාත්මක නිර්දේශය පවා බොරුවක් ලෙසත්, එවැනි වෛද්‍යවරුන් පවා මුදලට විකුණුන අය ලෙසත් සලකන ප්‍රචාර විශේෂයෙන් ම සමාජ ජාල තුළත්, ඉන් පසු කටකතා තුළත් පැතිරිණි. එවැනි තත්වයක් ඇති වූයේ කෙසේ ද? 

මේ වනාහි ජනමාධ්‍ය හා සමාජය ගැන නැවත සිතා බලන්නට කදිම නිමිත්තකි.   

පෞද්ගලිකව මා නම් දුමින්ද සිල්වාටත්, භාරත ලක්ෂ්මන්ටත්, හිරුනිකා ප්‍රේමචන්ද්‍රටත්, මහින්ද රාජපක්ෂටත් නො කැමැත්තෙමි. එවැනි අවම වටිනාකම් සහිත මිනිසුන් මේ රටේ දේශපාලන නායකයන් වීම මා නම් සලකන්නේ ශ්‍රී ලංකාවේ අවාසනාවක් ලෙසයි. 

ඒ කෙසේ වෙතත්, ඔවුන්ට වඩා ඉදිරියෙන් සිටිමින් ප්‍රශ්න දෙස බලන්නට සමාජය උත්සාහ කළ යුතු බව මම විශ්වාස කරමි. හේතුව ඔවුන් පසුගාමී මිනිසුන් බව අප හොඳින් දන්නා නිසා ය. අප වනාහි හොඳ නායකත්වයක් නැති රටකි. එවැනි තත්වයක් තුළ තවදුරටත් දියසේන කුමාරයන් සොය සොයා කාලය කා නො දමා, සමාජය නායකත්වයේ වගකීම සියතට ගත යුතු ය. නායකත්වය වෙනස් කළ හැක්කේ එමගිනි.

ඉහත සඳහන් කළ මිනිසුන් යහපත් මිනිසුන් නො වුණ ද, ලංකාවේ සියලු සිදුවීම් ඔවුන්ගේ කුමන්ත්‍රණ ලෙස දකින්නට මම නො කැමැත්තෙමි. 

එහෙත්, ලෝකය සීඅයිඒ කුමන්ත්‍රණයක් ලෙස ද, කේජීබීය එයට එරෙහි සමාජවාදී කුමන්ත්‍රණයක් ලෙස ද, ලංකාව ජේආර්ගේ කුමන්ත්‍රණයක් හා පසුව මහින්දගේ කුමන්ත්‍රණයක් ලෙස ද දැකීම දිගු කාලයක් තිස්සේ මාධ්‍ය විසින් ප්‍රවර්ධනය කරන ලදී. මෙය කෙරෙහි දැන් අප සමාජයක් ලෙස ග්‍රස්ථික වී තිබේ. වතුර කොරහේත් කිඹුලන් දැකීම සන්නිවේදනය විෂයෙහි ඉතා ප්‍රගතිශීලී කුසලතාවක් ලෙස සලකන තත්වයක් නිර්මානය වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. 

දේශපාලනයටත් වඩා මෙය අහිතකර ලෙස බලපාන්නේ සංවර්ධනය කෙරෙහි ය. සරළ උදාහරණයකින් මෙය පෙන්වා දිය හැකි ය. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය හදන්නට සැලසුම් කරන සමයේදී ගල් අඟුරු බලාගාර විරෝධය ඉතා ජනප්‍රිය විය. ඒ කාලයේ එම උද්ඝෝෂණවල විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ද තිබිණි. ඒ කාලයේ කියූ කාරණයක් වන්නේ ගල් අඟුරු බලාගාර නිසා නුදුරු අනාගතයේදී ම ශ්‍රී මහා බෝධිය පවා මිය යනු ඇති බව එදා කියැවිණි. 

එහෙත්, එදා ගල් අඟුරු බලාගාරවලට විරුද්ධව උද්ඝෝෂණය කළ අය ම දැන් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සමග එක්ව රජය සාම්පූර් ගල් අඟුරු බලාගාරය ඉදිකිරීම අත්හිටුවීමට විරුද්ධව ගල් අඟුරු බලාගාරවලට පක්ෂව උද්ඝෝෂණ කරති. කලින් තමන් සිටි ස්ථාවර දෙස ආපසු හැරී නො බැලීම අලුත් කුමන්ත්‍රණ න්‍යාය නිර්මානය කර ගැනීමට අත්‍යවශ්‍ය ය. අන්තවාදී කුමන්ත්‍රණ න්‍යායන්ගේ සීමිතකම පිළිබඳ මෙවැනි උදාහරණ තවත් ඕනෑ තරම් ඉදිරිපත් කළ හැකි ය. 

ආසන්න ම උදාහරණයක් ගතහොත්, බොහෝ දෙනෙකු කීවේ පොලිසිය සයිටම් ප්‍රධාන විධායකට පහර දීමේ සිද්ධිය පිළිබඳ නිසි විමර්ශනයක් නො කරනු ඇති බවයි. එහෙත්, එය සිදු විය. හිරුනිකා පුද්ගලයකු පැහැරගෙන යාම ගැන ද එය ම කියැවිණි. එහෙත්, දැන් නඩු විභාගයක් සිදු වේ. දුමින්ද සිල්වා කෙසේ හෝ නිදහස් වනු ඇතැයි ද කියැවිණි. එහෙත්, ඔහුට මරණීය දණ්ඩනය හිමි විය. බැඳුම්කර වංචාව කළ අය කිසි දිනෙක දඬුවමකට ලක් නො වනු ඇතැයි කීව ද, දැන් විමර්ශනයෙන් බොහෝ දේ හෙළිදරව් වෙමින් තිබේ. රාජපක්ෂවරුන් විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් නම් තවමත් ඔවුන්ට එරෙහිව කිසිවක් සිදු වන බවක් නො පෙනේ. එහෙත්, තත්වයන් වෙනස් කළ හැකි ය.

ඒකාධිපති සමාජයක ඕනෑම කුමන්ත්‍රණයක් ඇත්ත විය හැකි ය. ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරිඳ මරණ දඬුවමට ද සමාව ලැබ ගෙදර යාම, චන්දන කත්‍රිආරච්චිගේ මිනීමැරුම් නඩුව හා කාදර්ගේ වංචා නඩුව අවසන් මොහොතේ නීතිපති විසින් අස් කර ගැනීම එවැනි උදාහරණ ඕනෑ තරම් තිබේ. 

එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගෙමින් තිබෙන සමාජයක කුමන්ත්‍රණ න්‍යාය ප්‍රවර්ධනය කිරීම අතිශය භයානක ය. හේතුව, ඒකාධිපති සමාජයකදී මෙන් පුද්ගලයන්ට සියල්ල තීරණය කිරීමේ හැකියාවක් ප්‍රජාතාන්ත්‍රික සමාජයක නැත. තනි පුද්ගලයන්ට වඩා ආයතන හා සමාජය ශක්තිමත් වීමක් එහිදී සිදු වේ. අපි නැවතත් මෙම ලිපියට ප්‍රස්තුත වූ කරුණ වෙත ගියහොත්, මරණ දඬුවමට ලක් වූ (අභියාචනා කර ඇති) සිරකරුවකු වන දුමින්ද සිල්වා දෙසත් සෙසු සිරකරුවන් විෂයෙහි අපගේ ආකල්පය වන සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය යන ආකල්පයෙන් බැලීමට අපට බැරි ඇයි? එසේම, ඉහත දක්වන ලද වෛද්‍ය වාර්තාව නිකුත් කළ ප්‍රධාන වෛද්‍යවරුන් මුදලට විකුණන අය බවට බොරුවක් ප්‍රචාරය කිරීමෙන් සමාජයට අත් වන සෙත කුමක් ද?

සාමාන්‍ය සමාජයට පමණක් නොව, ඊනියා නායකත්වයට ද වඩා ඉදිරියෙන් සිට ප්‍රශ්න විග්‍රහ කිරීමේ හැකියාව පුරවැසියන් තුළ ගොඩනගා ගත යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //හිරුනිකා පුද්ගලයකු පැහැරගෙන යාම ගැන ද එය ම කියැවිණි. එහෙත්, දැන් නඩු විභාගයක් සිදු වේ. දුමින්ද සිල්වා කෙසේ හෝ නිදහස් වනු ඇතැයි ද කියැවිණි. එහෙත්, ඔහුට මරණීය දණ්ඩනය හිමි විය. බැඳුම්කර වංචාව කළ අය කිසි දිනෙක දඬුවමකට ලක් නො වනු ඇතැයි කීව ද, දැන් විමර්ශනයෙන් බොහෝ දේ හෙළිදරව් වෙමින් තිබේ. රාජපක්ෂවරුන් විසින් කරන ලද අපරාධ සම්බන්ධයෙන් නම් තවමත් ඔවුන්ට එරෙහිව කිසිවක් සිදු වන බවක් නො පෙනේ. //

    දුෂිත රාජපක්ෂ වනචරයා ගේ සහ ආණ්ඩුවේ සිරිසේන පාර්ශවයේ හොර තක්කඩින් ගේ මෙගා ඩිල් නිසා මේ දේ සිදුවෙන බව ඔබට නොපෙනේද ?

    ReplyDelete
  2. අඩේ අප්ප ඒ පාර පැරා රෙනෝ සිල්වගෙ පේරෝල් එකට වැටිල වගේ.

    ReplyDelete
    Replies
    1. හැබෑටම කාගෙවත් පේරෝල් එකට වැටෙන්නෙ නැතුව කිසිම දෙයක් ලියන්න බැරි රටක්නෙ මේක!

      Delete
    2. මම ලියපු විදියට පේරෝල්වල හිටිය නම් මම දැන් මේ කමෙන්ට් දාන එවුන්වත් මගේ පේරෝල්වලට අරගෙන.

      Delete
    3. මටත් බ්ලොග් එකක් පටන් ගන්න හිතෙනව.

      Delete
    4. ලියපන්කෝ ලොක්කා....අපි දෙන්නං බොක්කා.....

      Delete
  3. පැරා,

    මතුගම, යටදොල කියන ගම තියෙන හරිය ගැන දන්නවද? කොළඹ ඉදන් දුම්රියේ යනවා නං යන විදිය ගැන කියන්න පුලුවන්ද පහසු නම්?

    ReplyDelete
    Replies
    1. මතුගම යටදොල කියන ගම ටිකක් ලොකු ගමක්. කොළඹින් මාර්ග අංක 430 බසයෙන් ගිහින් යටදොලින් බහින්නට පුළුවන්. යටදොලින් නවුත්තුඩුව හරහා අළුත්ගමටත්, පයාගලටත් පාරවල් තිබෙනවා. දුම්රියේ එනවා නම් කලුතර දකුණෙන් බැස මතුගම බසයක එන්න. පයාගල, හල්කඳවිල හරහා යටදොලටත් බස් සේවාවක් තිබෙනවා.

      (හොර වෙදුන්ගෙන් පරිස්සම් වන්න)

      Delete
    2. ස්තුතියි පැරා.

      Delete
  4. ඒ වුනාට හම්බන්තොට වරය යට ලොකු ගලක් තියෙනවා නෙද..

    ReplyDelete
    Replies
    1. ඇයි ගල කඩලා ඉවර කරන්නට කලින් වතුර පිරෙව්වෙ? ඇයි වතුර පුරවලා ඉවර වෙලා වැඩිපුර වියදම් කරලා ගල කැඩුවෙ? (ඒක ලාභදායී නම් අවුලක් නැහැ) මොකක්ද ඔච්චර හදිස්සිය?

      Delete
    2. ගල පෙඟෙන්න ඇරියනම් කඩන්න ලේසියිනේ, හදිසිකාරයොත් එක්ක බෑ

      Delete
  5. https://en.wikipedia.org/wiki/List_of_conspiracy_theories

    ReplyDelete
  6. ගල් අඟුරු බලාගාරයට විදරුද්ධ වුනේ පල්ලිය නේද ? කොහොම වුනත් ලෝකයෙ ලාබම බලශක්ති උපදවනය ගල් අඟුරු අපි ඒක අමතක කරල පුනර්ජනනීය විදුලිය හොයන එක හරියට එදාවේල කන්න නැති දුප්පත් එකෙක් හම්බවෙන තුට්ටු දෙකකාබනික පොහොර යෙදු කැම සල්ලිවලට ගන්නවා වගේ වැඩක්

    ReplyDelete
  7. කොලොන්නාව විනාශකරපු අය තමයි, පැරා ඔය ලියලා තියෙන සෙට් එක.

    ReplyDelete
  8. මේ දක්වා පැරා ලියපු පෝස්ට් අතුරින් හොඳම එක මේකයි, ටික කාලෙකට ඉස්සරින් නාලක ගුණවර්ධන ලියල තිබුන මේ කුමන්ත්‍රණ නියාය දකුණු ආසියාවටම හෙනයක් වෙලා කියල, බලමු රුවන් මේකේ සයකලොජිකල් ඇස්පෙක්ට් ලියල මේ ලෙඩ්ඩුන්ට ආඩම්බර වෙන්න පුළුවන් හරබර ඉංග්‍රීසි නමකුත් දෙයිද කියල

    ලෙඩේ බරපතාල කම හොඳටම දැනෙන්නේ පැරාල අපිල වගේ ලෙඩේ තදටම හැදිල සනීපවුන අයට තමයි :)

    ReplyDelete
  9. "පෞද්ගලිකව මා නම් දුමින්ද සිල්වාටත්, භාරත ලක්ෂ්මන්ටත්, හිරුනිකා ප්‍රේමචන්ද්‍රටත්, මහින්ද රාජපක්ෂටත් නො කැමැත්තෙමි. එවැනි අවම වටිනාකම් සහිත මිනිසුන් මේ රටේ දේශපාලන නායකයන් වීම මා නම් සලකන්නේ ශ්‍රී ලංකාවේ අවාසනාවක් ලෙසයි. "///

    මා මෙයට තවත් කිහිප දෙනෙක් එකතු කිරීමට කැමැත්තෙමි.
    නිශාන්ත මුතුහෙට්ටිගම
    ගීතා කුමාරසිංහ
    විමල් වීරවංස
    දිනේෂ් /බන්දුල ගුණවර්ධන
    එස් බි දිසානායක
    රෝහිත අබේගුණවර්ධන
    නාමල් /බැසිල් රාජපක්ෂ

    ඔය ආදී වශයෙන් ගිහින් අන්තිමට රනිල් වික්‍රමසිංහ, මයිත්‍රී පල සිරිසේන

    ReplyDelete
  10. මෙ අලිපියට අදාල නොවන සිල්ලර දෙයක්.. //පෞද්ගලිකව මා නම් දුමින්ද සිල්වාටත්, භාරත ලක්ෂ්මන්ටත්, හිරුනිකා ප්‍රේමචන්ද්‍රටත්, මහින්ද රාජපක්ෂටත් නො කැමැත්තෙමි.//

    පෞද්ගලිකව අකමැති කෙනෙක්ගෙ අර තරම් ලස්සන චායාරූපයක් ගත හැකිද? සැකයක් නැහැ ඒ චායාරූපය ඊලඟ මැතිවරනයේ (කැෆේ කීර්ති තෙන්නකෝන්* කියන විදියට 2020 ජනාධිපතිවරනයේ?!?) වැඩියෙන්ම භාවිතා වන පෝස්ටරයක් වේවි.

    *(https://www.facebook.com/photo.php?fbid=10210760520342643&set=a.10203591936732533.1073741960.1038998150&type=3&theater)

    පැරකුම්ටත් කැෆේ කීර්තිට වගේ "ග්‍රස්ථික නියුරෝසියාව" හැදීගෙන එනවාවත්ද? ;-)

    Dimithri

    ReplyDelete
    Replies
    1. මචං මම ඒ ඡායාරූපය ගත්තෙ මාතර පැවැත්වුණ ජාතික කාන්තා දින සමරුවේදීයි. ඒ වෙලාවෙ මට දැනුණා එතන ලස්සන ෆොටෝ තියෙන බව. හිරුනිකා ඒකට පෙනී සිටියෙත් නැහැ. මං එහෙම එකක් ගත්ත බව එයා දන්නෙත් නැහැ. එතකොට කැමරාවක් අතේ තියෙන මිනිහෙක් ෆොටෝ එකක් ගන්න එක හා එහි සුන්දරත්වය බෙදා ගන්න එක වැරදි ද? අනෙක් පැත්තෙන් ඒ ලස්සන මට අයිති එකකුත් නෙමෙයි. හිරුනිකා ළඟ තිබුණයි කියලා ඒක කැමරාවට අහු වුණේ නැතිනම් වැඩකුත් නැහැ.

      අනෙක මම හිරුනිකා කියන දේශපාලකයාට කැමති නැති වුණා ය කියලා හිරුනිකාව ලස්සනට පෙනෙනවා නම් ඒක මට වළක්වන්නට බැහැ නේ.

      ඔය වෙලාවෙ ම මා ගත්ත තවත් ඡායාරූපයක් මෙන්න මෙතන තියෙනවා. තව ඒවාත් ගත්තා. ගිහින් කැමරාව අල්ලපු පළියට ම අදහසක් සන්නිවේදනය කරන ෆොටෝ එකක් ගන්න බැහැ.

      මෙම ඡායාරූපය, එයට දක්වන ප්‍රතිචාර ආදිය ගැන ඇත්තෙන් ම ගැඹුරු විග්‍රහයක් කරන්නට පුළුවන්.

      Delete
    2. ඒ පින්තූර දෙකම මරු. පැරා මම හිතන්නේ නැහැ දිමිත්‍ර මේක හිතලා මතලා දාපු කමෙන්ට් එකක් කියලා. ෆොටෝ එකට ආසාවෙන් දාපු එකක් වගේ :D හිරුනිකා ලස්සන වුනාට වැඩ මඥ්ඥං කියලා කැමරා එක මක් කොරන්නද. ඊරිසියාව ..ලස්සන කෙල්ලනේ.

      Delete
    3. This comment has been removed by a blog administrator.

      Delete
    4. පැරා, අරුන, මම අදහස් කලේ //පෞද්ගලිකව මා නම් දුමින්ද සිල්වාටත්, භාරත ලක්ෂ්මන්ටත්, හිරුනිකා ප්‍රේමචන්ද්‍රටත්, මහින්ද රාජපක්ෂටත් නො කැමැත්තෙමි.// ලිස්ට් එකේ (භාරත ගැන නම් දන්නේ නැහැ ) හිරුනිකාව දාන්න තවම කල් වැඩියි කියලයි. පැරාගේ චායාරූපය, පැරා ගැන කියන කතාව උනත් ඒකයි. පැරා කවදාවත් ශිරන්තිගේ හරි පවිත්‍රාගේ හරි සමන්මලි සකලසූරියගෙ හරි ෆොටෝ එකක් ගන්නවත් යාවිද? (පාටකයො සමාවෙත්වා.. කවුද ඒකාබද්ධෙ ඉන්න කාන්තාවො මේ හැර?)

      අරුන, ඒක හොඳට හිතලා මතලා දාපු කොමෙන්ට් එකක්. කොහෙත්ම නෙගටිවු අදහසක් නෙමෙයි. ඔබ හරි, ඒක චායාරූපය ගැන අනුරාගයෙන් දාපු කොමෙන්ට් එකක්. ඇත්තටම අන්තිම වාක්‍යය මම කලින් ලිව්වේ මෙහෙමයි. "පැරකුම්ටයි කැෆේ කීර්තිටයිත් මට වගේ "ග්‍රස්ථික නියුරෝසියාව" හැදීගෙන එනවාවත්ද? ;-) " කියලයි!

      බයි ද වේ, කැෆේ කීර්තිගේ කතාව ගැන මොකද හිතන්නේ? ඒක විහිලුවට කියපු එකක්ද? ඒ කෙසේ වෙතත්, මේ මහත්මිය වැඩ මඤ්ඤං කර නොගත්තොත් හොඳ අනාගතයක් තියෙයි. හිරුනිකා ජන 8 දී දීපු ගේම මාරයි සහ කෲෂල්. [මතකද රාජිත කිව්ව ඒක මරුවට.. හෙලවිච්ච දත (තිස්ස අත්තනායක) වෙනුවට රත්‍රන් ඇස (හිරුනිකා) කතාව] ඒ බලාපොරොත්තු නොවුන නිර්භීතකම ගැන ලොකු ගෞරවයක් තියෙනවා. මට හිතෙන විදියට ඇයට තියෙන ඇඩඩ් අභියෝගය තමයි යූඇන්පී මන්ත්‍රි කෙනෙක් වීම. ඒ කියන්නෙ ශ්‍රීලංකාත් නෙවෙයි, යූඇන්පීත් නෙවෙයි. යූඇන්පීකාරයො මේ ගොල්ලන්ට කවදාවත් තැන දෙන්නේ නැහැ. බලන්න ඊනිවුස් රාජිතට චතුරට අර්ජුනට චම්පිකට ඇටෑක් කරන හැටි. එහෙම තත්වෙක ඉඳගෙන කරන මඤ්ඤං වැඩ ගැන නන් කතාකරන්න දෙයක් නැහැ. මේ ටික තේරුම් අරන් ගියොත්, සුබ අනාගතයක්! පැරා, උඹට දවසක හිරුනිකා ෆොටෝ එකේ කර්තෘ භාගය දෙන්න කතාකලොත් මේ ටික කියපන් මම කිව්වයි කියලා!

      Dimithri

      Delete
    5. මට කැමරාවෙන් දකින්නට ලැබෙන දේශපාලකයන් ගණන සීමිතයි. ඒකට හේතුව, මම රාජකාරිමය වශයෙන් ආවරණය කරන්නෙ සීමිත පරාසයක සිදුවීම් විතරක් වීම.

      හිරුනිකා ගැන වගේ ම දේශපාලනයේ ඉන්න අනෙක් තරුණ තරුණියන් ගැනත් මම නම් හිතන්නේ උන් කලින් පරම්පරාවෙන් ආදර්ශ නො ගෙන, දේශපාලකයන්ට වඩා ඉදිරියෙන් සිටින පුරවැසි සමාජයෙන් ඉගෙන ගන්නවා නම් උන්ට හැදෙන්නට පුළුවන්. අපි කැමති වුණත්, අකැමැති වුණත්, මේ ජීවත් වෙන එවුන් එක්ක තමයි අපට හා අපේ දරුවන්ට අනාගතය භාර ගන්නට වෙන්නෙ.

      හිරුනිකා වැනි අයට තිබෙන මූලික ප්‍රශ්නය උන්ට කිසිම හැදෑරීමක් නැහැ. එහෙම උන්ව යොමු කරන්නට පුළුවන් නායකත්වයක් කොහේවත් නැහැ. මම කියන්නෙ පුරවැසි ව්‍යාපාර උන් දිහා සානුකම්පිතව බැලිය යුතුයි.

      හැබැයි ඉතින් මං හිතන්නෙ හිරුනිකා මෝඩකමට තාත්තා වගේ උස්සපු අර හාදයා එක්ක ඩීල් එකක් දාගෙන සාක්කි කඩා ගත්තෙ නැතිනම්, එයාගේ දේශපාලන අනාගතය පැහැරගැනීමේ කේස් එකෙන් අවසන් වෙන්නට පුළුවන්.

      Delete
  11. Kalu coat dagaththa maraya menna-

    http://ranrandil.blogspot.com/2017/03/490-25.html?m=1

    ReplyDelete
  12. කලකට වහළු කලකට රස වෙනවා ලු

    ReplyDelete
  13. අදේශපාලනික හිරුණිකාට වශී වන වාමාංශික පෝලෝ සීයා දේශපාලනික රෝසිට වශී නොවීම.


    අජිත් පැරකුම් ජයසිංහ හෙවත් පැරා වයස අවුරුදු 52ක ඇටවම් බැහැපු තරුණයෙකි; කලක් වාම විප්ලවීය දේශපාලනයක යෙදුණු විශ්‍රාමිකයෙකි; සමකාලීන ලාංකීය දේශපාලන ගෝලය තුළ හමු වන හොඳම විහිළුකාරයා ය. පැරාගේ ස්ත්‍රීවාදී ලෝකායත දෘෂ්ටිය අතිශය විසම්මුතික ය. න්‍යාය සහ භාවිතාව අතර විසම්මුතිය පැරාගේ දේශපාලනික මැදිහත්වීම තුළ හැමදාම තිබුණු දෙයකි. "සමාජවාදය සඳහා ධනවාදය සමඟ යහන්ගත වීම" නම් වන ද්වෛදීය ආදර්ශ පාඨයේ සිට "රජයේ සේවයේ සේවක සංඛ්‍යාව අතිරික්ත ය; එනිසා තව තවක් සේවකයන් බඳවා ගත යුතු ය" යන කේවට්ට රාජෝපදේශය දක්වා පැරාමය විසම්මුතිවාදය ව්‍යාප්තික ය. කුමාර් ගුණරත්නම් සහෝදරයා පිළිබඳ ඉදිරිපත් කළ ප්‍රතිවාචයට පසු අපට කියවන්නට ලැබෙන දැවැන්තම පැරාමය ද්වෛදය පැරා මෙසේ පවසා ඇත.

    //පෞද්ගලිකව මා නම් දුමින්ද සිල්වාටත්, භාරත ලක්ෂ්මන්ටත්, හිරුනිකා ප්‍රේමචන්ද්‍රටත්, මහින්ද රාජපක්ෂටත් නො කැමැත්තෙමි. එවැනි අවම වටිනාකම් සහිත මිනිසුන් මේ රටේ දේශපාලන නායකයන් වීම මා නම් සලකන්නේ ශ්‍රී ලංකාවේ අවාසනාවක් ලෙසයි.//

    පැරා ඉහත වාක්‍ය දෙක තුළ පවසන න්‍යාය පැරාගේ භාවිතාව සමඟ ඝට්ටනය වේ. හිරුණික ප්‍රේමචන්ද්‍රට පෞද්ගලිකව අකමැති පැරා හිරුගේ "මර්සි" සාලමුල්ලේ පෙනුම යටපත්ව ප්‍රභූ පෙනුමක් මතු වන ලෙස ඇය ඉදිරිපිට දණ බිම ඔබා ඡායාරූපයක් ගත්තේ ය. එසේ ගත් ඡායාරූපය "ලස්සනයි නේද?" යැයි විමසමින් පළ කර හිරුගේ චරිතය ඌර්ධවපාතනය කළේ ය. කොළොන්නාවේ බැන්ඩිටි ක්වීන් (දාමරික රැජින) වන හිරුගේ එදා මෙදා තුර ප්‍රසිද්ධියට පත් හොඳම ඡායාරූපය පැරාගේ එම ඡායාරූපය බව අපි පිළිගනිමු. මර්සි කෙල්ලෙකු මොහොතකට හෝ අහිංසකාවියක් කිරීමේ ගෞරවය අපි පැරාට දෙන්නෙමු.

    (පශ්චාත් සුනාමි යුගයේ පැරා ඡායාරූපකරණය පිළිබඳ යම් ප්‍රවීණතාවක් ලබා ඇති බව අපි පිළිගනිමු. අතීතයේ නම් පැරාට ඡායාරූපයක් ගන්නට දුන්නොත් විනාශයකි. වරක් ෆිල්ම් රීල් එකක්ම ඉවත් කර ඡායාරූප නැතිව ආර්ටිකල් එකක් පළ කරන්නට වූණේ පැරාගේ දක්ෂතා නිසා ය. ඒ බව පැරාට මතක ඇතැයි සිතමු. දේශනයක් පැවැත්වීම නිසා පැරාට නොමිලේ හදාරන්නට ලැබුණු ඡායාරූප පාඨමාලාවෙන් පැරා යමක් ඉගෙන ඇත!)

    පැරා හිරුගේ උමතු රසිකයකු වූයේ කවර නම් චිත්ත සංශ්‍රේණියක ඵලයක්/අතුරුඵලයක් ලෙස ද? ආසන්නම හේතුව වුණේ පැරා ලංකා රූප රුජිනගේත ඒෂියන් රූප රුජිනගේත් අත් ස්පර්ශ කිරීමෙන් ලැබූ වාජීකරණය ය. පැරා එම ස්පර්ශයෙන් කෙතරම් උද්ධාමයටත් පත් වූණේ ද යත් ඒ ඵෙතිහාසික මොහොත ඡායාරූපගත කරගෙන ෆේස්බුක් එකේ පළ කළේ ය. පැරා වරදවා ගත්තේ එතැන ය. ප්‍රතිඵල ලෙස පැය කීපයක් ඇතුලත පැරා දැවැන්ත ගෘහස්ත හිංසනයකට ලක් වුණේ ය. "දේශපාලනය නම් දේශපාලනය; මෙතන නාකි මඟුල් නටන්න එපා" යැයි වාරණයක් ද පැරාට පැනවිණි. පැරා මීට පෙර මෙවැනි වාරණයකට ලක් වූ අවස්තාවක් ද සිහි වේ. විශිෂ්ට වාමවාදී කැනේඩියානු දේශපාලන විචාරිකා නෙයෝමි ක්ලයින් ලංකාවට පැමිණි කල ඇයට අත අත දී වැලඳ ගැනීමට පැරා අප්‍රමාණ වෑයමක් දැරුවේ ය. ඒ දවස්වල පැරා පෙර සූදානමක් ලෙස දකින දකින ස්ත්‍රියගේ අත සිප ගනිමින් මළ කෝලමක් කළේ ය. නැසීගිය සරත් ප්‍රනාන්දු සහෝදරයාට පැරාගේ මේ මළ කෝලම් දිරෙව්වේ නැත. "මූ හදන්නේ ර‍ටේ නම්බුවත් කන්න" යැයි කියූ සරත්, නෙයෝමි ක්ලයින්ගේ ලංකා චාරිකාව අවසාන වන තුරු පැරාගේ වීසා කැන්සල් කළේ ය.

    දැන් පැරාගේ අභ්‍යන්තරය මද කිපී ය; ශරීරපුංජය තිරිහන් ය. එහෙත් බාහිරය වාරණ නියෝගයෙන් සීමාකරණය වී ඇත. පැරාගේ අභ්‍යන්තරයෙන් කම්පිතව එන හැඟීම් සමුදාය බාහිරයෙන් සීමාකරණය වීමේ ගකිකාවරෝධනය පැරාගේ ගතසිත වෙහෙසන විට, දවාලන විට, පීඩාවට පත්කරන විට පැරා එයට ලබා දුන් විසදුම දේශපාලන වස්තුවක් මත තමන්ගේ ආත්මය පතිත කිරීම ය. එහෙත් පැරාගේ අවශ්‍යතාව දේශපාලනික නැත. සැබෑ දේශපාලන චරිතයක් තෝරාගත් විට පැරාගේ අරමුණ ඉටුවන්නේ නැත. එනිසා පැරා මේ සඳහා තෝරා ගත්තේ දේශපාලනික බව හැඟවෙන එහෙත් සැබෑ ලෙසම අදේශපාලනික චරිතයකි. ඇය පැරාගේ සමාජ මට්ටමට ද ගැළපෙන චරිතයක් ද වූවා ය (විශාකා ගියාට උපන් ගෙයි ගති නැති වන්නේ නැත). ඇය හිරු නම් වූවා ය. පැරාගේ ආත්ම කිචිකැවූ ඒෂියන් බියු‍ටි ක්වීන් වෙනුවට කොළොන්නාවේ බැන්ඩිට් ක්වීන් ආදේශ වීම වසංගතයක් විය. පැරා නිතර උඩ දාන පැරාගේ පන්නයේ ඩොලර් කාක්කෙකු පැරා ගත් ඡායාරූපය හිරුගේ ජනාධිපතිවරණ සිහිනයකට එක්කර මෝඩ වූන් එකක් ගත්තේ ය. සරත් මනමේන්ද්‍රටත් අන්තිමේ දී මේ වසංගතය බෝ වේ ද?

    ReplyDelete
  14. පැරා කාලයක සිට සොයමින් සිටින දෙයක් මේ හරහා නිරාවරණය වී ඇත. ඒ කුමක් ද? ද්‍රව්‍යමය වූ ශ්වේත වර්ණ ඡවි කල්‍යාණයෙන් අභ්‍යයන්තරයේ සැඟ වී ඇති අද්‍රව්‍යමය වූ ගූඩ ආත්මයෙන් තමා නොලබන අනෙකා ලබන අතිරික්ත වූ ප්‍රමෝදය කුමක් ද යන්න පැරා දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ සොයමින් සිටින දෙය ය. එම ගවේෂණයේ නෛතික ව්‍යායාමයේ දී පැරා ද්‍රව්‍යමය වූ ශ්වේත වර්ණ ඡවි කල්‍යාණය මත පතිත වීමට වරම් ලැබුව ද එය අන්තර්විනිවිද අද්‍රව්‍යමය වූ ගූඩ ආත්මය කරා එළැඹෙන්නට පැරාට නොහැකි විණි. එම නෛතික ගවේෂණයේ පරිපූර්ණ අවහිරය තුළ පැරාගේ භද්‍ර යෞවනය ගෙවී ගියේ අවාසනාවන්ත ලෙස ය. පැරා දැන් වියපත් ය. ශීර්ෂ නර කෙසින් බුහුමන් ලබන පැරාගේ රවුල ද නර කෙසින් පිරී ය; ශරීරය (චීන ඌරකුගේ මෙන්) තරබාරු ය; දළදා පෙරහරේ ගමන් කරවන්නට සුදුසු (වෙනත් සමාජසම්ප්‍රදායික බාධා නැතිනම්) ලෙස නෙරාගිය උදරයක් සහිත ය. පශ්චාත් නූතනවාදී තරුණයා පැරා හඳුන්වන්නේ "වාමාංශික පෝලෝ සීයා" යන ආදර නාමයෙන් ය (එ‍හෙත් ප්‍රාකෘතික පෝලෝ සීයා වූ සැනට් දික්කුඹුර සහෝදරයා නම් පැරාට වඩා හැඩකාර වැඩකාරයකු බව පැවසිය යුතු ම ය).

    පැරා 2020 ජනාධිපතිවරණයට ගෙනයන්නට වෙහෙසෙන හිරු යනු සමකාලීන ලාංකීය දේශපාලනයේ අසහාය ස්ත්‍රි නියෝජනය වන රෝසි සේනානායක මහත්මියගේ ඡන්ද පදනමට විද, ඇගේ ඡන්ද කා පාර්ලිමේන්තුවට රිංගා ගත් කුප්‍රකට චරිතයකි. රෝසි සේනානායක යනු එක්සත් ජාතික පක්ෂයට අද ඊයේ කඩා පාත් වුණු තැනැත්තියක් නොවේ. ජේ. ආර්. යුගයේ සිට ඇය පක්ෂය වෙනුවෙන් සුවිශාල සේවයක් කළා ය. රෝසි සේනානායක යනු කොළොන්නාවේ බැන්ඩිට් ක්වීන් කෙනෙකු නො ව ලෝක රූ රැජිනකි. ඇගේ දේශපාලන දැක්ම, නැණවත් බව හා ප්‍රවීණත්වය ඉදිරියේ හිරු යනු කලාමැදිරියෙකි. හිරු මෙන් කටහැකරියක නොවන රෝසි සිංහලයෙන් ද ඉංග්‍රීසියෙන් ද කතාකරන ආකාරය ආකර්ෂණීය ය. ඇය ඒ දෙබසේ ම ප්‍රවීණ ය. ඇඩෙලින් මුලමුරේගෙන් ආරම්භ වුණු ව්‍යවස්තාදායකයේ වැදගත් ස්ත්‍රී දේශපාලන නියෝජනය තමාරා කුමාරි, කුසුමා ගුණවර්ධන, සිරිමා බණ්ඩාරනායක, සිවා ඔබේසේකර වැනි කුලකාන්තාවන් හරහා පැමිණ වර්තමානයේ සිටින්නේ රෝසි සේනානායක සමඟ ය (ඇය අසලට ළඟා වන අනෙක් එකම චරිතය චාන් බණ්ඩාර පමණි). එවැනි විශිෂ්ට ස්ත්‍රියකට අසාධාරණයක් කරමින් එක්සත් ජාතික පක්ෂයට කරනම් ගැසූ කොළොන්නාවේ බැන්ඩිට් ක්වීන් ගැන මනෝ ගහන මහා දේශපාලන විචාරක පැරාට අප පවසන්නේ ඔබගේ වින්දනය ඔබට ය. නොදන්නා ස්ත්‍රී දේශපාලනය ගැන නොලියා සිටින්න කියා ය. කොළොන්නාවේ දාමරික රුජින (බැන්ඩිට් ක්වීන්) ගෙදර යවා ලෝක රූ රුජිනක (බියුටි ක්වීන්) පාර්ලිමේන්තුවට යැවීමට 2020 වන තෙක් කොළඹ දිස්ත්‍රික් ජනයා බලා සිටින බව ය. 2020 දී හිරු ජනාධිපති කරන්නට දත කන පැරා සහ එයාගේ ගජමිතුරු ඩොලර්කීර්තියාට අපි දැන්මම සොරි මෙයාලා කියමු.


    ඒකාබද්ධ ප්‍රකාශය

    වමේ අපි - අන්තර්ජාතික වාම විප්ලවීය දේශපාලනයක ලාංකීය සන්ලකුණ
    වමැ පැරැණි මිතු කැල (අතීත කරුණු සපයා දීම පමණි)
    වාමවාදී ස්ත්‍රී සංසදය
    එක්සත් ස්ත්‍රී ව්‍යාපාරය
    කොළඹ දිස්ත්‍රික් ජනබල එකතුව
    අජිත් පැරකුම් ජයසිංහ නිරුවත් කිරීමේ ව්‍යාපාරය
    පැරා විරෝධි ජනගණය

    ReplyDelete
    Replies
    1. හම්මේ වතුර ටිකක් බීපං. පව් හින්ද කපන්නෙ නෑ.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා