විජය නම් සුන්දර මිනිසා මරා දැමූ ලයනල් රණසිංහ නම් අවංක විප්ලවවාදියා

මෙහි පහත දැක්වෙන වීඩියෝවේ එක් තැනක විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහට හා යතුරුපැදිය පැද්ද ටාසන් වීරසිංහට ජවිපෙ සමග සම්බන්ධකම් තිබුණ ද ඒවා කෙබඳුදැයි හෙළි වී නැතැයි කියවේ.

මට මේ දෙදෙනා ම හමු වී තිබේ. ලයනල් රණසිංහ මට හමු වුණේ 1985දී ජවිපෙ විසින් යට්ටපාත ප්‍රදේශයේ සංවිධානය කළ සත් දින අධ්‍යාපන කඳවුරකට සහභාගි වෙද්දී ය. එම අධ්‍යාපන කඳවුරේ එක් දේශකයකු වූයේ ටිල්වින් සිල්වා හෙවත් එවක සුසිල් අයියා ය.

එම කඳවුරින් පසු මම ජවිපෙ පූර්ණ කාලීන දේශපාලනයට එකතු වී හොරණ ආසනයේ ශිෂ්‍ය අංශය භාරව වැඩ කළෙමි. එකල මට ලයනල් නැවත හමු විය. එවකට ඔහු හොරණ නගරයේ බස් නැවතුම්පළ අසල මත්පැන්හල ඉදිරිපිට රටකජු ලෑල්ලක් තබාගෙන විකුණමින් සිටියේ ය. පක්ෂයේ බොහෝ දෙනෙකු සම්බන්ධීකරණය සඳහා පණිවුඩ තබා ගියේ මේ රටකජු ලෑල්ලේ ය. ජවිපෙ තහනම් කර තිබුණු එම දුෂ්කර සමයේ අප බඩගින්නට රටකජු අහුරක් කෑවේ ද එතැනිනි.

ලයනල් ජීවත් වුණේ හොරණ, මුණගම පැත්තේ උදාගමක කුඩා නිවසකයි. යකෙකු වුණත් ඒ මගේ පුතා යි ලයනල් වෙනුවෙන් අධිකරණයේ නො බියව පැවසූ ඒ නැසී ගිය උදාර මාතාව මෙන් ම ලයනල්ගේ සොයුරු සොයුරියෝ ද ජනතා විමුක්ති පෙරමුණේ අවංක හිතවත්තු හා ක්‍රියාධරයෝ වූ හ. ලයනල්ගේ සොයුරියක් පක්ෂයේ කාන්තා අංශයේ පූර්ණකාලීනව වැඩ කළා ය. ඔවුන්ගේ නිවසේදී පක්ෂ ක්‍රියාකාරිකයන්ට තමන්ට පුළුවන් හැටියට කන්නට, බොන්නට දී සැලකූ ආකාරය තුළ තිබුණේ නියම නිර්ව්‍යාජ සහෝදරත්වයකි. ලයනල් සහ ඔහුගේ මව හැර සෙසු බොහෝ අය තවමත් ජීවතුන් අතර සිටිනවා ඇත.

කුළුපණ පිහිටි ලයනල්ගේ වැඩිමහල් සහෝදරයාගේ නිවස දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම පක්ෂ සාමාජිකයකුට විවෘත තැනක් විය. පක්ෂයේ අය නිතර යාම, ඒම, කෑම, බීම, නවාතැන් ගැනීම, සාකච්ඡා පැවැත්වීම ආදිය නිසා ඇති වන අවදානම තඹයකට නො තකමින් මේ පවුල ජවිපෙට උපකාර කළේ ය. 

අවදානම දැරීමේ සූදානම මා පීඩිත පංතිකයන් තුළ දැක තිබෙන එක් සුවිශේෂ ලක්ෂණයකි. ජවිපෙට දුෂ්කර සමයන්හිදී පක්ෂය මග හැර නො යමින් රැක ගත්තේ මෙවැනි පීඩිතයන් පමණි. ඔලුව උස්සාපු හැටියේ ජවිපෙ කරන්නේ මෙම පීඩිතයන් අමතක කර දමා මධ්‍යම පංතිය සරණ යාමයි. (ඒ ගැන පසුව ලිපියක් ලියන්නට අදහස් කරමි.) 

ජවිපෙ වනාහි පීඩිතයන්ගේ ජීවිත සූරා කා මධ්‍යම පංතියට බලය ගොඩ නගා දෙන තවත් එක් මධ්‍යම පංතික සුළු ධනේශ්වර පක්ෂයක් පමණි. 

ලයනල්ගේ අයියා රැකියාවට කළේ වෙස්මුහුණු කපන එකයි. කදුරු කොටයේ කිසිදු සලකුණක් නො යොදා අත් පොරවෙන් වෙස් මුහුණ කපාගෙන, කපාගෙන යන අයුරු ඒ දිනවල ශිෂ්‍යයකු වූ මම විස්මයෙන් බලා සිට ඇත්තෙමි. 

ජවිපෙට සම්බන්ධ නො වුණා නම් ලයනල් කිසි කලෙක එවැනි ඝාතකයකු වේ යයි මා නම් සිතන්නේ නැත. එහෙනම් ඔහු ද සුළු ව්‍යාපාරයක් කරගෙන, දරුවන් හදා වඩාගෙන තවමත් ඉන්නවා ඇත.

ටාසන් වීරසිංහව මට ලයනල් තරම් හමු වී නැත. ඔහු කලුතර ඩිපෝවේ වැඩ කළ රියදුරෙකි. විවාහකයෙකි. දරුවන් දෙදෙනෙකු සිටි බව මතක ය.

ඔවුන් කලුතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ කණ්ඩායම ආරම්භයේ සිට ම එහි ක්‍රියාකාරිකයන් ව සිට තිබේ. දේශපාලන අංශයේ වැඩ කළ අප පවා ඒ පිළිබඳව දැන ගත්තේ ජවිපෙ සන්නද්ධ ප්‍රහාර ආරම්භ වීමෙන් පසුවයි. ලයනල්ගේ තවත් සගයකු වන කරුණාරත්න බණ්ඩාර ජවිපෙ විසින් පක්ෂ සම්බන්ධකම් හරහා හමුදාවට යවා පුහුණුව ලබා ගත් පසු පැන ආ බව දනිමි. ලයනල් ද ඇතැම් විට ඒ පුහුණුවට යන්නට ඇත. මෙම කණ්ඩායමේ සිටි තවත් දක්ෂ සටන්කරුවකු වූ කරුණාරත්න බණ්ඩාර මිය ගියේ ජවිපෙ විසින් එල්ල කරන ලද ප්‍රහාරයකදී තමන්ගේ ම කණ්ඩායමේ අයකු වැරදීමකින් තබන ලද වෙඩිල්ලකින් බව දැන ගන්නට ලැබිණි.

මට කීමට ඇති මූලික කරුණ වන්නේ මේ කිසිවෙකු කුලී ඝාතකයන් නො වන බවයි. ඔවුන් එවැන්නන් වීමට කිසිදු පසුබිමක් නො තිබිණි. චන්ද්‍රිකා දේශපාලන වාසි වෙනුවෙන් විජයගේ මළගම පවා සිය වාසියට භාවිතා කෙරුවේ අතිශය නින්දිත අන්දමටයි. මෙම ඝාතනය එවකට පැවති ආණ්ඩුව පිට පටවන්නට යාම නිසා අවසානයේ සිදු වුණේ ජවිපෙ අවංක ක්‍රියාධරයන් දෙදෙනෙකු කුලී ඝාතකයන් ලෙස නම් කිරීමයි.

මෙම කණ්ඩායමේ අය සිය සන්නද්ධ ක්‍රියාකාරකම්වල නියැලුණේ මනා දේශපාලන අවබෝධයකින් යුුතුව, පක්ෂයේ නියමය නිසා මිස පෞද්ගලික ලේ පිපාසයකින් නො වේ. මෙම සන්නද්ධ කණ්ඩායමේ පිරිස් අතර ඔවුන් හුදු ඝාතකයන් ලෙස පමණක් පාවිච්චි කිරීම පිළිබඳ දැඩි විවේචනයක් තිබිණි. ඔවුන් පැරණි පක්ෂ සාමාජිකයන් වුව ද ඔවුන්ට පක්ෂයේ නිල දේශපාලන ධුරාවලිය තුළ කිසිදු තැනක් හිමි වුණේ නැත. ඒ වෙනුවට දේශපාලන අංශයේ සිටි වෙනත් අය සන්නද්ධ අංශයේ දිස්ත්‍රික් ලේකම් වැනි ඉහළ තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි විවේචනයක් තිබිණි. කලුතර දිස්ත්‍රික්කයේ අය සිටියදී පිටින් එන අයට ඉහළ තනතුරු දෙනවා යි බොළඳ, ප්‍රාදේශීයවාදී විවේචනයක් ද ඔවුන්ට තිබිණි. 

මෙම ඝාතක කල්ලි තුළ මිලිටරි විනයක් තිබුණේ නැත. ලයනල් රණසිංහ තමන් සිදු කළ ඝාතන පිළිබඳ පොලිසියට දුන් විස්තරාත්මක කටඋත්තර වැනි ම විස්තර ඔවුන් නතර වී සිටි නිවෙස්වල ගැහැනු ළමයි පවා දැන සිටිය හ.   

විජය ඝාතනය සිදු වන කාලයේ ලයනල් රණසිංහ හා ටාසන් වීරසිංහ වැඩ කළේ කොළඹ දිස්ත්‍රික්කයේ ය. එසේ වුව ද, ඔවුන් කිසි සේත් ම කුලී ඝාතකයන් බවට පත් නො වන බව මගේ දැඩි විශ්වාසයයි. අනෙක, ජවිපෙ ඒ වකවානුවේ විජය වැනි වාමාංශිකයන්ට එළව එළවා පහර දුන්නේ ය. ජවිපෙන් වැඩියෙන් ම බැට කෑවේ ජවිපෙට ආසන්න සතුරා වූ වාමාංශික ව්‍යාපාරයයි.

විජය ඝාතනය කළේ ජවිපෙ ය. එහෙත්, එය ඒ වකවානුවේ පැවති දේශපාලනය විසින් නිර්මානය කරන ලද තත්වයක් මිස තේරුම් ගත නො හැකි කුමන්ත්‍රණයක් නො වේ. එහෙත්, විජයගේ විවාහක බිරිඳගේ සිට ජවිපෙ දක්වා අවස්ථාවාදී දේශපාලකයන් රැසක් විසින් දැනුවත්ව නිර්මානය කරන ලද ප්‍රබන්ධ හේතුවෙන් විජයට මෙන් ම ඝාතකයාට සිදු වන්නේ අසාධාරණයකි.

ලයනල් රණසිංහට ද ගාන්ධි මැරූ ගොඩ්සේට සේ කියන්නට කතාවක් තිබෙන්නට ඇත. එවකට සිටි පාලකයන් හා ආරක්ෂක ප්‍රධානීන් ලයනල් රණසිංහ මරා දැම්මේ මෝඩකමට, උද්දච්ඡකමට හා මේ කතාව කියවෙන එක වළක්වන්නට ය.

විජය ඝාතනය සම්බන්ධයෙන් කුමන්ත්‍රණ ප්‍රබන්ධ නිර්මානය කරන කාටවත් ලයනල් රණසිංහ හමු වී නැත. ඔහු හමු වූ එක් අයෙකු ජවිපෙ නායකත්වයේ තවමත් ඇත. ඒ ටිල්වින් සිල්වා ය. 

ලයනල්ගේ අම්මා මෙන් මට ද කීමට ඇත්තේ යකෙකු වුවත් ඔහු අවංක තරුණයකු බවයි. ඔහු කුලී ඝාතකයකු නො වේ. 1989දී ලංකාවේ බලය අල්ලාගෙන සමාජවාදය ගොඩනැගීම වෙනුවෙන් කැරැලි ගැසූ, සියල්ල ඒ වෙනුවෙන් පරදුවට තැබූ අවංක තරුණ පරපුර නියෝජනය කරන, මා දන්නා හොඳම සංකේතය ලයනල් රණසිංහයි. 

ප.ලි: ලයනල් රණසිංහ ජවිපෙ කලුතර සන්නද්ධ අංශයේ වැඩ කරද්දී ඔහු භාවිතා කළ නම මහින්ද ය. 



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා නිකන් බරවචන වලින් මිනීමරු අසික්කිතයින්ව වීරයො කරන්න යන්න එපා... ඔය ජවිපෙ කියන කාලකන්නි පක්ෂෙ නොතිබුනානම් ලංකාවට මෙතරම් ආර්තික, සමාජයික වියසන වෙන්නේ නෑ... මුන් දකුනේ මිනිස්සුන්ව 97-89 කාලෙ ජාතිවාදයින් නොඅවුස්සන්න සිංහල-දෙමල ජාතික ගැටලුවෙදි පවා මෙච්චර ලේහලන්න වෙන්නේ නෑ

    ReplyDelete
    Replies
    1. ලංකාව කියන්නෙ ම මිනීමරු අසික්කිතයන්ගෙ රටක්. ජවිපෙ නො හිටියා ය කියලා අමුතු වෙනසක් නො වෙන්නට තිබුණා. ජාතික ගැටලුව උත්සන්න වෙනකොට ජවිපෙ කිසි සේත් ම ඒකට සම්බන්ධ වෙලා තිබුණෙ නැහැ. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වඩුක්කොඩෙයි සම්මේලනය තියලා වෙන් වීමේ තීරණය ගන්නකොට එයට ජවිපෙ දේශපාලනයේ කෙළින්ම බලපෑමක් තිබුණෙ නැහැ.

      හැබැයි පස්සෙ කාලෙක ජවිපෙ ජාතික ගැටලුවට සෑහෙන්න බලපෑවා. හැබැයි උතුරේ කොටි සංවිධානයත් ජවිපෙ වගේ ම අන්තවාදී ව්‍යාපාරයක් බව අමතක කරන්න එපා.

      අන්තවාදී වුණේ ජවිපෙයි, කොටියි විතරක් නෙමෙයි කියන එකත් මතක තියා ගන්න.

      Delete
    2. මිනිමරැ අසික්කිතයන් කොයි රටේත් ඉන්නවා බන්.. සමහර රටවල ලන්කාවට හපන්.. එහෙව් එකේ උඹලට ඕනි දේ උනේ නෑ කියල රටට ගරහන්න එපා...

      මේ පැරා පොඩ්ඩක් කියහන්කො දෙමළ ස්වංයන් නිර්ණ අයිතිය ගැන උඹේ මතය?

      Delete
    3. මගේ මත මං උඹට ඕනැ වෙලාවට කියන්න උඹ කවුද බං?

      Delete
    4. Para meka anthima thuchcha asikkithayinge ratak kiyala mata hondatama pahadiliyi.. Me sudu redi andagena inna horu tikage niruwatha puluwan tharam ikmanin podu janathawata pennanna oni. Mokada mama thawamath wish wasa karanawa yamkisi awanka bhawayak samanya podu miniha thula ithuru wela thiyenawa.. Para me tika mama danagaththe slvlog eke video tika balala. SLVlog thiyenne youtube eke. Karunakara me horun niruwath karanna uparima sahayak owunta denna. Oba mama pathana sadharana deshaya sandaha api kala yuthu eka wishala karyayak eka. Please check it out and I hope you will do that job of a good civilian with this. Thanks!

      Delete
    5. හා නිකන් ඇහුවේ... තරහ ගන්න ඕනැයැ

      Delete
    6. එහෙම එනව නම් කියන්නම්. ස්වයං නිර්ණ අයිතිය ඕනෑම මිනිහෙකුට තියෙනවා වගේ ම ජාතියකටත් තියෙනවා. ඒක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියෙනුත් තහවුරු කර තිබෙනවා. හැබැයි ඒකටත් පවත්නා සංදර්භය අදාළයි. ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් ජාතියේ විනාශය ඇති කර ගත යුතු නැහැ. දෙමළ ජාතියට වුණේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් කරපු සටන නිසා ජාතිය විනාශ වුණ එක. ජාතිය බදාගෙන ඉන්නවාට වඩා ජාතියට වඩා පුළුල් දේශපාලන අවකාශ වෙනුවෙන් අරගල කිරීම තමයි ප්‍රගතිශීලීන්ගේ වගකීම.

      Delete
    7. ගරු අජිට් පැරකුම් ජයසින මහතාණනි,

      ඔබතුමා සියල්ල දත් අග්ග මහා පණ්ඩිත කෙනෙකු නිස යි මේක අහන්නේ. ඔබතුමා ලෙනින් කියවා නැති ව ඇතිනේ ඉතිං වාමාංශිකයෙකු නො වන නිසා. ඒත් ඔබතුමා ලිබරල් ධනවාදී බුද්ධිමතෙකු හා දේශපාලන න්‍යායාචාර්යවරයෙකු නිසා අර වුඩ්රෝ විල්සන් කියන ඇමෙරිකන් ජනාධිපතිතුමාගේ 1918 පළ කළ “Fourteen Points - the essential terms for peace” කියන ප්‍රකාශනයවත් කියවලා ඇතිනේ.

      එහෙනම් වැල් වටාරම් ආතභූත නැති ව කියන්නකො බලන්න ඔබතුමා දෙමළ ජනතාවට ස්වයංනීර්ණ අයිතිය මත පදනම් වන ස්වයංපාලනයක් දෙන්න කැමති ද කියලා.

      අපට එතකොට බලා ගත හැකි යි නො වැ ඔබතුමාගේ ලිබරල් ධනවාදයේ දිග පළල.

      ඔබතුමා ලෙනින්ගේ “The Right of Nations to Self-Determination“ (1914) සහ “Imperialism: The Highest Stage of Capitalism” (1916) හදාරා තිබුණා නම් පහත ආකාරයේ ගුවනේ ලඹ දෙන විසංයුක්ත වැකි ලියන්නේ නැත.

      //ලංකාවේ දෙමළ ජාතිකයන්ට සාධාරණ අන්දමින් බලය බෙදා දී ඔවුන් ප්‍රජාතාන්ත්‍රික පාලනයකට සම්බන්ධ කරගෙන//

      ජනඝාතක ම්ලේච්ඡ යුද්ධයකට මානුෂික මෙහෙයුම යැයි සින්දුරම් ආලේපිත වදන් යෙදූ ධනපති පාලක පංතිය ද පැවසූවේ තමන් දෙමළ ජනයාට සාධාරණය ඉටු කරන බව යි. යුදෙව් ජන සංහාරයක් කළ හිට්ලර් පැවසූවේ ද තමා සමාජවාදය අනුයන බව යි.

      ඔබතුමා වගේ අග්ග මහා පණ්ඩිත කෙනෙකු අප වැනි දුහුනන්ට සෘජු පිළිතුරක් දෙනු මැනවි. මෙන්න ප්‍රශ්නය නැවතත්,

      ඔබතුමා දෙමළ ජනතාවට ස්වයංනීර්ණ අයිතිය මත පදනම් වන ස්වයංපාලනයක් දෙන්න කැමති ද?

      ස්තුතියි!

      වමේ අපි.
      (අන්තර්ජාතික විප්ලවීය දේශපාලනයක ලාංකීය සන්ලකුණ)

      Delete
    8. මං ආසයි යකෝ. ඔන්න මං දුන්නා. අල්ල ගනින්.

      Delete
  2. විජය ඝාතන කොමිසමේ එක තැනක කියනවා, විජය ඝාතනයත් සමග ජ.වි.පෙ. සහ ප්‍රේමදාස අතර තිබුන යම්කිසි සම්බන්ධයක්, තේරුම් ගැනීමට අමාරු සම්බන්ධයක් ගැන සැක සංකා ඇතිවෙන බව. එහි යම් කිසි ඇත්තක් තිබෙන්න ඇති බව මමත් විස්වාස කරනවා. මොකද තමුන්ගේ අවසන් මොහොත දක්වා රෝහණ විජේවීර රණසිංහ ප්‍රේමදාස ගැන විස්වාසයකින් කටයුතු කල බවට සාක්ෂි තිබෙන නිසා. ඔහු වරක් පවසා තිබෙනවා අවසන් මොහොතේ හෝ ප්‍රේමදාස ඔහුව බේරාගන්නවා කියා. එපමණක් නොවේ, දෙදෙනාම එකම ගම් පලාතක අයවලුන් වීම නිසා, එකම පන්තියක අය වීම නිසා වරක් ප්‍රේමදාස පවසා තිබෙනවා ඔහුත් විජේවීරත් ගොඩක් පැති වලින් එක සමානයි ඔහු කරන්නේත් විජේවීර තුවක්කුවෙන් කරන විප්ලවයමයි ඒත් තුවක්කු නැතුව කියලා. ඊට අමතරව ප්‍රේමදාස විසින් විජේවීරට රට පාලනයට ආරාධනා කර තිබෙනවා. එය විජේවීරගේ හිතේ ප්‍රේමදාස කෙරෙහි ගෞරවයක් ඇති කරන්නටත් හේතු වී තිබුනාලු. අනිත් කාරණය නම් 88-89 කාලේ ජ.වි.පෙ. විසින් රට තුල ඇති කල භීෂණයෙන් උපරිම වාසිය සැලසුනේ ප්‍රේමදාසට වීමයි. චන්දෙ දැමීම තහනම් කල විටදීත් වැඩි චන්දයෙන් ප්‍රේමදාස පත් උනේ (දකුණේ ජ.වි.පෙ. බලගතු පලාත්වල පවා) ප්‍රේමදාස වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් කල හොර චන්ද දැමීමේ ව්‍යාපාරය නිසාවෙනි. ජ.වි.පෙ. මහජනතාවගේ චන්දය වැළක්වුවත් හොර චන්ද දැමීම වලක්වන්න අසමත් විය. එය එසේ වූවේ හිතා මතාම යැයි මම කියමි. ඔවුන්ට යම් අයුරකින් ප්‍රේමදාසව බලයට පත් කිරීමට අවශ්‍යතාවක් තිබුන බව මම කියමි. අනෙක් කාරණය නම් විජේවීර අත් අඩංගුවට පත්ව රූපවාහිණී කැමරාව ඉදිරියට ගෙන ආ විට කිසිදු පැකිලීමක් නැතුව ආන්ඩුවට යටත් වන්න, ආයුධ බිම තියන්න, ප්‍රචන්ඩත්වයෙන් මිදෙන්න යනුවෙන් තම සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කලේ එක්කෝ ප්‍රේමදාස විසින් එසේ කරන්න යැයි ඔහුගෙන් කරන ලද ඉල්ලීමකට අනුව විය යුතු අතර එසේත් නොමැතිනම් විජේවීර විසින් ප්‍රේමදාසගේ කැමැත්ත දිනා ගැනීමට සිතා විය හැකිය. මේ කරුණු අනුව ප්‍රේමදාස සහ විජේවීර අතර රහසිගත සම්බන්ධයක් තිබුන බව මම තදින්ම විස්වාස කරමි. ඒ අනුව විජේවීර සහ ප්‍රේමදාස යන දෙදෙනාගේම සතුරන් පළමුවත්, ප්‍රේමදාසගේ සතුරන් දෙවනුවත් ඝාතනය කිරීමට ජ.වි.පෙ. ක්‍රියා කල බව මම කියමි. විජය කුමාරතුංග යනු මේ දෙදෙනාටම දේශපාලන වශයෙන් ප්‍රධාන අභියෝගයක් වූ අතර, ප්‍රේමදාස විසින් ජ.වි.පෙ. ලවා කල ඝාතනයක් ලෙස මම එය දකිමි. තවද විජය ඝාතනය මේ රහසිගත සම්බන්ධය ගැන සැක සංකා හෙළි කල එක් ප්‍රධාන ඝාතනයකි. එය ඝාතන කොමිසමද තම වාර්ථාවේ පැහැදිලිව සඳහන් කර ඇත.

    ReplyDelete
    Replies
    1. විජය අනාගතයේ මිස එම වර්තමානය තුළ නම් ප්‍රේමදාසට හෝ ජවිපෙට තර්ජනයක් වී තිබුණේ යයි මම නො සිතමි. විජය සන්නද්ධ වූ මුත්, එම සන්නද්ධ භාවය ද හුදු ස්වයං ආරක්ෂාවට සීමා විය. එමෙන් ම ඔවුන්ට ජවිපෙ නැගී එන බලයට මුහුණ දීමට හැකියාවක් තිබුණේ ද නැත. එම යුගයේ ප්‍රේමදාසට නම් විජයගෙන් තිබුණු අභියෝගයක් මට නම් පෙනෙන්නේ ම නැත.

      විජයගේ නායකත්වයෙන් වාමාංශික පක්ෂ ඉන්දු ලංකා ගිවිසුම හා පළාත් සභා පිළිගෙන තිබිණි. ඒ වන විට ශ්‍රීලනිපයත් පළාත් සභා ප්‍රතික්ෂේප කර තිබිණි.

      ප්‍රේමදාස ජනප්‍රියවාදී පදනමකින් ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධ වූයේ ය. ජවිපෙ විසින් ගොඩනගන ලද ඉන්දියන් විරෝධී රැල්ල මතින් ඔහු ද එතෙර වූයේ ය. ප්‍රේමදාසට ජවිපෙ සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට පවා කැමැත්තක් තිබුණු බව ඒ.ජේ. රණසිංහ හෙළිදරව් කරයි.

      එහෙත්, විජය ඝාතනය වූ කාලය වන විට ප්‍රේමදාස අගමැති මිස ජනාධිපති නො වේ. ප්‍රේමදාස ජනාධිපති වූයේ ඉන් මාස 11කට පමණ පසු ය. ඒ වන විට තිබුණු බලතුලනය තුළ විජය විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා වීම මෙන් ම විජය ප්‍රේමදාසට අභියෝගයක් වීම ද දැන් පැහැදිලිව කිව හැකි කරුණු නො වේ.

      Delete
    2. ඔව් අනිවාර්යෙන්ම. විජය යනු ප්‍රේමදාසට සහ ජ.වි.පෙ. ට බලවත් අනාගත තර්ජනයක් තමයි. එය තේරුම් ගැනීමට විජයගේ දේශපාලන භූමිකාවත්, විජය නැති විටෙක ඇතිවන තත්වයත් ගැනත් විග්‍රහයක් කල යුතුය. විජය නැති තැනෙක ප්‍රේමදාසට තිබෙන එකම දේශපාලන තර්ජනය නම් වයෝවෘද්ධ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය පමණි. විජේවීර කලේ වනගත දේශපාලනයක් නිසාත් බහුතර ජනතාවකගේ කැමැත්ත මතින් ඔහුට කිසි දිනෙක පාලන බලයක් ලබා ගැනීමට බැරි වීම නිසාත් ප්‍රේමදාසට විජේවීරගෙන් කිසිදු දේශපාලන තර්ජනයක් නැත. තිබුනත් එය මිලිටරි ක්‍රමයෙන් මර්ධනය කිරීමට ප්‍රේමදාසට උවමනාවටත් වඩා සාධාරණීය කල හැකි හේතු තිබූ අතර ඒ හැකියාව ගැනද කිසි දිනෙක ඔහුට සැකයක් තිබුනේද නැත. සරම කැහපට ගහගෙන ප්‍රේමදාසට යා හැකි තැනක් තිබුනේද එසේ යා හැකිව සිටි අනෙක් ජනප්‍රිය දේශපාලඥයා විජය පමණි. ඉන්දු-ලංකා ගිවිසුමෙන් ප්‍රේමදාස ලකුණු දාගත්තත් ඒ ලකුණු ජ.වි.පෙ. න් ලැබුණු ලකුණු විනා මෙරට බහුතරයක් ජනතාවගෙන් ලැබුණු ලකුණු නොවේ. ඇත්තෙන්ම එය ජ.වි.පෙ. මුලා කිරීමට ප්‍රේමදාස යෙදූ උපක්‍රමයකි. විජය කුමාරතුංගගේ දේශපාලන ගමන හැදෑරීමේදී ඔබට වඩා ප්‍රේමදාස දක්ෂයෙක් වූ බව මම කියමි. ඒ ඔහුගේ දේශපාලන පරිණතභාවයයි. එයම නිසාවෙන් ඔහු විජේවීරද තමුන්ට අවශ්‍යය ප්‍රමාණයට වසඟයට ගත්තේය. එය ජ.වි.පෙ. යනු සැබෑ විප්ලවවාදීන් යැයි කියන අයට ලැජ්ජාවට කරුණක් වුවත් එය එසේම විය. ලයනල් රණසිංහ හෝ ටාසන් වීරසිංහ ජ.වි.පෙ. ද නැද්ද යන්න ප්‍රේමදාසට ඔහුගේ අරමුණ වෙත ලඟා වීමේදී වැදගත් නැත. ඔහුට අවශ්‍ය වූවේ විජේවීර හා ජ.වි.පෙ. විජයෙගි සතුරන් බවට පත් කිරීම සහ එය සමාජය තුල ප්‍රචාරය කිරීමටය. එයින් පසුව ඔහුට අවශ්‍ය වන්නේ කවුරුන් හෝ වෙඩික්කරුවෙක් සහ ටී 56 තුවක්කුවක් පමණි. ඇත්තෙන්ම වැදගත් මාතෘකාව විය යුත්තේ එයයි. විජය ඝාතනය ගැන හ්සෙවීමේදී අප උත්සාහ කල යුත්තේ ප්‍රේමදාසගේ දේශපාලන උපක්‍රම හැදෑරීමයි. එමගින් ඝාතනයේ නියම මිනීමරුවා සෙවීමයි. නැතිව ලයනල් රණසිංහගේ හෝ ටාසන් වීරසිංහගේ උප්පැන්න සහතික ලිවීමෙන් පලක් නැත. ඔවුන් ගැන විජේවීරවත් දැන සිටියාදැයි සැකය. කෙසේ හෝ විජේවීර ලවා තම අරමුණ ඉෂ්ඨ කර ගත් ප්‍රේමදාස රන්ජන් විජේරත්න ලවා විජේවීර සහ ජ.වි.පෙ. සමූලඝාතනය කර දැමුවේ එය ඔහුගේ සැලස්මේ ඊලඟ වගන්තිය වූ නිසාය. එයින් පසුව ඔහුට දකුණෙන් කිසිදු දේශපාලන තර්ජනයක් නැතිවනවා මෙන්ම අපවාදයක් එන්නේත් නැති බව බව ඔහු දුර තියාම තේරුම් ගෙන තිබුණි.

      Delete
  3. රංජි මල්ලි නොහොත් සුගත් පැරාට හමුවී තිබෙනවද...

    ReplyDelete
  4. පැරා,

    මම මේ වෙඩිතැබීම වෙන කොට මම පොඩි ළමයෙක්, නමුත් මට එක දෙයක් මතකයි විජය කුමරතුනගේ මුනට වෙඩි තියල තිබුන. ඇයි පැරා එහෙම විජයගේ මුණ විකුර්ති කිරීමෙන් JVP බලාපොරොත්තු වුනේ මොකද්ද?

    අනෙක් ප්‍රශ්නය නම් මේ මිනීමැරුමට රෝහණ විජේවීර නොදැනුවත්ව වෙන්න පුලුවන්ද ?

    විජයගේ ඝාතනය ගැන ජනතා විමුක්ති පෙරමුණ දැන් කියන්නේ මොකද්ද (මේ ප්‍රශ්නය නම් අහන්නේ පැරා ගෙන් නෙමෙයි JVP ගැන අදත් විශ්වාස කරන අය පරාගේ අඩවිය කියවනවානම් ඔවුන්ට කියන්න තියෙන්නේ මොකද්ද ?)

    ReplyDelete
    Replies
    1. විජයව මැරිය යුත්තේ ඇයි කියල දේශනයක් තියනවා ඒකෙන් ඔහු පිලිබඳ තද වෛරයක් ඇති කරනවා.

      Delete
  5. විජය ඝාතනය ගැන විජේවීර දැනගෙන ඉන්නට ඇති. හැබැයි විජය ඝාතනය සම්බන්ධයෙන් වෙන ම විශේෂ තීන්දුවක් නො ගත්තා වෙන්නත් පුළුවන්. ජවිපෙ හිටියෙ සියලු වාමාංශිකයන් මරන පොදු තීරණයක් වැනි එකකයි. මෙවැනි ඉහළ පෙළේ ඉලක්ක ජවිපෙ සන්නද්ධ අංශය විසින් තීරණය කර ක්‍රියාත්මක කරන්නටත් ඇති.

    ඒ වගේ ම මේ යුගය වන විට විජේවීරට වඩා බලවත් නායකයන් ජවිපෙ තුළ ගොඩනැගී සිටියා. විශේෂයෙන් ම සමන් පියසිරි, ඩී.එම්. ආනන්ද වැනි සාපේක්ෂව අලුත් නායකයන්ට දැවැන්ත බලයක් තිබුණා.

    ඒ නිසා මෙම ඝාතනය සම්බන්ධයෙන් තනිකර විජේවීරට දොස් නැගීම තේරුමක් නැහැ. ඒ වගේ ම ජවිපෙ කේඩරය මෙම ඝාතනය සම්පූර්ණයෙන් ම අනුමත කළා. ඒ වන විට තිබුණු තත්වය එයයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පැරා. එක අතකින් ශ්‍රී ලංකාව වාසනාවන්තයි මේ වගේ විප්ලවයක් පරාජය කිරීමට ලැබීම ගැන, බැරි වෙලාවත් මේ මිනිසුන් බලයට ආවනම් කිසිම කෙනෙකුට පාලනයක් කරන්න බැරි විදියට මිනිසුන් බල්ලන් බළලුන් වගේ මරල දානවා මේදේ කම්බෝඩියාවේ පොල්පොට් කළා.

      රටේ මිනිසුන් විදියට මේ තත්වය මේ විප්ලවීය පක්ෂ වලින් ප්‍රශ්න කල යුතුයි.

      මේ ප්‍රශ්න බලයට එන්න ඉස්සල්ලම පෙන්නන්න ඕනේ කොහොමද ඔවුන් යටතේ රජයට මුදල් රැස්කරන්නේ, කොහොමද අන්තර්ජාතිකව ගනුදෙනු වලට එළබෙන්නේ, රටේ මිනිසුන්ට පුද්ගලික දේපොළ පරිහරණය කරන්න පුලුවන්ද?
      වගේ මුලික ප්‍රශ්න වලට සැලැස්මක් සහිතව ඉදිරිපත් වෙන්න ඕනේ.

      එතකොට මිට විරුද්ද පුද්ගලයන්ට පුළුවන් ප්‍රති තර්ක ඉදිරිපත් කරන්න, ඔය කියන තරම් සාර්ථක නම් ප්‍රතිවාදීන්ට බැරිවෙන්න ඕනේ ඔවුන්ගේ අගනා සැලැස්ම බිදහෙලන්න.

      එහෙම නොකර අපි ආවම කරලා පෙන්නන්නම් කියනවනම් ලෝක බොරුවක් බව තේරුම් ගන්න ඕනේ.

      Delete
    2. ඒ ජේවීපී කෙඩර්යේ ,ඉස්සරහින්ම පැරකුම් උත් හිටියනේ .වර්තමානයේ ඉදන් අතීතය අජිත්ට ඕනේ විදියට කියවනවා .යුද්ධය හා සාමය කියවලා තියනවනම් මේ වගේ තක්කඩියෙක් හදුනාගන්න අමාරු නැහැ - වජිර යාපා


      Delete
  6. රෝහණ විජේවීර, ලයනල් රණසිංහ වගේ පීඩිතයන්ව තමයි තමන්ගෙ මිනීමරු සන්නද්ධ අංශෙ බිලි බෝයිස්ලා විධියට භාවිතා කළේ. උන්ට හිතන්න බෑ, මොකද අධ්‍යාපනයක් නෑ. ජීවත් වෙන්නෙ, එදා වේල පිරිමහගන්නෙ, මොකක් හරි කුලී වැඩකින්, නැත්නම් ඔය කඩල විකුණන වගේ දේකින්. උන්ගෙ ඔලුවලට දැම්මා උන් දුක් විඳින්නෙ පාලකයො නිසා, ඒ නිසා උන්ව විනාශ කල යුතුයි කියන එක. ඉතින් උන් අතට තුවක්කුවක් දීල පීඩිත පන්තියෙ විප්ලවය වෙනුවෙන් මොකාව මරන්න කිව්වත් උන් මරනවා. ඒ මෝඩ විප්ලවය නොවන්න, ලංකාව මීට වඩා ගොඩක් ඉදිරියෙන්. කොහොම වෙතත්, විජේවීර වගේ මෝඩ විප්ලව නොකරන, වෙනස් විධියකට හිතන අනුර කුමාර වගේ නායකයෙක් ලැබීම ජවිපෙට වඩා මේ රටේ වාසනාවක්. මොකද ජවිපෙට ආණ්ඩුවක් ගන්න බැරි වුණත්, අනුර කුමාර ඉන්නකම් ආපහු මෝඩ විප්ලව කරල මේ රට විනාශ වෙන්නෙ නෑ කියන එක මට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ ගැන පළවූ අදහස් අතරින් ඔබේ අදහස තමයි නිවැරදිම. මේ වගෙ යාන්ත්‍රික ඝාතකයන් විජේවීරගෙ බිලිබෝයිල ලෙස විප්ලව කාලෙ ක්‍රියා කර විප්ලවය ජයගත් පසු ලෙනින්ගෙ චෙකා පොලීසිය වගෙ තැනක ප්‍රධානීන් වෙලා පක්ශයට විරුද්ධ අය බල්ලො බලල්ලු වගෙ මරා දමාවි. තමන්ට කිසිම වරදක් නොකල ඕනම කෙනෙක් පක්ෂය අන දුන්න කියල මරන ලයනල් රනසිංහ වගෙ ඝාතකයෙක් මට සිහිකරන්නෙ ෆීලික්ස් දෙර්ශින්ස්කි හෝ බෙරියා වගෙ අයෙක්. විප්ලවය ජයගත්ත නම් ඔබ කීව වගෙ කාටවත් පාලනය කරන්න බැරි දිග පලල සිතා ගත නොහැකි දැවැන්ත ඝාතනයක් සිදුවෙනවා. මටවෙලාවකට අනුරකුමාරල ගැන ගෞරවක් ඇති වෙනව. විජේවීර හිටියනම් තුන් වැනි වරටත් හැත්තැපන් දාහක්වත් ආන්ඩුව ලවා මරවල.
      විජේවීරලගෙ ලයනල් රණැසිංහලගෙ මනෝභාවයන් ගැන විශ්ලේශන කල යුතුයි. ඒ මේ උමතු මිනීමරුවන් වීරත්වයට නංවන්නෙ නැතිව.

      Delete
    2. පැරා හදන්නෙ මෙවැනි බුද්ධි හීන යාන්ත්‍රික ඝාතකයින් අවංක විප්ලවාදීන් විධියට වීරත්වයට නංවන්න. ලංකාවෙ හිටියෙ මෝඩ විප්ලවවාදීන්, උන් ගල් කටස් අරන් කාල තුවක්කු එක්ක යුද්ධ කළා තමන්ගෙ තරම ගැන අවබෝධයකින් තොරව. අනික ඔය මෝඩ විප්ලවකාරයන්ට මුළු ජනගහණයෙන් 1%ක සහයෝගයක් ලැබුණද කියන එකත් සැකයක්, මොකද විජේවීර අන්තිමට ඉල්ලපු 82 ජනාධිපතිවරණයෙන් ඔහුට ලැබුණෙ 4.19%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. ඒ අතින් අනුර කුමාර ගව් ගණනක් ඉදිරියෙන්.

      Delete
    3. අවංක විප්ලවවාදීන් වැඩි දෙනෙක් ඝාතකයන් තමයි. ඉතිහාසෙ චරිත විමසලා බලන්න. සමහරුන් බුද්ධි හීන යාන්ත්‍රික ඝාතකයන් කියා පෙනෙන්නට පුළුවන්. ඒකට හේතුව තවත් සමහරුන් බුද්ධිමත්, පරිස්සම් සහගත ඝාතකයන් වීමයි.

      Delete
    4. මිහයිල් ෂෝලහොව්ගේ දොන් නදිය නිසලව ගලා බසී නවකතාව කියවන්න. 1917 රුසියානු විප්ලව අවදියේ දොන් පෙදෙසේ ජීවත් වූ මෙවැනි චරිත රැසක් එහි විවරණය වෙනවා.

      ඊළඟ කාරණය වන්නේ අවංකකම හැම විටම බුද්ධිමත්කම සමග සම්බන්ධ නො වීමයි. අවංක මෝඩයන් ඕනැ තරම් ඉන්නවා.

      Delete
    5. පැරා ඔබ කීර්ති විජේබාහු නැමති අනවර්ත නාමයෙන් පෙනී සිටියා සිටි කෙනා දැන සිටියාද ? ඔහුට සිදුවූයේ කුමක්ද ? හැකි නම් බ්ලොග් ලිපියක් ලියන්න

      Delete
    6. කීර්ති විජේබාහු කියලා කෙනෙක් හිටියෙ නැහැ. එය සංකේතාත්මක නමක්. නම විශ්ලේෂණය කරලා බලන්න. කීර්ති කුමාරයා කියන්නේ විජයබාහු රජ්ජුරුවන්ගේ මුල් නම.

      ජවිපෙ තමන්ගේ ත්‍රස්ත ක්‍රියා ආවරණය කර ගන්නට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය කියලා ව්‍යාජ සංවිධානයක් හදලා කීර්ති විජේබාහු කියා ව්‍යාජ නායකයකුත් හැදුවා.

      කීර්ති විජේබාහු ඇත්ත පුද්ගලයකු යයි රජය පවා පටලවා ගත්තා.

      කීර්ති විජේබාහු කියන නම යම් පුද්ගලයකුට අදාළ වෙනවා නම්, එය වැඩිපුර ම අදාළ වන කෙනා තමයි ජවිපෙ සන්නද්ධ අංශයේ නායක සමන් පියසිරි ප්‍රනාන්දු.

      Delete
  7. Para meka anthima thuchcha asikkithayinge ratak kiyala mata hondatama pahadiliyi.. Me sudu redi andagena inna horu tikage niruwatha puluwan tharam ikmanin podu janathawata pennanna oni. Mokada mama thawamath wish wasa karanawa yamkisi awanka bhawayak samanya podu miniha thula ithuru wela thiyenawa.. Para me tika mama danagaththe slvlog eke video tika balala. SLVlog thiyenne youtube eke. Karunakara me horun niruwath karanna uparima sahayak owunta denna. Oba mama pathana sadharana deshaya sandaha api kala yuthu eka wishala karyayak eka. Please check it out and I hope you will do that job of a good civilian with this. Thanks!

    ReplyDelete
  8. පැරා ඔබ මහින්ද ලාල් නම් අය දන්නවද

    ReplyDelete
    Replies
    1. ඔව්. මම සියල්ල දනිමි.ඇයි අවුල් ද?

      Delete
  9. විජය මැරුවේ ජේවීපී එකෙන් බව අද කෙසේ වෙතත් එදා නම් ජේවීපී හිතවාදීන් දැන සිටියා පමණක් නොව සතුටු වුණා.

    ReplyDelete
    Replies
    1. විජය ඝාතනය කළ‍ේ කවිද කියන එක එදා නමි කාටවත් ප්රශ්නයක් උන‍ේ නෑ.ම‍ොකද එදා ඒ අවමගුල් පෙරහැර‍ේ ගමන් කළ විජයට ආදරය කළ තරැණය‍ෝ මෙහෙම කිවිවලූ
      "විජ‍ේ අයියව මරා දාපු (ඒ හා සමාන නමක් ඇති පක්ෂ නායකයකුග‍ේ නමක් කියමින්)මරා දමමු!"

      Delete
  10. Mr writer there are many people who were closely link with 88/89 era some of them don't like to remind them some are boasting some clearly understood what happened and learnt lessons use it to to do something to the society within their capacity and remain silence some use it for cheap popularity

    ReplyDelete
  11. විජය ඝාතනය කළ‍ේ කවිද කියන එක එදා නමි කාටවත් ප්රශ්නයක් උන‍ේ නෑ.ම‍ොකද එදා ඒ අවමගුල් පෙරහැර‍ේ ගමන් කළ විජයට ආදරය කළ තරැණය‍ෝ මෙහෙම කිවිවලූ
    "විජ‍ේ අයියව මරා දාපු (ඒ හා සමාන නමක් ඇති පක්ෂ නායකයකුග‍ේ නමක් කියමින්)මරා දමමු!"
    පැරා
    දයා පතිරණ පැහැර ගෙන ග‍ොස් මරා දැමීම‍ෙි වගකීම පැවරැණු කොස්තා නැමැත්තා ඔබට හමු වි තිබ‍ෙිද?

    ReplyDelete
  12. ඔය මොන මඟුලක් වත් නොදැන ජවිපෙට සම්බන්ධ වන නූතන අවංකයන් බේරා ගත යුතුයි....

    බු වා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා