2017-01-26

හොරකම් ඇති බව පොඩි අයත් දනිති. හොරකම් අල්ලන හැටි කවුරුත් නො කියති.

නවතම ආර්ථික හා මුල්‍ය අපරාධ විමර්ශන විශේෂඥවරයා
බැඳුම්කර වංචාව වනාහි නීතියේ සිදුරුවලින් රිංගා ගහන ලද දැවැන්ත ගේමකි. එය අලුත් දෙයක් නො වේ. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ද මේ ගේමෙහි ඔස්තාද් කෙනෙකි. එන්ට්‍ර‍ස්ට්, ෆස්ට් කැපිටල්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් වැනි මුල්‍ය සමාගම් පසුපස ඔහුගේ ද සෙවණැල්ල තිබේ.

රජයට ණය දීම මේ වන විට ලංකාවේ මුල්‍ය වෙළඳපොළේ ප්‍ර‍ධාන ම ව්‍යාපාරයයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයක් ආරම්භ කරන්නට ව්‍යවසායකයෙකුට ණයක් ගැනීම පහසු නැත. බැංකු හා මුල්‍ය ආයතන මහජනතාවට සුළු පොළියක් ගෙවා ලබා ගන්නා තැන්පතු ඍජුව හා වක්‍ර‍ව රජයට ණය දීමට යොදා ගනියි. මේ රජය කෙතරම් පිළලයක් ද යන්න අමුතුවෙන් කියන්නට උවමනා නැත.

මහේක්ෂ ආර්ථික තලයේදී රජයේ ණය ගැනීම් කාලයක් තිස්සේ ම සිදු වෙමින් තිබුණේ පාරදෘෂ්‍ය ලෙස නො වේ. මෙය පුළුල් පදනමකින් විමර්ශනය කර සියලු වගඋත්තරකරුවන් නීතිය ඉදිරියට ගෙන ආ යුතු ය. හිටපු මහ බැංකු අධිපතීන් මෙන් ම මහ බැංකුවේ නිලධාරීන් රැසක් ද මේ අතරට වැටේ. ඒ වෙනුවෙන් ජනාධිපති කොමිෂමක් පත් කිරීම යුක්තියුක්ත ය.

2015 පෙබරවාරි බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් මූලික ගැටලු මතු වන්නේ අර්ජුන් මහේන්ද්‍ර‍න් හෝ වෙනත් නිලධාරියකු අභ්‍යන්තර තොරතුරු ලබා දුන්නා ද යන්න මතයි. එසේත්, නැතිනම් එම නිලධාරීන් නිසි වෘත්තිකභාවයෙන් කටයුතු නො කළ බවට චෝදනා කර විනය පියවර ගත හැකි වනු ඇත. එහෙත්, මේ කිසිවකින් මේ පාඩුව පියවා ගත නො හැකි ය.

සමාගමක ලාභය ක්ෂණිකව කීපගුණයකින් වැඩි වීම වැලේ වැල් නැතුව සිටි විමල් හිටිහැටියේ මහා ධන කුවේරයකු වීම වැනි දෙයක් නො වේ. දේශපාලකයන් මෙන් නොව, සමාගම් තිබෙන්නේ ලාභ ලබන්නට ය. ලාභ ලැබුවේ ඇයිදැයි සමාගම්වලින් අහන ආණ්ඩුවේ හා විපක්ෂයේ දේශපාලකයන් ආර්ථිකය ගැන කිසිවක් දන්නා අය විය නො හැකි ය. මෙවැනි බහුබූත දේශපාලකයන් නිසා තෙල් මිළ දී ගැනීමේ හෙජිං ගිවිසුම නිසා සිදු වූ පාඩුවට අමතරව, ගිවිසුමට අනුකූලව කටයුතු නො කිරීම හේතුවෙන් සමාගම්වලට වන්දි ගෙවන්නටත් සිදු වූ බව නැවත මතක් කර දිය යුතු ය.

ලංකාවේ දේශපාලකයන් තරමට ම රජයේ නිලධාරීන් ද විකාරකාරයෝ ය. බොහෝ දෙනෙකු මහා පොරකැයි සිතා සිටියත් රජයේ නිලධාරියකු වන විගණකාධිපති ගාමිණී විජේසිංහ කටයුතු කරන්නේ තනිකර ම විපක්ෂ දේශපාලකයකු සේ ය. ඔහු වනාහි මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් නො කළ තවත් එක් නිලධාරියෙකු පමණි. ඔහු ද වංචාවක් ඔප්පු කිරීම සඳහා සාක්ෂි සොයාගෙන නැත. ඔහුගේ වාර්තාව ද, එය පදනම් කරගෙන වාර්තාවක් සපයන කෝප් කමිටුව ද ඇත්තෙන් ම මෙම වංචාවෙන් ගැලවෙන්නට උපයෝගී කර ගත හැකි ඒවා මිස වංචාව ඔප්පු කළ හැකි ලේඛන නො වේ. රජයේ නිලධාරීන් යනු දේශපාලකයන්ට මුවා වී සිටින දේශපාලකයන්ටත් වඩා දූෂිත, නාස්තිකාර පිරිසකි. දේශපාලකයන්ට නම් අවුරුදු කීපයකට පසු හෝ ජනතාවට වගකියන්නට සිදු වේ. රජයේ නිලධාරීන් කිසිදු කලෙක කිසිවකුට වග කියන්නේ නැත. 

මෙවැනි සොරකම් නීතියෙන් ඇල්ලිය නො හැකි ය. එහෙම අල්ලන්නට පුළුවන් නම්, පසුගිය ආණ්ඩුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සිට වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දක්වා ම හා වර්තමාන ආණ්ඩුවේ බොහෝ දෙනෙකුත් සිටිය යුත්තේ වැලිකඩ ය. 

මහ බැංකුවේ හොරකමක් සිදු වූ බව කවුරුත් දනිති. එසේම, රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ ඇම්බැට්ටයන් හොරකම් කළ බවත් කවුරුත් දනිති. වර්තමාන ආණ්ඩුවේත් ඒවා සිදු වන බවත් කවුරුත් දනිති. එහෙත්, මේ හොරකම් අල්ලන හැටි කවුරුත් නො දනිති. 

ලංකාව වනාහි අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබන්නන්ගෙන් 5%කට අඩු සංඛ්‍යාවක් පමණක් හිරගත වන සමාජයකි. අපි හැමෝ ම කරන්නේ නීති කඩන එක ය. නීතියෙන් රිංගා යාම ගැන විශේෂඥයන් වන අපි නීතියේ පැටලුණු විට පමණක් සමාජ ක්‍ර‍මයට බනින්නට පුරුදු වී සිටිමු. 

මෙතන තිබෙන්නේ දේශපාලකයන්ගේ හෝ නිලධාරීන්ගේ හෝ පමණක් අවුලක් නො වේ. සමස්ත සමාජ ක්‍ර‍මයේ ම අවුලකි. අවුල වෙන මොකක්වත් නොව, අප හැමෝ ම හොරුන් වීමයි. ලාභය අපේ ආගම වීමයි. විමානය ඉතින් යකාගේ හැටියට ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.