ආයෙමත් හඩන්න. විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි වන්නේ නැත.

ගුරු විද්‍යාලයේදී මා සමග සිටි මගේ පැරණි මිතුරකු වන සුනිල් විහිළුවට මෙන් ඕනෑම දෙයකට බනින්නේ ජේ.ආර්.ට හා විවෘත ආර්ථිකයටයි. උගේ කකුල ගලක හැපුණත් “අම්මගෙ රෙද්දෙ විවෘත ආරථිකේ. ජේ.ආර්. නිසා තමයි මගෙ කකුල ගලේ හැපුණෙ," යි සුනිලා කියයි.

මේ අන්දමින් ම ලංකාවේ පවත්නා සියලු පිරිපතට හේතුව විධායක ජනාධිපති ක්‍ර‍මය යයි සිතන පිරිසක් ද සිටිති. විධායක ජනාධිපති ක්‍ර‍මය වෙනස් කිරීම යන සටන් පාඨය මතු වන්නේ එක්තරා හැඟීම්බරභාවයකිනි. ඒ පිටුපස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා ජනාධිපතිවරුන්ගේ කඩවුණු පොරොන්දු තිබේ.

විධායක ජනාධිපති විරෝධීන්ට නැවත වරක් හඩා දොඩා වැළපෙන්නට ද, ඒ වැඩේ කරවා ගන්නට ය කියා තවත් වරක් කාගේ හෝ පස්සෙන් යන්නට ද අවස්ථාව තිබේ. 

විධායක ජනාධිපති ක්‍ර‍මය ගැන කතා කිරීමේදී අප මෙය ද සිහිපත් කර ගත යුතු ය. දැන් එය දශක හතරක් මේ රටේ ක්‍රියාත්මක ය. කලින් පැවති වෙස්ට් මිනිස්ටර් ක්‍ර‍මය තිබුණේ දශක තුනකි. එය තිබියදී හමුදා කුමන්ත්‍ර‍ණ දෙකක් මේ රටේ ඇති විය. දැවැන්ත තරුණ කැරැල්ලක් ද, දීප ව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ද පැවැත්විණි. සිරිමාවෝ බණ්ඩාරනායක විධායක බලතල පාවිච්චි කර ඡන්ද නො පවත්වා ජනවරමකින් තොරව අවුරුදු දෙකක ධුර කාලයක් අමතරව භුක්ති වින්දා ය.

විධායක ජනාධිපති බලතල ඉතා ම නරක විධියට භාවිතා කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. ඡන්දයෙන් පත් වූ ආණ්ඩුවක බලය පැහැර ගැනීම සඳහා ඇගේ විධායක ජනාධිපති බලතල පාවිච්චි කිරීමට ඇය තල්ලු කළේ ජනතා විමුක්ති පෙරමුණයි.  

කුමන බලයක් වුවත්, නරක පුද්ගලයකු අතට පත් වුවහොත් එයින් සිදු වන්නේ අනර්ථයකි. කුමන අඩුපාඩු තිබුණත්, වත්මන් ජනාධිපතිවරයා වනාහි විධායක බලතල පමණ දැන පරිහරණයෙහි සමර්ථයෙකි. එහෙත්, මේ රටේ විධායක ජනාධිපති ක්‍ර‍මයට විරුද්ධ අය පවා කියන්නේ එය කොන්ද පණ නැතිකමක් ය කියා ය. 

ජනතාව ජනාධිපතිවරණයට තරග කරන පුද්ගලයාගේ තරාතිරම ගැන අවබෝධයකින් කටයුතු කිරීම වැදගත් වන්නේ එහෙයිනි. 2005දී මේ රටේ ජනතාව විධායක ජනාධිපති ධුරයට පත් කර ගත්තේ සුනාමි අාධාර වංචා කිරීමට උත්සාහ කර අතට ම අසු වූ පුද්ගලයෙකි. 

2014 නොවැම්බර් 26දා මම මෙසේ ලියුවෙමි. (සම්පූර්ණ සටහන මෙතනින් කියවන්න)

විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියයි.

මෙය කළ නො හැකි ය.

අපි වඩා ප්‍රායෝගිකව කල්පනා කරමු. විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආ 1978 එක්තරා ආකාරයක ව්‍යවස්ථා විප්ලවයක් සිදු වූ අවස්ථාවකි. එය අහෝසි කර අප කොතැනකට හෝ යනවා නම් එය ද ව්‍යවස්ථා විප්ලවයකි. ජනාධිපතිවරණයට තිබෙන්නේ තව දින 45ක පමණ කාලයකි. ඒ කාලයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන වෙන ම සංවාදයක් කළ නො හැකි ය. ජනාධිපති ධුරයට පත් වී දින 100ක් ඇතුළත ද තව බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වේ.

පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ.

අනෙක් පැත්තෙන්, 1978ට පෙර තිබුණු ක්‍රමය ඉතා හොඳ එකකැයි කියන්නට ද බැරි ය.

ඒ නිසා පොදු අපේක්ෂකයා යා යුත්තේ වඩා ප්‍රායෝගික තැනකටයි.

විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍ර‍කාශ වන්නටත් පෙර 2015 ඔක්තෝබර් 8දා අපි මෙසේ ලියුවෙමු. මෙම කොටස අදටත් වලංගු නිසා නැවත පළ කරමි. එහි ඇති සමහර කරුණු වෙනස් වී තිබේ.

ලංකාවේ ගැටලුව තිබෙන්නේ විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට වඩා මහජනතාව තුළ ය. ලංකාවේ ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇති අවබෝධය දිය වී යමින් තිබේ. මෙය දිය කර දමමින් තිබේ යයි කියන්නට ද පුළුවන. එහෙත්, එය තනිකර ම ජනාධිපතිවරයාගේ වරදකැයි සැලකිය නො හැකි ය. රටේ බුද්ධිමතුන්ගෙන් බහුතරයක් උන්නතිකාමී, පාරිභෝජනවාදී අවශ්‍යතා මත දූෂිත දේශපාලකයන්ට ඇම්බැට්ටකම් කරන සංදර්භයක් තුළ ජනතාවට සත්‍යාවබෝධය ලැබේ යයි අපේක්ෂා කළ හැකි ද?
ජනතාව ශක්තිමත් වන්නේ නම්, විධායක ජනාධිපති ක්‍රමය තුළ ම ජනාධිපතිවරයා පාලනය කළ හැකි නියාමනයන් සකස් කර ගත හැකි ය.
ලංකාවේ නම්, පක්ෂ මාරු කිරීම සම්බන්ධ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක වන රාමුවක ජනාධිපතිවරයාට මෙතරම් බලයක් ගොඩනගා ගත නො හැකි ය. ජනාධිපති බලය ඉදිරියේ නගුට දෙපරැන්දේ ගසා ගත් දූෂිත, නිවට කැණහිලුන් වෙනුවට සැබෑ මහජන නියෝජිතයන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවක් පත් වේ නම් ව්‍යවස්ථාදායකය ශක්තිමත් කර ගැනීම සඳහා පියවර ගන්නට බැරිකමක් නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (3) වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් අගමැති ධුරය සඳහා පත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ වැඩි ම විශ්වාසය ඇති මන්ත්‍රීවරයා ය. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සඳහා විධිවිධාන තවමත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ තිබේ. 

එසේම, ජනාධිපතිට හිමි නීතිමය මුක්තිය ඉවත් කිරීම, දෙවරකට වඩා පත් විය නො හැකි බවට වූ නීතිය නැවත ගෙන ඒම, සිව් වසරකට පසුව ජනාධිපතිවරණයකට යන්නේ නම්, එයින් පසු වහා දිව්රුම් දිය යුතු බවට නීති සම්පාදනය, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම සඳහා වූ 17වන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නට පුළුවන. 

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම සංශෝධනය කළ යුතු යයි කියන අය බලය බෙදීම ගැන පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන්නේ නැත. ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ වැනි ජාතිවාදී පක්ෂවලට අවශ්‍ය වී තිබෙන්නේ පළාත් සභා පිහිටුවන්නට ඉවහල් වූ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ම අහෝසි කරන්නට ය. එවිට ජාතික ප්‍රශ්නයට බලය බෙදා ගැනීම ඔස්සේ විසඳුම් සෙවීමේ ක්‍රියාවලියට සිදු වන්නේ කුමක් ද?

13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි වටපිටාවක් නිර්මානය කිරීම ද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හේතු වෙයි. ඒ සඳහා ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කළ යුතු ය. 

සමානුපාතික නියෝජනය හා මන්ත්‍රී ආසන ක්‍රමයේ සම්මිශ්‍රණයකින් යුත් මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් ඉතා හොඳ යෝජනා සාකච්ඡා වී තිබේ. ඒවා අන්තර්ගත වන සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට පුළුවන. ඒ ඔස්සේ වත්මන් මනාප ඡන්ද ක්‍රමයේ දුර්ගුණ දුරලන්නට   පුළුවන. ඒ සඳහා අවශ්‍ය නම් මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩි කරන්නට පුළුවන. 

දූෂණ අවම කරන්නට අවශ්‍ය පියවර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ම ගත හැකි ය. පළාත් සභාවල ඇමති මණ්ඩලය පළාත් සභා පනතින් ම සීමා කර තිබේ. මධ්‍යම ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කිරීමේ විධිවිධාන ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් ගත හැකි ය. තවත් මෙවැනි ක්‍රියාමාර්ග රැසක් මේ වන විටත් සාකච්ඡා වී තිබේ.

අප ඉදිරිපත් කරන මූලික තර්කය මෙයයි. විප්ලවීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා මහජන පෙළගැස්මක් ඇති කළ යුතු ය. ඒ සඳහා මහජනයා අතර ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් ඇති කළ යුතු ය. පවතින ඒකාධිපතිවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පරිසරය තුළ එය සිදු වන්නේ නැත. 
එබැවින් විප්ලවීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා ද ප්‍රජාතන්ත්‍රවාදී නැත. ඒවා කිසියම් කණ්ඩායමක අධිපතිවාදී මැදිහත්වීම් ය. 1972 හා 1978 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අපට ලැබුණේ එවැනි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල ලෙසයි. 

අප විසින් කළ යුතුව තිබෙන්නේ පවත්නා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පටන් ගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පවත්නා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ ගත හැකි ක්‍රියාමාර්ග පළමුව ගත යුතු ය. ජනතාව තීරණ ගැනීමේ ක්‍රියාවලිය සමග සක්‍රියව සහභාගි වන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන සමාජ කතිකාවතක් පවතින සංදර්භයක අපට මෙතැනින් ඉදිරියට යාම ගැන සිතිය හැකි ය. 

එහෙම නොමැතිව, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පෙරළි හා විප්ලව පිළිබඳ ඉදිරිපත් වන අදහස් හුදු පුද්ගල හිතලු හා ජනතාව රැවටීමේ උපායමාර්ග පමණක් බව කිව යුතු ය. 

සරළව කිවහොත්, ආණ්ඩු ක්‍රම සංශෝධනය කරන්නට යෝජනා කරන අය මෙතනින් පටන් ගන්නට කැමති ද යන්න පැහැදිලි කළ යුතු ය.
  • ජනාධිපති සතු නීතිමය මුක්තිය අහෝසි කිරීම
  • දෙවරකට වඩා පත් විය නො හැකි නීතිය යළි ගෙන ඒම
  • මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම
  • සමානුපාතික නියෝජනයෙන් පත් වන මන්ත්‍රීන් පක්ෂ මාරු කිරීම නතර කිරීම සඳහා පියවර ගැනීම
  • 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කළ හැකි විශ්වාසනීය වටපිටාවක් නිර්මානය කිරීම
  • 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීම
  • ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ම ඇමති මණ්ඩලය සීමා කිරීම
  • දූෂණයට එරෙහි දැඩි පියවර ගැනීම
විප්ලව නැති වුණාට කමක් නැති ය. වෙලාවේ හැටියට එක් ධුර කාලයක් තුළදී  මේ ටික කරනවා නම් වුණත් ඇති ය.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඕකට දැන් කියන්නෙ විප්ලවය නෙවෙයිලු, ආප්ලවය කියලලු හිටං.

    ReplyDelete
  2. "විප්ලව නැති වුණාට කමක් නැති ය. වෙලාවේ හැටියට එක් ධුර කාලයක් තුළදී මේ ටික කරනවා නම් වුණත් ඇති ය."

    ඇයි යකෝ ඔච්චර කුහක වෙන්නෙ. මෙන්න බලාපිය නියම විප්ලව. මේක " එක් ධුර කාලයක් තුළදී" නෙමෙයි එක වසරක් වගේ කාලයකදි.

    "බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් ප‍්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපතිගේ බෑණාගේ සමාගම වන පර්පචුවල් ට්‍රෙෂරිස් සමගමේ මාස 06ක ශුද්ද ලාභය මිලියන 6815ක් යයි එම සමාගමේ වාර්ෂික මුල්‍ය වාර්තාවේ දැක්වෙයි.

    2016 වසරේ අප්‍රේල් 01දා සිට 2016 සැප්තැම්බර් 31ට වන විට මෙම සමාගම එකී ලාබය උපයාගෙන ඇති අතර 2016 මාර්තු 31න් අවසන් මුදල් වර්ෂයේ සමාගමේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 5124කි.

    කෙසේ වෙතත් 2015 වසරේ මාර්තු 31න් අවසන් වූ මුදල් වර්ෂයේදී සමාගමේ ශුද්ධ ලාබය වී තිබුනේ රපියල් මිලියන 59ක් පමණකි."

    ජහපාලන ෆෘට් සැලඩ් එක තාම රහද?

    ReplyDelete
    Replies
    1. ඕක මට කිය කියා ඉන්නෙ ඇයි උඹ ගිහින් නඩු දාන්නෙ නැත්තෙ?

      විමර්ශනය කරන්න ය කියලා මාරාන්තික උපවාසයක් කරපන්කෝ.

      විසඳුම් තියාගෙන බ්ලොග්වල කමෙන්ට් දදා නහින්න ඕනැ නැහැනේ.

      Delete
    2. Well said, Para....!!!!!

      Delete
    3. අයිසෙ පැරා බොරුවට නිකන් බබෙක් වෙන්න හදන්න එපා. නඩු දැම්මම අගේට නීතිය ක්‍රියාත්මක වෙන රටනේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. අඩුමගානෙ හිටපු හොරු රැලටවත් නීතියක් ක්‍රියාත්මක වෙනවද කියපන්? උපවාස කරාම උන් බයවෙලා මේන් කියල අහයි, රෙද්ද නිකන් ඔලු පලාගෙන මැරුම් කන්න වෙන්නේ. උතුරේ උපවාස කරපු තිලීපන්ට වුණ දේ සිහිකරගනින්. නැත්නම් පොල්බූරු විකටවංස වගේ ලෙමන් පෆ් උපවාස තමයි. ලොල්.

      දැන් අපිට ඔහොම වැල් බයිල ගහන ඔබ විසින් 2005-2014 මරා කල්ලියේ අන්ත දූශිත පාලනයට එරෙහිව නඩු දාල ජය අරගෙන නීතිය ක්‍රියාත්මක කරපු එක නඩුවක් හරි මාරාන්තික උපවාස කරල දිනාගත් එක ඉල්ලීමක් අපට පෙන්නපන්. මම ඔබට දෙන අභියෝගයක්. හරි පුළුවන් නම් පෙන්නපන්.

      Delete
    4. අපි එයාව පැරැද්දුවා. උඹලා මුන්ව පරද්දපල්ලා. අපට මොක ද?

      Delete
    5. කොහොමත් පරද්දනව තමයි, ඡන්දයක් තිබ්බොත්. කොහෙද ඉතින් අඩුගානෙ පළාත් පාලන වගේ පුන්චි ඡන්දයක්වත් නොතිය මග අරින හිරිකිත විදිහ දැක්කම මම නම් හිතන්නෙ මුනුත් 1970-77 දූෂිත රජය 1975 කළා වගේ ඡන්දෙ නැතුව අශික්ෂිත විදිහට ආණ්ඩු කාලය දික්කිරීමක්, නැත්නම් ජේ ආර්ගෙ 1982 කළගෙඩි ලාම්පු සෙල්ලම වගේ මොකක් හරි ජිල්මාට් එකක් දාල බලාත්කාරයෙන් ඉන්න යන ලයින් එකක් පේනව. අන්න ඒකයි අපි මේ අරගල කරන්නෙ පැරා. හැබැයි ඒ අතින් මරාල අශීලාචාර විදිහට රාජ්‍ය සම්පත් අවභාවිත කර කර හරි වෙලාවටත් කලින් ඡන්දෙ තිබ්බ නේද? ඒත් ඉතින් උඹලත් ඉස්සර හඩ්සන් කටහැකර රිලවා, ජැක්සන් ජඩයා වගේ මෙච්චර අන්ත දූෂිත අශීලාචාර විදිහෙ රෙජීමයක් වෙනුවෙන් කඩේ යන එකයි දුක. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට මචං.

      Delete
    6. "අපි එයාව පැරැද්දුවා."

      පරද්දල දැන් "ජහපාලන ලබු කිරිබත්" කනව !

      Delete
  3. විධායක බලය අයින් කරනවාට මම විරුද්ධයි... නිකමට හිතන්න මේ ආන්ඩුව වගේ එකක් එහෙම තනතුරක් නැතිව තිබුනා කියලා... මේ රටේ ජන මානසිකත්වයට ගැලපෙනම ක්‍රමය ඒක. හැබයි අපි කොච්චර දොස් කිව්වත් ඒක තියෙන්නත් ඕන මෛත්‍රි වගේ මනුස්සයෙක් ළඟ පමණයි.

    ReplyDelete
  4. ////කුමන අඩුපාඩු තිබුණත්, වත්මන් ජනාධිපතිවරයා වනාහි විධායක බලතල පමණ දැන පරිහරණයෙහි සමර්ථයෙකි. එහෙත්, මේ රටේ විධායක ජනාධිපති ක්‍ර‍මයට විරුද්ධ අය පවා කියන්නේ එය කොන්ද පණ නැතිකමක් ය කියා ය. ///////

    ඒක තමයි පුදුමේ කියන්නේ. බලු මසුයි, එළු මසුයි පටලවගෙන තියෙන්නේ.

    ReplyDelete
  5. පැරා ලංකාවේ ඉන්නේ පුරවැසියෝ නෙවෙයි යටත් වැසියෝ ,බලන්න අර මරා පස්සේ යන උන් ගැන උන් කියන දේවල් ,ඔව්නට ඕන ඉහලින් සිට තමන්ව පිඩනයට පත් කරන නායකයෙක් එකට උගතා නුගතා කියල වෙනසක් නැහැ

    ReplyDelete
  6. මේ පින්තුරයේ ඉන්න ජේ.ආර්. උන්නැහේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන චන්ද්‍රිකා කතා කරන කාලේ උන්දැට දීපු උපදෙසක් මතක් වෙනවා.
    "මෝඩ කමට කතා කලාට කමක් නෑ. මෝඩ කමට ක්‍රියා කරන්න එපා."

    ReplyDelete
  7. භූමිතෙල් මිල රු.5කින් අඩු කෙරේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා