ගෙවුණු වසර අසුබ වුණේ කොහොම ද?


අවුරුද්දක් ගත වෙනකොට
නව වසරක් එළඹෙනකොට
සුබ පතාන එකිනෙකාට
ඩෙඟා නටනවා තරිකිට

අපි නැවතත් එදා පටන්
පරණ පුරුදු කුහකකමින්
අලසකමින් මෝඩකමින්
කාලය කනවා යහමින්

කාලකණ්ණිකම ඇති වුණ
තැන හොය හොය අපි බැන බැන
අප හැරුණම අන් හැම දෙන
වැරදි දකිනවා සතුටින

ගෙවුණ වසර අසුබ වුණේ
ලෝකය යහපත් නො වුණේ
අරුන් නිසයි එහෙම වුණේ
කියා තැවෙන්නේ

යතුර වැටුණ තැන මිස ඔබ
පහන් එළියෙ හිස ඔබ ඔබ
සෙව්වට බඳිමින් නෙක ලොබ
දිනක් උදා නො වේවි සුබ

අනෙක් අය නො කළ දේ නොව
සලකා දේ ඔබ ම කෙරුව
පුරවා ගත්තොතින් අඩුව
යහපත වේ මිතුර දනුව

පැරකුම් ජයසිංහ
2017-01-01

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සුබ අලුත් අවුරුද්දක්!

    මේ කොමෙන්ට් එක පහුගිය පෝස්ට් එකක ලංකාවේ මධ්‍යම පන්තිය ගැන පැරාගේ වෛරයට හේතු සාකච්චා කිරීමේම දිගුවක්.

    මුල කොටස මෙතනින්

    මම මුල ප්‍රශ්නය අහපු ඇනෝ . (ඊට යටින් ගිය අපහාසාත්මක කොමෙන්ට් වලට මගේ සම්භන්ධයක් නෑ ). නමුත් මම අහපු ප්‍රශ්න දෙකට පැරා දීපු උත්තර අසම්පූර්ණ බවයි මට ත් හිතෙන්නේ.
    -- ලංකාවේ මධ්‍යම පන්තියේ කොටසකට අවශ්‍ය උනත්, අද ඇති දේශපාලන පන්තිය (මෙය ආදායම අනුව නොව ක්‍රියාකාරිත්වය සහ පැවැත්ම අනුව පැන නැගුන පන්තියකි) පරදවා පවතින ක්‍රමය වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවද.

    -- දේශපාලන පන්තියේ අනුමැතිය නොමැතිව, දූෂණය නැති කිරීමට මධ්‍යම පන්තියට ගත හැකි පියවර මොනවාද.

    -- 'තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පහළ මධ්‍යම පංතිකයන් මේ පීඩක රජය මේ අන්දමින් පවත්වාගෙන යන්නට උර දෙන ප්‍රධානය බලවේගය' යි ඔබ කියන විට, පීඩක රජයක් නොවන අද තිබෙන විකල්ප මොනවාද?

    -- ලංකාවේ අද කම්කරු පන්තියේ සංඝඨක මොනවාද? එහි ශක්තිය කල්පවතින තීරණාත්මක අරගලයකට ප්‍රමානවත්ද?

    -- ලංකාවේ කම්කරු පන්තිය, මධ්‍යම පන්තිය මග හැර (bypass) , දේශපාලන පන්තිය සමඟ වැඩි බැඳීමක් පවත්වන්නේ නැත්ද?

    -- පන්ති අරගලය යනු යල්පැනගිය සංකල්පයක් බව ඔබ මින් පෙර කිහිප වරක්ම කියා තිබෙනවා නේද?

    'දේශපාලන පන්තිය' අද පන්තියකට වඩා කුලයකට අනුරූපීව හැසිරෙන බව පෙනේ. ලංකාවේ පවතින අනිකුත් කුල මෙන්ම, දේශපාලන කුලය තුලත් සියලුම ආදායම් මට්ටම් වලට අයත් සාමාජිකයන් දැකිය හැකිය. මේ නව කුලය, සාම්ප්‍රදායික කුල, ජාති, ආගම් වැනි භේද නොසලකා සුදුසුකම් (දූෂණයට සහ භීෂණයට ඇති හැකියාව) ඇති අයවලුන් අවශෝෂණය කරගැනීමත්, නොගැලපෙන අය හලා දැමීමත් නිර්ධය ආකාරයෙන් සිදුකරන ගතික ආයතනයකි.
    සත්‍ය වශයෙන්ම පවතින ක්‍රමයෙන් පරම වශයෙන් යැපෙන්නේ මොවුන් මිස ඔබ දක්වා ඇති මධ්‍යම පන්තිකයන් නොවේ.

    මොන ආකාර ආණ්ඩුවක් හැදුනත්, වෘත්තිකයන් ගේ පැවැත්ම අන් බොහෝ ජීවන මාර්ග වලට වඩා සුරක්ෂිතය. ඔවුන්ගෙන් හරියාකාරව වැඩ ගෙන ගැලපෙන වැටුපක් පමණක් ගෙවීම වෙනත් අය විසින් තීරණය කලයුතු කාරනාය.

    ReplyDelete
  2. අපගේ පැරැණි මිතු අජිත පැරකුමු ජයසිහයනට ද එතුමාගේ පවුලේ සැමට ද සුබ නව වසරක් වේවා!

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. වෙනත් නම්වලින් පැමිණ දරුවන්ට පවා සාප කරන්නේ ඔබ නො වේ යයි සිතමි.

      Delete
    2. 1/2

      සබඳ අජිත පැරකුමු ජයසිහයෙනි,

      මම ඔබ වදනින් රිදුම් සිත් ඇත්තෙමි. ඔබ පවසන බසක් මට නො වැ‍ටහේ. මම බන්‍ධුල කුදලාගම මි; අන් කවරෙක් හෝ නො වෙමි. මා අනුයන බස ඔබ මනා වැ දනිති (ඔබ-දනිති යනු අතපසු වීමක් නො වේ). ඔබ ද මම ද බෝ කල සිට වාද-විවාද, සංවාද-විසංවාද, විචාර-ප්‍රතිවිචාර වූයෙමු; තුටු-නොතුටු වූයෙමු; රොස්-පරොස් වූයෙමු; හාස-උපහාස වූයෙමු. එනමුත් දුටු සිත් නො වූයෙමු;

      ඔබගේ ඇතැම් අස්ථානයන් සමඟ ගැටෙන අදහස් අඩංගු මගේ ඇතැම් ආලෝචන වුවැ ඔබ විසින් වියුණුසටහන් ලෙස පළ කෙරිණි. මා විසින් පුනර්ජීව කැරැ, පුනර්භාවිතයට ගෙනෙන ලද ඇතැම් අභාවිත සම්භාව්‍ය ප්‍රාචීන භාෂා වචන ද භාෂා ප්‍රයෝග ද වත්මන ඔබගේ වියුණුවෙහි සුලබ වැ ව්‍යවහාර වේ. මම එපිළිබඳ නිරහංකාර වැ තුටු වෙමි. මයුරවිලයන්, සරසතුමන් වැනි සුබැසි, සුබස්රුචි සුධීමතුන් සමඟ එක් වැ වියුණු ලොවැ හෙළ හවුල ලෙස අප විසින් යම් සාධනීය කාර්යභාරයක් කරන ලද බව මම සිතිමි.

      එහෙත් අප විසින් ප්‍රචලිත කෙරුණු ඇතැම් භාෂා ප්‍රයෝග පසු කලෙක පුද්ගලාලම්බන කලල්පතනයන් සඳහා ඇතමකු විසින් අවභාවිත කෙරුණු බව හැඟේ. විශේෂයෙන් මැ මා විසින් ඔබ පිළිබඳ උපහාසාරම්මණ වැ ලියැවුණු "අසිරිමත් අජිත පැරකුම් වත" වැනි ගද්‍ය ද වෙනත් කාව්‍ය ද මූලාදර්ශ කර, එවායේ භාෂාව ද වාක්‍යබන්‍ධන විධි ද අනුයමින් පසු කලෙක බොහෝ අපහාසාරම්මණ ආලෝචන ඇතමකු විසින් ලියැවීම පිළිබඳ මම කනගාටු වෙමි. මම එවැනි අසත්ව්‍යවහාරයන් නො අනුයමි; නො අගයමි; නො අනුබලයමි.

      ඔබ මෙහි පළ වන නිෂේධනීය වූ ද නස්ත්‍යාත්මක වූ ද ආලෝචනවල කර්තෘත්වය කලින් කල විවිධ පුද්ගලයනට සංශයාත්මක වැ පවරන බව පෙනේ. වරෙක ඔබ විසින් එකී ආලෝචනවල කර්තෘත්වය වාම විප්ලවීය දේශපාලනයේ පූර්වගාමී සාමූහිකයකට ද තවත් වරෙක විශිෂ්ට භාෂණයකින් හෙබි සුවියත් මැ ඉංගිරිසි බස් අගසකසුවකුට ද තවත් වරෙක වමට ළැදි ප්‍රභූ රටවැසියකුට ද පැවැරිණි. අවසානයේ දී ඔබගේ සංශය සුධීමත් සරසතුමනට ද යොමු විණි. දැන් ඔබ දරුවනට සාප වන ලෙස ලියැවුණු අශිෂ්ට ආලෝචනවල කර්තෘත්වය මා වෙත ද පවරන්නට අනියමින් සැරසේ. එවන් එළැඹුමක් සඳහා ඔබ සතු වැ අනුභූතික සාක්‍ෂ්‍ය තිබේ දැ යි විමසන්නට මම (අක්‍ෂය පාඨකයකු වුව ද) නො රිසියෙමි. මක් නිසා ද යත් මා එවැනි අසත්කිරියක නොයෙදුණු බැවිනි.

      ප්‍රිය අජිත පැරකුමු ජයසිහයෙනි, භාර්යාව වූ කලී මනූෂ්‍යයාගේ උතුම් ම යහළුවා යැ. දරුවන් වූ කලී මනුෂ්‍යයන්ගේ වටිනා මැ වස්තුව (පිහිට) යැ. පාලි ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයෙහි සංයුක්ත නිකායෙහි සගාථ වග්ගයෙහි දේවතා සංයුක්තයෙහි ජරා වග්ගයෙහි වත්‍ථු සූත්‍රයෙහි ලා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක:

      "පුත්තා වත්ථු මනුස්සානං - භාරියා ච පරමො සඛා"

      දාරකප්‍රේමය වූ කලී උත්තම මානව බන්‍ධනයකි. සම්මා සම්බුද්ධත්වයට පත් වූ පුත්‍රයකුගේ පියාණන් වූ සුද්ධෝදනයන්ගේ වදන් පාලි ත්‍රිපිටකයේ විනය පිටකයෙහි මහවග්ගපාළියෙහි මහඛන්‍ධකයෙහි රාහුලවත්‍ථුවෙහි මෙසේ සඳහන් යැ:

      "පුත්තපෙමං, භන්තෙ, ඡවිං ඡින්දති, ජවිං ඡෙත්වා චම්මං ඡින්දති, චම්මං ඡෙත්වා මංසං ඡින්දති, මංසං ඡෙත්වා නහාරුං ඡින්දති, නහාරුං ඡෙත්වා අට්ඨිං ඡින්දති, අට්ඨිං ඡෙත්වා අට්ඨිමිඤ්ජං ආහච්ච තිට්ඨති"

      පුත්‍රප්‍රේමය සිරුරෙහි සිවිය සිඳියි; සිවිය සිඳ සම සිඳියි; සම සිඳ මස සිඳියි; මස සිඳ නහර සිඳියි; නහර සිඳ ඇට සිඳියි; ඇට සිඳ ඇට මිදුලු හැපී පැතිර සිටියි.

      සරච්චන්ද්‍රයෝ එමරුත් ගෙනැ සිංහබාහු නාටකයේ ලා මෙසේ පවසති:

      “පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට
දුක් දෙයි නිබන්දා”

      කිතු සමයෙහි දෙවියන් වහන්සේ මනුෂ්‍යයා වෙත ළඟා කැරැ ගතැ හැකි මඟක් ලෙස සැලකෙන්නේ ද දරුපෙම යැ. ජේම්ස් රාජ බයිබලයෙහි මාර්ක් ග්‍රන්‍ථයෙහි නව වැනි පරිච්ඡේදයෙහි සඳහන් පරිදි ගලීලයෙහි කපනෙවුම් ප්‍රදේශය වෙත එළැඹි ජේසුන් වහන්සේ එහි සිටි දරුවකු තමතට ගනිමින් මෙසේ පැවසූ සේක:

      “Whosoever shall receive one of such children in my name, receiveth me: and whosoever shall receive me, receiveth not me, but him that sent me.”

      දරුවෝ මනුෂ්‍යයනට වාසනා ගෙනෙන්නෝ යැ. ශ්‍රී කාලිදාදයෝ අභිඥාන ශාකුන්තලා නාට්‍යයෙහි ලා එබැව් මෙසේ පවසති:

      "ආලක්‍ෂ්‍ය දන්ත මුකුලාන නිමිත්ත හාසෛ
      රව්‍යක්තවර්ණ රමණීය වචඃ ප්‍රවෘත්තීන්
      අඞකාශ්‍රය ප්‍රණයින සතනයාන් වහන්තො
      ධන්‍යා සදතඞග රජසා මලිනී භවන්තී”

      සුරතල් සිනා පෑමෙන් මදක් පෙනෙන දත් කැකුළින් ද රමණීය පවත් පවසන බොළඳ වදනින් ද උකුළෙහි සැතපෙනු රිස වූ ද දරුවන් උසුලමින් තම සිරුරැ දූලියෙන් අපවිත්‍ර කරගන්නෝ වාසනාවන්තයෝ යැ.

      ශ්‍රී රාහුලයෝ එමරුත් ගෙනැ කාව්‍යශේඛරයේ ලා මෙසේ පවසති:

      "දත් කැකුළු පෑලා - සුරතල් සිනා සීලා
      බොළඳ බස් දීලා - කෙළී සියලඟැ දූලි ගාලා"


      Cont …

      Delete
    3. 2/2

      දරුවන් දෙමාපියන්ගේ රජුන් වෙති යි පැවැසේ; හුදු රජුන් නො වැ සක්දෙව් රජුන් යැ. එස්. මහින්ද හිමියෝ ජාතික තොටිල්ලෙහි ලා එබැව් මෙසේ පවසති:

      "දෙව් පුර මෙන් දෙවියන්ගේ
      සිරිලක් දිව බබළන්නේ
      එහි සක්දෙවි රජ මෙන්නේ
      මගේ පුතා ලොකු වෙන්නේ"

      ප්‍රිය අජිත පැරකුමු ජයසිහයෙනි, දිවි ගමනෙහි සැඳෑ සමය‍ට වන් අපට දරුපෙම මහත් අගනා යැ. ඔබ සුරතල් දියණියන් දෙදෙනකුගේ ආදරණීය පියාණ කෙනෙකි. එනිසා ඔබට දරුපෙම මහත් වැ දැනෙනු නිසැක යැ. යුරිපිඩීස්හු එබැව් Supplicants නාටකයෙහි ලා මෙසේ පවසති:

      "That was delightful to me, when I found
      My daughter there; (but she is there no more:)
      Oft would she kiss my cheek, with fond care;
      Oft soothe me: to a father waxing old
      Nothing is dearer than a daughter"

      ඒ සා මහත් වස්තු වූ, ඒ සා මහත් උත්තම මානව බන්‍ධන වූ, ඒ සා මහත් දිව්‍ය වූ, ඒ සා මහත් වාසනා වූ, ඒ සා මහත් රාජකීය වූ, ඒ සා මහත් අගනා වූ ඔබගේ දරුපෙමට ආරම්මණ වූ දරු දෙදෙනට යම් අයෙක් සාප කළෝ ද නින්දා-අපහාස-පරිභව කළෝ ද ඔවූහු අශිෂ්ටයෝ මැ වෙත්. එවන් නොපනත්කම් කළවුන් පිළිබඳ ඔබ දුටු සිත් ඇති කර ගැනුම මට වටහා ගතැ හැකි යැ. එලෙස මැ "කව‍රකු විසින් එකී නොපනත්කම් කරන ලද්දේ යැ?" යන ගැටැළුව පිළිබඳ සිතමින් ඔබ නෙක නෙක දනන් කෙරෙහි සංශයවත් වීම ද මට වටහා ගතැ හැකි යැ. එනිසා ඔබතුමන් විසින් සංශයමූල වැ මා වෙත අනියමින්, නො කියා චෝදනා කැරැම මම කරුණාසීතල හදින් ඉවසා දරමි. මම එවන් නොපනත්කම් නො කළ බැව් පමණක් පවසමි.

      දරුපෙම නිසා කැලැඹුණු මනසැති වැ නොනිසි වදන් පැවසූ බමුණකු පිළිබඳ සූත්‍ර පිටකයෙහි ඛුද්දක නිකායෙහි ජාතකපාළියෙහි දසක නිපාතයෙහි කණ්හදීපායනය ජාතකයෙහි සඳහන් වන, "භාස්සං යමභාසනෙය්‍යං - තං ඛම්‍යතං පුත්තකහෙතු මජ්ජ - පුත්තපෙමා න ඉධ පරත්ති කිඤ්චි" යන පාඨාංශය අනුවැ, "නො කිය යුතු බසක් කීවෙමි; මගේ එබස පුතු ගැන සිතා කමා කෙරේවා, පුත්‍ර ප්‍රේමයට වඩා වැඩි වූ ප්‍රේමයෙක් මෙලොවෙහි නැත." යන්න සිහි කර මම අජිත පැරකුමු ජයසිහයන් මට එරෙහි වැ නැඟූ අපවාදය නො සලකා හරිමි. දුටු සිත් නැති. දුටු කිරිය නැති. පැරකුමුවනට ළැදි,

      බන්‍ධුල කුදලාගම,
      සදම්ටනය.

      End.

      Delete
  3. May the new year bring the happiness and peace to Ajith Parakum and his family!

    ReplyDelete
  4. වියුණුලොව හෙළ හවුලේ සමාරම්භක නයු මයුරවිලයෙනි, ඔබතුමනට සුබ නව වසරක් වේවා. ඔබතුමන්ගේ නිහැඬියාව බිඳින්නට කාලය එළඹ තිබේ. දීර්ඝ ශිශිරයකට පසු එළැඹෙන වසන්තය නිසැක වැ මැ සුවර්ණ, සුගන්‍ධිත, සුඵලධර වසන්තයකි. වසන්තයේ කුසුම් ගීතය ගයන්නට මයුරවිලයෝ යළි පැමිණෙත්වා! එසඳහා නිසි දෙස වැ සරස දෙස නුඹ පිළිගන්නට සුසැදි යැ. වසන්තය පැමිණෙනු නියත යැ. කුසුම් සමය යළි ඇරඹේවා!

    බන්‍ධුල කුදලාගම,
    සදම්ටනය.

    ReplyDelete
  5. මුලින් ම මෙය කිව යුතුයි. මට මධ්‍යම පංතිය එක්ක තබා ධනපති පංතිය එක්කවත් වෛරයක් නැහැ. මට තියෙන්නේ විවේචනයක්. මධ්‍යම පංතිය සම්බන්ධයෙන් මගේ විවේචනය දැඩි වෙන්නේ එය ලංකාවේ බලවත් ම පංතිය නිසායි.

    //මධ්‍යම පන්තියේ කොටසකට අවශ්‍ය උනත්, අද ඇති දේශපාලන පන්තිය (මෙය ආදායම අනුව නොව ක්‍රියාකාරිත්වය සහ පැවැත්ම අනුව පැන නැගුන පන්තියකි) පරදවා පවතින ක්‍රමය වෙනස් කිරීමේ හැකියාවක් තියෙනවද?// පංති යනු සමාජය විග්‍රහ කිරීමේ පූර්ණ මෙවලමක් නො වන බව පංති සම්බන්ධයෙන් තිබෙන විවිධ අදහස්වලින් පෙනෙනවා. ධනපති පංතියත් කම්කරු පංතියත් අතර තිබෙන පුළුල් අතරමැදි කොටස හඳුන්වන්නට මම මධ්‍යම පංතිය නම් වදන පාවිච්චි කරනවා. ඒක අතිශය පුළුල්. හැබැයි, පොදු ලක්ෂණය වන්නේ රජය සම්බන්ධයෙන් මධ්‍යම පංතියේ ආකල්පයයි. දේශපාලන පංතිය වෙන ම එකක් වුණත්, නැතත්, මධ්‍යම පංතිය දේශපාලන පංතිය සමග රජය පිළිබඳ ආකල්පය බෙදා ගන්නවා.

    //දේශපාලන පන්තියේ අනුමැතිය නොමැතිව, දූෂණය නැති කිරීමට මධ්‍යම පන්තියට ගත හැකි පියවර මොනවාද?// මධ්‍යම පංතියේ ප්‍රගතිශීලී කොටස් පෙනී සිටිය යුතු ප්‍රධාන කාරණයක් තමයි රාජ්‍යයේ කාර්යක්ෂමතාව.

    //'තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පහළ මධ්‍යම පංතිකයන් මේ පීඩක රජය මේ අන්දමින් පවත්වාගෙන යන්නට උර දෙන ප්‍රධානය බලවේගය' යි ඔබ කියන විට, පීඩක රජයක් නොවන අද තිබෙන විකල්ප මොනවාද?// පීඩක රජයට විකල්ප සොයන්න නම් රාජ්‍යය දැඩි ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුයි. එවැනි ප්‍රතිසංස්කරණවලට බාධාකාරී වන ප්‍රධාන බලවේගය මධ්‍යම පංතියයි.

    //ලංකාවේ අද කම්කරු පන්තියේ සංඝඨක මොනවාද? එහි ශක්තිය කල්පවතින තීරණාත්මක අරගලයකට ප්‍රමානවත්ද?// නැත. කම්කරු පංතිය කියන එකෙන් ද මම නම් කියන්නේ වැදගත් වන්නේ ඵලදායී වැඩ කරන කම්කරුවන් විතරයි. අප ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ රටේ නිෂ්පාදනයට සැබැවින් ම දායක වන අය ඔවුන් නිසායි. බලවත් ම අසාධාරණය සිදු වන්නේ ඔවුන්ටයි. ලංකාවේ රජයෙන් යැපෙන මධ්‍යම පංතිය තමයි ඔවුන් සූරා කන ප්‍රධාන ම සතුරු බලවේගය.

    //ලංකාවේ කම්කරු පන්තිය, මධ්‍යම පන්තිය මග හැර (bypass), දේශපාලන පන්තිය සමඟ වැඩි බැඳීමක් පවත්වන්නේ නැත්ද?// අපි එජාප හා කම්කරුවන් අතර තිබෙන සම්බන්ධය ගනිමු. මෙතැනදී එජාප කියන්නේත් ධනපති පංතියට වඩා මධ්‍යම පංතියේ බලපෑමට ලක් වූ පක්ෂයක්. ලංකාවේ ධනපති පංතිය කියන්නේ ධනපති රජයට සාපේක්ෂව දුර්වල කොටසක්. ධනපති පංතියේත්, කම්කරු පංතියේත් අපේක්ෂා එක සමාන නැති වුණාට ලංකාවේ ශක්තිමත් කළ යුතුව තිබෙන්නේ මේ පංති දෙකයි. මධ්‍යම පංතියේ බලය හා රජය එයට බාධාවක්. ඒ වගේ ම මේ වන විට රාජ්‍යයේ පැවැත්මට ම තර්ජනයක්.

    //පන්ති අරගලය යනු යල්පැනගිය සංකල්පයක් බව ඔබ මින් පෙර කිහිප වරක්ම කියා තිබෙනවා නේද?// පංති කියන සංකල්පය අපැහැදිලි නම් පංති අරගලය පැහැදිලි වෙන්නේ නැහැ නේ ද?

    //'දේශපාලන පන්තිය' අද පන්තියකට වඩා කුලයකට අනුරූපීව හැසිරෙන බව පෙනේ. ලංකාවේ පවතින අනිකුත් කුල මෙන්ම, දේශපාලන කුලය තුලත් සියලුම ආදායම් මට්ටම් වලට අයත් සාමාජිකයන් දැකිය හැකිය. මේ නව කුලය, සාම්ප්‍රදායික කුල, ජාති, ආගම් වැනි භේද නොසලකා සුදුසුකම් (දූෂණයට සහ භීෂණයට ඇති හැකියාව) ඇති අයවලුන් අවශෝෂණය කරගැනීමත්, නොගැලපෙන අය හලා දැමීමත් නිර්ධය ආකාරයෙන් සිදුකරන ගතික ආයතනයකි.// දේශපාලන පංතිය කියන සංකල්පය මතු කිරීම ම ගතානුගතික පංති විග්‍රහයට පටහැණි අදහසක්.

    //සත්‍ය වශයෙන්ම පවතින ක්‍රමයෙන් පරම වශයෙන් යැපෙන්නේ මොවුන් මිස ඔබ දක්වා ඇති මධ්‍යම පන්තිකයන් නොවේ.// අර්ධ සත්‍යයකි. දේශපාලකයන් තරමට ම හෝ ඊටත් වඩා රජයේ ඉහළ නිලධාරීන් දූෂිත ය. පහළට එන විට ගම්වල සිටින ඇතැම් ක්ෂේත්‍ර නිලධාරීන් වැනි අය කිසිදු වැඩක් නො කර මහජන මුදලින් පඩි ගනිති. දූෂණය කරන ප්‍රමාණය පමණක් වෙනස් ය.

    //මොන ආකාර ආණ්ඩුවක් හැදුනත්, වෘත්තිකයන් ගේ පැවැත්ම අන් බොහෝ ජීවන මාර්ග වලට වඩා සුරක්ෂිතය. ඔවුන්ගෙන් හරියාකාරව වැඩ ගෙන ගැලපෙන වැටුපක් පමණක් ගෙවීම වෙනත් අය විසින් තීරණය කලයුතු කාරනාය.// එකඟයි.

    ReplyDelete
    Replies
    1. පැරා,

      මෙතන මද්යම පන්තියට විතරක් තමන්ම සිතල තීරණ ගන්නේ නෑ ලෝකයේ කොහෙත් මිනිසුන් සිතන්නේ තමන්ට වැඩිම වාසිය ලැබෙන ක්‍රමයට කැමති වීමයි දියුණු රටවල මිනිසුන් තම වර්තමානය කැපකිරීමට සුදානම් වෙන්නේ ඔවුන්ට අනාගතයේ එහි ප්‍රතිලාබ ලැබෙන බව දන්නා නිසා නමුත් ලංකාව වගේ රටවල මිනිසුන් දන්නවා වර්තමානය කොතරම් කැප කලත් අනාගතයේ එහි ප්‍රතිලාබ ඔවුන්ට නොලැබෙන බව.

      මේ නිසා කලදුටුකල වල ඉහගනිමට ඔවුන් පෙලබෙනවා.

      ඔබ කියන දෙයක් තමයි මේ දේසපාලුවන් පත්කරගන්නේ ජනතාව බව,ඇත්ත ! නමුත් ජනතාව කරන්නේ තමන්ට පත්කිරීමට ඉදිරිපත් කරන පිරිසෙන් අඩුම හානිය ඇති මිනිසුන් පත්කර ගැනීමයි (මෙය මෙසේ නොවන මෝඩ තීරණ ගන්න මිනිසුන් සිටිනවා ) අපි බලන්න ඕනේ අපේ රටේ වගේ තත්වයක සිට දියුණු වූ රටක් ඒ තත්වයට ආවේ කොහොමද කියල. මේ නිසයි මම ඔබට සිංගප්පුරුව නැවත නැවත මත්ක්කර්න්නේ.

      අපේ ශ්‍රී ලංකාවේ 1950 අග දශකයේ විශාල ලෙස කම්කරු අරගල සහ හර්තාල ඇතිකිරීමට වාමාංශික පක්ෂ පෙරමුණ ගත්ත, සිදුවුනේ කුමක්ද ? රටට එන ආයෝජන නැතිවීමයි. මේ කාලයේම මේ සෙල්ලමම ලික්වන් යු බලයට ආපු මුලදීත් සිංගප්පුරුව තුල තිබුන, අගමැති ලී සිදුකලේ ඉතා තද (අමානුෂික ) විදියට මේවා මැඩපවත් වීමයි. ඔහු ඉන්පසු රටේ සියලු ජනතාවට රැකියා ලැබෙන ඒවගේම එම රැකියාවලින් නිසි පරිදි බධු ලැබෙන ක්‍රමයක් ඇතිකළා,
      ඔහු මිනිසුන්ට රැකියා ලබාදුන්නා පමණක් නෙමෙයි ඔවුන්ගෙන් නිසි බදු අයකිරිමටත් වගබලා ගත්ත.

      එච්චර විතරක් නෙමෙයි ඔහු දැනසිටිය මෙම ක්‍රමය දිගටම පවත්වන්න ඕනේ නම් දෙසපල්කයන් දුශිත නොවියයුතු බව, මිට ඔහු කලේ ඇමති මණ්ඩලයට විසාල පඩි ගෙවන ක්‍රමයක් ඇතිකිරීමයි මෙහිදී ඔහු සිදුකලේ මානසිකව යුද්දයක් අතිවිශාල වැටුපක් ලැබෙන විට ජිවිත්න්න්තයට හිරේ යන අවදානමක් ගැනීමට ඇමතිකෙනෙක් පෙලබෙන්නේ නෑ.

      නමුත් මිනිස් සොබාවය එක අයකුවත් සොරකම් කිරීමයි, අගමැති ලී ගේ ඇමති මණ්ඩලයේ දීත් මෙය සිදුවුනා මෙහිදී අගමැති ලී සිදුකලේ අදාළ ඇමති වරයාට කිසිම බුරුලක් නොදීමයි අවසානයේ ඔහු සියදිවි නසාගන්නවා, මේ පාඩම ඇමතිමන්ඩලය බියට පත්කරනවා ඉදිරියේදී මෙවැනි වැඩ සිදු නොකිරීමට.

      මා ඇමතිවරුන්ට ඉතා ඉහල වැටුපක් ගෙවන්න ඕනේ බව කිව්වහම මේ අඩවියේ සිටින ඉනිසුන් ඉතා දැඩි ලෙස විරුද්ධ වුනා, නමුත් දැන් සිදුවී ඇත්තේ කුමක්ද ඇමතිවරයකු නඩත්තු කිරීමට මසකට ලක්ෂ 100 කට ආසන්න මුදලක් වැයකරනවා ඔබ හිතන්න මේ සැම ඇමති කෙනෙකුටම මසකට ලක්ෂ 50 වැටුපක් ගෙවල ඔවුන්ගේ පුද්ගලික වියදමින් වාහන නඩත්තුව ආරක්ෂාව කරගන්න කිවනම් මොනතරම් ඉතුරුවක් වෙයිද ?

      මෙවැනි දේ හිතන්න බැරිව මිනිසුන් සමුගයකට වැරදි පැටවීම සාධාරණ නැති බවයි මමනම් හිතන්නේ

      Delete
    2. //මෙවැනි දේ හිතන්න බැරිව මිනිසුන් සමුගයකට වැරදි පැටවීම සාධාරණ නැති බවයි මමනම් හිතන්නේ//

      Ignorance is not a right.

      Delete
  6. පැරා, ඔබටත් පවුලේ යටත් සුභ 2017 වේවා !!

    ReplyDelete
  7. මේ වසරේ දැකපු හොඳම සුබ පැතුම තමයි මේ කවි පෙළ.

    ReplyDelete
  8. Wish you and your family a very happy new year

    Thusitha

    ReplyDelete
  9. I would like to wish Para and his family a very happy New Year!

    ReplyDelete
  10. ඔබ සියළු දෙනාටම කරදර අඩු නව වසරක් පතමි!!!

    ReplyDelete
  11. ඔබටත් සිය පවුලටත් 2018 වසරට සුභ පැතුම්
    (මෙන්න කලින් ම!)

    ReplyDelete
  12. ලැබූ නව වසරේ "පැරකුම්ගේ පවුල රැකේ" යනුවෙන් සුබ පතමි !

    ReplyDelete
  13. පැරාටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
  14. 15 ජන08. වෙනසට දායකවු 6,217,162 ට සනීපදායක සුබ නව වසරක් වේවා!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා