2016-12-09

නුවර උපන් එම්.ජී.ආර්. මහ ඇමති වූ තමිල්නාඩුව අපට මග හැරුණේ ඇයි?

තමිල්නාඩු වෙරළ පිහිටා තිබෙන්නේ දක්ෂ පිහිනුම්කරුවකුට පිහිනා යා හැකි තරම් ලංකාවට කිට්ටුවෙනි. වැල්වැටිතුරෙයි මිනිස්සු චිත්‍ර‍පට බලන්නට බෝට්ටුවෙන් තමිල්නාඩුවට යන කාලයකුත් තිබිණි. සිංහලයන්ගේ අනගාරික ධර්මපාල වැනි භූමිකාවක් දෙමළ ජාතික පුනරුද ව්‍යාපාරයේ සිදු කළ දෙමළ පඬිවරයකු වූ ආරුමුග නාවලර් සිය ජීවිත කාලය තුළ කිසි විටෙක කොළඹට පැමිණ නැති බව කියැවේ. එහෙත්, ඔහු තමිල්නාඩුවේ ද සම්භාවනාවට පත් වූයේ ය. යාපනයට කොළඹට වඩා සමීප වූයේ තමිල්නාඩුවයි.

ක්‍රිස්තු වර්ෂයෙන් පළමු සහස්‍ර‍ය පසු වනවාත් සමග ම ලංකාවේ රාජධානි අගනගරය දකුණට චලනය වීම ආරම්භ වීමත් සමග යාපනය හා ප්‍ර‍ධාන රාජධානිය අතර ඝන වනාන්තරයක් වැවෙන්නට පටන් ගත්තේ ය. මේ ස්වාභාවික තාප්පය විනිවිද යන මාර්ග පද්ධතිය සංවර්ධනය කළේ ඉංග්‍රීසි යටත් විජිත යුගයේ ය. යාපනය කොළඹ කේන්ද්‍රීය රාජ්‍යයේ ඓන්ද්‍රිය කොටසක් බවට පත් වූයේ ඉන් පසුවයි. එනම්, ඉංග්‍රීසීන් විසින් නිර්මානය කරන ලද සිලෝන් නම් ඒකීය රාජ්‍යය තුළයි. පසුව සිංහල මූලික ශ්‍රී ලංකාව බවට පත් වී තිබෙන්නේ ද එම ඒකීය රාජ්‍යයයි.

වේලුපිල්ලේ ප්‍ර‍භාකරන් අයත් වන කුලයේ මුතුන් මිත්තන් අතීතයේදී කළේ බත්තල් මගින් ලංකාව හා බුරුමය අතර සහල් සහ වෙනත් ද්‍ර‍ව්‍ය ප්‍ර‍වාහනය කිරීමයි. තමිල්නාඩුවත්, ලංකාවත් අතර වෙළඳ සම්බන්ධකම් සියවස් ගණනක් ඈතට විහිදෙයි. එසේම, උතුරු ලංකාවේ හා දකුණු තමිල්නාඩුවේ ධීවරයන් පෝක් සමුද්‍ර‍ සන්ධිය ඉතිහාසයක් මුළුල්ලේ ම සැලකුවේ තමන්ගේ පොදු මුහුද ලෙසයි. දකුණු ආසියානු කලාපයේ ජාතික රාජ්‍ය දේශ සීමා හා මුහුදු සීමා විධිමත් අන්දමින් සලකුණු වන්නට පටන් ගත්තේ ඉංග්‍රීසීන් විසින් යටත් විජිත නිදහස් කිරීමත් සමගයි. එතෙක්, ලංකාවේ උතුරත්, තමිල්නාඩුවත් අතර සමීප සම්බන්ධයක් තිබිණි. අක්කර 282ක් පමණ වන බොන්නට පුළුවන් වතුර කඳුළක් සොයා ගත නො හැකි කච්චතිවු දූපත මෙම කලාපයේ පොදු බව පිළිබඳ සංකේතයක් ලෙස සැලකිය හැකි ය. එසේම, ලංකාව හා තමිල්නාඩුව අතර අර්බුදයේ ද සංකේතයකි.

19වන සියවසේදී මධ්‍ය කඳුකරයේ හා පහතරට තෙත් කලාපයේ කෝපි, තේ හා රබර් වතු වගාව වෙනුවෙන් දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට කම්කරුවන් රැගෙන ඒම තමිල්නාඩුවත්, ලංකාවත් අතර තවත් සමීප ඥාතිත්වයක් නිර්මානය කළේ ය.

ලංකාවත්, තමිල්නාඩුවත් අතර සම්බන්ධය ඈත ම අතීතයට විහිදෙයි. මිහිඳු හිමියන් පවා ලංකාවට වැඩම කළේ තමිල්නාඩුව හරහා ය. ද්‍රවිඩ බෞද්ධ භික්ෂුවක් ලෙස සැලකෙන හෙළටුවා පාලියට පරිවර්තනය කළ බුද්ධඝෝෂ හිමියන් කිතු වසින් පස්වන සියවසේදී ලංකාවට පැමිණියේ තමිල්නාඩුව හරහා ය. සුරතිස්ස රජු සිහසුනෙන් නෙරපා දැමූ සේන හා ගුත්තික නම් දෙමළ අශ්ව වෙළෙඳුන් දෙදෙනක් අවුරුදු 22ක් රට පාලනය කළ හ. මොවුන් බලයෙන් පහ කර රජ වූ දේවානම්පියතිස්ස රජුගේ සොයුරකු වූ අසේල රජු සිහසුනෙන් පහකොට රාජ්‍ය බලය අල්ලා ගත් එළාර වසර 44ක් රට පාලනය කළේ ය. ලංකාවේ අවසන් රජ පෙළපත වූ නායක්කර් වංශිකයෝ ද තමිල්නාඩුව හා සම්බන්ධ ය.

එහෙත්, නූතන ශ්‍රී ලාංකීය රාජ්‍යය ගොඩනැගීමේදී මෙම සමීපත්වය ස්ථාපිත වූයේ නැත. එසේ වූයේ ඇයි ද යන්න විමසා බැලීම වැදගත් ය. අපට තමිල්නාඩුව මග හැරීමට ප්‍ර‍ධාන හේතුවක් වන්නේ නූතන ශ්‍රී ලංකාව ගොඩනැගීමේදී සිංහල, දෙමළ ජාතීන් අතර තිබුණු ඝර්ෂණයයි.

ඉතිහාසය පුරා ම ලංකාවට සිදු වූ ජන සංක්‍ර‍මණයන් බොහොමයක් තමිල්නාඩුව ඇතුළු භූගෝලීය වශයෙන් සමීපස්ථ දකුණු ඉන්දියාවෙන් සිදු වූ බවට සැකයක් නැත. එහෙත්, ලංකාවේ දකුණේ පදිංචි වූවෝ තමන්ගේ මුල් භූමි සමග තිබුණු සම්බන්ධකම් සහමුලින් ම ඉවත දා ස්වාධීන සිංහල සංස්කෘතියක් ගොඩනගා ගත් හ. භූගෝලීයව පැවති අතිශය සමීපත්වය නිසා මෙම සංසිද්ධිය දූපතේ උතුරේ සිදු වූයේ වෙනස් ආකාරයකටයි.

ලංකාවේ දෙමළ ජාතිය තමිල්නාඩුවත් සමග සම්බන්ධ කිරීමට සිංහලයන් කැමැත්තක් දැක්වූවත්, යාපනයේ දෙමළ ජාතිකයන් උත්සාහ කරන්නේ තමිල්නාඩු දෙමළ ජාතියෙන් තමන් වෙනස් වන භාෂාමය හා සංස්කෘතික අනන්‍යතාවන් ඊනියා පාරිශුද්ධත්ව අදහසකින් සුවිශේෂ කොට ආරක්ෂා කර ගන්නට ය. එහෙත්, යාපනයේ දෙමළ සංස්කෘතිය තුළ තමිල්නාඩු මහා සංස්කෘතියෙන් වෙනස් වන දැවැන්ත සුවිශේෂ අනන්‍යතාවක් නැත. නිදසුනක් ලෙස, යාපනයේ දෙමළ සංස්කෘතිය තුළින් ජනනය වූ කැපී පෙනෙන කලා, සංස්කෘතික වටිනාකම් දකින්නට නැත. ඔවුන් සංස්කෘතික වශයෙන් බොහෝ දුරට තමිල්නාඩු මහා සංස්කෘතිය සමග අනන්‍ය ය.

මධ්‍ය කඳුකරයේ පදිංචි වූ දෙමළ වතු කම්කරු ප්‍ර‍ජාව සංස්කෘතික වශයෙන් වඩාත් දුබල වූ අතර ඔවුන් මුළුමනින් ම තමිල්නාඩු මහා සංස්කෘතියෙන් යැපුණ හ. වතු ආශ්‍රිත භූගෝලීය සීමාකිරීම් හා උඩරට හා පහතරට සිංහල ජනයාගෙන් සිදු වූ ප්‍ර‍තික්ෂේප කිරීම හේතුවෙන් මෙම ජනයා සිංහල ජාතිය තුළට ස්වීකරණය වීමක් සිදු වූයේ ද නැත. පසු කාලීන සිංහල මූලික රජයන් විසින් සංක්‍ර‍මණික වතු කම්කරු ජනයාගෙන් පැවත ආ කොටසක් ආපසු තමිල්නාඩුවට පිටුවහල් කර දමන ලදී.

කොළඹ කේන්ද්‍රීය රජයේ ආධිපත්‍යය අත්පත් කර ගත් සිංහල නායකත්වය දෙමළ ජාතිකවාදී ප්‍ර‍වණතා කළමනාකරණය කර ගැනීමට අසමත් විය. එහෙත්, හින්දු ආධිපත්‍යයෙන් යුත් ඉන්දීය මධ්‍යම රජය තමිල්නාඩුවෙන් මතු වී ආ දෙමළ ජාතිකවාදී බෙදුම්වාදී ප්‍ර‍වණතා බලය බෙදා ගැනීම ඔස්සේ සාර්ථක ලෙස කළමනාකරණය කර ගත්තේ ඉන්දියාව තුළ ම දෙමළ රටකට ඉඩකඩ සලසමිනි. 1958දී බිහි වූ ‘අපි දෙමළ' පක්ෂය විසින් ආරම්භ කරන ලද තමිල්නාඩු වෙනම රාජ්‍ය ව්‍යාපාරය 1970 දශකය ආරම්භ වන විට දිය වී ගියේ ය. පසුකාලීනව එය ලංකාවේ උතුරු - නැගෙනහිර පළාත්වල වෙනම රාජ්‍යයක් ගොඩනැගීම සඳහා වූ ව්‍යාපාරයට සහයෝගය දෙන තැනට පමණක් සීමා විය. වර්තමානයේදී තමිල්නාඩුව තුළ වෙනම රාජ්‍ය සංකල්පයට ප්‍ර‍ධාන ධාරාව තුළ ඉඩක් නැත.

දෙමළ ඊලාම් විමුක්ති කොටි ව්‍යාපාරය මර්දනය කිරීමත් සමග ශ්‍රී ලංකා රජය වඩා ශක්තිමත් වී තිබෙන මුත්, බලය බෙදා ගැනීම ඔස්සේ ජාතික සංහිඳියාව ස්ථාපිත කර ගන්නට ලංකාව තවමත් සමත් වී නැත. ලංකාවේ දෙමළ ජනයා සමග ජාතික සංහිඳියාව ස්ථාපිත කර ගැනීම තමිල්නාඩුවත් සමග යහපත් සම්බන්ධකම් ඇති කර ගැනීමේ පූර්ව කොන්දේසියක් වී තිබේ. එහෙත්, තමිල්නාඩුව සමග යහපත් සම්බන්ධකම් ඇති කර ගැනීම ලංකාවේ යහපැවැත්ම සඳහා අතිශය වැදගත් ය.

තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ මරණය පිළිබඳ ලංකාවේ ඇතැම් සිංහල ජාතිවාදී පාර්ශ්ව සතුටු වූයේ ප්‍ර‍භාකරන්ගේ මරණය අවස්ථාවේ සතුට ප්‍ර‍කාශ කළ ආකාරයට තරමක් සමාන ලෙසයි. එහෙත්, ජයලලිතා ඇත්තෙන් ම ලංකාවේ වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීම සඳහා තීරණාත්මක සහයෝගයක් දුන් අයෙක් නො වේ. තමිල්නාඩුවේ ප්‍ර‍ධාන දේශපාලන පක්ෂ දෙක වන ජයලලිතා නායකත්වය දුන් අන්නා ද්‍ර‍විඩ මුන්නේත්‍ර‍ කලහම් හා කරුණානිධි නායකත්වය දෙන ද්‍ර‍විඩ මුන්නේත්‍ර‍ කලහම් පක්ෂ දෙකට ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍ර‍ශ්නය යනු හුදෙක් මැතිවරණ ජයග්‍ර‍හණ වෙනුවෙන් පාවිච්චි කළ හැකි සටන් පාඨයක් පමණක් බව ඔවුන් විසින් පුන පුනා පෙන්වා දී තිබේ. නිදසුනක් ලෙස කොටි සංවිධානය අවසන් යුද පරාජය ලබන විට තමිල්නාඩුවේ බලයේ සිටි කරුණානිධි එය වැළැක්වීම සඳහා කිසිදු වැදගත් බලපෑමක් කළේ නැත. ජයලලිතා බලයේ සිටියත් වෙනස් තත්වයක් ඇති නො වන්නට ඉඩ තිබිණි.

එහෙත්, තමිල්නාඩුවට ලංකාවත් සමග ඊට වඩා වැදගත් ප්‍ර‍ශ්නයක් තිබේ. ඒ වනාහි පෝක් සමුද්‍ර සන්ධියේ ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් දෙරට අතර තිබෙන ගැටුමයි. කච්චතිවු දූපත ද ඒ ප්‍ර‍ශ්නයේ ම කොටසකි. ඉන්දියාව විසින් ජාත්‍යන්තර ගිවිසුමක් යටතේ 1974දී ලංකාවට පවරා දෙන ලද කච්චතිවු දූපත යළි පවරා ගත යුතු ය යන ස්ථාවරයේ ජයලලිතා දැඩිව සිටියි. මෙම ගිවිසුම මතභේදයට තුඩු දී ඇති එකකි. එම පවරා දීම කර තිබෙන්නේ අයිතිය පිළිබඳ මතභේද ඇති භූමියක් පවරා දීමක් ලෙස මිස ඉන්දියාවට අයත් කොටසක් පවරා දීමක් ලෙස නො වන නිසා ඒ හා සම්බන්ධ ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කර නැත. ගිවිසුම අනුව දකුණු ඉන්දීය ධීවරයන්ට දැල් වේලා ගැනීම, ආගමික වතාවත් වැනි කටයුතු වෙනුවෙන් මෙම දූපත භාවිතා කිරීමට අවසර ඇත. එහෙත්, මෙම කලාපයේ ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් දෙරට අතර දිග්ගැසුණු ආරාවුලක් තිබේ.

එම ආරාවුලේ දෙපාර්ශ්වයේ ම සිටින්නේ දෙමළ ධීවරයන් වීම සුවිශේෂ තත්වයකි. එය දෙමළ - සිංහල ප්‍ර‍ශ්නයක් නො ව, ඉන්දියාව හා ලංකාව අතර ප්‍ර‍ශ්නයකි. අවසන් සටන් විරාම සමයේදී කොටි සංවිධානය විසින් වරක් අනියම් ලෙස ධීවරයන් සංවිධානය කර ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කර්මාන්තයේ යෙදෙමින් සිටි ඉන්දීය දෙමළ බෝට්ටුවලට පහර දී, ධීවරයන් හා බෝට්ටු බලෙන් පැහැරගෙන ලංකාවේ වෙරළට ගෙන ආවේ ය.

ලංකාවේ ධීවරයන්ට මෙන් ම දකුණු ඉන්දියාවේ ධීවරයන්ට ද මෙහිදී කියන්නට කතාවක් තිබේ. තමිල්නාඩුව හා ලංකාව අතර සාකච්ඡාවලින් මිස මෙම ප්‍ර‍ශ්නය විසඳා ගන්නට වෙනත් කිසිදු ආකාරයක් නැත. තමිල්නාඩුව අපට මගහැර යා නො හැකි ය. අනාගත ඉන්දු - ලංකා ආර්ථික, සමාජ, දේශපාලනික හා සංස්කෘතික සම්බන්ධතාවලදී ඉන්දියාවට බිහිදොර වන්නේ තමිල්නාඩුවයි. 

ඇත්තෙන් ම, නිදහසට පෙර යුගයේ එවැනි තත්වයක් තිබිණි. එය නිරූපණය කරන හොඳම සාක්ෂි හමු වන්නේ සිනමාවෙනි. පළමු සිංහල චිත්‍ර‍පටය පවා නිෂ්පාදනය කළේ ඉන්දියාවේ ය. දෙමළ සිනමාවේ ජනප්‍රිය ම නළුවා හා තමිල්නාඩුවේ ජනප්‍රිය ම දේශපාලකයා ලෙස සැලකිය හැකි එම්.ජී. රාමචන්ද්‍ර‍න් ලංකාවේ මහනුවර උපන්නෙකු වීම ද සිහිපත් කළ යුතු ය. එහෙත්, ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ජයලලිතා ජයරාම් කිසි දිනෙක සැතපුම් කීපයක් ඔබ්බෙන් පිහිටි ලංකාවට පය තබා නො තිබීම ඉතිහාසයේ කවර සරදමක් ද? ද්‍ර‍විඩ අන්ද්‍රා ප්‍රදේශයෙහි ඇති තිරුපති දෙවොලේ නිතර වන්දනාවේ යන ලංකාවේ දේශපාලකයින් තමිල්නාඩු නො යාම ද එවැනි ම සරදමකි.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.