2016-12-18

මාක්ස්වාදය, සමාජවාදය හා ආස්වාදය

අප මිත්‍ර චන්දන ගුණසිංහගේ පහත පළ වන සටහන උපුටාගෙන නැවත පළ කරන්නට හේතු වුණේ එහි තිබූ එක් අගනා වාක්‍යයක් නිසායි. 

“මාක්ස්වාදය, සමාජවාදය වගේ මහලොකු න්‍යාය වෙනුවට තිබුනෙ ආස්වාදය විතරයි," යන වාක්‍යය තුළ මම ලොකු ගැඹුරක් දකිනවා.

මගේ ජීවිත කාලෙන් වැඩි හරියක් ගෙවුණේ මාක්ස්වාදීන් හා සමාජවාදීන් එක්කයි. ඔවුන් අතරින් බොහෝදෙනෙකු තවමත් මා මගේ මිතුරන් ලෙස සලකනවා. ඔවුන් මා මගේ මිතුරන් ලෙස සලකනවා ද නැද්ද යන්න මා දන්නේ නැහැ. මට එහි වැදගත්කමකුත් නැහැ. 

මා මිතුරු ඇසුරට කැමති වුණත්, මිතුරු සම්බන්ධකම් නඩත්තු කිරීමේ පුරුද්දක් මට නැහැ. ඒක හොඳ දෙයක් නො වුණත්, බොරුවට හායි හූයි කියලා, ව්‍යාජ ලෙස සම්බන්ධකම් නඩත්තු කරන්නේ මොකට ද කියලා මට හිතෙනවා. 

මිතුරුකම කියන්නෙත් ආදරයේ ම තවත් ස්වරූපයක්. මම හිතන්නේ අව්‍යාජත්වය ආදරයේ මූලික ම ලක්ෂණයක් ය කියලායි. 

වාමාංශිකයන් ජීවිතය නො විඳ, විඳවනවා ය කියන එකත්, කුහක කුඩුකේඩුකම්වලින් පිරිලා ය කියන එකත් ඇත්තෙන් ම ප්‍රතික්ෂේප කරන්නට පුළුවන්කමක් නැහැ. 

මේකට මූලික හේතුව මොකක් ද? මම නම් දකින්නේ මූලික හේතුව තියෙන්නේ සහෝදරයා යන ආමන්ත්‍රණය ලැබීම සඳහා පුද්ගලයකු තුළ ගොඩනැගෙන දේවල් තුළයි. 

ඒකට පක්ෂයක, කණ්ඩායමක, කල්ලියක ආගමික ස්වරූපී භක්තිමත් අනුගාමිකයකු වෙන්නට අවශ්‍යයි. එම ආගමික ස්වරූපී සාමාජිකයා සිටින්නේ කිසියම් මෝහනයක හා මෝහයකයි. ඔහු කියන වචනය මා මෙහිදී යොදන්නේ මේ සාමාජිකයන් වැඩි දෙනෙකු පිරිමින් නිසායි. ඉඳහිට කාන්තාවනුත් ඉන්නවා.

ඔහු සිතන පරිදි මිනිස් ජීවිතයේ උත්තරීතර ම කාර්යය වන්නේ විප්ලවයට දායක වීමයි. එකී විප්ලවය කිසි දා සිදු නො වන්නක් නිසා මෙම උත්තරීතර කාර්යයත් සැමදා ඉතිරි වී තිබෙන දෙයක්. 

මාක්ස්වාදී, සමාජවාදී පක්ෂ සාමාජිකයා සිතන්නේ තමන් ලොව නිවැරදි ම දර්ශනයෙන් සිය මනස නිරවුල් කර ගත් අයෙකු ය කියායි. ඒ නිසා ඔහු සිතන්නේ ලොව විශිෂ්ටම මිනිසුන් පිරිස වන තම පක්ෂයේ සාමාජිකයන් අතර කෙනෙකු වීම නිසා ඔහු අනෙක් සියල්ලන්ට ම වඩා සුවිශේෂ පුද්ගලයකු වන බවයි. 

ඔහුට ඒ මානසිකත්වය දුන් පක්ෂය නො දන්නා දෙයක් නැහැ ය කියා ඔහු සිතනවා. එසේම, පක්ෂය අනිවාර්යයෙන් ම විප්ලවය කරනු ඇතැයි යන විශ්වාසය ද ඔහුට තිබෙනවා. ඒ නිසා ඔහුට ලොව සියල්ලට ම වඩා උතුම් දෙය වන්නේ පක්ෂයයි.

පක්ෂයට බාහිර සියලු දෙනා ඔහුට පෙනෙන්නේ යථාර්ථය අවබෝධ කර නො ගත්, අනුකම්පා හෝ වෛර කළ යුතු පිරිස් ය කියා ය. යම් යම් විෂයයන් සම්බන්ධයෙන් උගත් හා ප්‍රවීණ අය සිටියත්, ඔවුන් පක්ෂයට සම්බන්ධ වී නැත්තේ ඔවුන්ට යථාර්ථාවබෝධය නැති නිසා යයි ඔහු සිතනවා. ඒ නිසා ඔවුන් වනාහි යම් දිනෙක පක්ෂය විසින් මෙහෙයවා ගත යුතු පිරිසකැයි ඔහු සිතනවා. 

පක්ෂ මතවාදය සමග ගැටුම් ඇති කර ගත් අය හා පක්ෂය විසින් විනය හේතු මත නෙරපා දමන ලද බව නිවේදනය කළ අය වනාහි ඇසුරු නො කළ යුතු, වෛර කළ යුතු, හැකි පළමු අවස්ථාවේ ම විනාශ කළ යුතු පිරිසක් ලෙසයි ඔහු සිතන්නේ. 

මේ මනෝභාවය තුළ කලක් ජීවත් වූ පිරිස්වලට සිය ජීවිතය පුරාවට ම එහි බලපෑමෙන් මුළුමනින් ම මිදෙන්නට අපහසු බව පෙන්නුම් කරනවා. ඒ නිසා සියලු කුප්පකම් කර අවසාන කළ පසුව පවා යළි විවිධ ස්වරූපවලින් විප්ලව කරන්නට මුල පුරන්නට උත්සාහ කරන අය දකින්නට ලැබෙනවා. 

ඒ වගේ ම මෙම ආගමික පක්ෂවලින් ඉවත් වූ අයට අහිමි වූ ජීවිතයක හිස් තැනක් පිළිබඳ ඉච්ඡා භංගත්වයකුත් තිබෙනවා. ඒ අහිමි වූ ජීවිතය වන්නේ  සාමාන්‍ය මිත්‍රත්වය, ආදරය ආදිය සමග මුසු වූ ජීවිතයයි. 

අනාගත පරම්පරා හෝ මේ කාලකන්නි ඉරණමට ගොදුරු නො වන්නට නම්, දේශපාලනය යනු ජීවිතයේ බොහෝ පැතිකඩ අතර තවත් එක් පැතිකඩක් මිස මුළු ජීවිතය ම හෝ ජීවිතයේ වඩාත් ම වැදගත් දෙය නො වන්නේ ය යන අවබෝධය ලබා දිය යුතුයි. 

ජීවිතය කියන්නේ මාක්ස්වාදය, සමාජවාදය, සාංදෘෂ්ටිකවාදය හෝ වෙනත් කිසියම් වාදයක් නොව ආස්වාදයක් ය කියා සිතන එක ජීවිතය ගැන ගැඹුරු දැක්මක් ය කියා මා සිතනවා. 

බොබ් මාලෙගෙ get up stand up සිංදුවේ තිබෙන sick and tired of isms schisms කියන කොටසේ අදහසත් මේ එක්ක කිට්ටුයි. 

දේශපාලනය අවශ්‍ය අපට ආස්වාදනීය ජීවිතයක් ලබා ගන්නටයි. එහෙත්, දේශපාලනය අසාර්ථක වුණත් ජීවිතයට ආස්වාදය ලබා ගන්නට බැරිකමක් නැහැ. ආස්වාදය ලබන ආකාරය තීරණය වන්නේ පෞද්ගලික ජීවන පරමාදර්ශ එක්කයි. සමාජවාදී ජීවන පරමාදර්ශ මුළු ලෝකයට ම පොදු කරන්න හැදුව ව්‍යාජයක්. ඒක ධනේශ්වර පාරිභෝජනවාදයේ ම රතු පාට එකක්. සමාජයට කරදරයක් නො වන ආකාරයට ලබා ගන්නා ආස්වාදය තමයි පිළි ගත හැකි ආස්වාදය. 

ඒ නිසා තමයි අපි ස්වෝත්තමවාදයට එරෙහි විය යුත්තේ. ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය, පාසල්වාදය වගේ ම මාක්ස්වාදය, පශ්චාත් මාක්ස්වාදය හෝ වෙනත් වාදයන් ද ජීවිත ආස්වාදයට බාධා වන ස්වෝත්තමවාදයන් කර නො ගත යුතුයි. 

චන්දනගේ පහත පළ වන ලිපියට මුළුමනින් ම එකඟ වෙන්නට බැරි වුණත්, එහි ජීවිතය සම්බන්ධ වැදගත් කියවීමක් තිබෙනවා. 


වමෙන් ලිවීම හා දකුණෙන් කියවීම.....

උපතින්ම දකුණෙන් ලියපු මට වමෙන් ලියන්නැයි ආරාධනාවක් ලැබුනෙ පහුගිය දවසක. ඒ කියන්නෙ වමේ පක්ෂයක පුවත් පතක තීරු ලිපියක්. ඒක අභියෝගයක් උනත් මම බාරගත්ත.

සූදානමකට වම ගැන පොත පත එකතු කෙරුවත් වමේ මිනිසුන් ගැන කියවීම ඊට වඩා වැදගත්වුනා. මගෙ තාත්තට දේශපාලන උනක් තිබුන කෙනෙක්. එක්දහස් නමසිය පනස් ගනන්වල ඉඳල මිය යන කාලයට කිට්ටු වෙනකම් මැතිවරණ ප්‍රතිඵල, මැතිවරණ ප්‍රකාශන වගේ දේවල්වල එකතුවකුත් එයා ලඟ තිබුන. අන්තවාදී යූඑන්පී කාරයෙක් බවත් කියන්නම ඕනැ.

මෙරිල් කාරියවසම්, එදිරිවීර පේමරත්න වගේ අගලවත්තෙන් පාර්ලිමේන්තුවට ගිය ඇත්තන්ගේ මැතිවරණ මෙහෙයුම් ස්ථානයක් බවට මගේ නිවස පත්වුනෙත් ඒ හින්දමයි.

බොහොමයක් දවස්වලට මහ රෑ වෙනකම් මධුවිතත් මැද තියාගෙන තිබුන දේශපාලන සංවාද පුංචි අපිත් අහගෙන හිටිය.

අැත්තටම ඒවා රස කතා. මාක්ස්වාදය, සමාජවාදය වගේ මහලොකු න්‍යාය වෙනුවට තිබුනෙ ආස්වාදය විතරයි. 
වමේ මිනිසුන් ඇසුරු කරන්න ගත්තමයි දකුණේ මිනිසුන් කොච්චර සුන්දරද කියල දැනෙන්නෙ.

අවුරුදු ගානක් පීඩාවෙන් විපක්ෂයේ හිටපු UNP කාරයො අදටවත් මහින්ද රාජපක්ෂටවත් , UNP එකට බලය අහිමිකරපු චන්ද්‍රිකා ගැනවත් වෛරී සිතුවිලි ඇතියි කියල මම හිතන්නෙ නැහැ. පේමදාස මහත්තය මැරිච්ච වෙලාවෙ රතිඤ්ඤා පත්තු කළාට UNPකාරයො කිසි දවසක එහෙම කරන්නෙ නැහැ.

වම් ඉවුරෙ ඉන්න බහුතරයක් කුහක, කුඩුකේඩු, ජීවිතය විඳිනවා වෙනුවට විඳවන මනුස්ස කොටසක් කියලයි මට හිතෙන්නෙ.

සමහරුන්ට ඉන් මිදෙන්න අවශ්‍ය වුනත් අනිත් බලවේග ඔවුන්ව යටත්කර ගන්නා බවක් හැඟෙනවා.

අළුත් පරම්පරාව වම් ඉවුරට සේන්දු නොවෙන්නෙත් ඒ හින්දම වෙන්නත් ඇති..

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.