රාජ්ජ මෙව්ව එකට විරවාගෙන ඉන්න නාට්ටිකාර බුවාලා ඇතුළු කලාරිටවලට

ආණ්ඩුවෙන් කන්න බලා ඉන්න සංස්කෘතික ජීවිතය.......
උඹලා අප කලාකාරයන් ලෙස සලකනවා ද නො දනිමි. අපි ඔය කලා සංගංවල නැත. කලාකරුවන්ගේ පුවත්පත් නිවේදන ආදියට අස්සන් කරන්නේත් නැත. පුවත්පත් සාකච්ඡාවලට ඇවිත් ලැම්බොගිනි ඉල්ලමින් හොටු හූරන්නේ ද නැත. එසේම, බතික් කමිස, කුරුතා එහෙම ඇඳගෙන, අතේ වළලු ගොඩක් දාගෙන ඇවිදින්නේ ද නැත. කොණ්ඩෙ නම් වැවෙනවා ය. ඒ වුණාට හිස් මුදුනට තියා බඳින්නට බැරි ය. එහෙම කළත් අපේ ඇඟවල කලාකාර සෝමාරිකම නැති නිසා උඹලා මෙන් ගතියක් නැත. 

අපි කම්කරුවෝ ය. ජීවත් වන්නේ ශ්‍ර‍මය විකුණලා ය. ඒ ගමන් අපි කම්කරුවන්ට කම්කරුවන් ලෙස ම වඩා යහපත් සමාජ තත්වයන් අත්පත් කර ගන්නට දේශපාලන අරගලයට මැදිහත් වන්නෙමු.

ඒ වුණාට මං නම් හිතන්නේ අපිත් කලාකාරයෝ තමා ය. හේතුව, අපිත් කවි, කතා ලියනවා ය. නාට්ටි එහෙමත් කරලා නැත්තේ ම නැත. සමහර කලාකාරයන්ට වඩා සිංදු කියන්නට පුළුවන් අය අප අතර ඉන්නවා ය. 

කලාකාරකමත් හරියට නිවේදකකම වගේ ය. ඕනෑම කෙනෙකුට නිවේදකයෙක් වෙන්නට බැරිකමක් නැති බව ලංකාවේ රූපවාහිනී සේවා විසින් ඔප්පු කර තිබේ. කතා කරන්නට බැරි අයට සංඥා භාෂාවෙන් නිවේදකකම කරන්නට පුළුවන. ඒ නිසා සමස්ත සමාජය ම එක එක ජාතියේ කලාකාරයෝ තමා ය. සමහරුන්ට සමහර කලාවන් වැඩිපුර පුළුවන. ඒවා ගැන වැඩිපුර හැදෑරීමෙන් හා සතතාභ්‍යාසයෙන් පරිණතභාවයට පත් වූ අය සිටිති. එහෙම අයට වෘත්තීය කලාකරුවන් වෙන්නට පුළුවන. 

මම මා සලකන්නේ කම්කරුවෙකු ලෙසයි. ඕනෑනම් බුද්ධිමය කම්කරුවෙකැයි කියන්නට ද පුළුවන. කලාකාරයෙක් කියා කවුරුවත් පිළි නොගත්තාට මා වෘත්තීය බ්ලොග්කරුවෙකි. වෘත්තීය ලේඛකයෙකි. වෘත්තීය පරිවර්තකයෙකි. වෘත්තීන් දෙක තුනක් කරන්නේ එකකින් ජීවත් වෙන්නට අමාරු නිසා ය. හැබැයි මම නම් කාටවත් අත නොපා, ආණ්ඩුවෙන් හිඟා කන්නේ නැතිව, කම්කරුවෙක් ලෙස හොඳ ජීවිතයක් ගත කරමි. අප වැනි කම්කරුවන්ට ඇති ප්‍ර‍ධාන ගැටලුව වන්නේ වැඩ කරන්නට බැරිදාට ජීවත් වන්නට මාර්ගයක් නැතිකමයි. මන්ද, අපේ බදු මුදලින් ආණ්ඩුව දේශපාලකයන්ට හා රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ගෙවනවා විනා අප ගැන බැලිල්ලක් නැත. අඩු ගණනේ අප වෙනුවෙන් බැංකුවල තිබෙන විශ්‍රාම වැටුප් ගිනුම්ලටවත් සාධාරණ පොලියක් ගෙවන්නේ නැත. ඒ අතරවාරයේ අපි කලාත්මක ප්‍ර‍කාශනවල යෙදෙනවා ය. වරලත් විචාරකයන් තග දමද්දීත් කලා නිර්මාන ගැන කතා කරමින් අඩු තරමේ උඹලාගේ නිර්මානයක් රසවිඳින්නට තවත් අප වැනි මිනිසුන් පොළඹවනවා ය.

මේ ටික ලියන්න හිතුණේ නාට්ටිකාර බුවාලා ටිකක් පහුගිය දිනවට රාජ්ජ නාට්ටි උළෙලේදී පෙන්නූ නාට්ටියක් නිසා ය. ඇත්ත වශයෙන් ම උඹලා නාට්ටි කියා පෙන්නන ජහුටාවලට වඩා නම් ඒක හොඳ නාට්ටියකි. 


බොලාගේ නාට්ටියක් බලන්නට කම්කරුවන් වන අපට හරිම අමාරු ය. පවුල පිටින් නාට්ටියක් බලන්නට ගිය විට නාට්ටිකාරයෝත්, නාට්ටි සංවිධායකයෝත් අපේ ඉහ මොළ සූරා කනවා ය. ඒ මදිවාට නාට්ටි සාලාවල වාඩිවෙන්නට පුටුවක්වත් හරියට නැත. දාඩිය උතුරනවා ය. 

උඹලාත් ඉතින් මියුසික් වෙනුවට සීඩී ප්ලේ කිරිල්ලේ පටන් එක එක වංගු අපට ගහනවා ය.

නාට්ටිවලට ආසාව නිසා කොල්ලන් සෙට් එකකට එකතු වෙලා නාට්ටියක් පෙන්නලා ජාමෙ බේරා ගන්නට බැරි තරමට උඹලා නාට්ටි සංවිධායකවරුන්ට වද දෙනවා ය. උඹලා හිතන්නේ උඹලාගේ නාට්ටිය පෙන්නලා උන් හෙට පුංචි තියටර් එකක් බොරැල්ලෙන් ගන්නවා ඇති ය කියා ය. පෝස්ටර් ගහගෙන, සමරු කලාපවලට ඇඩ් හිඟාගෙන, නගර සභාවට විනෝද බදු වංගු ගසාගෙන උන් විඳින කට්ට ගැන උඹලාට හැඟීමක් නැත. උඹලාගේ නාට්ටි සංවිධානය කරන්නට ජූඩ් ඇර වෙන කවුරුවත් නැති වී තිබෙන්නේ ඒ නිසා ය.

උඹලාට රාජ්ජ නාට්ටි උළෙලේ ම පිහිටාරක්ෂාව පමණක් පතාගෙන ජීවත් වෙන්නට සිදු වී තිබෙන්නේ උඹලාගේ ම වැරදි නිසා ය. ඔය මළ ඉලව්ව ජෝන් ද සිල්වා එකේ තිබ්බත්, නෙළුම් පොකුණේ තිබ්බත්, උඹලාට සෝක් මදි බස්නාහිර පළාත් සංස්කෘතික මෙව්ව එකේ ඒසී හෝල් එකේ තිබ්බත් ඕක ඉතින් බොලාට ම මිසක් අපට නම් කිසිම අදාළකමක් නැත. 

අප උඹලාගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුවෙන් හිඟාකමින් කලාකරුවන්ගේ නම්බුව නැති කර ගන්නේ නැතිව අප වැනි කම්කරුවන් වී ජීවිතය සරි කර ගන්නා ගමන් පුළු පුළුවන් ආකාරයෙන් කලාව කරහල්ලා කියා ය. 

ලංකාවේ ඔය සිංදු කර්මාන්තය ඇර අනෙක් කලාවන්ගෙන් හැටහුටහමාරකට ජීවත් විය හැකි කර්මාන්ත හදන්නට බැරි ය. එහෙම කලාවෙන් ජීවත් වෙන්නට ඕනෑ නම් ඉන්දීය අර්ධද්වීපය සමග ආර්ථික හා සමාජ සම්බන්ධතා පුළුල් කරන්නට ඉවහල් වෙන ක්‍රියාමාර්ගවලට මේ අපි වගේ උදව් කළ යුතු ය. ඉංග්‍රීසි ඉගෙන ගත යුතු ය. මේ දූපත වටේ ඇති මහ මුහුද තරණය කරන්නට පුළුවන් නිර්මාන ගැන සිතිය යුතු ය. 

එහෙම හිතන්නේ නැතිව, ආණ්ඩුව අපට සලකන්නේ නැති ය කියමින් නහයෙන් අඬන විට අපට උඹලා හරි ගොන්පාට් ය. උඹලාගේ නාට්ටි සංදර්ශනේ අර ටෙලි නිළියෝ නැත්තේ ඇයි? කලාවෙන් ජීවත් වෙන්නට බැරි බව උන් දන්නවා ය. ඒ නිසා උන් වෙන වෙන කර්මාන්ත කරගන්නවා ය. එහෙම කරලා උන් සිරා ගෙවල් හදලා ඉරිදා පත්තරවල මැද පිටුවල දානවා ය. කලාකාරයන් වුණාම ඉන්න ඕනේ කලාගාර වගේ ගෙවල්වල ය කියා හිතාගෙන උඹලා ඉතින් හූල්ලනවා ය. 

සරළව කිව්වොත් මෙන්න මෙහෙම ය. රාජ්ජ නාට්ටි උළෙල නැති වුණත් නාට්ටි තිබිය යුතු ය. සුවර්ණ පුස්තකේ නැති වුණත් නවකතා බිහි විය යුතු ය. සම්මාන උළෙල නැතත් චිත්‍ර‍පටි බිහි විය යුතු ය.

ආණ්ඩුවේ මෙව්ව එකට විරවාගෙන ඉන්නේ නැතිව පුළුවන් විදියට කළ යුතු ය. බ්ලොග්කාරයන් වන අප කරන්නේ එසේ ය.

නාට්ටි, චිත්‍ර‍පටි ගැන ආදර්සෙට ඕනැ නං ගප්පියා වැනි අය ගන්නට පුළුවන. 

අවසාන වසයෙන් මේකත් කියමි. කම්කරුවන් වන අපට බොලාවත් නඩත්තු කරන්නට හයිය නැත. මන්ද, අපට මේ රටේ ලක්ෂ 12කට වැඩි රජයේ සේවකයන්ට හා දේශපාලකයන්ට වැඩ නො කර පඩි-නඩි, පැන්ෂන්, වරප්‍ර‍සාද, තීරු බදු නැති කාර් ආදිය දෙන්නට තියෙනවා ය.

පසුව එක් කරන ලද කොටසක්: 

පහත පළ වන්නේ නාට්‍යකරුවන්ට ජනාධිපතිගෙන් සාකච්ඡාවක් සඳහා කරන ලද ආරාධනය ප්‍ර‍තික්ෂේප කරමින් ඔවුන් විසින් යවන ලද ලිපියයි. 




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)