ජනතාව බබ්බු නෙමෙයි. ඒ වගේම, මෝඩකම අයිතිවාසිකමකුත් නෙමෙයි

අපේ යාලුවෙක් අහනවා ඔය සමාජ මාධ්‍යවල, බ්ලොග්වල, පත්තරවල ලිව්වා ය කියලා සමාජය වෙනස් වෙනව ද කියලා.

මං ඇහුවා එයා මොකක්ද කරන්න යෝජනා කරන්නෙ කියලා.

සමාජය වෙනස් කරන්නට නම් මහජනතාව අතරට ගිහින් සංවාද ගොඩනගන්නට හා ජනතාව අරගලයට බලමුළු ගන්වන්නට ඕනෑ ය කියලා තමයි ඔහු කියන්නේ.

එතකොට මං ඇහුවා මේ සමාජ මාධ්‍ය පරිහරණය කරන අය ජනතාව නෙමෙයි ද කියලා.

ඒ වුණාට පීඩිතයන් වැඩි දෙනෙකුට ෆේස්බුක් ගිනුම්, අන්තර්ජාල පහසුකම් නැති ය කියලායි ඔහු තර්ක කරන්නේ.

ඒ වුණත් හුඟක් දෙනෙකු අත ස්මාට් ෆෝන් තියෙනවා නේ ද, නැති අයත් ඒවා මිළ දී ගනිමින් ඉන්නවා නේ ද කියලා මං ඇහුවා.

ඒක පිළි ගත්ත අපේ මිත්‍රයා කියනවා ඒ වුණාට වැඩි දෙනෙකුට ඔය ඉන්ටනෙට් තේරෙන්නෙ නැහැ කියලා.

මං කිව්වෙ මේකයි. “ජනතාව බබ්බු නෙමෙයි. ඒ වගේම, මෝඩකම අයිතිවාසිකමකුත් නෙමෙයි. තමන්ගෙ ජීවිත වෙනස් කර ගන්නට ඕනැ නම් තමන් ඒ ගැන දැනුවත් වෙන්න හා මැදිහත් වෙන්න ඕනැ. එහෙම නො කර ලේසියට කපටි දේශපාලකයොයි, පූජකයොයි, කට්ටඩියොයි, හොර වෙද්දුයි, ගිනි පොලීකාරයොයි, ලොතරැයි ටිකටුයි, පිරමිඩ් ජාවාරමුයි, අන්තර්ජාලයෙන් නිකං ඉඳලා සල්ලි හොයා ගන්න මාර්ග කියා දෙන එවුනුයි පස්සෙ යන එවුන්ගෙ උරුමය කාලකන්නිකම තමයි. සමාජය වෙනස් කරන්නට පුළුවන් කාලකන්නි එක්ක නෙමෙයි."

අපේ මිත්‍රයා එතකොට කියන්නේ මෙහෙමයි. “ඔයා කියන ඔය ටික වුණත් ඒ මිනිසුන්ට සන්නිවේදනය වෙන්නෙ නැහැනේ. ඒ නිසා ඒ මිනිස්සු දන්නෙ නැහැ."

මං එතකොට මෙහෙම කිව්වා. “මං ලියනවා. මං ඒ වැඩේ කරන්නම්. ඒක අමාරු හා අවශ්‍ය වැඩක්. මගේ කාලය, ශ්‍රමය මං ඒකට දෙන්නම්. ඒක නවත්තන්න ඕනැ නැහැනේ. ඇයි ඉතින් උඹට බැරි ඔය ජනතාව අතරට ගිහින් සංවාද කරන වැඩේ පටන් ගන්න. උඹ ලියන්නෙත් නැහැනේ."

ඒ නිසා ජනතාව සංවිධානය වැදගත්කම තේරෙන අය අපට බැන බැන ඉන්නෙ නැතිව ඒ වැඩේ කරන එකයි හොඳ. අපි ලියන්නම්. ලියන එකාගෙන් ම ඒක මලවන එකත් බලාපොරොත්තු වෙන්නෙ මොකට ද? උඹලා මලවලා ජනතාවට කවපල්ලා.

අපි ලිව්වා ය කියන්න ඕනැත් නැහැ. උඹලාගේ අදහස් වගේ කියාපල්ලා. ඔය සිංහල නමක් කිව්වොත් ඒක පිළිගන්න ලංකාවේ සමහරු අකැමැතියිනේ. ඒ නිසා ජිජැක්, ශිශෙක්,ඩේවිඩ්, ගොලායත් වගේ මොකෙක් හරි කිව්වා ය කියපල්ලා. එතකොට පිළිගනියි.

උඹලට බැරියැ මේ අපි ලියන ඒවා ඕනැ නම් ජනතාව අතර පත්‍රිකා විදියට බෙදා හරින්න. ඕනැ නම් උඹලගෙ නම දාගත්තත් අපට මොකද? 

ඕං එහෙනං මං ඒකත් ලිව්වා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔය සිංහල ටයිප් කරන්න දන්නේ නැති ඉගෙන ගන්නත් කම්මැලි අයගේ කතා.

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලයේ සිංහලෙන් ලියන්න පටන් ගත්ත අලුත තිබුණු තත්වයත් එක්ක බැලුවාම දැන් සෑහෙන ප්‍රගතියක් තියෙනවා. යම් දැනුමක් නැතිකම තමන්ට හානියක් වන බව දැනුණා ම මිනිස්සු ඉගෙන ගන්නවා.

      Delete
  2. සමාජය වෙනස්කරන්ට පැරකුම් ගන්නා උත්සහය සහ ඒ වෙනුවෙන් වන මහන්සියට අනුව ප්‍රතිඵලයක් ලැබේදැයි අපිට අනාගතයේදී බලාගැනීමට පුලුවන්වනු ඇත. එතෙක් ඒ වෙනුවෙන් දරන මහන්සිය පළමුවෙන්ම අගය කරමි. තවද ජනතාව මෙන්ම රනිල් සමග යහපාලනය සෑදීමට මහන්සිවු පැරකුම්ලාද බබ්බු නොවේය. පැරකුම්ලා රනිල්ගේ නැට්ටේ එල්ලුනේ මහින්දගේ ඒකාධිපත් ගමන පරදවන්නට තියෙන ලේසිම පාර ඒක නිසා මිස රනිල්ට හෝ දෙවැනි මහින්ද කෙනෙකුට එවැනි පාලනයක් හදන්නට තියෙන ඉඩ අහුරන්නට නොවේය...

    අනෙක් අතට පැරකුම්ලා යහපත් චේතනාවෙන් යහපාලනයක් හදන්නට කතාන්දර ලියුවද එවා අහුලාගෙන මාකර්ට් කරගන්නට පුලුවන්වුනේ රනිල්ගේ සංවිධාන යාන්ත්‍රණයටය, පැරකුම්ලාගෙන් මේ වෙලාවේ වැඩ ගන්නේ රනිල්ලාය.... එබැවින් සිවිල් සංවිධානවල සිටින පුද්ලයින් හා පැරකුම්ලාවැනි වෘත්තිය ලියන්නන් සැබවින්ම යහපාලනයක් වෙනුවෙන් පෙනිසිටින්නේනම් ඔවුන්ගේ හැකියාවන් සැබෑ යහපාලනයක් වෙනුවෙන් අවශෝෂණයකරගත හැකි සංවිධාන යාන්ත්‍රණයක් සකස්කර ගැනීමට අවශ්‍යයය. ඔවුන්ගෙන් වැඩ ගන්නට රනිල්ලාට ඇති ඉඩ අහුරන්නට හැකි සංවිධාන යාන්ත්‍රණයක් ඕනෑය...එවැනි සංවිධාන යාන්ත්‍රණයක් ශක්තිමත්වනතුරු පැරකුම්ලාට තැන් තැන්වල ඕන ඕන විදිහට බල්ටි ගහන්නට පුලුවන්ය. එහෙම ගහන බල්ටි පෙන්නා රනිල්ලාට ගානක් හොයාගන්නත් පුලුවන්ය.


    // උඹලට බැරියැ මේ අපි ලියන ඒවා ඕනැ නම් ජනතාව අතර පත්‍රිකා විදියට බෙදා හරින්න. ඕනැ නම් උඹලගෙ නම දාගත්තත් අපට මොකද?

    මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න //

    ReplyDelete
    Replies
    1. අනාගතේ බලන්න දෙයක් නෑ... ජනවාරි 8 විප්ලවයට පැරා සෑහෙන දායකත්වයක් දැක් වූවා....

      (පැරා... හම්බ වෙච්ච ඩොලර් ගාන කියන්න නම් එපා...)

      Delete
    2. ඒ විතරක් නෙමෙයි මාතලන්, ඒ විප්ලවය ඉදිරියට ගෙන යන්නත් ඒ දායකත්වය ම හෝ ඊට වැඩි දෙයක් කරන්නට පුළුවන් මට්ටමෙන් ඒ බේස් එක තාමත් මේන්ටේන් කරනවා. ඒක කියන්නේ ඔය අපි උඹලට හිනා වෙන නිර්නාමික කමෙන්ට්කාර ලොක්කන්ට විශේෂයෙන් දැනගන්න. ඒක තමයි නිර්ප්‍රභූන්ගේ ප්‍රැක්ටිකල් පොලිටික්ස්.

      Delete
    3. ජනවාරි 8 විප්ලවයක් වුනා හැබැයි 9 වෙනිද ඉදලම ප්‍රතිවිප්ලවයත් වෙනව
      ඒනිසා ලොකු වෙනසක් වුනේත් නැහැ, යහපාලනයක් ආවෙත් නැහැ.

      පැරකුම්ලනම් ට්‍රයි කරනවලු ආපහු හරවන්න. ..

      පැරාට ඩොලර් හම්බවෙනවානම් හොදය, ප්‍රශ්නය තියෙන්නේ පැරලා හදන මතයන් පාවිච්චිකරලා වෙන කට්ටිය ගේම් ගහන එකය,

      අන්තිමට පැරාලා කරල තියෙන්නේ අතින් කාලා අනුන්ගේ හරක් බලන එකය,

      Delete
    4. මාක්ස් හැදූ මතවාදය භාවිතා කර ලංකාවේ විතරක් කට්ටිය ගසා ඇති ගේම් ටික බැලූ කල අපේ මතයෙන් වෙන අය ගහන ගේම් මොනවද?

      අපි අතින් කාලා හරක් බලන බව හැබෑ ය. එහෙත්, අප උත්සාහ කරන්නේ හරක් පට්ටිය තණකොළ ඇති දිහාවක් කරා ගෙන යන්න ය. ගියොත් උන් ගොඩ ය. නො ගියා ය කියා අපට වෙනසක් නැත. අප තණකොළ කන්නේ නැත.

      Delete
    5. ජනවාරි 8 වෙනිදා විප්ලවයක් වුනාය යන්න, මේ වන විට, කිසියම් පිරිසක් විසින් හිතේ දුකට කියන කවියක් පමණි. ජනවාරි 8 කිසිවක් සිදු වී නොමැති බව මේ වන විට ඔප්පු වී අවසානය. අර්ජුන් මහේන්ද්‍රන් ට සේවා දිගුවක් ලැබීම නැවතීමට හැකියාවක් නැත. ජන මතය බල්ලට දමා ඇත. මින් ඉදිරිය ට දූෂණ වංචා ගැන කතා කිරීම විහිළුවක් පමණක් වෙයි. පළාත් පාලන මැතිවරණ දින නියමයක් නැතිව කල් දමා ඇත. ඒ, කලින් කලට මැතිවරණ පැවැත්වීම යන්න, ප්‍රජාතන්ත්‍රවාදයේ පාඨ ග්‍රන්ථ නිර්වචනය ට පවා ඇතුලත්ව තිබියදී ය. පාර්ලිමේන්තුව තුට්ටූ පහකට මායිම් නො කෙරෙයි. ඇමෙරිකානු නිදහස් සටනේ සිට පවා බදු වැඩි කිරීමේ බලය ඇත්තේ ජනතා නියෝජිතයන් ට බවට පිළිගත් මූළධර්මයක් තිබුනද අපි ඒවා පයිසෙකටවත් ගණන් ගන්නේ නැත. එක් පැත්තකින් වැරදි ගණන් හිළව් ඇති පණත් පාර්ලිමේන්තුවට අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන අතර අනෙක් පැත්තෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසීම් වල ප්‍රතිඵල හිතු හිතූ ලෙස වෙනස් කෙරෙයි. පාර්ලිමේන්තු මයික්‍රපෝන නිහඬ කෙරෙන අතර, පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි තත්වයක් උදා වීම, කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණක් වෙයි. එසේ වුවත්, ජනවාරි 8 විප්ලවයක් වුනා යැයි තාම කිව හැකි යැයි සිතන පිරිසක් - වඳ වෙමින් ඇති ජීවී විශේෂයක් - අපිට පොඩි ආතල් එකක් දෙමින් සිටිති.

      හැබැයි මේ අයගෙන් මම නම් වැඩියෙන්ම ඉන්ට්‍රෙස්ට් එකක් ගන්නේ, ලැජ්ජාව වහගන්න, බඩවියත රැකගන්න, බලය තහවුරු කරගන්න, මේ කතාව කියන අය ගැන නෙමෙයි. මේවා ඉතින් සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය අනුව සිද්ධ වෙන දේ නෙ.

      ඒත් මේ පිරිස් වලට වඩා නියම ඉන්ට්‍රෙස්ටිංග් කට්ටියක් තමයි, ජීවිතේට විප්ලවයක් කරලා නැති, විප්ලවයක් කරන්නත් බැරි, එහෙමත් නැත්නම් විප්ලව කරන්න ගිහින් මාට්ටු වුනාම පණ බේරා ගන්න ඔක්කොම පාවාදීලා දීපු, ඒත්, ජනවාරි 8 වෙනිදා නම් විප්ලවයක් වුනාමයි කියලා කියන අය. මේ අය එහෙම කියනවා, මාත් විප්ලවයක් කළා කියලා පොඩි ෆීලිංග් එකක් ගන්න. අර රා බිපූ මීයා ට ආව ෆීලිංග් එක, ආන්න ඒක.

      එක මහත්තයෙක් කොළඹ විශ්වවිද්‍යාලෙ විවාදයකුත් කළානෙ ජනවාරි 8 විප්ලවයක් ම තමයි එයා කළේ කියලා. මොකද ඒ මහත්තයාත් කවදාවත්ම විප්ලවයක් කරන්න බැරි එක්කෙනෙක්. ඉතින් එයා හරි කැමතියි එයා ජනවාරි 8 විප්ලවයක් කළා කියන සිහින ලෝකෙට ප්‍රවිශ්ට වෙලා ඒ හැඟීම විඳින්න. එයා එයා ගේ ෆේස්බුක් පිටුවේ විටින් විට දාන ඒවා දැක්කාම අපි දැනගන්නවා, ආඃ මෙයා මේ හැඟීම දැන් විඳගෙන තමයි ඉන්නෙ කියලා.

      මේක උපමාවකින් කියනවා නම්, මතකනෙ නිදහස් චතුරශ්‍රෙ වාඩි වෙලා හිටපු අය. ටී. වී. එකේ ක්‍රිකට් මැච් යනකොට අපිට පේන්වා, පාරවල් වල කොල්ලො ක්‍රිකට ගහනවා. හැමදාම එහෙම පාරවල් වල ක්‍රිකට් ගහන්නෙ නෑ. හැබැයි ටී. වී. එකේ මැච් යන කාලෙට වැඩි වෙනවා. ඒ වගේ බොහෝ රටවල ටී. වී. එකේ පිටසක්වලින් ආපු ජීවීන් ගැන කතා මාලාවක් යන කොට ඒ රටෙත් පිටසක්වලින් ආපු අය දැකපු, ඒ අය විසින් පැහැර ගැනීමට ලක් වුනු, පිටසක්වල ජීවින් සමග කොෆි ෂොප්ස් වල කෝපි බීපු, වගේ අය එක පාරටම වැඩි වෙනවා. මේ වගේ තමයි ඇමෙරිකාවෙ මිනිස්සු වෝල් වීදියේ වාඩි වෙලා ඉඳපු හැටි දැකපු අය හිතුවා අපි නිදහස් චතුරශ්‍රයේ හරි වාඩි වෙමු කියලා. නමුත් වෝල් වීදියේ වාඩි වුනු අය වාඩිවුනේ මොකක් වෙනුවෙන් ද? ඒ අය ගැන කතා කළේ කොයි වගේ අය ද? ඒ අයව ඇමතීමට ආවෙ කවුද? මේ ප්‍රශ්න ටික නිදහස් චතුරශ්‍රයේ වාඩි වුනු අය සම්බන්ධව ඇහැව්වොත් තත්වය කොහොම ද? ජනවාරි 8 විප්ලවයක් වුනා කියලා හිතා ගෙන ඉන්න අයයි, නිදහස් චතුරශ්‍රයේ වාඩි වුනු අයයි අතර ලොකු වෙනසක් නෑ. දෙගොල්ලොම, ලෝඩ්ස් යන්න බැරුව ලංකාවේ පාරවල් වල ක්‍රිකට් ගහන කොල්ලන්ට සමානයි.

      Delete
    6. මමත් ඔබේ මතයේමයි ඉන්නේ. 2015 ජනවාරි 8 වන දා සිදු වුණු විප්ලවයක් නෑ. මහින්දගේ කාලයේ සිදු වුණු දූෂණ ඊට වඩා කිහිප ගුණයකින් වැඩි වීම විතරයි වුණේ. පුදන කොටම කාපි යකා කිව්වා වගේ මෛත්‍රීපාලගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමඟම බැඳුම්කර වංචාව සිද්ධ වුණා. ඒකට කිසිම ක්‍රියාමාර්ගයක් නොගත්තු නිසා මේ අවුරුද්දේ මුලදී එම දෙයම අලුත් වටයකින් සිද්ධ වුණා.

      මහින්දගේ කාලයේ ලක්ෂ 150 හේ වාහන ගත්තු ඇමතිවරු දැන් ගන්නේ ලක්ෂ 500 - 700 යේ වාහන. එක වාහනයක් සඳහා ඔතරම් මිළක් ගෙවන්නේ ඒවා රෝල්ස් රොයිස් විය යුතුයි. මොකද මිළ අධිකම බී.එම්.ඩබ්ලිව්. රථයක්වත් ඔච්චර ගණන් නැහැ.

      ටිකක් කල්පනා කරලා බලන්න, මහමැතිවරණයේදී ඡන්ද 2500 ක් වත් ගන්න බැරි වුණු සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවට පිටුපස දොරින් ඇතුල් වෙලා කිසිම වටිනාකමක් නැති ඇමතිකමක් අරගෙන දැන් ලක්ෂ 700 ක් මෝටර් රථයක් ලබා ගන්න අයදුම් කරලා. මේවා මැද පෙරදිග කාන්තා වහල් සේවයෙන් ලැබෙන මුදල්, පැරා මහත්තයෝ.

      පහුගිය අයවැයෙන් වාහන සඳහා අධික ලෙස බදු මුදල් වැඩි කරපු වෙලාවේ මම පැරාගේ පෝස්ටුවකට කොමෙන්ටුවක් දමමින් කිව්වා මේ ආණ්ඩුව අපේ ආර්ථික නිදහස නැතිකරනවා කියලා. එතකොට පැරා මහත්තයා මට බැනලා උත්තරයක් ලියනවා ලංකාවේ ගැහැනුන් මැද පෙරදිගට යවලා, වහල් සේවයේ යොදවලා ලැබෙන සල්ලිවලින් කාර් ගන්න ආර්ථික නිදහසට එයා සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියලා. ඒ වගේ ආර්ථික නිදහසක් ලංකාවට ඕනේ නෑ කියලත් කිව්වා.

      සති දෙක තුනකට පෙර සිදු වූ දරුණු නාය යෑම්වල සහ ගංවතුරේ අමිහිරි මතකය තවම අප ඉදිරියේ තිබියදීත්, සාලාව සිද්ධියේදී නිවාස සහ දේපළ අහිමි වූ ජනතාවට කිසිවක් කරකියා ගත නොහැකි තත්ත්වයක සිටියදී රුපියල් බිලියනයකටත් වැඩියෙන් මුදල් වියදම් කර මැද පෙරදිග වහලියන්ගේ ලෙයින් සහ කඳුලින් උපයා ගත් මුදල්වලින් මෙවැනි මුල්‍ය අපරාධයක් කළ හැක්කේ රනිල් වැනි අසංවේදී දේශපාලඥයෙකුට පමණි.

      The question is am I better off now than during Mahinda's tenure. The clear answer is NO.

      මීළඟට පවත්වන මොනයම් හෝ මැතිවරණයක දී මගේ ඡන්දය බොරු යහපාලනයට නම් නොදෙමි.

      Ranil is living on a cloud. He must be taught a lesson. I will use my vote against his party.

      Thanks for reading my comment.

      Delete
  3. //සිවිල් සංවිධානවල සිටින පුද්ලයින් හා පැරකුම්ලාවැනි වෘත්තිය ලියන්නන් සැබවින්ම යහපාලනයක් වෙනුවෙන් පෙනිසිටින්නේනම් ඔවුන්ගේ හැකියාවන් සැබෑ යහපාලනයක් වෙනුවෙන් අවශෝෂණය කරගත හැකි සංවිධාන යාන්ත්‍රණයක් සකස්කර ගැනීමට අවශ්‍යයය.//

    මේ ලියන වැඩේ නිසා ඒකට වෙලාවක් නැත. මන්ද, ඔය කීවාට මේකට සිරිකොතෙන් සල්ලි ලැබෙන්නේ නැත. එකවුන්ට් එකට ඩොලර් වැටෙන්නේ ද නැත. ඒවා දෙනවාට මං අකැමැති නැති ය කීවත් කිසිවෙක් දෙන්නේ නැත. දරු පවුල් නඩත්තු කරන්නට ද මොනවා හෝ කුලී කුරක්කමක් කරන්නට සිදු වී ඇති නිසා සංවිධාන හදන්නට මට නම් වෙලාවක් නැත.

    සංවිධාන හදන අයට සපෝට් එකක් දෙන්නට පුළුවන. ඔබ පටන් ගන්න.

    ReplyDelete
  4. ලැකාන්, හුකාන්... ඇයි එතකොට කක්කා කියලා එකෙකුත් ඉන්නවා නේද...?

    ReplyDelete
  5. ලැකාන්, ජිජැක්, ශිශෙක්,ඩේවිඩ්, ගොලායත් වගේ මොකෙක් හරි කිව්වා ය කියල නොවෙන්නං හෙජමනිය ගැන කතා කරන්නෙ. ඔය හෙජමනිය කියන එක බගමනිය වගේ එකක්ද කියල මම ඇහුව කියල අර යහපාලනේට කඩේ ගිය සමනලී නංගිට මළ පැනල කිව්වෙ නැතැයි, වයසට ගියාට වැඩක් නෑ..හදාරල එන්න කියල.

    ReplyDelete
    Replies
    1. //හෙජමනිය කියන එක බගමනිය වගේ එකක්ද//
      හිනා ගිය පාර දයලෙක්තික භෞතිකෙත් හෙල්ලුනා.. හෙහ් හෙහ්
      ජයවේවා..!!

      Delete
  6. Please do keep writing. Your writings have been insightful for me as a young person.

    ReplyDelete
  7. මුද්‍රණය කරලා දෙන්න විදියක් නැති නිසා මට පුලුවන්‍ විදිහට මම ෆෝන් එකෙන් අනිත් අයට බලන්න දෙනවා. ඒවගේම පුලුවන්‍ විදිහට බොලොග් ගැන දැනුවත් කරනවා . සුළුවෙන් හරි පටන් ගන්න ඕනේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා