අයර්ලන්තෙ ගියයි කියන අනුර ජනාධිපති කරමු. බිව්වයි කියන විජිත අගමැති කරමු.

පිංතූර බලා බීලා ද නැද්ද කියන සාත්තරය අපි දන්නේ නැත.  
මේ දවස්වල විජිත නිසා ජවිපෙ නැවතත් මාතෘකාවක් වෙලා. ඒකට හේතුව පොඩි ක්‍රෑෂ් එකක්. ඒ වුණාට, ඒක හරියට උඩින් ගිය රහතන් වහන්සේ කෙනෙක් ගෑනු නාන තොටක් ගාවදි ක්‍රෑෂ් ලෑන්ඩ් වුණා වගේ සිද්ධියක් වෙලා. 

ඒ නිසා මම ටික දවසක ඉඳලා ලියන්න අදහස් කරමින් සිටින අදහසක් ලියන්නයි හදන්නේ.

අපි වගේ ම ජවිපෙත් මහින්දව පන්නලා මේ ආණ්ඩුව ගෙන එන්නට උර දුන් අයයි. ජවිපෙ සුපුරුදු විදියට ම 2005දී කළා වගේම ආණ්ඩුව බලයට ගෙනත් ඉන් පසු එය පෙරළන හැටි ගැන කතා කරන්නට පටන් ගත්තා. 

අපි තවමත් මේ ආණ්ඩුවට විවේචනාත්මක සහාය දෙනවා. ඔවුන් අත ගසා තිබෙන්නේ ඉතා දුෂ්කර අභියෝගයකට බව අපි දන්නවා. ඒ නිසා අපි ඉවසනවා. 

ලංකාවේ තිබෙන ගැටලුව අපි දකින්නේ මෙහෙමයි. අපි මේ ගැන මීට කලින් ඉඳලාම සාකච්ඡා කරලා තිබෙනවා. 


  • ලංකාවේ ශක්තිමත් ධනපති පංතියක් හෝ සංවිධිත කම්කරු පංතියක් නැහැ. 
  • ලංකාවේ පවතින්නේ මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර ක්‍රමයක්
  • ලංකාවේ වාමාංශික පක්ෂ, කණ්ඩායම්, පුද්ගලයන්, බුද්ධිමතුන් විසින් ගොඩනගලා තිබෙන්නේ මධ්‍යම පංතික විඥානයක් මිස කම්කරු පංතික විඥානයක් නෙමෙයි. ඒ නිසා පවත්නා වමෙන් විප්ලවීය කාර්යභාරයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඔවුන් සිංහල, දෙමළ ජාතිවාදයේ ගොදුරු බවට පත් වෙන එකත් මේ ඔස්සේ ම විග්‍රහ කර ගන්නට පුළුවන්.
  •  දීර්ඝ කාලයක් තිස්සේ රටේ මුල් බැස තිබුණු ඝාතන සංස්කෘතිය නිසා අපට මේ වන විට හොඳ නායකයන් නැහැ. එවැනි නායකත්වයන් පිළිබඳ අංකුරවත් දකින්නට ලැබෙන්නේ නැහැ. 
  • ලංකාව සිර වී තිබෙන සංවර්ධන උගුලෙන් ගොඩ ඒම පිළිබඳ දැක්මක් තබා ඒ ගැන හරි හමන් සංවාදයක්වත් සමාජයේ නැහැ. ලංකාවේ මිනිසුන්ට සංවාද සංස්කෘතියක්වත් නැහැ. මූලිකව ම අනෙකාගේ අදහස ග්‍රහණය කර ගැනීමට වඩා එයට පිළිතුරු දීම වැදගත් කොට සලකන සංස්කෘතියකයි අප ඉන්නේ. 
  • ලංකාව ඉතා භයංකර විධියට මිථ්‍යාව තුළ ගිලෙමින් පවතින විද්‍යාව පිටු දකින සමාජයක් බවට පත් වෙමින් තිබෙනවා.


මේ තත්වය ඇතුළේ අපි දේශපාලන ක්‍රියාමාර්ග විදියට තෝරාගෙන තිබෙන්නේ පහත දැක්වෙන දේවල්:


  • අපි කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙන්නේ නැහැ. සෑම පක්ෂයක් හා ව්‍යාපාරයක් දෙස ම විවෘත ඇසකින් බලන ගමන් ඔවුන් සමග සංවාදගත වෙනවා. ඇදහිලි පිටු දකිනවා. ගරුසරු නැතිව විවේචනය කරනවා. අවශ්‍ය නම් එක්ව වැඩ කරනවා.
  • හැම විට ම දේශපාලන සංවාද දිරි ගන්වනවා. විශේෂයෙන් ම පීඩිතයන්ට කතා කරන්නට ඇති බාධකවලට එරෙහිව අපි සටන් කරනවා. දේශපාලන සංවාදය සියලු පාර්ශ්වකරුවන්ගේ ප්‍රජාතාන්ත්‍රික සහභාගිත්වයෙන් යුතුව සිදු විය යුතු එකක් බවයි අපේ විශ්වාසය.
  • අවිද්‍යාවට, මිථ්‍යාවට, ආගම්වලට (මාක්ස්වාදය ද ඇතුළුව), ආගමික කල්ලිවලට (දේශපාලනික ආගම් ද ඇතුළුව) විවෘතව නැගී සිටිනවා. 
  • ලංකාවේ අර්බුදයේ වගඋත්තරකරුවන් අතර ජනතාවට තිබෙන වගකීම අපි අවධාරණය කරනවා. අපි ජනතාව සුරතල් කරන්නෙ නැහැ. සබුද්ධික වීම, විනයගත වීම ජනතා වගකීමක් ලෙස අවධාරණය කරනවා.
  • සමාජවාදය කියලා අප නම් කරන්නේ මීට වඩා යහපත් සමාජයක්. ඒ වෙනුවෙන් අපි සංවාදයක් ගොඩනගනවා. ඒ වගේ ම සමාජවාදී ජීවිතයක් ප්‍රවර්ධනය කරනවා. අප ලියන බොහෝ දේ ඇතුළේ තිබෙන්නේ ඒක. 

සම්මත දේශපාලනයට හුරු පුරුදු වෙලා තිබෙන අයට අපව තේරුම් ගන්න අමාරු ඒ නිසායි.

ඉතින් අපි ආපහු ප්‍රස්තුතයට යමු. 

අපි මේ ආණ්ඩුවට උපකාර කරනකොට අපේ මූලික අවධානයක් යොමු වුණේ රනිල්ට බව බොරුවක් නෙමෙයි. හේතුව මේ ආණ්ඩුවේ දැක්මක්, බුද්ධිමය පෞරුෂයක් තිබෙනවා නම් තිබෙන්නේ රනිල් ළඟයි. එහෙත්, ඔහුගේ දක්ෂකම් වගේ ම උපන් ගෙයි අඩුපාඩුකම් මේ ආණ්ඩුව තුළත් ඔහු ඒ අන්දමින් ම පෙන්වනවා. 

විශේෂයෙන් ම ඔහු සමීප කරගෙන සිටින පිරිස ගැන අපට කියන්නට තිබෙන්නේ එක වාක්‍යයයි. ඔහුට ඉන්නේ නියම පාපමිත්‍රයන් පිරිසක්. කරුමෙට ඔහු එය දන්නෙ නැහැ. එය ඔහුගේ ජීවිතාවබෝධයේ හා සමාජානුයෝගයේ ගැටලුවක් වෙන්න ඇති. එය ඔහුගේ නායකත්ව පෞරුෂයට දැඩිව බලපානවා. 

අනෙක් පැත්තෙන්, ලංකාව වගේ පසුගාමී දේශපාලන සමාජයකදී පුළුල්ව විහිදෙන සංවිධායකයකු වන්නට නායකයාට හැකි විය යුතුයි. මේ ලක්ෂණය මහින්ද ළඟ තිබුණා. ඔහුට නො තිබුණේ බුද්ධියයි. ඒ වගේ ම ඔහුට වින කළ අනෙක් දෙය වුණේ පවුලයි. ඔහුගේ පවුලේ ඉන්නේ ඔහුට වඩා හැම අතින් ම පසුගාමී ග්‍රාම්‍ය මිනිසුන් ටිකක්. 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගැන නම් කතා කරන්නට ලොකු දෙයක් තවම පෙන්නුම් කරලා නැහැ. ඔහු සදාකාලික ආධුනිකයෙක් වගේ. රනිල්ගෙන් තොරව ස්වාධීන නායකත්වයක් ඔහුට නැති බව පැහැදිලියි. ඔහුගේ පක්ෂය මේ වන විට තිබෙන තත්වය තුළ තව දශක ගණනාවක් යන තෙක් ඔවුන්ට තනි දේශපාලන බලයක් දිය යුතු යයි පෙනෙන්නේ නැහැ.

ඉතින් මේ කතා ටික ජවිපෙට අදාළ වෙන්නෙ කොහොම ද?

ජවිපෙ 2020දී ආණ්ඩුවක් පිහිටුවීම ගැන කතා කරනවා. මම නම් කියන්නේ 2020දී අපි ජවිපෙට ආණ්ඩුවක් පිහිටුවන්නට උදව් කරන එකේ වරදක් නැහැ. ඒකට හේතුවක් තිබෙනවා. මොන ගැටලු තිබුණත්, රනිල් 2020 වන විට යම් දුරකට ආර්ථිකය යම් දුරකට ගොඩ ගනියි කියලා හිතන්නට පුළුවන්. ඔහු කලින් බලයේ සිටි අවස්ථාවලත් එය කළා. රනිල් ගන්නා ආර්ථික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කියන්නට තිබෙන්නේ සරල (මා කලින් පාවිච්චි කළේ සරළ කියා ය. මෑතදී එක් මාක්ස්වාදියකු විශිෂ්ට ලේඛනයකින් අයෙකු මගේ වරද පෙන්වා දුන්නේ ය. මාක්ස්වාදීන්ගේ වරද වන්නේ දේශපාලනය ගැන එවැනි විශ්ලේෂණයක් කරන්නට අසමත් වීමයි) අදහසකි. 

ලංකාවේ ධනේශ්වර ආණ්ඩුවකට ඒ හැර වෙනත් කරන්නට දෙයක් නැත. 

ලංකාවට බලපාන අතිශය මූලික ගැටලුවක් වන්නේ විනයගත ජනතාවක් නැතිකමයි. විනයක් නැති ජනතාවක් එක්ක රටක් හදන්න බැරි බව රනිල් තේරුම් අරගෙන ඇති බවක් අපට පේන්නෙ නැහැ. එහෙම තේරුම් ගත්තා නම්, බදු වැඩි කරනවා වගේ ම ඒ වෙනුවෙනුත් බරක් තබන්නට ඕනැ. අධ්‍යාපනය, මාධ්‍ය ආදිය ඒ වෙනුවෙන් යොදා ගන්නා බවක් අපට පේන්නෙ නැහැ. ඒකට මූලික හේතුව දැක්මක්, ප්‍රතිපත්තියක් නැතිකමයි. 

ජවිපෙ විසින් අවධානය යොමු කර තිබෙන මූලික කාරණයක් වන්නේ සිය පාක්ෂිකබලවේගයේ විනයයි. 

මැයි රැළියෙන් පසු පිට්ටනිය පිරිසිදු කිරීම, අනුරගේ, විජිතගේ සුළු සුළු හුටපට සම්බන්ධයෙන් මැරෙන්නට හැදීම වැනි දේවලිනුත් එය හොඳින් නිරූපණය වෙනවා. 


එහි වැදගත් දේශපාලන අදහසක් තිබෙනවා. ඒත්, ක්‍රියාකාරිත්වයේදී එය ඉතා ප්‍රාථමිකයි. උදාහරණයක් විදියට මැයි රැළියෙදි පිට්ටනියෙ කුණු අහුලපු ජවිපෙ දවස් කීපයකට පස්සෙ දිවයිනට ප්‍රචාරය දෙන පෝස්ටරයකින් මුළු ලංකාවෙම බිත්ති කැත කළා.

ජවිපෙට පුළුවන් ජනතාව විනයගත කිරීම දැන් ඉඳළා ම පටන් ගන්න. හැබැයි දැනට ඔවුන් කරගෙන යන විදියෙන් නෙමෙයි. 

මූලිකව ම ජවිපෙ තමන්ගේ පාක්ෂික බලවේගය ආගමික ස්වරූපයෙන් මුදවා ගන්නට උත්සාහ කළ යුතුයි. තමන්ගේ නායකයන් හා පක්ෂය ගැන අන්ධ විශ්වාසයක් ඇති මිනිසුන් වෙනුවට අවබෝධ කර ගත්, ප්‍රායෝගික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් අචල ඇපකැපවීමක් ඇති මිනිසුන්වයි ගොඩනගන්නට ඕනැ. 

ඒ වගේ ම, මේ සංවාද ලෝකයට විවෘත වෙන්නටත් ඔවුන් පුරුදු පුහුණු කළ යුතුයි. ජවිපෙ බලවේගයට තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ඔවුන්ට විවේචන දරා ගන්නට හැකියාවක් නැතිකමයි. 

ජවිපෙ නායකයන් කවුරුවත් සුවිශේෂ දක්ෂයන් හෝ නායක පෞරුෂයන් ඇති අය නො වන බව අඩු ගණනේ නායකයන් හෝ තේරුම් ගත යුතුයි. ඒ නිසා සාමූහිකත්වය මිස පුද්ගලයන් ප්‍රවර්ධනය කිරීම තේරුමක් නැහැ. 

සාමූහිකත්වය ගොඩනැගීම කියන්නේ පුළුල් වීමයි. ඒ වෙනුවෙන් ජවිපෙ ඔය ඊනියා ආගමික පිට කට්ට බිඳ දාන්න ඕනැ. තමන්ගෙ පාක්ෂිකයන් අාගමික බැතිමතුන් පිරිසක් ‍බවට නෙමෙයි පත් කළ යුත්තෙ. සමාජ නායකයන් පිරිසක් බවටයි. 

මේකත් මතක තියා ගන්න. බිම් මට්ටමේ ජවිපෙ සාමාජිකයන් කියන්නෙ සමාජයේ ගෞරවය දිනා ගත් පිරිසක් නෙමෙයි. ඔවුන් ඇතැම් කාරණාවලදි සාමාන්‍ය ජනතාවට වඩා බොහෝ පසුගාමියි. 

ගංවතුර අවස්ථාවෙදි ජවිපෙ අනාථ වූවන්ට සහන සලසන්නට මහ පොළවට බැස්ස ආකාරය විශිෂ්ටයි. එය දේශපාලන ප්‍රොපගැන්ඩාවක් ලෙස ලඝු කරන්නට බැරි වුණත්, එහෙම වුණත්, එය නරක දෙයක් නෙමෙයි. 

මේක මැයි දිනයට, ආපදාවන්ට පමණක් සීමා කරන්නට එපා. ලෝකයට, රටට, මිනිසුන්ට, පරිසරයට ආදරය කරන අලුත් සංස්කෘතියක් ඇති කරන්නට මේ වැඩ පිළිවෙල යොදා ගන්නට පුළුවන්. අද වන විට, ගම්වල, නගරවල පොදු වැඩ, සමාජ සේවා සංවිධාන කටයුතු අන්තයට පිරිහිලා. ඒවා දන්සැල් දීම, පන්සල්වල පිංකම් වැනි හරසුන් සංදර්ශනාත්මක වැඩවලට සීමා වෙලා. ගම, නගරය, පාර, වෙරළ, පරිසරය ලස්සනට තියා ගන්න, පැළ සිටුවන්න, නැති බැරි අයට නෙමෙයි දිරිය මිනිසුන්ට උදව් කරන්නට වැනි දේවලට යොමු වෙන සමාජ සේවා සංවිධාන ගොඩනගන්නට ජවිපෙට පොළවට බහින්නට පුළුවන්. 

අද වන විට බොහෝ දෙනෙක් සියලු දේ කරන්නේ මීඩියා කැමරාවලටයි. ජවිපෙටත් දැනට නම් අවශ්‍ය තමන් වැඩ කළා ය කියලා මාධ්‍යවලින් පෙන්වා ගන්නට විතරයි. ඒත්, දැන් මිනිස්සු ඕවාට රැවටෙන්නේ නැහැ. ඇත්ත වෙනස්කම් ඇති කරන්න නම් බිම් මට්ටමෙන් ම මැදිහත් වෙන එකයි කළ යුත්තේ. 

රනිල් අවස්ථාවක් ඉල්ලමින් හිටියා. අපි දුන්නා. ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න එයා සමත් වෙයි ද කියන එක එයාගේ ප්‍රශ්නයක්. ජවිපෙත් කලක සිටම අවස්ථාවක් ඉල්ලමින් ඉන්නවා. ඒක දෙන එකේ වරදක් නැහැ. ඒත්, ඒ අවස්ථාව හරවත් අන්දමින් භාවිතා කරන්නට නම් මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනැ. 

ඔබට තව ගොඩක් දුරයි සහෝදරයිනි. ඒ වුණාට ගමන පටන් ගන්න, බල බලා නො ඉඳ. අපෙන් සුබපැතුම්! 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ජවිපෙ ගැන පැරාට තියන විවේචනය එක්ක එකඟයි. නමුත් මම නං හිතන්නෙ නෑ පැරා කියන ආකාරයේ වෙනසකින් වුවත් ජහමනයා වෙනස් වෙයි කියල. උදාහරණයක් විදියට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවෙ බලය ජවිපෙට ලැබුන වරක්(හෝ දෙවරක්). ඔවුන් එහි නරක යැයි කිව නොහැකි විදියේ පාලනයක් ගෙනිච්ච. පොල බදු නැවැත්වීම වගේ කලහැකි පොඩි පොඩි වැඩ ටිකක් කලා. නමුත් ඊලඟ ඡන්දයෙදි 'ජාතික මට්ටමේ සුලඟට' හසුවෙලා මිනිස්සු ඔවුන් ගෙදර යැව්ව. ඒක ජවිපෙ වැරැද්දක්මත් නෙවේ. මිනිස්සු ඉල්ලන පාලකයන් තමයි මේ ලැබිල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අන්න හරි, ජවිපෙ බලය ගැන හිතන්න නම් ඊට කලින් රටෙන් කාලකවත් ඔලු ගෙඩි හදන්න ඕනෙ

      Delete
    2. ජවිපෙ විකල්ප අදහසක් සමාජගත කරන්නට හදනවාට වඩා කරන්නේ එදිනෙදා පැවැත්ම සඳහා මොන මොනවා හෝ කරමින් පැවැත්ම සඳහා යම් පිරිසක් නඩත්තු කර ගැනීමයි. ඒක වුණත් අමාරු දෙයක්. ජවිපෙට ඒක තනියම කරන්න කොහොමත් බැහැ. ඒ වගේ ම ඒ උවමනාව තිබෙන රටේ ඉන්න අනෙකුත් පිරිස් කළමනාකරණය කර ගන්නත් ජවිපෙට හැකියාවක් නැහැ. ජවිපෙ දේශපාලනික ජනතාවට බයයි. ඇදහිලිවන්තයන්ට තමයි කැමති.

      Delete
    3. මිනිස්සුන්ව ජවිපෙට හරවගන්න අවශ්‍යතාවක් නෑ.
      ඒ කරන්නත් බෑ. නමුත් මිනිස්සුන්ව පොදු යහපත් අරමුණක් වෙනුවෙන් ඒකරාශී කරගත යුතුයි සහ ඒක කරන විදියක් ගැන ඔයිට වාඩා ප්‍රායෝගිකව කල්පනා කල යුතුයි

      Delete
    4. ඇදහිලිවන්තයින් සහ ගිරව් වෙනුවට ප්‍රායෝගික මිනිසුන් තුලින් ජවිපෙ ජනතාවට සමීප වෙන්න උත්සාහ කල යුතුබව මගේ අදහසයි.

      Delete
  2. ඊට වඩා හොඳයි බං උඹව ජනාධිපති කරල උඹේ අර ඉංගිරිසි ගෝලයාව අගමැති කරානන්

    ReplyDelete
    Replies
    1. ඕක කරල තියෙන එවුන්ගෙ හැටියට මට වුණත් ඕක කරන්න බැරිකමක් නැහැ.

      Delete
    2. දැන් කරන එකාට වැඩිය හොඳ එකෙක් පොල් පිත්තකිනුත් කපා ගන්න පුලුවන්..

      Delete
    3. කලින් එකායි, ඊට කලින් එකීයි, ඊටත් කලින් එකායිත් එහෙම තමයි. හැබැයි ඊට කලින් හිටපු එවුන් දෙන්නා වෙනස්.

      Delete
  3. ජෙප්පන්ට හොඳ වැඩක් තියෙනවා කරනවා නම්... මෑතක ජනප්‍රිය වෙලා ඉන්න සිවිල් පොරවල් එක්ක සෙට් වෙන එක... ඒක මහ ළොකු දෙයක් නෙමෙයි... හැබයි ජෙප්පෝ කැමති වෙන එකක් නෑ... මොකෝ එයාලට මාර පොර මේනියාවක් තියෙනවා නේ....

    අනික් ප්‍රචාරක ලේඛම් කම සමන්ත විද්‍යාරත්නට දෙන්න ඕන... එයා දන්නවා හදවතට කතා කරන්න.. විජිත්ට ඒ ටැලන්ට් එක නෑ.... සමන්ත පක්ෂ විපක්ෂ හැම එකාගෙම හදවතට කතා කරනවා...

    ReplyDelete
    Replies
    1. සමන්ත විද්‍යාරත්න කතා කරන ශෛලියට ගැහැනු ටිකක් අකැමැතියි වගේ පේනවා. ඒ සාධක වුණත් සලකා බලන්න වෙනවා. මොකද 51%ක් ගෑනුනේ. ඒ ශෛලිය වෙනස් කරගන්න බැරි නැහැ. දැන් ඔය පෙසප චමීර කොස්වත්තලා එහෙම විජේවීර කතා කරනවා වගේ කතා කරන්න පුළුවන්කම හදාගෙන තියෙන්නෙ. නන්දා මාලිනී වගේ සිංදු කියන කොල්ලොත් හිටියෙ.

      ජවිපෙට පොර මේනියාව නැතුව පවතින්නට බැහැ. හේතුව ජවිපෙ පවතින්නේ පූර්ණකාලීනව දේශපාලනය කරන, සභාවකටවත් තේරී පත්වෙන්නට අවස්ථාවක් නො ලැබෙන, කොට අදින අලි ටික නිසායි. උන්ට පුහුණු කම්කරුවකුගේ සාමාන්‍ය වැටුපවත් ගෙවිය යුතුයි. නැතිනම් උන් ඇරියස් ඉල්ලනවා.

      ඔය අනුරලා, විජිතලා එහෙම ගොටුකොළ, දෙහි ගෙඩි, තාත්තගෙ පැන්ෂන් එක, සහෝදරියගේ හෙවත් බිරිඳගේ රෙදි මැහිල්ල අරවා මේවා හයිලයිට් කරන්නේ ඒ නිසා.

      Delete
  4. //ලංකාවට බලපාන අතිශය මූලික ගැටලුවක් වන්නේ විනයගත ජනතාවක් නැතිකමයි. විනයක් නැති ජනතාවක් එක්ක රටක් හදන්න බැරි බව රනිල් තේරුම් අරගෙන ඇති බවක් අපට පේන්නෙ නැහැ.//

    2001 දී රනිල් බලයටපත් වෙනකොට හෝ එම ජන්ද වෘපාරයේදී කිව්ව දෙයක් මට තවම මතකයි. " මම ඉස්සරලම කරන්නේ රටේ විනය හදන එක" එහෙම දෙයක් ඔහු කිව්වා. මේක මට අද වගේ මතකයි. මොකද මා වඩාත්ම ප්‍රියකල දේ තමයි ඔය විනය හදන්න ඕනෑ කියන දේ. ඒත් අවාසනාවකට රනිල් හිටපු ඒ අව්රුදු දෙකේදී විනය හැදීමක් වුනේ නෑ. ඔහු ඒක දැන්වත් කරන බවක් පේන්නේ නෑ !

    ReplyDelete
  5. අනේ ඔයි විනය හදන වැඩේ නම් කාටවත් බාර දෙන්න එපා, බාර ගත්ත අය ඒක තකල විතරත් නිකා ඉන්නෑ හපලත් කනවා. විනය නැති මිනිස්සුන්ට විනය කියල දෙන එක පාලකයන්ට බාර නොදී ජනතාව ගේ වගකීමක් කරගන්න වෙනවා, එහෙම වෙන්නේ ආර්ථික ක්‍ර‍මය වෙනස් වෙලා මිනිස්සු ඒකිය සත්තුවුනාම, සමාජවාදෙට වත් ආසියාවේ නෑදෑ සනුහර අර්ථක්‍රමේටවත් ඒක කරන්න බෑ.

    ReplyDelete
  6. මේ දවස් වල තියෙන ලොකුම සමාජ ප්රශ්නය විජිත හේරත් සහෝදරයා වාහනය එලෙව්වේ බීලද නැද්ද කියන එක. මම මගේ මතකය කියන්නම්. අපි පක්ෂේ වැඩ කරන කොට බිව්වේ නැහැ. බියර් එකක්වත් බිව්වේ නැහැ. අඩුම තරමේ සිගරට් එකක්වත් බිව්වේ නැහැ.
    ඔය වැඩේ 2005 විතර වෙනකම් සිද්ධ වුනා. මම ඩිලාන් ලග වැඩට ආවේ 2005. ඊට පස්සේ ටික කාලයක් ගෙවුනහම හීනියට බියර් එකක් ගත්තා. ඒකත් කගේ ඩිලාන්ගෙ ඩ්රයිවල්ලත් එක්ක. ඊටත් පස්සෙ තමයි මොළා, තෙන්නේ, ශාන්ත වගේම අපේ ගමේ අහල පහල උන් එක්ක බියර් බොන්න ගත්තේ.
    මුලින්ම සැර බීමක් ගත්තෙ අබුඩාබියෙදි. ඒ 2012 දී.
    දැන් මම ඉදහිටලා හීනියට කසිප්පු හැර ඕන බීමක් ගන්නවා. හැබැයි පමණ දැන.
    ඒ වගේම ඕන තරම් බොන්න තියෙද්දි බින්දුවක්වත් නොබී එලිවෙනකම් කයිය ගහන්න මට පුළුවන්. අපි බොහෝ දෙනෙකුටත් පුළුවන්.
    අපි පක්ෂයෙ ඉන්න කොට බොන්න එපා කියලා කව්රුවත් කිව්වෙ නැහැ. අපි බිව්වෙ නැත්තෙ සල්ලි නැති නිසා. අතේ තියෙන සල්ලි පූජනීයයි වගේ හැගීමක් අපිට තිබුණා. සල්ලි වැය කරන්න ඕන තරම් ප්රමුකතා ලැයිස්තුවක් අපිට තිබුණා. ඒ නිසා අපි මුදල් වියදම් කළේ අසීමිත පරිස්සමකින්.
    සිගරට් නම් අපි බොහෝ දෙනෙක් අදටත් බොන්නේ නැහැ. මමත් එහෙමයි.
    මම ජීවිතයට සිගරට් එකක් බිවිවේ එක සැරයි. ඒ 1989 දවසක කිරිබත්ගොඩ හංදියෙදි. මට දැනුණා CID කාරයෙක් මගේ පස්සෙ එන බව. මම ලගම තිබුණ කඩයෙන් සිගරට් එකක් අරගෙන ඉරුවා. මෑන් ටිකක් වෙලා ඉදලා යන්න ගියා. මම කැහැල කැහැලා සෙමත් දැම්මා. ඔය කථාව ඒ කාලේ අපේ අය අතර හොද ජෝක් එකක් විදිහට සැලකුවා.
    මම කියන්නෙ අදටත් පක්ෂය ඇතුලේ බොහෝ දෙනෙක් සිගරට් අරක්කු බොන්නෙ නැහැ. මම ඒක දන්නවා.
    මම දන්න තරමින් පක්ෂය තුළ එහෙම කරන්න තහනමකුත් නැහැ. නොබිදන්න සිල් පදයකුත් නැහැ. පක්ෂය ඇතුලේ ඉන්න අයට ඔය කෙහෙල්මලට වඩා හිතන්න කරන්න වැඩ හුගක් තියෙනවා. අපි කැමති උනත් නැතත් ඒ අය ඒ වැඩ කරගෙන යනවා.
    හැබැයි එලියෙ උන්ට මේවා මාර සිරා ප්රශ්න. විජිත බිව්වද නැද්ද කියන එක ප්රශ්නයක් වෙන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නැහැ. හුග දෙනෙක් පක්ෂයේ සංස්කෘතිය දන්නෙ නැහැ. දන්න උනුත් කියන්නෙ නැහැ.
    ජවිපෙ ට ගහන්න හෝ අවංකව විවේචනය කරන්න හරි කාට හරි ඕනනම් මේ වගේ නොදන්න විහිළු බදා ගන්න හොද නැහැ. නිශ්චිත දේශපාලන ප්රශ්න ඉදිරියෙහි එයාලගෙ ක්රියා හෝ ප්රතික්රියා දිහා බැලිය යුතුයි. එයාලව විවේචනය කරද්දි අතිශය පරිස්සම්කාරීව ඒක කළ යුතුයි. පොඩ්ඩ එහෙ මෙහෙ වුනොත් විවේචකයයි. විවේචනයට ලක්වන්නයි දෙන්නම අතුගෑවෙන්න ඉඩ තියෙනවා.
    මටත් එහෙම වුණා.
    ඒ නිසා මම නම් කියන්නෙ විජිත හේරත් සහෝදරයාට පුළුවන්නම් , විජිත හේරත් සහෝදරයාට ඕනනම් බීපුදෙන්.
    ඒ වගේම කියන්න ඕන මම දන්න තරමින්නම් විජිත සහෝරයා බොන්නෙ නැහැ. හැබැයි මහන්සි වුනහම එයාට තියෙන්නෙ බෙබදු මුහුණක්. තැති ගැනුනහමත් එහෙමයි. මම ඒක දන්නේ කාලයක් එයාව හොදින්ම දැනගෙන හිටපු නිසා.
    මට නම් විජිත සහෝදරයාගේ ප්රශ්නෙදි මතුවෙන්නෙ වෙන දෙයක්.
    මේ සිද්ධිය වුණ වෙලාවේදි ලග හිටපු අය ඒක විඩියෝ කරලා තිබුණා. ඒක සමාජ වෙබ් අඩවි වල වෛරල් එකක් විදිහට පැතිරෙනවා. මමත් ඒක දැක්කා. ඇහැව්වා. එතැනදී වටවුණ අය "කුණු හරුප භාෂාවෙන් " බනිනවා අපිට ඇහෙනවා. මේක සලකා බැලිය යුතු කරැණක්. ඇයි මිනිස්සු ජවිපෙ මන්ත්රි කෙනෙකුට "කුණු හරුප භාෂාවෙන් " ප්රසිද්ධියෙ බනින්නෙ.
    ජවිපෙ ඒ ගැන විමසලා බලන්න ඕනේ කියලයි මම හිතන්නෙ.
    ඒ වගේම වෙන දේශපාලකයකුගේ ලේකම් කෙනෙකුට හරි එහෙම බනින්න මිනිස්සු එඩිතර වෙයිද.
    අඩුම ගානෙ හොරෙන්වත් ඕක කව්රුවත් විඩියෝ කරන්නෙවත් නැහැ.
    මමනම් හිතන්නෙ එච්චර ජන්ඩි නැහැ. කාටවත් එහෙම හය්යකුත් නැහැ. මේ වගේ සිදුවීම් ඈත මෑත ඕන තරම් වෙලා තියෙනවනේ. අපි ඒවා දැකලත් තියෙනවනේ.
    එහෙම නම් ඇයි ජවිපෙ විජිත සහෝදරයාට විතරක් බනින්න මිනිස්සු චණ්ඩි වුණේ.
    මට හිතෙන විදිහට මිනිස්සු දන්නවා ජේවීපී කාරයෝ අනිත් උන් වගේ නෙමෙයි කියලා. එයාලගේ මූණට "කුණු හරුප භාෂාවෙන් " වුනත් බනින්න පුළුවන් කියලා.හරියට සාමාන්‍ය මිනිහෙකුට වගේ. ඒ නිසා කාටවත් අනතුරක් නොවී තියෙද්දීත් මිනිස්සු වීරයෝ වගේ ජවිපෙ විජිත සහෝදරයාට බැන්නා. එයත් කට වහගෙන උන්නා.
    දැන් අපි හිතන්න ඕන මෙහෙම වුණ එක හොදද නරකද කියලයි.
    මම තාමත් හිතන්නේ ඒ ගැන.
    මට තාම හරි හමන් උත්තරයක් හොයා ගන්න බැරි වුණා

    ReplyDelete
    Replies
    1. ///1989 සිගරට් බීපු කතාව//////

      අපි හිටිය ප්‍රදේශයේ 89 හැමතැනම චෙක් පොයින්ට්ස්. මම හැම තිස්සෙම ගමනක් යනකොට අරක්කු බාගයක් බෑග් එකේ දාගෙන යනවා. චෙක් කරන ආමි කොල්ලෝ කියන්නේ මූ ජේවීපී කාරයෙක් වෙන්න බැහැ..මූ බොන එකෙක් කියලා. එහෙම තමයි එදා.

      unknownගේ කමෙන්ට් එක කියෙව්වාම අවසානයේ ඔහු හිතන මෙහෙමවුන එක හොඳද නැද්ද කියන එකට නම්, මට හිතෙන්නේ එහෙමවුන එක හොඳයි කියලා. මිනිස්සුන්ට හයියක් තියෙන්න ඕන ජනතා නියෝජිතයාව ප්‍රශ්න කරන්නට. වෙන මන්ත්‍රියෙකුට ඔහොම වුනොත් ප්‍රතිචාරය වෙනස් බව දන්නවා. නමුත් ඒ සිදුවීම හොඳයි.

      Delete
    2. යකෝ බීවට කමක් නෑ, බීලා වාහන එලවන්න යන එකයි ප්‍රශ්නේ.

      Delete
  7. සෝවියට් දේශයේ බිඳ වැටීමේ සිට වෙන රටවල බලයට ආව වමේ පක්ෂ ඒක කලේ Center Left ආර්ථික ප්‍රතිපත්ති වලට මාරුවෙමින්. 1994 දී චන්ද්‍රිකා "විවෘත ආර්ථිකය මානුශික මුහුණුවරකින්" කියල ආවේ ජනතාව 1988 චන්දෙ වෙනකන් ඔවුන් හිටපු සමාජවාදී ආකෘතියට යන්න අකමැති නිසා. ප්‍රධාන පක්ශ දෙකේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගත්තත් ඔවුන්ගේ අවංක භාවය පිළිබඳව තමයි ජනතාවට ප්‍රශ්ණ තියෙන්නේ. ඒ අනුව ඔවුන් ජවිපෙ පිළිගන්නෙ විවෘත ආර්ථික ප්‍රතිපත්ති ගෙනියන රජයක හොරකම් පාලනය කිරීමේ අවයවයක් විදිහට.

    අනික් පක්ශ වලට නැති reputation එකක් තියෙන ජවිපෙට Center Left ආර්ථික ප්‍රතිපත්තියකට මාරුවෙන්න හැකියාවක් තියෙනවද කියන එක මම දන්නේ නැහැ. හැබැයි ඒක පමණමයි ජවිපෙ බලයට එනවනම් එන්න තිබෙන එකම පාර.

    එහෙම වුණොත් යූ එන්පී විරෝධී එහෙත් සමාජවාදයට විරෝධී අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දෙන ජනතාව ජවිපෙ පැත්තට ගන්න එක අපහසු නැහැ. සමහර එජාප අය වුණත් අවංක දේශපාලකයන් ගෙනියන විවෘත ආර්ථික ප්‍රතිපත්ති තිබෙන පක්ෂයකට අමාරුවෙන් හරි හැරීමට සම්භාවිතාවක් තිබෙනවා

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මේ අදහස ජවිපෙ විසින් සලකා බැලිය යුතු දෙයක්. සමාජවාදය අලංකාරිකයක් ලෙස තියා ගනිමින් ප්‍රායෝගිකව කළ හැකි දෙයකට යොමු විය හැකියි. චීනය, වියට්නාමය වුණත් කරන්නේ ඒක තමයි.

      හැබැයි, ජවිපෙ ඒකාධිපති තනි පක්ෂ ක්‍රමයකට රට ගෙන යන්න තිබෙන ඉඩ ගැනත් අපි සැලකිලිමත් විය යුතුයි.

      Delete
    2. පසුගිය දෙසිය වස තුළ නිෂ්පාදන ක්‍රමවේදයන්ගේ සිදුවූ වෙනස නිවැරදිව තේරුම් නොගන්නා තුරු ආගමික තත්ත්වයෙන් මිදෙන්න අමාරුයි. පසුගිය දවසක පළමු වතාවට ජවිපෙ ප්‍රාග්ධනය වෙනුවෙන් කතා කරනවා දැක්කා (ශ්‍රී ලංකන් සේවකයන්ට අයිති කොටස් ගැන නලින්ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවේදී කළ කතාව- පළමු වතාව නොවිය හැකියි. මම දැක්කේ පළමු වතාවට). එවැනි පොඩි වෙනස්කම් තිබුණත් ඔවුන්ට බලය ගැනීමටනම් ඔය දෙහි ගෙඩි, ගොටුකොළ තැන සිට තව සෑහෙන දුරක් යන්න වෙනවා. මා හිතන විදිහට එහි පළමු පියවර විය යුත්තේ සේවා ආර්ථිකය තේරුම් ගැනීම. ඒ සඳහා, මාක්ස්ලා කියන්නේ ඔවුන්ගේ යුගයේ පැවති තත්ත්වයන් අනුව අතීතය හා වර්තමානය දෙස බලා ඒ අනුව හැකි තරම් හොඳින් අනාගතය පුරෝකථනය කිරීමට උත්සාහ කළ සාමාන්‍ය පුද්ගලයෝ මිසක් තුන් කල් දක්නා නුවණැති අනාගත වක්තෘවරුන් නොවූ බව තේරුම් ගත යුතුයි.

      Delete
    3. //මාක්ස්ලා කියන්නේ ඔවුන්ගේ යුගයේ පැවති තත්ත්වයන් අනුව අතීතය හා වර්තමානය දෙස බලා ඒ අනුව හැකි තරම් හොඳින් අනාගතය පුරෝකථනය කිරීමට උත්සාහ කළ සාමාන්‍ය පුද්ගලයෝ මිසක් තුන් කල් දක්නා නුවණැති අනාගත වක්තෘවරුන් නොවූ බව තේරුම් ගත යුතුයි.//

      ++++++++++

      Delete
    4. මේක මම අරුණිගේ බ්ලොගයේදීත් ඇදගත්ත කොනක්.
      ///මාක්ස්ලා කියන්නේ ඔවුන්ගේ යුගයේ පැවති තත්ත්වයන් අනුව අතීතය හා වර්තමානය දෙස බලා ඒ අනුව හැකි තරම් හොඳින් අනාගතය පුරෝකථනය කිරීමට උත්සාහ කළ සාමාන්‍ය පුද්ගලයෝ මිසක් තුන් කල් දක්නා නුවණැති අනාගත වක්තෘවරුන් නොවූ බව තේරුම් ගත යුතුයි.////

      මාක්ස්, හේගල්, එතකොට අනිත්පත්තේ අයින් රෑන්ඩ්, බෝවෙර්ක් ඔය ඔක්කොම එහෙමයි හැබැයි. නමුත් මම නම් හිතන්නේ ඔවුන් දාර්ශනිකයන් කියල. ඔවුන් ලියු දේවල් කියවල බලල විවරණයක් දුන් නම් ඊට වඩා හොඳ නැත්ද එකෝනොමැට්ටා. ඔබට ආර්ථිකය ගැන හොඳ අවබෝධයක් තිබෙන බව පේනවා. නමුත් ඔබ වුනත් හැමදේම දන්නේ නැහැනේ. මම නම් හැම වෙලේම හිතන්නේ මම දනනවා අඩුයි කියල. මාක්ස්ට බනින්න කලින් මම අඩුම ගානේ ප්‍රාග්ධනය කියෙව්වා. මට තේරෙන විධිහට යම් පරිවර්තනයක් කරනන්ත් උත්සහ කලා . ඔහු විශිෂ්ඨ ලෙස ඒ දිනවා යුරෝපයේ ආර්ථික පදනම විස්තර කරලා තිබෙනවා. ඔහුගේ සමාජයන් පිලිබඳ පරිණාමය අදටත් මට නම් පිලි ගන්න පුළුවන්. හැබැයි ඔහුව ඔබ කියන ලෙස අනාගත වක්තෘ හෙවත් ආගමික ශාස්තෘ කෙනෙක් ගානට දැමීමෙන් ප්‍රශ්නයක් වුන බව නම් පිලි ගන්නවා. ඒ නිසා විවේචනාත්මකව බැලිය යුතුය කියන එකත් පිලි ගන්නවා.

      Delete
  8. //මම නම් කියන්නේ 2020දී අපි ජවිපෙට ආණ්ඩුවක් පිහිටුවන්නට උදව් කරන එකේ වරදක් නැහැ. ඒකට හේතුවක් තිබෙනවා. මොන ගැටලු තිබුණත්, රනිල් 2020 වන විට යම් දුරකට ආර්ථිකය යම් දුරකට ගොඩ ගනියි කියලා හිතන්නට පුළුවන්. //

    ඔන්න ඕක තමා වම්මුන්ගෙ කුහකකම.. රනිල් ජනප්‍රිය නොවන තීන්දු අරගෙන බැනුම් අහගෙන ආර්තිකේ යන්තමින් ගොඩ දැම්ම ගමන්ම ලෝකෙම අසාර්තක වෙච්ච සමාජවාදය ( මොන මුහුනුවරින් ආවත් ඕක ධනවාදයට වඩා අසාර්තකයි, අද ආර්තිකව පසුබැහැල තියෙන ග්‍රීසිය, ස්පාඥය වගේ යුරෝපීය රටවල තිබ්බෙත් සමාජවාදයෙ 'ඩිමොක්‍රැටිල්' වර්ශන් එක ) මේකෙ ඔබන්න කොහේවත් ඉන්න ජෙප්පන්ට දෙන්නද කියන්නෙ? ටිකක් නාල එහෙම එන්න වෙයි... 2020 දී රටේ විදායක බලය හිමි රාජ්‍ය නායකය වෙන්නේ රනිල්, ඊට පස්සෙ 2030 වෙනකම් රටේ තියෙන්නේ එජාප ආන්ඩුවක්.. 2030 පස්සේ හරිනම් ෆයිට් එක යන්න ඔනේ විමුක්ති කුමාරතුංග හා සජිත් ප්‍රේමදාස අතර, හැබැයි ඒව ගැන කියන්න දැන් කල් වැඩියි... කොහොම උනත් ආන්ඩු පිහිටුවන්න තියා 2020 දි ජෙප්පන්ට පාර්ලිමේන්තුවෙ ආසන 10 ගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්...

    ReplyDelete
    Replies
    1. මේ වෙලාවේ බලයට එන ඕනෑම පාලකයකුට සිදු වෙන්නේ ජනප්‍රිය නොවන තීරණ ගන්න. බලය ඉල්ලනකොට ඒක දැනගන්න ඕනැ. ඒ වගේ ම මේ වගේ ක්‍රියාමාර්ග ගන්නා අතර පවා ජනප්‍රියත්වය රැක ගන්න පුළුවන් රනිල් වටේ වට වෙලා ඉන්න හාල්පාරුවන් කෙළින පිස්සු නැත්තං. උදාහරණයකට මහින්දට කැහැ කැහැ හිටපු ජෝන්ට නාන්න ද අපි ළිඳ කැපුවෙ?

      රනිල්ට හෝ එජාපට දිගටම බලයෙ ඉන්න ඕනැ නම්, රට සංවර්ධනය කරන්නට පුළුවන් වෙන්න ඕනැ. ඒකට තමන්ගෙ අන්තේවාසිකයනන්ගේ සිට රටේ ම ජනතාව විනයගත කරන්නට වැඩ කරන්නට ඕනැ.

      Delete
  9. //ජවිපෙ ඔය ඊනියා ආගමික පිට කට්ට බිඳ දාන්න ඕනැ. තමන්ගෙ පාක්ෂිකයන් අාගමික බැතිමතුන් පිරිසක් ‍බවට නෙමෙයි පත් කළ යුත්තෙ.//

    ඒක කොහොමවෙතත් යන විදිහට වාහන ඩෑෂ් බෝඩ්වල පිලිම බෝ ගස් දාගැබ් අලව නොගෙන ඉඳීද කියලවත් හිතන්න අමාරුයි

    ReplyDelete
  10. ///////මේ තත්වය ඇතුළේ අපි දේශපාලන ක්‍රියාමාර්ග විදියට තෝරාගෙන තිබෙන්නේ පහත දැක්වෙන දේවල්://////////

    පැරා පහත දැක්වෙන දේවල් ලෙස සඳහන් කරනා පිලිබඳ, යහපත් සමාජයක් දැකීමේ සහ ඒ වෙනුවෙන් කුඩා තල්ලුවක් දෙන්නට හෝ කැමති අයෙක් ලෙස ඉහලින්ම එකඟයි. කල්ලිගතවීම තුලින් නම් මේ කිසිවක් කලහැකි වෙන්නේ නැහැ.

    ReplyDelete
  11. මට නම් හිතෙන්නේ ජවිපෙ පාක්ෂික විනය ඔය කියන ආගමික ස්වරූපයත් එක්ක බොහොම තදින් බැඳිලා තියන දෙයක්. ඔවුන්ගේ ප්‍රතිපත්ති සහ දේශපාලන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඒ වගේ විනයක් ඇති කරන්න අමාරුයි. මොකද එවැනි දේ වලට විනයගරුක වන මිනිස්සුන්ගෙන් මරණාධාර සමිතියකට වඩා ලොකු සංවිධානයක් හදන්න අමාරුයි. කවදාහරි වෙන්න ඉඩ තියෙන්නේ ජවිපෙට යම් බලයක් ලැබුණු විටක හෙමින් ඔය ආගමික විනයෙන් ඉවත්වීම මිසක්, මුලින් එසේ වෙනස් වී පසුව බලය ඉල්ලීම නොවෙයි.

    ReplyDelete
  12. //මූලිකව ම ජවිපෙ තමන්ගේ පාක්ෂික බලවේගය ආගමික ස්වරූපයෙන් මුදවා ගන්නට උත්සාහ කළ යුතුයි. තමන්ගේ නායකයන් හා පක්ෂය ගැන අන්ධ විශ්වාසයක් ඇති මිනිසුන් වෙනුවට අවබෝධ කර ගත්, ප්‍රායෝගික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් අචල ඇපකැපවීමක් ඇති මිනිසුන්වයි ගොඩනගන්නට ඕනැ. //
    මෙහෙම වුනොත් ජවිපෙ ආයෙත් කැඩෙයි ද ? අවංකවම කියනවා නම් මම සෝවියට් දේශයේ තිබ්බ වගේ ආර්ථික ක්‍රමයක් පිලි ගන්නේ නැහැ. ඒක සාර්ථක නැහැ. මගේ බ්ලොගයේ හැම තැනකමත් කතා කරමින් අවධාරණය කරන්න හදන්නේ ඒක. නමුත් ජවිපෙ සිට පෙරටුගාමී සමාජවාදීන් දක්වා මෙය තේරුම ගන්න අබ්වක් පෙන්නන්නේ නැහැ. ලෙනින් ගේ NEP ආර්ථික පිළිවෙත වැඩි දියුණු කරලා ටිටෝ හදාගත් ක්‍රමය තව ඉදිරියට ගෙන යා යුතු බවයි මගේ හැඟීම. අවුරුදු ගානකට පස්සේ දැන් රාවුල් කැස්ත්‍රෝ උත්සහ කරන්නේ ඒක කරන්න. රජය මැදිහත් විය යුත්තේ අධ්‍යාපනය, සෞඛ්‍යය, ගමනාගමනය, රාජ්‍ය ආරක්ෂාව යන අංග වලට පමණයි කියලයි මම හිතන්නේ. ඉතිරි සියල්ල මහජනයා ගේ සංවිධානාත්මක ව්‍යාපාර හරහා ඉටු කල යුතුයි. ආර්ථිකයත් එහෙමම විය යුතුයි. බැංකු ක්‍රමයේ වෙනසක් සිදු විය යුතුයි. එනම් කෝපරේට් හෙවත් සාමුහික බැංකු ක්‍රමයක් හා එය රේගියුලේට් කරන මහජන කමිටුවකින් යුත් මධ්‍යම බැංකුවකට සමාන මුදල් ආයතනයක් තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ රාජ්‍ය ධනවාදය, නිලධාරිවාදය වැනි සෝවියට් මොඩලයේ ඇතැම් ලක්ෂණ මහින්ද ලංකාවේ උපරිමයට ගෙනාවා. තව ටික කලක් ගියා නම් මිනිහා උතුරු කොරියාව කිට්ටු කරනවා.

      මම නම් කියන්නේ රජයේ මැදිහත් වීම ප්‍රතිපත්ති සම්පාදනයට, නීති පැණවීම හා ක්‍රියාත්මක කිරීමට, ජාතික ආරක්ෂාව, සමාජාරක්ෂණය වැනි කාරණාවලට පමණක් සීමා කරමින් ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික සංවිධාන හා ප්‍රජාතාන්ත්‍රික ප්‍රාග්ධන මැදිහත්වීම් වැඩිපුර ශක්තිමත් කරන එකයි කළ යුතුව තිබෙන්නේ.

      ජවිපෙ මෑතදී අධ්‍යාපන සමුපකාරයේ බලය ඇල්ලුවා. සමුපකාර ක්‍රමයත් නැවත සලකා බැලිය හැකි ක්‍රමයක්. මේවා ගොඩනගන්න බලය ලැබෙනකල් ඉන්න අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඒවා කළ යුත්තේ පොදු මහජන ව්‍යාපාර ලෙස මිස පක්ෂ බහුජන අංශ ලෙස නෙමෙයි.

      Delete
    2. I kind of saying the same thing in my post (in a way).
      //ම නම් කියන්නේ රජයේ මැදිහත් වීම ප්‍රතිපත්ති සම්පාදනයට, නීති පැණවීම හා ක්‍රියාත්මක කිරීමට, ජාතික ආරක්ෂාව, සමාජාරක්ෂණය වැනි කාරණාවලට පමණක් සීමා කරමින් ස්වාධීන ප්‍රජාතාන්ත්‍රික සංවිධාන හා ප්‍රජාතාන්ත්‍රික ප්‍රාග්ධන මැදිහත්වීම් වැඩිපුර ශක්තිමත් කරන එකයි කළ යුතුව තිබෙන්නේ. //. I agree.

      Delete
    3. ///මේවා ගොඩනගන්න බලය ලැබෙනකල් ඉන්න අත්‍යවශ්‍ය නැහැ. හැබැයි ඒවා කළ යුත්තේ පොදු මහජන ව්‍යාපාර ලෙස මිස පක්ෂ බහුජන අංශ ලෙස නෙමෙයි.///

      ++++++++++++++එහෙම තමයි වෙන්න ඕන.

      Delete
    4. ලමයා ඉස්කෝලෙට දමා ගැනීමේ සිට ජීවිතයේ බොහෝ කරුනුවලදී තක්කඩිකම් කරන ලාන්කිකයන්ට ජවිපෙ සාමාජිකයකු අරක්කු බිව්වා කියපු ගමන් කුනුහරප කියන්නට තරම් මල පනින්නේ ඇයි.
      ලන්ඩනයේදී දනවාදයට අනුව ඉතාම සාමාන්ය ජීවිත ගත කරන අරුන පෙරේරාට හා අජිත් දර්මකීර්තිට ත්මන්ගේ ජීවිතයට කිසිම සම්භන්දයක් නැති සමාජවාදය ගැන කතාකිරීමට හිතෙන්නේ ඇයි.

      Delete
    5. @ ano.10.32 ජවිපෙ සාමාජිකයෙකු අරක්කු නෙමෙයි විස්කි බිව්වත් මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එදත් අදත් ජවිපෙ දේශපාලනය දිහා ධනාත්මක දෘශ්ඨි කෝනයකින් බලා සිටි කෙනෙක් සහ අපේ අදහස්ද කියා සිටින්නෙක්. විජිත දුන් ආදර්ශය වැදගත් වෙන්නේ ජවිපෙට වඩා රටට. ඔහු නීතිය කාටත් පොදු බව අනිත් ගොබ්බයින්ටත් ඒ සිදුවීමේදි පෙන්නුවා. ජනතාවගේ හැසිරීමේ වැරැද්දක් විජිත කිව්වෙත් නැහැ. ඔවුන් රියදුරා වූ විජිත සමග වාද කරන්න ඇති. විජිත දෙය්යියෙක් නෙමේනේ. ඔවුන් එහෙම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ.

      අනිත් එක සමාජවාදය කියන්නේ ජවිපෙ හෝ කාගේවත් බූදලයක්වත්..අල්තාරයෙ තියා දුම් අල්ලා වන්දනා කරනා පූජා භාන්ඩයක්වත් කියා හිතන්න එපා. එය නිරතුරු සාකච්ඡාවක්.

      Delete
    6. අරුන පෙරේරා,
      ඔබ පැහැදිලි පිලිතුරක් දී නැහැ නේද?ඔබේ එදිනෙදා ජීවිතයට සමාජවාදයේ සම්භන්දයක් නැහැ නේ.එවැනි තත්වයක් යටතේත් ඔබට සමාජවාදය ගැන කතා කරන්නට සිතෙන්නේ ඇයි කියලායි ඇසුවේ

      Delete
    7. ඇනෝ....මම කුඩා අවධියේ ඉඳන්ම හැදුනේ වාමාංශික වටපිටාවක. අපේ පියා තදබල යූනියන් ක්‍රියාකාරිකයෙක්. වාමාංශික අරටුවක්. 71 අත් අඩංගුවෙත් හිටියා පොඩි කාලයක් යම් අයට රැකවරනය දීලා. ඉන් පසුවත් මගේ තරුන කාලයත් ජවිපෙ දේශපාලනයත් හා සම්බන්ධකම් තිබුනා. ඒ 80 මුල් කාලයේ සිට. ඝාතනයට ලක්වූ,වධ බන්දනයට ලක්වූ සහෝදරයින්, ඥාතීන් ...ඒවා වෙනම කතා.

      අද මම කිසිම පක්ශයක සාමාජිකයෙක් නොවුනත්, බොහෝ දේ ගැන කතා කරනවා, මත, අදහස් තියෙනවා. ඒ නිසා ඇනෝ මම ඉන්නා රට මොක වුනත්, මගේ සමාජවාදි 'හිත' ගලවලා අයින් කරන්න පුලුවන්ද? ජීවත්වෙන රටේත් සමාජවාදි පක්ෂය කියා එකකුත් තියෙනවා. සමාජවාදයේ දිග, පලල කෙසේ වෙතත්, මම යහපත්, සාධාරන සමාජයක් වෙනුවෙන් පෙනී සිටිනවා.

      Delete
    8. ඇනෝ මහතා
      මම සමාජවාදය ගැන කතා කරන්නේ මම සමාජවාදී යයි කියාගත් රටක ජීවත්වූ නිසා. මම හැමදාම ඒ ගැන වාද විවාද සාකච්චා කල නිසා. ඔබ මගේ බ්ලොගය බැලුවොත් මම ඒ ගැන හුඟක් ලියා තිබෙන බව පෙනේවි. ජවිපෙ , පෙරටුගාමී සමාජවාදී වැනි පක්ෂවල අය සමග මම බොහෝ වාද , සාකච්චා කරනවා මේ ගැන. සෝවියට් දේශයේ තිබුනේ රාජ්‍ය ධනවාදයක්ය කියන අදහස මම මුලින්ම ලිව්වේ කොමෙන්ටුවක් හැටියට අරුණිගේ බ්ලොගයේ. මම දිගින් දිගටම ලියන්නෙත් ඒ ගැන.

      මිනිසුන් මරා දමා විමුක්තිය හොයන දේශපාලනයට මම දශක කිහිපයක සිටම විරුද්ධයි. පොල්පොට් ලාට විරුද්ධයි. ආර්ථිකය ස්වාධීනව දියුණු කල හැක්කේ කෙසේද යන්න දිගටම හොයන කෙනෙක්. බ්ලොග් වල ඒ ගැන පලවෙන වාර්තා ලිපි මෙන්ම නොයෙකුත් ග්‍රන්ථ කියවන කෙනෙක්. නිදහස නැති සෝවියට් සමාජවාදයට වඩා එංගලන්තයේ තිබෙන ධනවාදී සමාජයට මම කැමතියි. හැබැයි එහිද නොයෙකුත් ප්‍රශ්න තිබෙනවා. මේ කරන්නේ ඒවාට පිළිතුරු හෙවිමක්. මම හුඟක් සම්මන්ත්‍රණ වලට සහභාගී වන කෙනෙක් ඒ සම්බන්ධ සාකච්චා කෙරෙන.
      කොටින්ම රනිල් වික්‍රමසිංහට වුනත් සාධාරණ සමාජවාදී සමාජයක් හදන්නට ශක්‍යතාවයක් තියෙන පුද්ගලයෙක් හැටියට විශ්වාස කරන්නෙක් මම. මම හිතෙන්නේ මම අයත් වන්නේ ප්‍රතිසන්ස්කරනවාදීන් ගණයට කියල.
      මිනිසුන් ගේ නිදහස මොන ක්‍රමයක් යටතේ හෝ රැක ගත යුතුය කියන අදහසේ මම ඉන්නේ. සොවියට සමාජයට මම මුලිකවම විරුද්ධ ඒකයි.

      මේ මා පල කල අදහස් කිහිපයක්. සමහර ඒවා මගේ පොතේ තිබෙනවා. (පලකල බ්ලුක් එකේ )
      https://kolambagamaya.blogspot.co.uk/2015/09/2.html
      https://kolambagamaya.blogspot.co.uk/p/blog-page.html
      https://kolambagamaya.blogspot.co.uk/2014/12/blog-post.html
      https://kolambagamaya.blogspot.co.uk/2014/10/brics.html

      Delete
    9. හරි තේරුනා.ඔය දෙන්නටම සමාජවාදයට සම්භන්ද අතීතයක් තියෙනවා.ඒ හින්ද දනවාදී රටක ප්‍රශ්නයක් නැතිව ජීවත් වෙන ගමන් නිකන් ඉන්නවෙලාවට සමාජවාදය ගැන කතා කරනවා.හරිද(මා සිතන ආකාරයට නම් ඔබ දෙදෙනාටම ලගදීම සමාජවාදයට වඩා නයිජල් ෆෙරාජ් වැදගත් විය හැක]

      Delete
    10. ඔබේ සිතීමේ නිදහසට අකුල් හෙලීමට මට කිසිම උවමනාවක් නැත. ඔබ සිතන්න.

      Delete
    11. ඔබ මෙතන අරුණ සහ මාව සම්බන්ධ කරලා කතා කරන්නේ ඇයි. අපේ අදහස් එකම නැහැ. අරුණ මම සෝවියට් දේශය ගැන කතා කරනවට කැමතිත් නැහැ. මට නම් සෝවියට් දේශය ඉතා වැදගත්. එහි නිදහස හා ආර්ථිකය, නිලධාරිවාදය හැරුනහම ජිවත් වෙන්නට පුළුවන් කමක් තිබු තැනක්. මට ලංඩනයේදී රැකියාව කරලා නිවසට පැමිණියහම වෙනත් දේ කිරීමට වෙලාව තිබෙනවා. ඒ කියන්නේ නාට්‍යයක් බලන්න, චිත්‍රපටි බලන්න. පොත් කියවන්න, සාද වලට සහභාගී වෙන්න. තාරකා විද්‍යාව හදාරන්න. සංස්කෘතික සත්වයෙක් හැටියට මම මෙය අගය කරනවා. සෝවියට් දේශයේ මා දන්නා විධිහට ඔවුන්ටත් මෙවැනි ජිවිතයක් තිබුන. රැකියාව අනිවාර්ය නිසා, ගෙයක් අනිවාර්යයෙන් ලැබෙන නිසා මිනිසුන් නිර්මාණාත්මක වැඩවලට මෙන්ම සාකච්චා, කවි නාට්‍ය, චිත්‍රපටි පමණක් නොව සම්භාව්‍ය සංගීතය පවා රස වින්දා. නමුත් නිර්මාණ කරනයේ හා ජිවිතයේ නොයෙකුත් ප්‍රශ්න ඇති වුණා නිලධාරීන් නිසා.
      ෆෙරාජ් කියන්නේ මම අකැමතිම මනුස්සයෙක්. ඔබට වැරදිලා ඇත්තේ එතනයි. මම සහයෝගය දෙන්නේ කෝබින්ට

      Delete
    12. ඔබේ සිතීමේ නිදහසට අකුල් හෙලීමට මට කිසිම උවමනාවක් නැත. ඔබ සිතන්න.

      Delete
    13. ඇනෝ දැන් ඔබ දන්නවා අපි දෙන්නම ඉන්නේ එංගලන්තේ කියල. පොර ප්‍රශ්න අහන්නේ නැතුව ඔබ කොහෙද ඉන්නේ ඔබ කවුද කියලත් කියන්න බැරිද? ඔබට සමාජවාදය ගැන කතා කරන්න ශුද්ධවූ අයිතියක් තියනවද. අනිත් අයට නැති ? නැත්නම් මට හිතෙන්නේ මේ ප්‍රශ්න අහන්නේ පස්සේ ප්‍රහාරයක් සැලසුම් කරනන් කියල. ඇත්ත නමින් ඇවිත් ඉන්න තැන රට කියල සංවාද කරන්න බැරි ඇයි? ලෙනින් පවා පිටුවහල් වී හිටිය් එංගලන්ත හා ජර්මනියේ ජිවටහ්ව සිටින මිනිසුන් ශත වර්ෂ දෙකක සිට මේ ප්‍රශ්න හා සමාජවාදය ගැන කතා කලා. එංගලන්තයේ සාමාන්‍ය ජිවිත ගත කරන මිනිසුන්ට සමාජවාදය නොව තමන්ට කැමති ඕනෑම දෙයක් ගැන අනිකාට අනතුරක් නොකරන තාක් කල් කතා කිරීමට පුළුවන් විය යුතුයි. මේක අර ජාතිවාදී සෙට් එක කියන්නේ උඹල ලන්ඩන් වලට වෙලා ඉඳපන් ලංකාව ගැන කතා කරන්න එන්න එපා කියල. ඒ වගේම අදහසක් වගේ මට හැඟෙන්නේ.

      Delete
    14. අජිත්,මා බොහොම සරල ප්රශ්නයක්නේ ඇහුවේ.චිත්රපටි බලන,සාද වලට යන ,තරු බලන ඔබේ අද එදිනෙදා ජීවිතයට සමාජවාදය කිසිම සම්භන්දයක් නැහැනේ.ඉතින් ඒ වගේ තත්වයක ඉදගෙන සමාජවාදය ගැන කතා කරන්නට ඔබට සිතුනේ ඇයි.
      ඇත්තටම බැලුවොත් ඔබේ අද එදිනෙදා ජීවිතයට සමාජවාදයට වඩා නයිජල් වැදගත් නේද.මා කියන්නේ ඔබ චන්දය දීම නොවේ.ඔබෙ ජීවිතයට ඇති බලපෑමයි.
      මා කතා කරන්නේ මාජින් සහිතවය. හෙවත් මා ඔබේ පවුද්ගලික ජීවිතයට අපහාසකරන්නේ නැත.මා ප්රශ්න කරන්නේ ඔබේ සමාජ ජීවිතයයි. එමනිසා මාගැන කීම පලක් ඇති වැඩක් නොවේ.
      අරූ ඔබේ අදහස් අප්ඩේට් වී නැත. ප්රශ්නයෙන් පලා යන්නේ එබැවිනි.

      Delete

    15. මම සමාජවාදය ඇරෙන්න වෙනත් මාතෘකා ගැනත් ලියනවා. නමුත් මම සමාජවාදය ගැන කතා කරන්න කැමතියි. මට මතක විධිහට ඔබ ඔය අහන ප්‍රශ්නයම මම ඇහුවා පෙරටුගාමී (මුල් එක - දීප්තිගේ පක්ෂය) පක්ෂයට සහය දෙන මිතුරෙකු ගෙන්. ඔහු ලංකාවේ ඉහල පෙලේ රැකියාවක් කරන වාහන දෙකක් හිමි (මා ද ඒ ගැන ලියන්නේ ඒවා උසස් කොට නොවේ. සමාජ සම්මතය ඒ යැයි පවසන නිසා ) නිවසක් හිමි කොටින්ම මුදල් ප්‍රශ්නයක් නැතැයි සිතන අයෙක්. නමුත් ඔහු සමාජවාදය ගැන කතා කිරීමටත් සමාජවාදී සමාජයක් එයිද කියාත් සිතන අයෙක්. අන්තිමේදී අපි දෙදෙනාම මේ ගැන කල්පනා කළා. මා එළඹුණු තීරණය නම් අපට , අපට් පමණක් හොඳ ජිවිතයක් සංතෘප්ත ජිවිතයක් තිබී පලක් නැති බවයි. අපේ සහෝදරයන්ටත්, යහලුවන්ටත්, අප නොදන්නා බොහෝ දෙනාටත් එය තිබිය යුතුයි. එසේ නොමැතිව අපට තිබෙන දෙයින් පලක් නැත යන්න අපේ අදහසයි. මට ලොකු දෙයක් නැහැ. මම පොහොසතෙක් නොවේ. නමුත් මට තිබෙන දේ නැති අයත් සිටිනවා. මට වැඩ ලොකු ෆොසතුන් හුඟක් සිටිනවා. මම ඔවුන්ට ඉරිසියා කරන්නේ වත් වයිර කරන්නේ වත් නැහැ. මාක්ස් කියන ආකාරයේ පන්ති වයිරයක් මට නැහැ. මම හිතනවා මාක්ස් ගේ පන්ති වෛරය යල් පැන ගිය සංකල්පයක් කියල.

      ෆරාජ් ගැන කියන්න තියෙන්නේ මම ඔහුට නොව ඔහු ඉදිරිපත් කරන බලවේගයට විරුද්ධව කටයුතු කරන බව. මට හැකි ආකාරයට. ඔබේ මේ ප්‍රශ්න ඇසීම ඇනෝ ලෙස කිරීම අසාධාරණයි. මොකද ඔබ මා ගැන දන්නා නිසා හා අපි යමක් නොසඟවන නිසා.

      Delete
    16. දැන් බලපන් ඇනෝ...උඹ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා සමාජවාදය කතාකරන්නේ ඇයි කියලා... මම උඹට උත්තරයක් දුන්නා. ඊට පස්සේ උඹතුමා ෆරාජ් ගැන කිව්වා. මට ෆරාජ් අදාල නැති නිසා,,,මම කිව්වා උඹට එහෙම හිතාගනින් කියලා. දැන් මොකක්ද උඹතුමාට අප්ඩේට් වෙලා නැත්තේ.

      Delete
  13. ජවිපෙටත් දැනට නම් අවශ්‍ය තමන් වැඩ කළා ය කියලා මාධ්‍යවලින් පෙන්වා ගන්නට විතරයි. ඒත්, දැන් මිනිස්සු ඕවාට රැවටෙන්නේ නැහැ. අනෙක් පැත්තෙන් දිවයින ලිපිය දේශපාලන ලිපියකට වඩා මඩ ලිපියකට බර බව වසර 20 කටත් වඩා දිවයින ඉරිදා පාඨකයෙක් වන මා පවසන්නෙ කණගාටුවෙනි. එහි ඇත්තේ බොරුනම් අහිංසක මිනිසෙකුට ඔහුගේ පවුල් ජිවිතයටත් බලපාන අයුරින් පලකල එම ලිපිය ඉතා පිළිකුල් සහගතය.

    නමුත් මෙම ලිපිය හමුවේ ජවිපෙ නායකයින් හැසිරෙන ආකාරය සහ අනවශ්‍ය කලබල වීම ඉතාමත් සැක සහිතය. මේ සම්බන්ධයෙන් නඩු මඟට නොයෑම එම සැකය තවත් තීව්ර කරයි. මටනම් මේ දිනවල ජවිපෙ නායකයින් දකින විට සිහිවන්නේ අබ කෑ එකාගේ මොළය දනවායැයි කියන පරණ කතාවයි. නමුත් දේශයේ හෘද සාක්ෂිය ලෙස හඳුන්වාගන්නා ඔවුන්ම තමන්ගේ හෘද සාක්ෂයි අවධි කල යුතුය. මේවා ඇත්තනම් පක්ෂය වෙනුවෙන් අනුර බේරාගැනීමට දඟලන ටිල්වින්, ලාල් කාන්ත වැනි ඉතාමත් වටිනා අවංක දේශපාලකයින්ටද සිදුවන්නෙ කැලලකි.

    මාගේ ජවිපෙ මිත්‍රයන් අමනාප නොවේවායි පතමින්ම කිව යුත්තේ ජවිපෙ සාමාජිකයින් ඔබලා කියන ඕන බොරුවක් විශ්වාස කරන බැවින් මේ දිනවල කරන අපමණ දැඟලිල්ල ඒ සාමාජිකයින් කලකිරීම වලක්වා ගැනීමට නම් එය මේ වන විට සාර්ථක වී ඇත.

    හිටපු ආරක්ෂක ලේකම් වරයා විසින් ඔහුට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් කල ප්‍රකාශයක් මට සිහියට නැගේ. ඔහු පැවසුවේ ඔහුගේ හෝ ඔහුගේ පුතාගේ හෝ බිරිඳගේ නමට ලෝකයේ කොහේ හෝ බැංකුවක මුදල් ඇතිනම් ඒවා ලබා ගැනීමට ඔහු ලිපියක් දෙන බවයි.

    අනුර කුමාරට එසේ පැවසිය හැකිද?

    අනුරට හෘද සාක්ෂියක් ඇතිනම්

    - පළමුව අයර්ලන්තය ගිය ගුවන් ටිකට්පතේ කොපියක් හෝ මිලදී ගත් තැන විස්තර ඉදිරිපත් කොට බිස්නස් ක්ලාස් එකේ නොගිය බව ඔප්පු කල හැකියි
    - බිරිඳගේ පළමු කසාදයේ ළමයාගේ ගිණුම් අංක ලබා දී එහි එවැනි විශාල මුදලක් නැති බව පෙන්වා දිය යුතුයි.
    - අයර්ලන්තයේ ගොස් මාසයක් පුරා කරන ලද එකම කාර්යයක් වත් විස්තර ඡායාරූප සමඟ ඉදිරිපත් කල යුතුයි.
    - ඒ සියල්ලටම වඩා දිවයිනට විරුද්ධව නඩු දැමිය යුතුයි.

    ජවිපෙ සාමාජිකයින් හඩ පටයක් ෂෙයාර් කරමින් සිටී. මෙම හඩ පටය දිවයින කර්තෘගේම යැයි සිතුවත් අනිත් පැත්තෙන් කතා කරන්නෙ ජවිපෙ හුරු පුරුදු නායකයෙකු නොවේ. එය සත්‍ය නම් ඔහුට දුරකථන ඇමතුමක් දෙන ඕනෑම අයකෙු සමඟ ජවිපෙ වෙනුවෙන් සමාව ඉල්ලයිද? මට ආරංචි පරිදි මෙයත් ජවිපෙම තවත් බොරුවක් වන අතර දිවයින මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සූදානම් වෙයි.

    මැයි රැළියෙන් පසුව පිටිය සුද්ධ කල ජවිපෙ වෙනදා මෙන්ම ලංකාව පුරා තාප්ප කැත කරමින් දිවයිනට විරුද්ධව පොස්ටර් ගසා ඇතැයි දැන ගන්නට ලැබුණි. ජවිපෙ නායකයින් සහ ඔවුන්ගේ ලංකා පත්තරය මඩ ගහන විදියට අනිත් දේශපාලකයින් පෝස්ටර් ගැහුවා නම් ලංකාවම පෝස්ටර් වලින්ම වැසෙනු ඇත.

    මුං වපුරා අබ නොලැබිය හැකි බවත් තමන් නෙලන්නෙ තමන් වැපිරූ දේවල්ම බවත් සිහිතබා ගතයුතුය.

    ReplyDelete
    Replies
    1. මෙන්න මේ කාරණා නම් පෞද්ගලිකයි. ඒවා පෞද්ගලිකව හෙළිදරව් කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ජවිපෙ අනුන්ගේ පෞද්ගලිකත්වයන්ට ගරු කරන්නත් උගත යුතුයි.

      //- පළමුව අයර්ලන්තය ගිය ගුවන් ටිකට්පතේ කොපියක් හෝ මිලදී ගත් තැන විස්තර ඉදිරිපත් කොට බිස්නස් ක්ලාස් එකේ නොගිය බව ඔප්පු කල හැකියි
      - බිරිඳගේ පළමු කසාදයේ ළමයාගේ ගිණුම් අංක ලබා දී එහි එවැනි විශාල මුදලක් නැති බව පෙන්වා දිය යුතුයි.
      - අයර්ලන්තයේ ගොස් මාසයක් පුරා කරන ලද එකම කාර්යයක් වත් විස්තර ඡායාරූප සමඟ ඉදිරිපත් කල යුතුයි.//

      Delete
  14. මම ඉස්සර ජෙප්පන්ට චන්දෙ දීල තියනවා . දැන් මට පේන්නෙ JVP ය පසුගාමී, ලිං මැඩි පක්ෂයක් විදියට. ඒකට හේතු වලින් කීපයක් කියන්නම්.

    සරසවි වරම් නොලත් නමුත් A/L සමත් සිසුන් සඳහා මෙරට පෞද්ගලික වීශව විද්‍යාල (විශේෂයෙන් මාලඹේ SAITM ) ඇරඹීමට එරෙහිව වීශව විද්‍යාල සිසුන්ව මීහරක් වගේ, උන්ගේ අද්‍යපනයත් කඩාකප්පල් කරමින්, මහජනයාට විශාල ලෙස පීඩාවට පත්වෙන පරිදි පාරවල් ගානෙ දක්කන එක.

    වී.වී. වල තිරිසන් නවක වෙනුවෙන් පෙනීසිටීම හා එම තිරිසන් ක්‍රියාවන් අන්තරේ මගින් සාධාරණීකරණය කරවීම.

    අසරණ දුප්පත් රෝගීන්ගේ ජීවිත පරදුවට තබමින් ජාවාරම්කාර දොස්තර මාෆියාව 'මස් රාත්තල' ඉල්ලා කරන වැඩ වර්ජන වලදී, දුප්පත් රෝගීන්ට පිටුපා අධම දොස්තර මාෆියාව වෙනුවෙන් පෙනී සිටීම.

    ReplyDelete
  15. Guys pls check this website out - www.meepura.com Great initiative from someone to expose the petty minded politicians in their city.. Should be good example for others also to keep a control on their politicians!!!

    And for sure this will be Para's subject of his professional blog tomorrow, looking forward!

    ReplyDelete
    Replies
    1. Then this happens: http://www.lankadeepa.lk/index.php/articles/422364

      Delete
    2. Yes, that only prompted me to check the site out, it's a brave man and I wish other journalists were so risk taking as well, now that the army did their job the second army to save this country is journalists

      Delete
  16. ජවිපෙ වෙනුවෙන් මමත් දෙවරක් ජන්දේ දීලා තියෙනවා.
    පළමු වතාවේ දුන්නේ මහින්දගේ පාලනයට එරෙහිව ශක්තිමත් විපක්‍ෂයක කාර්යභාර්ය ඔවුන් ඉටු කරවී යන අපේක්ෂාවෙන්.මොකද ඒ වෙද්දී ප්‍රධාන විපක්ෂය වෙච්චි යු.එන්.පිය ගැන විශ්වාසයක් තිබ්බේ නැහැ.මොකද උන් මහින්දගේ දෑත ශක්තිමත් කරන්න කොයි වේලේ යයිද කියන්න බැරි නිසා.පළමු වතාවේ ජවිපෙ කෙරේ තැබූ විශ්වාසය උන් රැක්ක නිසා පහුගිය මහා ජන්දේදීත් ජවිපෙට ජන්දය දුන්නා.
    කෙසේ වෙතත් ඊගාව ජන්දයකදී ජවිපෙට දෙනවාද කියන තීරණය තාම නැහැ.විශේෂයෙන්ම එහෙම වෙන්න එක හේතුවක් තමයි "කුමාර් ගුණරත්නම්"සිදුවීමේදී ජවිපෙ "අපි එයාව දන්නේ නැහැ"කියන කතාව කීම.තමන්ගේ හිටපු නායකයෝ ගැන දන්නේ නැහැ අදාළ නැහැ කියන අය ගැන කොහොමද විශවාසයක් තබන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා