ක්‍රිකට් අර්බුදය, අර්ජුන, දයාසිරි හා පාසල් ක්‍රිකට් මීයෝ

වමේ සිට දෙවැන්නා දිල්ෂාන් සිල්වා ය.
ලංකාවට ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ නායකත්වය දැරූ නිසා අර්ජුන රණතුංගට හා ඔහුගේ පවුලට කැමති ආකාරයට ක්‍රිකට් වළඳන්නට ඉඩ දිය යුතු යයි කියන එක සමාන වන්නේ යුද්ධය අවසන් කළ නිසා තම පවුලට කැමති ආකාරයට රටේ ආර්ථිකය වළඳන්නට දිය යුතු යයි රාජපක්ෂලා කරන ඉල්ලීමට ය.

රාජපක්ෂ පවුල නම් වසංගතය හා සම විය හැකි, කිසි සේත් මතු වන්නට ඉඩ දිය යුතු නැති පවුල්වාදයකි, රණතුංග පවුල්වාදය. අර්ජුන, ප්‍රසන්න, නිශාන්ත, ධමිමික, රුවන්, සංජීව බෑයන්ගේ හෙවත් කුඹුරුවන්ගේ අතීත කෙරුවාව ඔවුන්ගේ අනාගතය ගැන තේරුම් ගැනීමට අපට මග සලසා දෙයි.

ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම ටී-20 ලෝක කුසලානයේදී අන්ත පරාජයට පත් වීම තමන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිත්වය නො ලැබුණ නිසා වූ දෙයකැයි පෙන්නා, ජනාධිපතිවරයාට බෝලයක් බස්සා, නිල වශයෙන් පත් වූ පාලක මණ්ඩලය අහෝසි කර, අතුරු පාලන මණ්ඩලයක් පත් කර ගැනීම ගැන අර්ජුන කතා කරන ආකාරයෙන් ම ඔහුගේ බඩගිනිකාර ස්වභාවය නිරූපණය වේ.

ඔහුට අමතක වී ඇති කාරණයක් වන්නේ පසුගිය වසර ගණනාවක් තිස්සේ ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා වූයේ ඔහුගේ සොයුරු නිශාන්ත බවයි. ඔහු ක්‍රිකට් වෙනුවෙන් හරියට වැඩ කළා නම් සංගක්කාර හා මහේල විශ්රාම ගිය ගමන් ක්‍රිකට් කණ්ඩායම මේ අන්දමින් ඇද වැටෙන්නේ නැත.

ලංකාවේ ක්‍රිකට් ගැන කතා කරන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු නො වන පැතිකඩක් වන්නේ පාසල් ක්‍රිකට් පරිපාලනයයි. පාසල් ක්‍රිකට් හා ක්‍රිකට් සමාජ මට්ටමේ ක්‍රිකට් අතර ඇති දැවැන්ත පරතරය තුළ පාසල්වලින් බිහි වන ක්‍රීඩකයන් විශාල පිරිසක් සිය කුසලතාත් එක්ක ම හැළී යන එක ක්‍රිකට් මේ අන්දමින් පිරිහෙන්නට එක හේතුවක්. 

අනෙක් පැත්තෙන් පාසල් ක්‍රිකට් කියන්නේ දැවැන්ත ජාවාරමක්. පාසල් ක්‍රිකට් තුළ ක්‍රීඩාව පිරිහුණාට පාසල් ක්‍රිකට් පරිපාලනය, කෝච්ලා, ඇකඩමි මුදලාලිලා, අම්පයර්ලා, ස්කෝරර්ලා පසුගිය කාලය තුළ වෘත්තිකයන් වෙලා තිබෙනවා. 

ඒ අතරේ ක්‍රිකට් වියදම් දරා ගන්නට බැරිකම, නිසි පුහුණුවක් නැතිකම හා ඉදිරියට යන්නට අවස්ථා නැතිකම නිසා සෑහෙන දක්ෂතා ප්‍රමාණයක් මග හැළෙනවා. 

පාසල් ක්‍රිකට් සංගමය ගම්බද පාසල් ක්‍රීඩා කරන තුන්වන කාණ්ඩයට දක්වන්නේ කුඩම්මාගේ සැලකිලි. එක පැත්තකින් ඔවුන් කරන්නේ ගම්බද පාසල්වලින් සාමාජික මුදල් ආදිය එකතු කරගෙන, ඒ තරගවලින් අම්පයර්ලා, ස්කෝරර්ලා නඩත්තු කරමින්, ගම්බද පාසල් ක්‍රිකට් අලෙවි කරමින් නගරබදට ආවැඩීමයි. 

අපි උදාහරණෙකට අකිල ධනංජය ගනිමු. තුන්වන කාණ්ඩයේ ක්‍රිකට් ගහන වලාන මහානාම විද්‍යාලයෙන් ඔහු ජාතික තලයට එසවුණේ පාසල් ක්‍රිකට් සංගමය නිසා නෙමෙයි. මහේලලාගේ පෞද්ගලික මැදිහත්වීම නිසායි. මේ ඉස්කෝලෙම ඊට පස්සෙ අවුරුද්දෙත් දක්ෂ පා දඟ පන්දු යවන ළමයෙක් හිටියා. ඔහුට අවස්ථාවක් ලැබුණේ නැහැ. 

පාසල් ක්‍රිකට් සංගමය වසර ගණනාවක සිට ඩිල්ෂාන් සිල්වා ප්‍රමුඛ ගුරු, අම්පයර් කල්ලියක් විසින් ගිලගෙන සිටියි. ඔවුන්ගේ දූෂණ, වංචා හා අයථා ක්‍රියා ගැන සමාජය නො දන්නේ ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලොක්කන්ට වැඳ පුදාගෙන මීයන් සේ සැංගී සිටින නිසා ය. 

දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමතිවරයා අර්ජුනට වඩා පුළුල් දැක්මක් ඇති අයෙකි. ඔහු ක්‍රීඩා ඇමති මිස ක්‍රිකට් ඇමති කෙනෙකු නො වේ. ක්‍රිකට් අර්බුදයට අවධානය යොමු කිරීමේදී පාසල් ක්‍රිකට් ගැන බැරෑරුම්ව කල්පනා කළ යුතු ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. 99 එංගලන්තේ තිබ්බ ලෝක කුසලාන තරඟාවලියේදීත් අර්ජුන තමයි නායකයා. අපි දින්නේ එක තරඟයක් පමනයි. අන්ත පරාජයක් හිමිවුනා.

    ReplyDelete
  2. අර්ජුන් මහේන්ද්‍ර‍න්ලා රට කන්නේ රටට මොන දේ කරා කියලාද?

    ReplyDelete
    Replies
    1. ඔබේ තර්කය අර්ජුන් මහේන්ද්‍රන්ලා රට කන නිසා අර්ජුන රණතුංගටත් ඒකට අවස්ථාව දිය යුතු බව ද?

      Delete
  3. ඇත්තටම අර්ජුන පාලක මණ්ඩලයේ සභාපති වුනා කියලා ලංකවේ ක්‍රිකට් වලට වෙන වාසියක් හෝ හොඳක් නැහැ.අර්ජුන මීට ඉහතත් ඔය පාලක මණ්ඩලයේ සභාපති වෙලා හිටියා ලොකුගේ කිර්ඩා ඇමැතිකම දරන කොට. ඒ යුගයේ සභාපති කමේ ඉඳන් අර්ජුන මොනවාද කෙරුවේ ?සල්ලි ඉතිරි කරන්න කියලා බෝඩ් එකේ වැඩ කරපු අයට කන්න දීපු කේටරින් සර්විස් එක නවත්වලා තමන්ගේ තැනකින් පිළුණු බත් මුල් ගෙනත් දුන්නා බෝඩ් එකේ වැඩ කරන සේවකයින්ට.

    පහුගිය ලෝක කුසලාන තරගාවලියෙන් ලංකාව පරාජයෙන් පස්සේ අර්ජුන ආයෙමත් බෝඩ් එකේ සභාපතිකම ගන්න උත්සහා කරන එක වැඩි කරලා වගේ.

    තිලංග කියන්නෙත් සුපිරිසිදු චරිතයක් නොවුනත් අර්ජුනට වඩා හොඳ තෝරා ගැනීමක්.අනික් පැත්තෙන් දයාසිරි පොතේ ගුරෙක් නොවී ප්‍රයෝගිකව ක්‍රීඩාව නැංවීම වෙනුවෙන් කටයුතු කරන එක අගය කල යුතුයි.

    ReplyDelete
  4. කලක සිට පාසැල් ක්‍රිකට් ක්‍රීඩාවේ පරිහානිය සහ අන්තනෝමතික පාලනය තමයි වර්තමාන ක්‍රිකට් ක්‍රීඩවේ පරිහානියට මුල. පාසැල් ක්‍රිකට් මාෆියාව ගැන ගුරුවරයෙක්වූ පැරා හොඳින් දන්නවා ඇති. බ්ලොග් එකක පාසැල් ක්‍රිකට් ගැන ලියවුනු පලවෙනි ලිපියද මන්දා. අද කවුරුත් වැඩි අවධානයක් යොමු කලයුත්තේ ක්‍රිකට් ක්‍රීඩාවෙ අත්තිවාරමවූ පාසැල් ක්‍රිකට් ක්‍රීඩාව ගැන බවයි මගේ අදහස. පාසැල් ක්‍රිකට් භාරදිය යුතු සුස්දුසුම පුද්ගලයා මහේල බව මගේ හැඟීමයි. ඒ වෙනුවෙන් දරන වියදමක් ඇතොත් එය අනාගත ආයෝජනයක් වෙයි. ඉස්සර සොෆ්ට් බෝල් ක්‍රිකට්වලත් මීට වඩා හොඳ පරිපාලනයක් තිබුනා. දැන් තත්වය කොහොමද මන්දා....

    රණ-රාජ පවුල් වාදය නොහොත් භීශනය වගේම රනිල්ගෙ ගජමිතුරු වාදයත් හෙලා දැකිය යුතුයි.Aru

    ReplyDelete
    Replies
    1. ඉතා දිගු කාලයක් තිස්සේ පාසල් ක්‍රිකට් සංගමය අල්ලාගෙන සිටින්නේ එකම කල්ලියක්. මේ කල්ලිය පාසල් ක්‍රිකට් විනාශ කරනවා. එසේම, පාසල් ක්‍රිකට් සංගමයේ ගිනුම් නිසි පරිදි විගණනය වෙනවා ද යන්න සැක සහිතයි. ඔවුන් පාසල්වලින් අය කරන ගාස්තු ඉතා අසාධාරණයි. උදාහරණයක් ලෙස පසුගිය කාලයේ වෙබ් අඩවියකට කියා මුදල් අය කළා. එහෙත් පාසල් ක්‍රිකට් සංගමයට වෙබ් අඩවියක් නැහැ. ඒ මුදල්වලට වෙන්නේ මොකක්ද කියා සොයා බැලිය යුතුයි.

      Delete
    2. රනිල්ගේ ගජමිතුරු කල්ලියත් එවැනිම එකක් තමයි. භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධියේ පරීක්ෂණ වාර්තා ගැන දැන් කවුරුවත් කතා නො කරන්නේ ඇයි? විපක්ෂයත්, ජවිපෙත් එය අමතක කර ඇත්තේ එතන වංචාවක් නැති නිසා ද? නැතිනම් වෙනත් හේතුවක් නිසා ද?

      Delete
    3. පැරා......අර්ජුන් මහේන්ද්‍රන්ව කෝප් එකට ගෙනාව බව නම් දන්නවා. එතනින් එහාට වෙච්ච දේවල් ගැන තමයි නිව්ස් නැත්තේ. මේවා යට ගහනවා නම් ඒ ජාතික අපරාධයට යහපාලනයට වග කියන්න වෙන්නේ අපි හිතනවාට වඩා බරපතල මැදිහත්වීමකින් පමනයි. බරපතලකම තීරනය කලයුතු වෙන්නේ යහපාලනයට වචනයකින් හරි මැදිහත් වුනු අපි අපිටමයි.Aru

      Delete
    4. //රනිල්ගේ ගජමිතුරු කල්ලියත් එවැනිම එකක් තමයි.//

      මෙම වැකිය ලියන්නට පෙර සිදු වූ දෙබසක් මෙසේ ය:

      "සර් මම සර්ව පොඩ්ඩක් විවේනය කරල වාක්‍යයක් දානවා. සර් ගණන් ගන්න එපා හොඳේ... සොරි සර්."

      මෙම වැකිය පැවසූයේ අපේ පැරා නම් නො වේ.

      Delete
    5. ඇයි මෙහෙමත් කිව්වා. “සර් මෙහෙම ලිව්වා ය කියලා මට දෙන ගාන අඩු කරන්න එපා. දිගට ම මට සල්ලි දෙන්න."

      අර පැනමා ලිස්ට් එකේ මගේ නමත් තියෙනවද දන්නෙ නැහැ. ඇයි යකඩො පහුගිය කාලෙ මට බටහිරින් ඩොලරුයි සිරිකොතෙන් සල්ලියි ලැබුණු විදියට ලංකාවෙ තියාගන්න පුළුවනැයි.

      Delete
  5. පැරා, පාසල් ක්‍රිකට් වලින් පහළටත් අවධානය යොමු කල යුතුයි. එනම්, පාසල්වලත් මාෆියා කල්ලි ගොඩනැගිලා. ඒ අතර දෙමවුපියෝ + ආදිසිසුන් + පුහුණුකරුවන්. දක්ෂකමට වඩා තමන්ට මුට්ටිය අල්ලන දෙමව්පියන්ගේ දරුවන්ට චාන්ස් එක දෙන්න පුහුණුකරුවන් බලා සිටිනවා. එයට විදුහල්පතිද සපෝට් කරනවා. එවිට දක්ෂයා එළියේ, මුට්ටියාගේ මුට්ටි පැටියා ඇතුලේ. පාසල් ක්‍රිකට් හබක්.

    ReplyDelete
    Replies
    1. ආදි ශිෂ්‍ය පාසල්වාදය වැඩියෙන් ම බලපාන ක්ෂේත්‍රය ක්‍රිකට් ය.

      ආදි ශිෂ්‍ය සංගම් යනු මේ වන විට ලංකාවේ අධ්‍යාපනයට බලපාන ලොකුම කොඩිවින අතරින් එකක් බව අපි මීට කලිනුත් කීවෙමු.

      Delete
  6. තත්කාලීන ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදයට හේතුව ක්‍රිකට් පරිපාලනය එකී ක්ෂේත්‍රය ගැන ප්‍රාමාණිකයන්ගෙන් ගිලිහී යාම පමණක් නො වේ. ක්‍රිකට් ක්‍රීඩාව ගැන මෙලෝ හසරක් නො දත්, තම ජීවිත කාලයේ කෙදිනකවත් ක්‍රිකට් පිත්තක් හෝ පන්දුවක් නො ඇල්ලූ බක පණ්ඩිතයන් ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගත යුතු ආකාරය ගැන පණ්ඩිතමානී විචාර ලිපි ලිවීම ද ක්‍රීකට් අර්බුදය ඇදී යාමට හේතුවකි.

    වෙල් ඉපනැල්ලේ එල්ලේ ගැසූ, ඔට්ටපාල බෝල මිරිකූ මොවූහු දැන් තමන් නො දන්නා ක්‍රිකට් ගැන මහා ආඛ්‍යාන ගොඩ නඟති, නො දන්නා පා දඟ පන්දු ගැන ලියති. නො දන්නා දේශපාලනය ගැන ලියො කිච වනු වෙනුවට නො දන්නො ක්‍රිකට් ගැන ලියා රට්ටු හිනස්වති.

    කලකට පෙර සුනිල් ලියූ "පන්දු කෙලින අතර ඉහල - පාසල් වල අමනයන්" යන පද නන්දා ගයන විට ඉන් උද්දාම වූ මඤ්ඤං දේශපාලනයක් කළ මොවුන් දැන් ඒ පන්දු කෙළිය සුරැකීම ගැන ම ලිවීම දෛවයේ සරදමකි.

    මෙකී හැඳින්වීම අප කරනුයේ මතුගම සිට සිහිනෙන් එංගලන්තයේ ඇම්.සී.සී යට ද උපදෙස් දෙන සම්මානීය බ්ලොග්කරුවෙකු අරබයා ය. හේ පැරා නමි.

    ReplyDelete
    Replies
    1. ලියූ කාරණා ගැන කියන්නට කිසිවක් නැති බව පෙනේ. සාමාන්‍යයෙන් මෙවැනි හුජ්ජ කොල්ලන් පව ගල් ගහන්නේ පල ඇති රුක්වලට ය. ඇගයීමක් ලෙස සලකමි. තැන්කියු වේවා.

      Delete
  7. ඔබට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ගැටලුව ඇති තැන පිලිබඳ හොඳ අවුබෝධයක් ඇති බව පෙනේ. මා එය තේරුම් ගෙන සිටින්නේද එම ආකාරයටමය
    //ක්‍රිකට් පරිපාලනය, කෝච්ලා, ඇකඩමි මුදලාලිලා, අම්පයර්ලා, ස්කෝරර්ලා පසුගිය කාලය තුළ වෘත්තිකයන් වෙලා තිබෙනවා//
    මෙන්න මෙතන තමයි වරද තියෙන්නේ. මම ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ විධායක සභිකයෙක්. ඒ නිසා මේ හැම තැනකම සිදු වෙන දේ අපේ කන් වලටත් එනවා. මම උදාහරණ දෙකක් කියන්නම්. මම වැඩ කරන රාජ්‍ය බැංකුව ජනසතු සේවා ක්‍රිකට් ක්‍රීඩා කරන ආයතන වලින් ඉහල ලාභ ලබන තැනක්. නමුත් අපිට අපේ ක්‍රීඩකයින්ට සපත්තු, නිල ඇඳුම් ගන්න ගියොත් අධ්‍යක්ෂ මණ්ඩලය දක්වා යන්න වෙනවා. නමුත් සමහර පාසල් සිසුන්(බත්තරමුල්ල සුභූති විදුහලේ සිසුන් මම දැක ඇත්තෙමි), අඳින පුහුණු ඇඳුමක(වර්ණ සබ්ලිමේෂන් මුද්‍රණ) සාමාන්‍ය අවම මිල රුපියල් 3000ක් වත් වේ. මෙය පාසලෙන් හෝ ආදී සිසුන් සපයනවා යයි සිතා ගත නොහැකිය. එනිසා මේවා අහිංසක දුප්පත් දෙමව්පියන්ගේ සාක්කුවෙන් උදුරා ගැනෙන බව පැහැදිලිය.
    දෙවන උදාහරණය පාසල් ක්‍රිකට් සංගමය තම නීති මාලාව ඉතා ඉහල මට්ටමේ මුද්රිතයක් ලෙස පාසල්(දහසකට වැඩිය), විනිසුරුවන්, නිලධාරීන් අතර බෙදා හරියි. එහි පිටු 100කට වැඩිය. ලංකාවේ වෘත්තීය ආයතන නියෝජනය කරන අප සංගමය සාදන ලබනු නීති මාලාව PDF ලෙස ඊ මේල් කර මුද්‍රණය කර ගන්නට සලස්වමු.

    මා නිතරම සිතින් වද වූ කාරණයක් නම් ක්‍රීඩාංගන ගාස්තු, විනිසුරු ගාස්තු, ලකුණු සටහන්කරුවන්ගේ ගාස්තු, ආහාර පාන, ගමන් ගාස්තු, ක්‍රිකට් උපකරණ, දුප්පත් පාසල් සම්පාදනය කර ගන්නේ කෙසේද යන්නයි.

    ReplyDelete
    Replies
    1. ඒ වෙනුවෙන් පාසල් ක්‍රිකට් සංගමය කිසිදු උපකාරයක් කරන්නේ නැත. ඔවුන් මුදල් වියදම් කරන්නේ තරගාවලිවල අවසන් පූර්ව හා අවසන් තරග වෙනුවෙන් පමණයි. අනෙකුත් සියලු වියදම් පාසල් විසින් දැරිය යුතුයි. පාසල් ඒ වියදම් සිසුන් පිට පටවනවා.

      තරගාවලි වෙනුවෙන් සහභාගි වන පාසල් සිසුන්ට සහතිකයක්වත් දෙන්නට පාසල් ක්‍රිකට් සංගමයට වැඩපිළිවලක් නැහැ.ඒ වුණාට දැන් ලකුණු සටහන්කරුවන් අනිවාර්ය කිරීම සඳහා ඔවුන් වැඩ කරගෙන යනවා.

      ඇත්තෙන් ම තුන්වන කාණ්ඩයේ ක්‍රිකට් ගහන පාසල් ක්‍රිකට් ක්‍රීඩාව කිරීමේ කිසිම තේරුමක් නැහැ. ඒ මුදල් මලල ක්‍රීඩාව වෙනුවෙන් වැය කරනවා නම් ඒ ළමයින්ට සෙතක් වෙනවා.

      ක්‍රිකට්වල තත්වය තේරුම් ගන්නට ඕනැ නම් පසුගිය වසර 25ක විතර කාලය තුළ ලංකාවේ අලුතෙන් ටර්ෆ් කීයක් හැදී තිබෙනවා ද කියා සොයා බැලිය හැකියි.

      තුන්වන කාණ්ඩයේ ක්‍රිකට් ගහන පිට්ටනිවල මැටිං විකට් කීයක් පසුගිය 25 වසර තුළ නවීකරණය කර තිබෙනවා ද කියා සොයා බලන්න.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා