ප්‍රතිගාමී මධ්‍යම පංතියේ ප්‍රශ්නවලට පිළිතුරු

ලංකාවේ මධ්‍යම පංතියට උවමනා මෙන්න මේ ගෑල්ලමයා වැනි ආණ්ඩුවකි. 
මේ මොහොතේ ලංකාව ඉන්නේ තීරණාත්මක ආර්ථික සන්ධිස්ථානයක බව ඉතා පැහැදිලි ය.

ලෝකයෙන් ගිනි පොළියට ණය ගනිමින් මධ්‍යම පංතියට ජොලි කරන්නට පුළුවන් කාල සීමාව පසු වී තිබේ.

පසුගිය කාලයක් පුරා ගත් ණය ගෙවීම සඳහා රජය දැන් සමස්ත වැයවලින් 40%ක් පමණ වෙන් කරයි. ගත් විදේශ ණය ගෙවන්නේ මැද පෙරදිග වහල් සේවයට යන ගෘහ සේවිකාවන් ප්‍රමුඛ විදේශ ශ්‍රමිකයෝ, ඇඟලුම් කම්කරුවෝ, වතු කම්කරුවෝ වැනි සමාජයේ හඬක් නැති, වරප්‍රසාද නො ලැබෙන සමාජ කණ්ඩායමයි.

ඔවුන්ගේ ලේ, කඳුළු, දහදිය මතින් මධ්‍යම පංතියට කාර් පර්මිට්, වැඩි පඩි, විශ්‍රාම වැටුප් ආදී වරප්‍රසාද ලබා දීම තුළ තිබෙන අසාධාරණය අවධාරණය කර පෙන්වූ අයවැයක් පසුගියදා ඉදිරිපත් කරන ලදී.

ලංකාවේ ආණ්ඩුව ධනපති ආණ්ඩුවකි, ඔවුන්ගේ ආර්ථික දෘෂ්ටිවාදය නව ලිබරල්වාදයයි ආදී වශයෙන් මතුරන අය අගමැති රනිල් වික්‍රමසිංහ 2015 දෙසැම්බර් 14දා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ යටත් වීමේ ප්‍රකාශය කියවා බලන්න.

ලංකාවේ තිබෙන්නේ ධනපති ආණ්ඩුවක් නම් රනිල්ට මෙසේ කරන්නට අවශ්‍ය වේ ද? ලංකාවේ තිබෙන්නේ ධනපතියන්ගේ මූලිකත්වයෙන් යුත් රජයක් නම් මෙවැනි තත්වයක් ඇති වේ ද?

නැත. අප මතු කරන කාරණය මෙම සිද්ධියෙන් ද ස්ඵුට වේ. ලංකාවේ පවතින්නේ ධනපති ආණ්ඩුවක් නොව, අතරමැදි පංතික ආණ්ඩුවකි; බලයකි; ක්‍රමයකි. අප මේ පිළිබඳ මීට කලින් ද පැහැදිලි කර ඇත. කියවන්න: මහින්ද රාජපක්ෂගේ සිට පුබුදු ජයගොඩ දක්වා විකාරකාරයන්ට උත්තර දෙන්නට සැබෑ වැඩ කරන ජනතාව වීදියට පැමිණිය යුතු ය

රමිඳු ලඛික පෙරේරා සහෝදරයා ෆේස්බුක්හිදී අපගෙන් අසන ලද ප්‍රශ්නයකින් මෙම පංතියේ ලක්ෂණ ප්‍රබුද්ධ අන්දමින් ප්‍රදර්ශනය කෙරේ. ඔහු මෙසේ අසයි: “රජයේ වැය ශීර්ෂයේ ප්‍රමුඛතම පංගුව ගත් ණය සදහා මුදල් ගෙවීම සදහා වැය වේ. මේ ණය ගත්තේ කවුද? ඒ ණය අරගෙන කළ ව්‍යාපෘති මොනවාද? ඒවා සේවය කළේ කාටද? ප්‍රශ්නය රජයේ අය වැය හිඟය නම් ඒ ණය පොලී ගෙවීම් ගැන දරන ස්ථාවරය කුමක්ද? පොදු ජනතාවට දෙන සහන ඒ සදහා හිලවු කරන්නේ ඇයි? බලවත් පාර්ශවයන් තරම් පොදු ජනතාව බලවත් නැති නිසාද?"

මේ ණය ගත්තේ කවු ද? මේ ණය ගත්තේ කවුරුවත් නොව, මේ රටේ මධ්‍යම පංතිකයන් විසින් පත් කර ගන්නා ලද ආණ්ඩු විසිනි. එයින් විශාල ප්‍රමාණයක් ගත්තේ තනිකර ම මධ්‍යම පංතික නිර්මානයක් වන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි. ඒවා ගත්තේ කුමට ද? ප්‍රධාන වශයෙන් ම මධ්‍යම පංතික රජයේ සේවකයන්ට රස්සා දෙන්නට ය; පඩි නඩි ගෙවන්නට ය; විශ්‍රාම වැටුප් දෙන්නට ය; කාර් පර්මිට් දෙන්නට ය; පොදුවේ සහනාධාර දෙන්නට ය. 

ණය අරගෙන කළ ව්‍යාපෘති මොනවා ද? ප්‍රධාන ම ව්‍යාපෘතිය යුද්ධයයි. දෙමළ ජනයාගේ ජාතිකවාදී ඉල්ලීම් පිළිගනිමින්, ඔවුන් සමග බලය බෙදා නො ගෙන යුද්ධයෙන් සිංහල ජාතික ආධිපත්‍යවාදය නැවත පිහිටුවීමේ ව්‍යාපෘතිය කාගේ එකක් ද? 2002 - 2004 කාලයේ බලයේ සිටි ධනපති රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල් ආණ්ඩුවෙන් යෝජනා කළේ එය ද? එයට එරෙහිව සිංහල ජාතිවාදය හා මහින්ද රාජපක්ෂ ඔසවා තැබුවේ කවුරු ද? පිළිතුර මධ්‍යම පංතියයි. දෙමළ මධ්‍යම පංතිය ද ජාතිවාදී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කොටි සංවිධානය යුද්ධයට තල්ලු කළේ ය. 

මේ ණය සේවය කළේ කාට ද? මේ ප්‍රශ්නයට දැනටත් පිළිතුරු දී ඇත. මෙම ණයවලින් කරන ලද ප්‍රධාන කාර්යයක් වුණේ මධ්‍යම පංතිය පෝෂණය කිරීමයි. එසේම එහි ඉහළ තලයේ සිටින මහින්ද රාජපක්ෂ පවුල වැනි පරපුටුවෝ ධනවත් වුණේ ද එයිනි. මේ ගසා කෑම පහළ ම මට්ටමේ රජයේ සේවකයා දක්වා ම විහිදිණි. වෙනස ඇත්තේ පරිමාණයේ ය. 

ප්‍රශ්නය රජයේ අය වැය හිඟය නම් ඒ ණය පොලී ගෙවීම් ගැන දරන ස්ථාවරය කුමක්ද? මෙවැනි රජයකට ඒ ණය නො ගෙවා සිටින්නට බැරි ය. කොන්දේසි විරහිතව ගෙවන්නට සිදු වේ. ණය ගෙවන්නට වැඩි දුරටත් ගන්නා ණය අඩු කරන්නට උවමනාවක් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිවලින් ප්‍රකාශ විණි. කළ යුතුව තිබෙන්නේ රජයේ වියදම් අවම කිරීමයි. ඒ සඳහා මධ්‍යම පංතිය පිනවීම නතර කරන්නට සිදු වී තිබේ. අද ලංකාවේ මධ්‍යම පංතිය ආණ්ඩුවට එරෙහිව රෙදි කරට ගෙන ඇත්තේ ඒ නිසා ය. 

පොදු ජනතාවට දෙන සහන ඒ සදහා හිලවු කරන්නේ ඇයි? බලවත් පාර්ශවයන් තරම් පොදු ජනතාව බලවත් නැති නිසාද? 'පොදු ජනතාව' යන යෙදුම භාවිතා කරන්නට රමිඳු පෙළඹීම ඉතා වැදගත් ය. මන්ද, රමිඳු යනු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන ධාරාවේ ශිෂ්ට මුහුණුවරක් ලෙස සැලකිය හැකි නිසා ය. පෙසප නම් භාවිතා කරන්නේ 'වැඩ කරන ජනතාව' යන යෙදුමයි. එය නො පැහැදිලි අරුතක් ඇති වචනයකි. මේ රටේ ඇත්ත වැඩ කරන ජනතාව වනාහි රජයේ සේවකයෝ නො වේ. බැංකුකාරයෝ නො වේ. ඔවුන් අයත් වන මධ්‍යම පංතිය යනු ලංකාවේ පාලනය හිමි, පීඩිතයන් සූරා කන පංතියකි. ආණ්ඩුව මේ රටේ ඇත්ත වැඩ කරන ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු ය. මේ අයවැයෙහි ඒ වෙනුවෙන් කිසිදු පැහැදිලි යෝජනාවක් නැත. 

ආගමික මාක්ස්වාදී පොතේගුරුවාදීන්ගෙන් අප ඉල්ලා සිටින්නේ මෙයයි. තමන්ගේ අත කට තුළින් ඇතුළට දමා වලිගයෙන් අල්ලා කණපිට ගසාගෙන තමන් කරන විග්‍රහ දෙස ආපසු හැරී බලන්න. 

ලංකාවේ පීඩිතයන් කවුරුද යන්න නිවැරදිව හඳුනාගන්න. ඔවුන් මූලික කරගෙන දේශපාලනය කරන්න. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඇත්ත තත්ත්වය මෙය තමා , සාමාන්‍ය ජනතාව වීදි බැසිය යුතුමයි , නමුත් ඔවුන් බලන්නේ වෙනත් රටකට ගොස් තව තවත් මේ රටේ ඉන්න තක්කදින්ව පෝෂණය කරන්න රටට මුදල් පොම්ප කරන්නයි

    ReplyDelete
  2. මේ මොහොතේ නොව ඕනෑම මොහොතක ලංකාව ඉන්නේ තීරණාත්මක ආර්ථික සන්ධිස්ථානය

    ජනතාව විසින් තමන්ගේ නියෝජිතයින් සුදුසුකම් මත් පත් කිරීමෙන් හා චන්දය මගින් තොරා ගැනිමෙන් රටේ විධායකය හා ව්‍යවස්ථාදායකය සකස්කර ගනියි.
    ලංකාවේ විධායකයේ බලතල ක්‍රියාත්මක කරනු ලබන රජයේ නිලධාරීන් මධ්‍යම පාන්තිකයින් ලෙස පැරා විසින් හදුන්වන්නේ ඔවුන් විධායකයේ බලතල ක්‍රියාත්මක කරන බැවින් විමට පුලුවන්ය. නැතහොත් සාමන්‍යෙයන් රජයේ සේවකයකුගේ වැටුප රු 30000 සිට 60000 දක්වා පමණ වේ.
    ඉහල මට්ටමේ කළමණාකරුවන්ගේ, ඉංජිනේරුවන්ගේ,පරිපාලකයින්,ගණකාධිකාරි ආදි විධායක ගණයේ (විධායක ශ්‍රේණියේ පළමුවන පන්තියේ)නිලධාරින්ගේ වැටුප සියලු දීමනා සමග රු 100000ක් පමණ වේ. විධායක ගණයේ පළමු පන්තියට නිලධාරියකුට යාමට හැකි වන්නේ වසර 17ක සේවා කාලයකින් පසුවය. විධායක ගණයේ අනෙකුත් නිලධාරින්ගේ වැටුප සියලුම දිමනා සහිතව රු 50000කට ආසන්නය මෙම සේවා ගණවල සිටින මුලු කාර්ය මණ්ඩලය උපරිම 20000ක් පමණ වනු ඇත.

    මාසික වැටුප 50000ක් වන නිලධාරියෙක් සම්බන්ධව සැලකිමේදි
    පවුලේ සාමාජිකයින් 04ක් සිටිනම් (දරුවන් දෙදෙනෙකු සමග)
    කැමබිම සදහා 15000
    ඇදුම් සදහා 3000 (වර්ෂයකට 36000, උත්සව සදහා ඇදුම්, පාසැල් ඇදුම්, සාමන්‍ය ඇදුම් සියල්ල සදහා)
    ගමන් වියදම රු 10000
    අධයපන කටයුතු සදහා 5000
    ගෙදර නඩත්තු වියදම් 5000 (වතුර, විදුලිය, වර්ෂ 02කට වරක් පින්තාරු කිරීම, අනෙකුත් නඩත්තු)
    දුරකතන ගාස්තු 2000
    උත්සව සදහා 4000
    විනෝද චාරිකා සදහා 2000 (වාර්ෂිකව චාරිකා 03කට 24000)
    බෙහෙත් සදහා 2000
    දෙමාපියන්ට 10000
    ණය වාරිකය 20000 (ලක්ෂ 50 ඉඩම සහ නිවස සදහා වසර 30 ණය මුදලේ වාරිකය)
    මුලු වියදම - 78000
    අතිරික්ත වියදම රු 28000
    අත්රික්ත වියදම පියවා ගැනීමට නොහැකි බැවින් පහත වියදම් කපා දැමිම ( අහාර 5000, විනෝද චාරිකා 2000, උත්සව 2000,අධ්‍යපන වියදම් 2000, දෙමාපියන්ට ලබාදෙන මුදල 5000, ණය වාරිකය 5000 (නිවසේ භාගයක් සැදීම)ඉතිරි 7000 කෙසේ හෝ කපා දැමීම නැතහොත් ඒ සදහා අමතර ආදායමක් සොයා ගැනීම

    මේ මාසකට රු 50000ක් ලබන මධ්‍යම පාන්තික රජයේ සේවකයාගේ ජිවිතයයි. රජයේ සේවයේ සිටින අයගෙන් 90%කටත් වැඩි පිරිසක් රු 40000ට අඩුවෙන් උපයන බැවින් දෙදෙනාම රජයේ සේවයේ යෙදුනවිට යන්තම්න් ණයක්වී වාහනයකට ණය වාරික ගෙවිමට හැකිය
    නැතහොත් ඔවුනට 40000ක පමණ වියදමක් කපා දැමිමට සිදුවේ
    දෙදනාම රුකියා කරන විටදි දරුවන් බලා ගැනීමට සේවකයෙකුට ආහාර සමග රු 20000ක් පමණ අමකරව ගෙවීමට සිදුවේ

    මොවුන්ට ඇත්තේ මධ්‍යම පාන්තික සිහිනයන් වුවද ඇත්තටම මොවුන් පහළ පාන්තිකයින්ය. වසර 30 - 40 සේවයකට පසුව විශ්‍රාම වැටුප නොලැබෙන්නේනම් විශ්‍රාම ලැබිමෙන් පසු මොවුන්ටද ගෙවල්වල බලුකුඩු වල ලැගීමට සිදුවනු ඇත

    ReplyDelete
  3. ණය ලබා ගත්තේ රටේ ජනතාව විසින් පත් කරනු ලැබු නියෝජිතයින් විසිනි. දැන් තියෙන රනිල් මෛත්‍රී යහපාලන නඩයද පත්කර ගත්තේ එම ජනතාවගේ කැමැත්තෙන්ය. ජනතාවගේ කැමැත්තෙන් නියෝජිතයින් පත්කරගෙන ඇත්තේ මහජනතාවගේ බදු මුදල් නිසිපරිදි කළමනාකරණය කිරීමටත් මහජනතාවට සුභසිද්ධිය සැලසිමටත්ය.

    ආණ්ඩුව විසින් රාජ්‍ය සේවය අකාර්යක්ෂමයි ලෙස ප්‍රකාශ කලද ආකර්යක්ෂම කුමන ස්ථානද, ක්මන ක්ෂේත්‍රද යන්න හෝ ඒවා අවම කර ගැනීමට කර ඇති යොජනාවන් මොනවාද?
    පැරා දකින රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම ස්ථානයන් මොනවාද? (උපාධිධාරින් කිසිදු රාජකාරියක් නොමැතිව බදවාගෙන පඩි ගෙවිමද? මේ සදහා රජය කර ඇති යෝජනාව අතිරික්ත සේවකයින් වෙනත් තැන් වලට යොමු කිරීමද?)

    මහජන බදු මුදල් වලින් වර්ෂයකට මිලියන 100 බැගින් මිලියන් 22500 ක් ජනතාවට තමන්ගේ වියදමින් මෙන් භාණ්ඩ බෙදාදීම වෙනුවෙන් මන්ත්‍රීවරුන්ට බෙදා දීම පිලිබදව පැරාගේ මුලික විරෝධය අති නොකරන්නේ එය සිදුකල නොහැකි බැවින්ද?( මේ පිලිබදව එක් අවස්ථාවක පැරා ලියා ඇත) එය නැවත නැවත මතු නොකරන්නේ ඇයි?. පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් පත්කර තිබෙන්නේ රටට අවශ්‍ය ප්‍රතිපත්තිමය තිරණ ගැනීමට වෙන බැවින් මරණාධාර සමිතිවලට පුටු බෙදීම සදහා මහජනතාවගේ බදු මුදල් හෝ ණය යෙදවීම පිලිබදව කතා නොකරන්නේ ඇයි?






    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා