පඬියකු සමග ආතල් හීනයක්

හීනය දැක්කේ ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර විසිනි

ඊයේ රාත්‍රීයේ හීනෙන් අපේ කාලයේ දාර්ශනයෙකු සමග බුද්ධිමය සංවාදයක් සිදුකිරීමෙන් පසු පහත සඳහන් නිගමනවලට එළඹීමට හැකිවුණු බව ලියා දන්වමි.

* ලෝකයේ රටවල් කිහිපයක නිදහස් අධ්‍යාපන අයිතිය ඉල්ලා සිදුකරන සිසු අරගල කිහිපයක් ඇති බැවින් එය 'ගෝලීය අරගලයක්' වන අතර ලෝකයේ රටවල් කිහිපයක ඉස්ලාම් අන්තවාදී කැරලි පවතින නමුත් ඒවා 'ගෝලීය අරගල' නොවේ.( එසේම තිරසාර සංවර්ධනය,සමලිංගික අයිතිය ආදිය ඉල්ලා රටවල් කිහිපයක අරගල කිරීම කිසිසේත්ම 'ගෝලීය'නොවේ.)

*නායකයින්ගේ ප්‍රතිරූපය ගොඩනැංවීම වෙනුවෙන් හා අරගලයට ජනතා අවධානය දිනා ගැනීම පිණිස සිසු ජීවිත බිලිදීම ඕනෑම සිසු අරගලයක සිදුවිය හැකි බැවින් එය ඉතාම සාධාරණ වන අතර ඊට එරෙහිව වචනයකින් හෝ එරෙහිවීම පවතින රාජ්‍ය දෘෂ්ටිවාදය සමග බද්ධවී පාලකයින්ට සේවය කිරීමකි.(සැ.යු මෙහි ජනතා අවධානය යනු ජනමාධ්‍ය ආයතනවල අවධානය වන අතර රාජ්‍ය දෘෂ්ටිවාදය යනු තමන්ගේ මතයට එකඟ නොවන ඕනෑම අයෙකු ගොදුරු විය හැකි භයානක රෝගයකි.)

*රාජ්‍ය පාසල් හා විශ්වවිද්‍යාල වලින් නොමිලේ අධ්‍යාපනය ලබාදිය යුතු අතර එක විභාගයක් අසමත් වුවහොත් ඉන් ඉදිරියට මුදල් ‍ගෙවා හෝ අධ්‍යාපනය ලැබීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති අතර අධ්‍යාපන අයිතිය ඇත්තේ අ.පො.ස උ/පෙ කඩයිම් විභාගය උසස් ලෙස සමත්වන සීමිත පිරිසකට පමණි. (සෙසු අයට දැනුම අගුණ වන බැවින් මෙය ජනතා හිතසුව පිණිසමය). රාජ්‍ය අධ්‍යාපන ආයතනවලින් කිසිසේත්ම රාජ්‍ය දෘෂ්ටිවාදය පතුරවන්නේ නැති නිසා ඒ සඳහා තව දුරටත් දිරි ගැන්වීම් කළ යුතුය.)

*ස්ලෝවේනියාවේ උපත ලැබූ 'ලුබ්ජානාවේ ටර්බෝ මනස' හෙවත් ශීෂෙක් නම් මිනිසෙක් විසින් මේ යුගයේ ලෝකයේ ඕනෑම රටක මහ පාරේ සාමාන්‍ය මිනිසුන්ට හිරිහැර කිරීම, විරෝධතා පා ගමන් යන ගමන් කඩ සාප්පු වලට පහරදීම හා කොල්ලකෑම, තමන්ගේම උන් බිලි දී මළ මිනී විකුණාගෙන කෑම ආදිය සම්බන්ධයෙන් තමාගේ එකඟත්වය පළකර ඇති බැවින් අපද ඊට එකඟවිය යුතුය.( එකඟ නොවන්නන් රාජ්‍ය දෘෂ්ටිවාදය නමැති භයානක රෝගයට අනිවාර්යයෙන්ම ගොදුරු වේ.)

* මේ යුගයේ වඩා සාධනීය සමාජයක් වෙනුවෙන් හීන දකින්නන් හා ක්‍රියාධරයින් ගෝලීය භාෂාවක් වන ඉංග්‍රීසි දැනුමෙහි කෙළපැමිණ ගෝලීය වශයෙන් 'ගෝලීය විප්ලවවාදියෙක්'ලෙස කටයුතු කළ යුතු අතර ඊට අදාළ පේටන්ට් අයිතිය හා දැනුම සම්බන්ධයෙන් වන සහතිකය ශිෂෙක්ගේ මෙරට බලයලත් නිලධාරී විසින් ලබාදෙනු ඇත.(අභියාචනා සලකා බලන්නේ තමාගේ මතයට ෆේස් බුක් එකේ like දමන්නන් share කරන්නන් පමණක් වන අතර තම මතයට එරෙහි වෙනත් මත like කර හෝ share කර තිබුණොත් එකී අභියාචනා පූර්ව දැනුම්දීමකින් තොරව කුණු බක්කියට දමනු ලැබේ.)තමාගේ කලින් මිතුරන් හෝ සිසුවියන්වී සිටි අය වෙනත් මත දරන්නේ නම් නිදහසට කරුණු කිව යුතුය.)

* හුදී ජනයා කලාව, සාහිත්‍යය,සිනමාව ආදි ක්ෂේත්‍රවල නිරතවෙමින් ‍හා ඒ ගැන කතා කරමින් පමණක් සෑහීමට පත්විය යුතු අතර පේටන්ට් අයිතිය හිමි අය පමණක් ක්‍රම විරෝධී දේශපාලනය කළ යුතුය.( පේටන්ට් හිමිවන්නේ දෙවියන් වහන්සේගෙන් බැවින් එය කිසිසේත්ම ප්‍රශ්න නොකළ යුතුය.)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ පෙර‍ටුගාමි කියන්නේ දීප්ති කුමාරගේ සෙට් එකද ප්‍රේම කුමාර් ගේ සෙට් එකද?

    ReplyDelete
  2. තමන් පෙරටුගාමීයි කියා සිතා සිටින කොයි පඬියාටත් මෙය අදාළ ය.

    ReplyDelete
  3. අජිත් පැරකුම් ජයසිංහ මගේ ලිවීම් වලට ප්‍රතිචාර දක්වා ඇත්තේ චේතනාන්විත පුද්ගලික අපහාසයක මුහුණුවරිනි. ඔහු ලියා ඇති කරුණුමය දේවල් වලට ඉක්මනින්ම විස්තීර්ණ ප්‍රතිචාරයක් පළ කිරීමට අදහස් කරමි.

    නමුත් එයට පෙර ඔහු මගේ නම සහ ජායාරූපයක් පළ කරමින් මට එරෙහිව සිදු කොට ඇති පුද්ගලික අපහාස කිරීම් සම්බන්ධයෙන් ක්ෂණික ප්‍රතිචාරයක් දැක්වීමට සිදු වේ. මෙයට පෙර මා "අනන්‍යතා අර්බුදයකින් පෙළෙන්නෙකු" ලෙස හැඳින්වූ ඔහු මෙවර මා හැඳින්වීම සඳහා අපහාසාත්මක ලෙස "සුමිත් පඬියා" යන යෙදුම නැවත නැවතත් යොදයි. නමුත් මෙවන් පුද්ගලික ප්‍රහාර වලට ප්‍රතිචාර දැක්වීමේදී අජිත් පැරකුම්ගේ සංස්කෘතික මට්ටමට වැටීමට මට උවමනාවක් නැත. මෙහිදී අජිත් පැරකුම් මාධ්‍ය සදාචාරය පිලිබඳ මූලික සම්මුතීන් නින්දිත ලෙස කඩ කොට ඇත. දෙවනුව, මා ඉදිරිපත් කළ තර්ක වලට ප්‍රතිචාර දැක්වීමට වඩා පුද්ගලයෙකු ලෙස මා ඉලක්ක කොට ප්‍රහාර එල්ල කිරීමට උනන්දු වී ඇත. මෙය තර්ක ශාස්ත්‍රය තුළ හැඳින්වෙන්නේ පුද්ගල ආලම්බන තර්ක (ad-hominen arguments) වශයෙනි. ඒවායෙහි කිසිදු වැදගැම්මක් නැත. තෙවනුව, ඔහු මා කව්රුන්දැයි හඳුන්වා දීම සඳහා පළ කොට ඇති ජායාරූපයෙන් පෙනී යන්නේ මා පිළිබඳව සෙසු අය තුළ නිශේධනීය ප්‍රතිරූපයක් මවන්නට ඔහු චේතනාන්විතවම බලාපොරොත්තු වී ඇති බවයි. එය මා ඇමෙරිකා එක්සත් ජනපදයේ කළ (මුළුමනින්ම පුද්ගලික වූ) සංචාරයකදී රසවත් මොහොතකදී ගත් පරිහාසක ජායාරූපයකි (funny photo).

    ReplyDelete
  4. මේ 'රාවය' පුවත්පතේ ලේඛකයෙකු සහ 'පුරවැසි බලය' වැනි සංවිධාන සමග වැඩ කළ 'යහපාලන සිවිල් සමාජ' සාමාජිකයෙකු තම ප්‍රතිවාදීන්ට පිළිතුරු දෙන හැටිය! ලංකාවේ අන්තර්ජාල මාධ්‍ය භාවිතාව පිලිබඳ ආචාර ධාර්මික නියාමනයක් නොමැතිකම නිසා තම වෙබ් අඩවියේ ඕනෑම අඩව්වක් අල්ලන්නට හැකි යයි අජිත් පැරකුම්ලා කල්පනා කරනවා විය හැකිය. එය හරියට ලංකාවේ පුද්ගලික බස් හිමියන් තම බස් රථ තුළ තමන්ට අදාළ නීතියක් පැනවිය හැකි යයි සිතාගෙන හැසිරෙනවා මෙන්ය. පුද්ගලික බස් රථ දුවන්නේ ප්‍රවාහන පනතෙන් පැනවූ නියාමනයන් තුළ වනවා සේම පුද්ගලික වෙබ් අඩවි වල ඕනෑම දෙයක් පළ කළ යුත්තේද අන් අයගේ අයිතීන්ට සහ පුද්ගලත්වයට හානි නොවන අයුරිනි. 'පුරවැසි බලයෙන්' හෝ 'රාවය' පුවත්පතෙන් අජිත් පැරකුම්ගේ මාධ්‍ය භාවිතාව ගැන විචාරයක් බලාපොරොත්තු වීම නිරර්ථක බැවින් ප්‍රජාතන්ත්‍රවාදය ගැන උනන්දු වාම ක්‍රියාකාරීන්ගේ අවධානයට මෙය ලක් කරමි.
    අජිත් පැරකුම් අපහාසාත්මක ලෙස මට "පඬියා" යයි කියන්නේ මගේ ලිපිවල අගට ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලියක් එක් කිරීම නිසාය. මෙය විහිලු සහගතය. මන්ද යත්, තමන් පරිශීලනය කළ කෘතීන් විධිමත්ව ගෙන හැර දැක්වීම ලොව සාමාන්‍යයෙන් සලකන්නේ ශාස්ත්‍රීය නිරහංකාරකම පිලිබඳ සංකේතයක් ලෙසය. නොඑසේව, අන් අයගෙන් උපුටා ගත් අදහස් තම හිසෙන් පාදුර්භූත වූ ආකස්මික අදහස් යයි හැඟී යන ලෙස පළ කිරීමය සැබෑ බක පණ්ඩිතකම වන්නේ. අජිත් පැරකුම් මාධ්‍ය ආචාර ධර්ම ගැන සේම මෙවන් කතිකාමය සම්මුතීන් ගැනද නොදැනීම ගැන මට කරන්නට දෙයක් නැත.

    ReplyDelete
  5. මා මින් ඉහතදීද පෙන්වා දී ඇති පරිදි අජිත් පැරකුම් අධ්‍යාපනය පෞද්ගලිකකරණය කිරීම සාධාරණීකරණය කරන්නේ අදාළ විෂය පිලිබඳ ප්‍රමාණික දැනුමකින් තොරවය. මෙසේ කීම ඔහු පිලිබඳ ගර්හාවක් හෝ පණ්ඩිතමානී බව ප්‍රදර්ශනය කිරීමක් නොවේ. යමෙකු දේශපාලන ආර්ථිකය පිලිබඳ මුලිකාංග නොදැන අදාළ විෂය ගැන නිගමන ඉදිරිපත් කිරීමට යාමය සැබවින්ම පණ්ඩිතමානී වන්නේ. නිදසුනක් ලෙස අජිත් පැරකුම් පුබුදු ජයගොඩ සමග කළ වාදයේදී ධනවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර අත්‍යන්ත සම්බන්ධයක් ඇති බව ප්‍රකාශ කොට තිබිණ. මේ විෂය කරුණු පිලිබඳ මූලික දැනුමක් නොමැතිව කළ පණ්ඩිතමානී අදහසකි. මේ අදහස අද දින ලිබරල්වාදී උගතුන් විසින්වත් පිළි නොගනී. නිර්මාල්ට මැදිහත් වී අජිත් පැරකුම්ව ජේදයෙන් ජේදය නිවැරදි කිරීමට සිදු වූයේ එහෙයිනි. මා එහි කිසිදු වරදක් නොදකිමි. අජිත් පැරකුම් අඥානකම වරප්‍රසාදයක් ලෙස සලකන්නේ නම් (Bliss of ignorance) ඉන් ඔබ්බට ඔහු සමග වාද කිරීමෙන් පලක් නොමැත. නමුත් ඔහු ඉදිරිපත් කරන අදහස්වල සාවද්‍යභාවය අන් අයට පෙන්වා දීම එවිට අප කාගේත් අයිතියක් බවට පත් වේ.

    එපරිදිම අජිත් පැරකුම් ප්‍රසන්න විතානගේ නවතම චිත්‍රපටය පිලිබඳ අතිසරල අර්ථකථනයක් ලබා දෙමින් අසා තිබුණේ "එහි දෙමළ හෘදය සාක්ෂිය කෝ" යනුවෙනි. මෙය සිහි ගන්වන්නේ ගතානුගතික වම්මුන් යම් කලා කෘතියක "පන්ති අරගලය කෝ" යනුවෙන් ඇසූ ආකාරයයි. මේ ප්‍රසන්නගේ චිත්‍රපටයෙන් සාකච්ජා කෙරෙන අනේකත්වය සමග වූ සංකීර්ණ සම්බන්ධය වටහා ගන්නට අසමත් වූ අවරසික ප්‍රතිචාරයක් නොවේද? නොදන්නා දේට විරුද්ධ වීම පසුගාමීත්වයක් නොවේ නම් අන් කුමක්ද?

    දැනට අජිත් පැරකුම්ගේ ලිපියට මගේ කෙටි කාලීන සිසුවියක සහ හිතවතියක වූ අනුරාධා කෝදාගොඩ ඇතුළු 13 දෙනෙකු මනාපය ප්‍රකාශ කොට ඇත. එනයින් ඒ සියල්ලන් (තර්ක වලට වඩා පුද්ගලයන් ඉලක්ක කර ගන්නා) අජිත් පැරකුම්ගේ නින්දිත මාධ්‍ය භාවිතාවද අනුමත කොට තිබේ. ඒ සියලුම දෙනා මට එරෙහිව චේතනාන්විතව කළ පුද්ගලික අපහාසය සමග මනාප වන්නේ මන්දැයි මට පැහැදිලි කළ යුතුය.

    දැනට අපට ඇති ගැටළුව නම් අජිත් පැරකුම් මගේ තර්ක සමග ගැටෙනවා වෙනුවට මට එරෙහිව පුද්ගලික ප්‍රහාර එල්ල කිරීමෙන් සංවාදයක් සඳහා අවශ්‍ය ශිෂ්ට සම්පන්න බව කෙලෙසා තිබීමය. දේශපාලන දෘෂ්ටිවාදී අරගලයේදී ඕනෑම අරගල ක්‍රමයකට, විලාසිතාවකට අප සූදානම්ය. අජිත් පැරකුම්ගේ ලියමනට මනාපය පල කළ සියලු දෙනාද මෙය සිතට ගනු ඇතැයි සිතමු. මා මීට පෙරද පැවසූ පරිදි වමෙහි බුද්ධිමය සදාචාරමය නායකත්වය ප්‍රතිස්ථාපනය කිරීම උදෙසා වන දෘෂ්ටිවාදී අරගලය අප කිසිදු ලෙසකින්වත් අත් නොහරිමු. අප ඉලක්ක කොට ගත් කෝපාන්විත ප්‍රහාර විසින් අපට ලබා දෙනුයේ "අපමණ" හාස්‍ය රසයක් පමණි.

    ReplyDelete
    Replies
    1. මටනම් සුමිත්ගෙ ඔය කොමන්ට කරල හෑල්ල ඇතුලෙ පේන්නෙ තියෙන්නෙ මෙච්චරයි...
      අයියෝ පැරකුම් මට පුද්ගලිකව අපහාස කරල.. අම්මෝ ඇයි එහෙම කලේ.. මහේ අමාරුවෙන් ගොඩදාගත්ත බුද්ධිමය මෙව්වෙකට කොච්චර රිදෙනවද... ඒත් අපි සැලෙන්නෑ... අපි පැරාට බය නෑ හරිදඩෝ...අපි වාමාන්සික මෙව්වෙකේ මොකද්ද එක පෝසනය කොරන්න අපේ මොකද්ද එකෙන් ෆුල් සප් එක දෙනවඩෝ...

      Delete
  6. මෙහි වඩාත් ම ‘පරිහාසක'කෑල්ල මේකයි:

    “වමෙහි බුද්ධිමය සදාචාරමය නායකත්වය ප්‍රතිස්ථාපනය කිරීම උදෙසා වන දෘෂ්ටිවාදී අරගලය අප කිසිදු ලෙසකින්වත් අත් නොහරිමු."

    හිනා වෙලා කැස්ස වගේ ඕයි!

    ReplyDelete
    Replies
    1. අප ඉලක්ක කොට ගත් කෝපාන්විත ප්‍රහාර විසින් අපට ලබා දෙනුයේ "අපමණ" හාස්‍ය රසයක් පමණි

      Delete
    2. මටනම් සුමිත්ගෙ ඔය කොමන්ට කරල හෑල්ල ඇතුලෙ පේන්නෙ තියෙන්නෙ මෙච්චරයි...
      අයියෝ පැරකුම් මට පුද්ගලිකව අපහාස කරල.. අම්මෝ ඇයි එහෙම කලේ.. මහේ අමාරුවෙන් ගොඩදාගත්ත බුද්ධිමය මෙව්වෙකට කොච්චර රිදෙනවද... ඒත් අපි සැලෙන්නෑ... අපි පැරාට බය නෑ හරිදඩෝ...අපි වාමාන්සික මෙව්වෙකේ මොකද්ද එක පෝසනය කොරන්න අපේ මොකද්ද එකෙන් ෆුල් සප් එක දෙනවඩෝ...

      Delete
    3. මේ 'පරිහාසක ජායාරූපයකි' කියන එක සුමිත් චාමින්ද වගේ පඬියන් තේරුම් ගන්න ඉස්තරම් උදාහරණයක්. ඇත්තටම මෙයා මේ වචනේ දාල කියන්න හදන්නේ මෙහෙම දෙයක් කියන්නනේ : "මම මේ විහිළුවට ගත්ත ෆොටෝ එකක්". අපි සාමාන්‍යයෙන් ටිකක් සිංහලෙන් තේරෙන්නේ නැති වෙයි කියල හිතෙන ලොකු සංකල්පයක් සිංහලෙන් ලියනකොට ඒකෙ ඉංග්‍රීසි වචනේ සිංහලෙන් දුන්නට කමක් නැහැ. නිකන් 'නිශේදයේ නිශේදය' (negation of the negation) වගේ එකක්. මොකද ඒක සිංහලෙන් ලියනකොට ටිකක් අඥඥකොරොස් නිසා ඒකෙ ඉංග්‍රීසි වචනේ දෙන්න මොකක් හරි හේතුවක් තියනවා. යකෝ, මේ funny photo කියන්නෙත් මේ වගේ බරපතල සංකල්පයක් ද? ඒකෙ තේරුම නිකන් ආතල් එකට ගත්ත ෆොටෝ එකක් කියන එක! සුමිත් මේක දාන්නේ බරපතල සංකල්පයක් යොදනවා වගේ ඉංග්‍රීසි වචනේ වරහන් එක්කත් දාල! අනේ මේ වගේ පඬියෝ සිරා ගන්න එවුනුත් ඉන්නවනේ ලංකාවේ!

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා