සිංග්ලිෂ් අයවැය හා ලාංකිකයන්ගේ පශ්චාත් යටත් විජිත භාෂා අරගලය

අයවැය ගැන තව හැදෑරිය යුතු ය. මේ සටහන අයවැය ගැන නො වේ. රවී කරුණානායකගේ සිංහල ගැන ය. 

මේ වනාහි පළමු වරට සිංග්ලිෂ්වලින් කියැවුණු අයවැය යයි මම සිතමි. රවී කරුණානායකගේ සිංහල පිටපත ලියා තිබුණේ ඉංග්‍රීසි අකුරෙන් ද කියා මම නො දනිමි. මොහිදීන් බෙග් සිංදු කීවේත් ඒ වගේ ය. 

එහෙත්, රටේ වැඩි දෙනෙක් ඔහුට අනුකම්පා කළ හ. 

“මයි සිංහල ඉස් නොට් වෙරි ගුඩ්" යි කියන, නමින් සිංහල වන කොළඹ කේන්ද්‍රීය එක්තරා පැළැන්තියක් මට නිතර හමුවෙයි. එහෙත්, ඔවුන් ඒ තරම් ඉංග්‍රීසි දන්නේත් නැති බව ඔවුන් ලියන දේ අනුව පෙනේ. ඔවුන් වැඩිපුර හදාරා ඇත්තේ ඉංග්‍රීසි කථනය හා ව්‍යාපාර ලේඛනය වැනි දේ බව මම සිතමි. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශාරද දැනුමක් තිබේ යයි කියන්නට හැකි වන්නේ ඉංග්‍රීසි සාහිත්‍යය ඇසුරු කර ඇති අයටයි. එහෙත්, ලංකාවේ සිටින සිංහල දන්නේ නැති බව ආඩම්බරෙන් කියන වැඩි දෙනෙක් ඉංග්‍රීසි සාහිත්‍යය දන්නේ ද නැත. එහෙත්, චතුර ඉංග්‍රීසි උච්චාරණයෙන් ඔවුන් සමාජය යටපත් කර ගැනීමට සමත් වෙති. මොවුන්ගේ සම්භවය බ්‍රිටිෂ් කවුන්සිල් නම් යටත් විජිතවාදී ටියුෂන් සෙන්ටර් එක ය. 

සම්මන්ත්‍රණ, සම්මේලන ආදියෙහිදී රාජ්‍ය අංශය නියෝජනය කරමින් සාරගර්භ ඉදිරිපත් කිරීම් කරන බොහෝ ප්‍රවීණයෝ ඉංග්‍රීසි කථනයෙහිදී සිටින්නේ සාමාන්‍ය ව්‍යවහාරික මට්ටමේ බව මම නිරීක්ෂණය කර ඇත්තෙමි. එහෙත්, ඔවුන් විෂය සම්බන්ධයෙන් විශාරදයෝ ය. ලේඛනවලදී ද ඔවුහු වඩා හොඳින් භාෂාව හසුරුවන බව පෙනේ. ඔවුන්ගේ කථන ව්‍යවහාර සීමාව සලකුණු වන්නේ ගෙදරදී සිංහලෙන් කතා කිරීම, සේවා ආයතනයේදී බොහෝ විට සිංහලෙන් වැඩ කිරීම, මහජන සම්බන්ධතාවලදී සිංහල භාවිතා කිරීම, දේශපාලනයෙහිදී සිංහල ජාතිකවාදියකු වීම, ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලදී ඔවුන් ඉදිරිපත් කරන කරුණු මිස ඔවුන්ගේ භාෂාව ගැන අවධානයක් යොමු නො වීම නිසා ගැටලු පැන නො නැගීම වැනි හේතු මත ය. 

ලංකාවේ අති බහුතරයකට ඉංග්‍රීසි යනු දෙවන භාෂාවක් පමණි. එය පළමු භාෂාව බවට පත් කරන්නට උත්සාහ කළ මධ්‍යම පංතික රැල්ල යටපත් වී යාම සිංහල ජාතිවාදයේ එක් සාධනීය ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි ය. එහෙත් දෙවෙනි භාෂාවක් ලෙස ලාංකික ඉංග්‍රීසියේ ප්‍රමිතිය ඉහළ නංවා ගත යුතු ය. විශේෂයෙන් ම කථනය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ය.

රවී කරුණානායක දෙමළ ජාතිකයකු බව පෙන්වා දීමට බන්දුල ගුණවර්ධන පසුගියදා දැරූ උත්සාහයේදී රවී කරුණානායක තමන් සිංහලයකු බව දැඩිව අවධාරණය කළේ ය. ඔහු විවාහ වී සිටින්නේ (මට මතක හැටියට) මැලේ ජාතික කාන්තාවක සමග පැවසූ බව මට මතක ය. 

රවී කරුණානායක අයත් වන්නේ සිංහල භාෂාව ගෙදර වැඩකාරයින්ගේ භාෂාව ලෙස සැලකූ අගනාගරික ප්‍රභූන්ගේ පංතියට යයි මම සිතමි. වාමාංශික ලක්ෂ්මන් ගුණසේකර සහෝදරයා අතින් සන්ඩේ ඔබ්සර්වර් පත්තරයේ මෙවැනි කතුවැකි ලියැවෙන්නේ වඳ වී යමින් තිබෙන මේ පැළැන්තිය වෙනුවෙනි. කල් ඉකුත් වූ භාෂාවෙන් ඔලුව කරකැවෙන මෙවැනි උද්ධච්ඡ අපභ්‍රංස ලියන්නේ තමන්ගේ ඉංග්‍රීසි පාණ්ඩිත්‍යය පෙන්වීමට හැර අන් කුමකට ද?

රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතිවලට මුදල් හිඟ වීමත් සමග පැවැත්ම පිළිබඳ ප්‍රශ්න පැන නැගී සිටින මෙම පැළැන්තියට ජනමාධ්‍ය තල්ලුවක් ඔබ්සර්වර් පත්තරයෙන් දෙන්නට ලක්ෂ්මන් ගුණසේකර උත්සාහ කරනවා විය හැකි ය. 

හොඳ ඉංග්‍රීසි පත්තරයක් කරන්නැයි රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස ලක්ෂ්මන් ගුණසේකර තේරුම් ගෙන තිබෙන ආකාරය සන්ඩේ ඔබ්සවර් කියවන විට පෙනේ. රැකියා ඇබෑර්තු අංශය තවමත් ඔබේ පුවත්පතේ වැදගත් ම කොටස බව හා එහෙමට වෙනසක් අපට නම් නො පෙනෙන බව අප මිත්‍රයාට පෙන්වා දෙන්නේ කණගාටුවෙනි. 

ලක්ෂ්මන් ගුණසේකර වනාහි අප දන්නා ඉතා හොඳ වාමාංශික අරගලකරුවෙකි. ඔහු වනාහි සයිබර් විප්ලවවාදියෙක් නො වේ. වීදියෙහිද සිටින අරගලකරුවෙකි. ඔහු පශ්චාත් යටත් විජිත කතිකාව ගැන ද හොඳින් දන්නේ ය. එහෙත්, යටත් විජිත විරෝධී අරගලය තුළ ලාංකික ඉංග්‍රීසි භාෂාවක් වෙනුවෙන් කරන අරගලයේ වැදගත්කම අවබෝධ කර ගැනීමට ඔහු කැමති නැත. මෙය බොහෝ බුද්ධිමතුන්ගේ හා වාමාංශිකයන්ගේ ලක්ෂණයකි.

පශ්චාත් යටත් විජිත කතිකාවේ තවත් පඬිවරයකු වන මහාචාර්ය අර්ජුන පරාක්‍රම තමන් මවගේ ඔඩොක්කුවේ සිට ඉංග්‍රීසි කතා කළ අයෙකු බව ප්‍රසිද්ධියේ ආඩම්බර කතා කියනු මම අසා ඇත්තෙමි. සංස්කෘතික සමානත්මතාව වාගාඩම්බරයක් නො වී භාවිතාවක් බවට පත් කළ යුතුව තිබේ. ඒ වෙනුවෙන් වන සටන වැදගත් දේශපාලනික අරගලයකි. 

දේශපාලනය තිබෙන්නේ ශිෂ්‍ය උද්ඝෝෂණවල පමණක් යයි සිතා සිටින වාමාංශික සහෝදරයන්ගේ අවධානය මෙවැනි ක්ෂේත්‍රවලටත් යොමු විය යුතු ය.

ලංකාව වනාහි කලක් නයිජීරියාවට ඉංග්‍රීසි ගුරුවරුන් යැවූ රටකි. එහෙත්, සුද්දන්ට හුකාගනිල්ලා (screw you) යි කියූ චිනුවා ඇචිබෙ වැනි විශ්ව සම්භාවනාවට පත් ලේඛකයන් ලංකාවෙන් බිහි වුණේ නැත්තේත්, ලංකාව බිහි කළ මයිකල් ඔන්ඩච්චි වැනි අය දේශපාලනික වශයෙන් නො වැදගත් වන්නේත් මේ දේශපාලනික දෙබිඩිකමේ ප්‍රතිඵලයක් ලෙසයි. එපමණක් නොව, දැන් මාලදිවයිනවත් ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන් බඳවා ගන්නේ නැති මට්ටමට පොදු භාවිතාව තුළ ඉංග්‍රීසිය පිරිහී ඇත්තේත් ඒ නිසා ය.

ව්‍යාපාර ක්‍රියාවලි බැහැරින් ලබා ගැනීමේ (BPO) ව්‍යාපාර පැත්තෙන් ලංකාවට දකුණු ඉන්දියාවේ මට්ටමට කිට්ටු වීමට හෝ බැරි වී තිබෙන්නට එක් හේතුවක් වන්නේ ද මෙයයි. එවැනි ආයතනවල වැඩ  කිරීමට තරම් කෝල් සෙන්ටර් ගර්ල්ස්ලා ලංකාවේ නැත. හේතුව කෝල් සෙන්ටර් මට්ටමේ අයට ලංකාවේ ඊට වඩා ලොකු ඇකඩමික් මට්ටමේ රස්සා ලැබෙන තරම් ලංකාවේ ඉංග්‍රීසි බස දුර්වල වීමයි. 

ඉංග්‍රීසි භාෂාව විෂමතා සංරක්ෂණය කිරීමේ මාධ්‍යයක් බවට පත් කර ගත්, කොළඹ කේන්ද්‍රීය බුද්ධිමත්තු මෙම තත්වයට වගකිව යුතු ය. 

රවී කරුණානායක ලක්ෂ්මන් ගුණසේකරට වඩා මෙම කාරණයෙහිදී ප්‍රගතිශීලී බව මම සිතමි. හේතුව ඔහු මෙවැනි භාෂා දෙබිඩ්ඩන්ගෙන් ගැලවී මහජනතාව අතරට පිවිසෙන්නට උත්සාහ කරන බව පෙනෙන බැවිනි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)