ලංකාවේ සිදු වූ සුසමාදර්ශීය වෙනසට ගැලපෙන පොදු සමාවක්

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට සම්බන්ධ බවට චෝදනා ලබන දේශපාලන සිරකරුවන් 59දෙනකු වසර පහකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පසුගියදා පැවසුවා. (අදාළ පුවත මෙතැනින්) දෙමළ දේශපාලන සිරකරුවන් 99දෙනෙකු පුනරුත්ථාපනය වී නිදහස් වීමට කැමැත්ත පළ කර ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

පසුගිය දිනවල ඇප පිට නිදහස් වුණේත්, මෙවැනි සැකකරුවන් පිරිසක්. එහෙත්, ප්‍රධාන වශයෙන් ම මහින්ද රාජපක්ෂ කඳවුරට අයත් ජාතිවාදීන් පවසන්නේ නිදහස් වන්නේ කොටි ත්‍රස්තවාදීන් බවයි. නඩු ඇතිව හෝ නැතිව දීර්ඝ කාලයක් රිමාන්ඩ් සිරගතව සිටියා නම් ඔවුන් දැනටමත් දණ්ඩනයකට ලක් වී හමාරයි. 

ඔවුන් ත්‍රස්තවාදීන් වුණත්, නැතත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සම්බන්ධ වර්තමාන තත්වය සලකා බැලූ විට සියලු දෙමළ දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් දීම සාධාරණීකරණය කළ හැකියි. 

එයට හේතුව මේ වන විට කොටි සංවිධානයේ නායකයන් කීපපොළකට ම එසේ සමාව හිමි වී තිබීමයි. කුමරන් පත්මනාදන් හා කරුණා අම්මාන් ඒ අතරින් ප්‍රධාන දෙදෙනෙක්. එසේම, පසුගියදා මිය ගිය කොටි සංවිධානයේ දේශපාලන මණ්ඩල සභිකාවක් ය කියන තමිලිනී ද, කොටි සංවිධානයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් ද නිදහස ලැබූ තවත් අයයි. තමිලිනී නො නිල පුනරුත්ථාපන වැඩසටහනකට සහභාගි වූ කෙනෙක්. 

කොටි සංවිධානය විසින් කරන ලද ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වගකිව යුතු නායකයන් වන මොවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග නො ගන්නා සංදර්භයක් තුළ, ඔවුන්ගේ ඇණැවුම මත එම ත්‍රස්ත ක්‍රියා සිදු කළ සාමාන්‍ය සාමාජිකයන්ට, හිතවතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සාධාරණ නැහැ. 

මෙම තත්වය මීට පෙර කැරැලිවලත් දකින්නට ලැබුණා. 1989 කැරැල්ල සමයේ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ සෝමවංශ අමරසිංහට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. අඩු තරමේ මුහුදු මගින් රටින් පළා යාම සම්බන්ධයෙන් ආගමන විගමන නීති හෝ ක්‍රියාත්මක වුණේ නැහැ. 

එහෙව් ජනතා විමුක්ති පෙරමුණ දැන් එක පැත්තකින් කේ.පී.ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලමින් අධිකරණයට මැදිහත් වන්නේ ඇයි? එය ජාතිවාදය හැර අන් කුමක් ද? අනෙක් පැත්තෙන් ඒ ජවිපෙම දේශපාලන තීන්දුවක් මත තමන් විසින් ම නීති විරෝධී අන්දමින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කළ කුමාර් ගුනරත්නම්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටීම සාධාරණ ද? 

නීති විරෝධී දේශපාලන ක්‍රියාමාර්ගවල වගකීම තමන් භාර නො ගෙන තමන්ගේ යටතේ සිටි පුද්ගලයන්ට භාර දී අත පිස දා ගැනීම පිළිබඳ හොඳම නිදර්ශනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. ඡන්ද ප්‍රචාරක රූපවාහිනී දැන්වීම්වලට හා ඡන්ද රැස්වීම්වලට මගීන් ප්‍රවාහනය කළ බස් රථවලට මුදල් නො ගෙවීම සම්බන්ධයෙන් ඔහු දැන් දෙන පිළිතුරු බලන්න. මේ අතරවාරයේ ඇතැම් මුදල් හොර රහසේ ම ගෙවා දමා ද තිබේ. ඒවා ගෙවන අයට ඒ මුදල් ලැබුණේ කොහෙන් ද යන්න ද ප්‍රශ්නයකි. එතැනදී ද මහින්ද වගකීම අන් අය පිට පටවයි. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ගන්නා ලද තීරණ හේතුවෙන් ඔහුගේ ලේකම් වූ ලලිත් වීරතුංගට හා තවත් අයට නඩු පැවරී තිබේ. මහින්ද පවසන්නේ සත්භාවයෙන් කටයුතු කර තිබෙන රජයේ සේවකයන්ට එරෙහිව නඩු පවරා ඇති බවයි. 

තීරණ, තීන්දු ගන්නන්ගේ අසත්භාවය නීතියේ රාමුව තුළට හසු කර ගන්නට බැරි වීම ඇත්තෙන් ම ඛෙදවාචකයකි. මෙහි නරක ම පැතිකඩ වන්නේ කැරැලිවලට සහභාගි වූ සාමාන්‍ය මිනිසුන් නීතියෙන් උපරිම දණ්ඩනයට ලක් වෙද්දී නායකයන් ගැලවී යාමයි. 1989 කැරැල්ලෙන් පසුව අත්අඩංගුවේ සිටි බොහෝ දෙනෙක් පුනරුත්ථාපන වැඩසටහන් ඔස්සේ නිදහස් කරන ලදී. එහෙත්, සිවිල් නීති යටතේ නඩු පවරා වැරදිකරුවන් වූ ඇතැමෙක් දීර්ඝ කාලීන සිර දඬුවම් වින්ද හ. මෙය 1971 කැරැල්ලේදී ද සිදු විය. ඔවුන් දේශපාලන සිරකරුවන් ලෙස සැලකුණේ ද නැත. 

මෙය දෙමළ කැරැල්ල සම්බන්ධයෙන් ද සිදු වෙමින් තිබේ. රාජපක්ෂ යුගය සම්බන්ධයෙන් ද සිදු විය හැකි ය. තෝරුන්, මෝරුන් දැලෙන් රිංගා යද්දී හාල්මැස්සන් කොටු විය හැකි ය. 

ශ්‍රී ලංකාවේ පසුගිය දශක තුනක යුද වකවානුව තුළ දේශපාලනය ද හසු කර ගත හැකි සත්‍ය ගවේශන කොමිෂමක් හා දේශපාලන හේතු මත වැරදි කරන ලද සියලු දෙනාට සමාව ගැනීමේ අවස්ථාවක් හා ක්‍රමවේදයක් නිර්මානය කළ යුතු වන්නේ මෙම සංදර්භය තුළ ය. මහජන දේපල සොරකම් කිරීමත් මෙයට අයත් වනවා ද යන්න ද සාකච්ඡා කළ යුතු ය. මහජන දේපල විනාශ කිරීම හා ඒවා සොරකම් කිරීම අතර වෙනසක් තිබේ ද? 

2009 මැයි මාසයේ කොටි සංවිධානය සහමුලින් ම යුද්ධයෙන් පරාජය කිරීම යනු ලංකා ඉතිහාසයේ මෑත යුගයේ සිදු වූ සමාජ, ආර්ථික හා දේශපාලන සුසමාදර්ශීය වෙනස සඳහා පදනමයි. මෙම සුසමාදර්ශීය වෙනස ලංකාවේ සමාජය විසින් තවමත් ග්‍රහණය කරගෙන නැත. දේශපාලන බලවේග තවමත් අතීතකාමී අන්දමින් හැසිරෙන්නේ ඒ නිසා ය. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදයන් හා ආගම්වාදයන් අතික්‍රමණය කරමින් යෝධ පිම්මක් ඉදිරියට තැබීමේ හැකියාව පසුගිය ජනවාරි 8 වෙනස සමගින් ඇති විය. එහෙත්, අපි තමවත් අතීතයේ කුණු කන්දල් සමග හැල හැප්පෙමින් එක තැන පල් වෙමින් සිටින්නෙමු.

2009දී සිදු වූ සුසමාදර්ශීය වෙනස හා 2015 ජනවාරි 08 අඩු තීව්‍රතාවකින් සිදු වූ සමාජ විප්ලවය තේරුම් ගන්නේ නම් ප්‍රභාකරන් හෝ කේ.පී. හෝ කරුණා අම්මාන් හෝ සෝමවංශ අමරසිංහ හෝ කුමාර් ගුනරත්නම් හෝ මහින්ද රාජපක්ෂ හෝ ලාංකීය සමාජයට තව දුරටත් වැදගත් සාධක වන්නේ නැත. 2009ට පෙර තිබූ තත්වයන් හෝ මහින්ද රාජපක්ෂගේ අඳුරු දශකයේ තත්වයන් හෝ ප්‍රතිනිර්මානය කරන්නට කිසිදු සිහින දකින්නෙකුට බැරි ය. අප උත්සාහ කළ යුත්තේ අනාගතය හැඩගස්වා ගන්නට ය. ඒ සඳහා බුද්ධිමත් දේශපාලන නායකත්වයක් නැතිකම මේ මොහොතේ දක්නට ලැබෙන අර්බුදයයි. අලුත් නායකත්වයක් පිළිබඳ සිහින පරම්පරාවක් හෝ ඈතට කල් දමන්නට සිදු වී තිබේ. ඉන්න නායකයන් සමග කලකිරෙන්නේ නැතිව කටයුතු කරන්නේ කෙසේ ද යන්න පුරවැසි බලවේග විසින් අධ්‍යයනය කළ යුතුව තිබේ. එක් පැහැදිලි කොන්දේසියක් තිබේ. එනම්, මෙතැනින් ඉදිරියට මිස ආපසු ගමනක් නැත. ඒ බව මහින්ද රාජපක්ෂ මෙන් ම දෙමළ ජාතිවාදීන් ද තේරුම් ගත යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. එතකොට ඉසිප්‍රියා, බාලචන්ද්‍රන් එහෙම මරපු හමුදා නිලධාරීන්ටත් සමාවක් දිය යුතුද?

    මේ 'සමාව දීම' කියන කාරනයෙන් 'යුක්ති මූලධර්ම' වලට පටහැනි නැත්ද? උදාහරනෙකට එල්ටීටියේ කීමට උතුරේ මිනීමැරූ අය නිදහස්වෙත්දී දකුණේ බෝම්බ පිපිරවීමට උදව් කල අය කාලයක් හිරේ ගියා...

    දැන් ගෝටාගේ කීමට බාලචන්ද්‍රන් මැරූ සෙබලාට සමාව ලැබෙද්දී එක්නැලිගොඩගේ මිනීමරුවා හිරේ යනවා....

    ReplyDelete
    Replies
    1. මෙය සංකීර්ණ ප්‍ර‍ශ්නයක්. එහෙත්, මේ සියලු සිදුවීම්වලට පසුබිම් වූ සමාජ තත්වයක් තිබුණා. ප්‍ර‍භාකරන් වගේ ම ගෝඨාභය නිර්මානය වුණේත් ඒ සමාජ තත්වය නිසායි. වැඩි ප්‍ර‍මුඛතාව දිය යුත්තේ ඒ සමාජ තත්වය වෙනස් කිරීමටයි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා