ඉල් මහා මල් වට්ටි වෙන්දේසිය හා දීකිරට සාක්කි දෙන බළල්ලු

ඉල් මහා විරුවන් නම් මල් වට්ටිය වෙන්දේසි කරන ප්‍ර‍ධාන සල්පිල් තුනක් කොළඹ තිබේ. එකක් සෝමවංශ + වීරවංශ විසින් ඊයේ පවත්වන ලදී. අනෙක් දෙක ජවිපෙ හා පෙසප විසින් අද දින පවත්වනු ඇත. 

මේ තුන්ගොල්ල ම කියන්නේ අනෙක් අය වැරදි හා තමන් පමණක් හරි බවයි. මේ අය හා සෙසු වාමාංශික පක්ෂ ද වැරදි බව හා තමන් පමණක් ම හරි යයි කියන තවත් වාමාංශික පක්ෂ ද රැසක් තිබේ. මුළු ලෝකය ම වැරදියි, තමන් විතරක් හරි ය කියන වාමාංශික තනි පුද්ගලයෝ ද සිටිති. එහෙත්, මම නම් දකින්නේ මතවාද යනු සංවාදයක් බව හා එහි වැරදි නිවැරදිබව විනිශ්චය කළ හැකි එක ම බලවතා ඉතිහාසය පමණක් බවයි. 

පවත්නා ක්‍ර‍මයට එරෙහිව අරගල කිරීම සංවර්ධනය සඳහා ඉවහල් වේ. පවත්නා ක්‍ර‍මය විසින් එවැනි අරගල හඳුන්වන්නේ කැරැලි කියා ය. එමගින් ඒවා මර්දනය කරනු ලැබේ. එහෙත් කැරැලි ගැසීම නරක දෙයක් නො වේ. ඉතිහාසයේ ගමන් මග වෙනස් වී ඇත්තේ එවැනි කැරැලි නිසා ය. 

පවත්නා ක්‍ර‍මයට එරෙහිව කැරැලි ගැසීම මහත් වගකීමකින් යුත් භාරදූර කර්තව්‍යයකි. අරගලය සාර්ථක කර ගැනීමට නම් එයට ජනතාවගේ ප්‍ර‍ධාන හා වැදගත් බලවේගවල සහයෝගය දිනා ගැනීමේ හැකියාව තිබිය යුතු ය. 

මාක්ස්වාදී අරගල කම්කරු පංතිය මත පදනම් විය යුතු ය. කම්කරු පංතිය කුමක් ද යන්න ද හඳුනා ගත යුතු ය. රජයේ සේවකයන් කොතරම් දුරට කම්කරු පංතියට අයත් වෙනවා ද යන්න පිළිබඳ ලංකාවේ සමාජ සංවාදයක් අවශ්‍ය ය. මා දන්නා තරමින් නම් ලංකාවේ කිසිදු වාමාංශික පක්ෂයක් මේ රටේ සැබෑ පීඩිත කම්කරු පංතිය සමග දේශපාලනය කරන්නේ නැත. ඔවුන් අඩු තරමේ කාන්තාවන් සමගවත් දේශපාලනය කරන්නේ නැත. මේ වනාහි පිරිමි මළ කෝලං ගොඩකි. මේ එකකවත් නායක මණ්ඩලයේ ගැහැනු පුළුටක් නැත.

කෙසේ වෙතත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් නම් කිසි සේත් ම, විප්ලවීය ප්‍ර‍ජාවක් නො වන බව තේරුම් ගත යුතු ය. සුළු ධනේශ්වර අවශ්‍යතාවන් මත පදනම් වන ඔවුහු සමාජ විප්ලවයකදී මූලික බලවේගයක් නො වේ.

මේ බව විශේෂයෙන් සඳහන් කළ යුත්තේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් විසින් නායකත්වය ගන්නා ලද තරුණ කැරැලි දෙකක් අප දුටු බැවිනි. ඒ 1971 හා 89 කැරැලි ය. 

1989 දිග්ගැසුණු කැරැල්ලේ උපරිම තලයේදී හෝ ජවිපෙට කම්කරු පංතියේ සහයෝගය ලැබුණේ නැත. එහෙයින් පක්ෂයේ ශිෂ්‍ය නායකත්වය කළේ තුණ්ඩු කෑලි දී බලහත්කාරෙන් කම්කරු පංතිය මහා වැඩවර්ජනයක් කරා යොමු කරන්නට උත්සාහ කිරීමයි. 

මේ ඊනියා විප්ලවීය අරගල දෙකෙන් ඇත්තට ම සිදු වුණේ ලංකාවේ බුද්ධිමත් තරුණ පරම්පරා දෙකක් අකාලේ විනාශ වීමයි. 

දෙමළ ජාතික විමුක්ති අරගලය විසින් දෙමළ තරුණ පරම්පරාවට අත් කර දුන්නේ ද සමාන ඉරණමකි. මේ අරගල ගැන අලුතින් කල්පනා කළ යුතු බව අප කියන්නේ ඒ නිසා ය. 

එහෙත් සිදු වන්නේ කුමක් ද? වාමාංශික පක්ෂ හා කල්ලි, කණ්ඩායම් මේ නැවතත් සැරසෙන්නේ නොමේරූ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ගොනාට අන්දවා ගැනීමට නේ ද? 

මම හැම කෙනෙක් ගැන ම කතා කරන්නට යන්නේ නැත. මා හොඳින් දන්නා එක් කුඩා කල්ලියක් ගැන විතරක් කතා කරමි. 

HNDA සිසුන් පිරිසක් විසින් මට මෙම ලිපිය එවා තිබිණි. (ඉතිරි ටික කියවන්නට පෙර කැමති නම් මේ ලිපිය කියවා ආපසු එන්න. එය වෙන ම විවෘත වේ.) තමන් ගැන ලිවීම ගැන ඔවුන් සතුටු වනවා ඇත. එහෙත්, ඔවුන් නො දන්නා පසුබිමක් තිබේ. 

මෙම ලිපිය ලියන ලේඛකයා වනාහි හිරු පුවත්පතට ලිපි කීපයක් ලිවීමෙන් පසු තමන්ට ජීවිත තර්ජන ඇති බව කියා බටහිර රටක දේශපාලන රැකවරණ ලබා ගත් අයෙකි. ඔහුට තර්ජන කරන්නට ආණ්ඩුව හෝ සෙසු මාධ්‍යකරුවන් හෝ ඔහු ගැන දන්නේවත් නැත.   (ටෙරල් අබේසිංහගේ කරුණු දැක්වීම මත මෙම කරුණ යම් දුරකට වැරදි සහගත බව පිළිගනිමි. මගේ වරද ද ඔබට දැක ගැනීම සඳහා මේ අන්දමින් ඉතිරි කරමි. මගේ ස්ථාවරය වන්නේ මේවා ගැන විවෘතව කතා කර පිරිසිදු කර ගත යුතු බවයි.)

හිරු කණ්ඩායම ජාතික ප්‍ර‍ශ්නය සම්බන්ධයෙන් වැදගත් මැදිහත්වීමක් කළ බව ඇත්තකි. එහිදී එම කණ්ඩායම විසින් සෑහෙන අවදානමක් ද දරා ගන්නා ලදී. මෙම ලිපිය ලියන මම ද හිරු පුවත්පතේ කලක් කර්තෘ ධුරය දැරූ අතර, අපගේ මැදිහත්වීම් නිසා අපි මහින්ද රාජපක්ෂ රජයෙන් දැඩි ලෙස තර්ජනයට ලක් වුණෙමු. 

මම හිරු කණ්ඩායමෙන් කැඩී ගියේ අපගේ දේශපාලන කාර්යභාරය උතුරේ දෙමළ අරගලය කේන්ද්‍ර‍ කර ගත් එකක් නො වන බව හා අප දකුණේ සිංහල ජනතාව අතර දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගොඩනැගිය යුතු බව අවධාරණය කරමි. අවසන් ඊලාම් යුද්ධයේදී අප සිටියේ යුද වැදී සිටි දෙපාර්ශ්වයට ම විරුද්ධව ය. යුද්ධය නතර කර සාකච්ඡා කළ යුතු බව අපේ ස්ථාවරය විය.

හිරු කණ්ඩායමේ ඉතිරි වූ පිරිස යුද්ධයේදී දෙමළ කැරැලිකරුවන්ට හුළං පුම්බමින් සිට, යුද්ධය පරාජය වෙමින් තිබියදී තමන්ගේ පමණක් ආරක්ෂාව තහවුරු කර ගනිමින් සෙස්සන් පාවා දී රටින් පළා ගිය හ. මේ කාලයේ යුරෝපයට පැන යන්නට විවිධ ක්‍ර‍ම සොයමින් සිටි දේශපාලන අපතයෝ ද නැවත ඔවුන් සමග එක් වූ හ. 

සිංහල පුවත්පතකට ලියූ දෙමළ මාධ්‍යවේදියකු ජීවිත අවදානමකට පත් වූ විට අප මෙම කණ්ඩායම සමග සිටින කවියකු ඇතුළු පුද්ගලයන් හරහා ඔහුට රටින් පිට වීමට ක්‍ර‍මයක් සලස්වා ගැනීමට උත්සාහ කළෙමු. ඔවුහු එම මාධ්‍යකරුවා රැවටූ හ. 

මෙම සටහන තබන මා සම්බන්ධයෙන් ඔවුන් බලා සිටියේ ජාතිවාදී ආණ්ඩුව අතින් මා සල්ලං වනතුරු ය. මේවා ලියූ විට ඇම්බැට්ටයන් දමා අප මේවා ලියන්නේ රටින් පළා යන්නට බැරි වුණ නිසා ය වැනි ගොන් කතා නො කියන ලෙස කරුණාකර ඉල්ලා සිටිමි.

කීර්තිමත් අරගලකාරී ඉතිහාසයක් ඇති හිරු පුවත්පත් හොරට සැලසුම් කරමින්, දේශපාලනයට කිසිදු සම්බන්ධයක් නැති පුද්ගලයන් උද්ඝෝෂණවල පෙනී සිටින ව්‍යාජ ඡායාරූප සහිත ව්‍යාජ හිරු පුවත්පත් ඉදිරිපත් කරමින් මෙම කණ්ඩායම පුද්ගලයන් රටින් රට පන්නන ඒජන්සියක් ලෙස කටයුතු කළේ ය. 

ඔවුන්ගේ දේශපාලනය තවමත් පදනම් වන්නේ අන්ත දෙමළ ජාතිවාදය මත ය. එය මේ වන විට උතුරෙන් ද ප්‍ර‍තික්ෂේප වෙමින් තිබේ. 

දකුණේ විශ්ව විද්‍යාල සිසුන් අරගල භූමියට එළඹෙන විට මොවුන්ට කැසිල්ල හැදෙන්නේ ඇයි ද යන්න තේරුම් ගැනීම අමාරු නැත. ලංකාවේ සාමය නැති වන තරමට ඔවුන්ට බටහිර රටවල සිය පැවැත්ම තහවුරු වනු ඇත. 

දෙමළ අරගලය වසර තිහක් තිස්සේ ඇදී යන්නට උත්තේජක සැපයූ එක් ප්‍ර‍ධාන බලවේගයක් වූයේ බටහිර රටවල දේශපාලන රැකවරණ ලබා ගත් මෙවැනි ව්‍යාජ ජාතිවාදියෝ ය. 

මේ කිව්වේ දිග කතාවක් ඉතා සංක්ෂිප්තව ය. 

විශ්ව විද්‍යාලයේ සිටින මල්ලිලා මේ අයියලා කොයි කවුරුත් ගැන දැන ගන්නවා නම් හොඳ ය. ඔවුන්ට තිබෙන අවශ්‍යතා මොනවා ද යන්න හොඳින් අධ්‍යයනය කළ යුතු ය. 

තවත් මාසයක නමින් විරුවන් පිරිසක් බිහි කරන්නට අවස්ථාවාදීන්ට නැවත වරක් ඉඩ නො දිය යුතු ය. ඒ විරුවා ඔබේත්, මගේත් දරුවා බව සිතන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. /* මුළු ලෝකය ම වැරදියි, තමන් විතරක් හරි ය කියන වාමාංශික තනි පුද්ගලයෝ ද සිටිති. */

    ReplyDelete
    Replies
    1. මං තරම් අනිත් උන් දන්නෛ් නැහැ කියලා හිතන මේ වගේ දෙකයි පනහේ උගත්තුද සිටිතා(බුද්ධිමතුන් නොවේ)

      Delete
    2. මිනිස්සු ඔක්කෝම යම් දෙයක් කරන්නේ තමන් හරි කියල හිතාගෙන, තමන් වැරදි කියල හිතාගෙන මිනිස්සු වැඩ කරන්නේ නැහැ. සාමාන්‍ය ජිවිතයෙදිත් දේශපාලනයෙදිත් හැමෝම හිතාගෙන ඉන්නේ එහෙම තමයි

      පැරා හිතාගෙන ඉන්නේ පැරා හරි කියල.
      මම හිතාගෙන ඉන්නේ මම හරි කියල

      පැරත් මුළු ලෝකය ම වැරදියි, තමන් හිතන විදිහ විතරක් හරි ය කියන හිතන තනි පුද්ගලයෙක් තමයි.

      Delete
    3. මං එහෙම වුණත් එක සමාජයට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක මගේ ස්කිට්සොෆ්‍රීනියා තත්වයක් විතරයි කියලා හිතා ගතැහැකි. මොකද, මං දේශපාලන ශාස්තෘ කෙනෙකු නොවන, අරාජිකවාදයකු ලෙසත් සැලකිය හැකි තනි පුද්ගලයෙක් නිසා. මං කාටවත් මා පසුපස එන්න කියන්නෙ නැහැනේ. මං සංවිධාන හදන්නෙත් නැහැ. මං කරන්නෙ මැදිහත් වන එක විතරයි.

      මං සමාජ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වුණාට දේශපාලන පක්ෂ එහෙම වුණාම ඒවා සමාජ ප්‍රශ්න බවට පත් වෙනවා.

      Delete
  2. බොහෝ දෙනෙක් මීට දින කිහිපයකට පෙර විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් පාරවල් වසා උද්ගෝෂණය කරනවිට මහජනතාවට කරදරවන බව පවසන ලදි.

    උදා:-
    විචාරක: මේ සිසුන් ප්‍රමාණයට වඩා, කොළඹ පාරවල් භාවිතා කරන අහිංසක මහජනතාවගේ ප්‍රමාණය වැඩියි. ඒ නිසා පාරවල් අවහිර කරන්න දෙන්න බැහැ.

    මාතලං - එක්කෝ මක්කුන් හෝ වෙසිගේ පුතාලා සෙට් එකක් කොටුව ඉස්ටේසොන් එක ඉස්සරහා උග්ගෝසනය. ඒ පාර ටික වෙලාවකින් ජනාධිපතිට සන්දේසේ දෙන්න යනවාය. හරියටම යන්නේ, දවස පුර මහන්සි වී (රජයේ සේවකයන් මීට අදාල නැත.) කට්ට කාගෙන වැඩ කරපු උන් ගෙවල් වල යන වෙලාවටමය. මේ අස්සේ බඩ දරු අම්මලාත් සිටිනවාය. ලේඩ්ඩුත් ඉන්නවාය. අබ්බගාතයෝ මෙන්ම අන්ධ මිනිස්සුත් ඉන්නවාය.

    Pra Jay : අපිට පුලුවන් පාරෙ පැයගාණක් බ්ලොක් වෙලා ඉඳල ගෙදර ගිහින් ටීවී නිවුස් ෂෝ එක බලන්න
    තවත් බොහෝ දෙනා මෙයම පවසන ලදි

    ඔවුන් සැබවින්ම මාර්ග අවහිර වී ජනතාවට සිදුවන පිඩනය පිලිබදව කතා කලේනම් පසුගිය දින 02 පුරා කොට්ටේ මාර්ගය වැසිම පිලිබදවත් ඊයේ අවමංගල්‍ය උත්සවය නිසා සිදුවු අපහසුතාවයන් පිලිබදවත් ඔවුන් කතා නොකලේ ඇයි?

    සරසවි සිසුන් පාරවල් වසා පෙලපාලි යෑම නිසා මාර්ග තදබදය ඇතිවී මහජනතාවට බාධාවක් වන විට අවමංගය පෙරහැරක් නිසා මාර්ග තදබදය ඇතිවී මහජනතාවට බාධාවක් නොවන්නේද?

    නැතිනම් යමෙකු අයිතින් ඉල්ලා කරන පාගමනක් වැරදි බැවින්ද?

    මේ දෙකම නොවෙනම් ඔවුන් සිසුන්ගේ පාගමන නිසා මාර්ග අවහිරවන බව පැවසුයේ සිසුන්ගේ පා ගමන පිටුපස තිබුන දේශපාලනය වැරදි නිසාද?

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපනයට 6% වෙන් කරන ලෙස කෙරුණු පා ගමනට ලැබුණු පුළුල් මහජන සහයෝගය මතකද? පාරවල් අවහිර වුනා කියලා කවුරුත් බැන්නේ නෑ,

      Delete
    2. ඔව් ඒකට කවුරුත් බැන්නේ නැහැ, ඒකට ගොඩක් අය සහය දුන්න

      මම කියන්න හැදුවේ ඒ බැනපු මිනිස්සු බැන්නේ පාර අවහිරවුන නිසා හෝ එකෙන් මිනිස්සු පිඩාවට පත්වුන නිසා නෙමෙයි. තමන් ඒ දේශපාලනයට අකමැති නිසා කියල. පාර අවහිරවෙන කතා කියන්නේ නැතුව කෙලින්ම ශිෂ්‍යයන් කරපු උද්ගෝෂණයට අදාල ඉල්ලීම් වල වැරදි කියුවනම් හරි කියල මම හිතන්නේ.

      පොලිසිය ගහපු එකේ හරි වැරද්ද, පාර අවහිරවීම ගැන කතා කරන්නේ නැතව සෘජුවම අධ්‍යාපනයේ තියෙන ගැටලුව, එක මිනිස් අයිතිවාසිකමක්ද, වෙළද භාණ්ඩයක්ද, මේ ප්‍රශ්නය විසදිය යුත්තේ කෙලෙසද කියල කතා කරානම් හරි නේද?



      Delete
    3. නැහැ නැහැ ප්‍රදීප්. දැනට රැකියාවල නියුක්ත අයවලුන්ගේ වෘත්තීය සමිති උද්ඝෝෂණ වලින් මෙතරම් බරපතල මට්ටමකට පාරවල් අවහිර වන්නේ නැහැ. නමුත් රජයට පක්ෂ උද්ඝෝෂණයක් වුනත්, රජයට විරුද්ධ උද්ඝෝෂණයක් වුනත්, පොදු මහජනතාවගෙන් අති මහත් බහුතරයකට කරදර වනලෙස පවත්වන්නේ නම් එය වැරදියි.

      Delete
  3. පැරකුම් ඇතුලු බොහෝමයක් මීට පෙර වාමාංශික දේශපාලන පක්ෂ සමග සම්බන්ධවී සිටින ලද විවිධ කරුණු හේතුවෙන් එම සංවිධාන වලින් ඉවත්වු පුද්ගලයන් විසින් වාමාංශික දේශපාලන වැඩකට නැති දෙයක් බවත් එය නිවරදිව සංවිධානය වී නොමැති බවත් පවසයි.

    එම සංවිධානයන් නිවරදිව සංවිධානය නොවීම නිසාම එම සංවිධාන වලට සමාජ බලයක් සකස්කර ගැනීමට නොහැකි වී ඇති බව සියලු දෙනාම පිලිගනියි. එම වැරදි නිවරදි කර ගනිමින් වාමාංශික දේශපාලන බලවේගයක් ඇති කල යුතුය. ඒ සදහා සංවිධානය කල යුතු වන්නේ ලංකාවේ සිටින ජනතාවම වන අතර ඒ සදහා වෙනම ජනතාවක් අනයනය කිරීමට නොහැකිය.

    වාමාංශික දේශපාලනය තුල මෙන්ම අපගේ සාමන්‍ය ජිවතය තුලද විවිධ පෞද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් මිනිසුන් වෙන් වෙන අතර එය වාමාංශික දේශපාලන පක්ෂවලට පමණක් අදාල දෙයක් නොවේ. එසේ සිද්ධින් සිදුවන පමණින්ම අප දේශපාලනය අත්හල යුතුද?.

    ශිෂ්‍යයන් රවට්ටමින් දේශපාලන පක්ෂවලට බදවා ගන්නා පැවසිම මමනම් සිතන පරිදි විහිලුවකි. දේශපාලන ව්‍යාපාරයන් පුද්ගලයන් බලහත්කාරයෙන් බදවා නොගන්නා අතර යම් කරුණු අවබෝධයකින් මිනිසුන් එම සංවිධාන සමග එකගතාවයකට පැමිණෙන බව මාගේ අත්දැකිමයි.

    උදාහරණයක් ලෙස පැරකුම් රුවටීමකට ලක්වී දේශපාලනය කල බව මම කිසි දිනක විශ්වාස නොකරමි. පැරකුම්ට යම් කරුණක් හේතුවෙන් දේශපාලන සමග සම්බන්ධ වන්නට ඇත. එය සමහර පුද්ගලයන්ට පොරක්වීමට උවමනා නිසා වන අතර තවත් සමහරකුට වෙනත් සමාජ ගැටලුවක් නිසා විය හැකිය. නැතහොත් සංවිධායකයා යාලුවකු වීම. තමන්ගේ යාලුවකු දේශපාලන සංවිධානය සමග කටයුතු කිරීම සහ දේශපාලන කරන තමා දන්න අදුරන පුද්ගලයන්ගේ හැසිරීම අනුව දේශපාලනයට පිවිසිය හැකිය.

    පැරකුම්ලා දේශපාලනය නිසා අද සිටින තත්වයට පැමිණ ඇති අතර දේශපාලන පක්ෂයක් සමග හෝ දේශපාලන දැක්මක් සහිතව කටයුතු නොකලේනම් සමහර විට ගුරුවරයකු ලෙසම සාමාන්‍ය පරිදි ජිවිතය ගත කිරීමට ඉඩ තිබුනි. සමහරවිට අද සිටින තත්වයට වඩා ඉහල තැනක සිටිමට ඉඩ ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් සමග මට ගැටලුවක් නැත. එහෙත්, මා සිතන්නේ අප දන්නා දේ කතා කළ යුතු ය. ලියා තැබිය යුතු ය. අවශ්‍ය පුද්ගලයන්ට හැදෑරීමට සාහිත්‍යයක් ගොඩනැගිය යුතු ය. එවිට මෙම ව්‍යාපාර සමග සම්බන්ධ වන පුද්ගලයන්ට තීරණ ගැනීම විධිමත් අන්දමින් කළ හැකි ය. එසේම, මේවායේ සිටින ගේම්කාරයන්ට පරණ ගේම් ගසන්නට ද බැරි වනු ඇත. එවිට ව්‍යාපාර ද වෙනස් විය හැකි ය.

      දන්නා ඇත්ත සැඟවිය යුතු නො වේ. ඒවා මේසයේ තැබිය යුතු ය. කැමති අය බෙදා ගන්න.

      Delete
  4. මමත් හැමදාම කියපු අදහපු දෙයක් තමයි, දේශපාලනය කරන උදවිය “තමන් විතරයි හරි“ කියන එකේ කිසි වැරැද්දක් නැති බව. මම නෙමෙයි මහින්ද තමයි හරි කියන දිනේශ් විමල් කණ්ඩායම හැරුණාම ලෝකෙ ඉන්න හැම දේශපාලන පක්ෂයක්ම කියන්නෙ තමන් විතරක් හරි බවයි.

    තමන් හැර තවත් කෙනෙක් හරි බව පෙනෙනවානම් ඇයි තමන් වෙනම පක්ෂයක් හදාගෙන ඉන්නෙ?

    ReplyDelete
    Replies
    1. මගේ මේ කතාවෙන්, පැරාගෙ ලිපියෙ අන්තර්ගතය වන පාසල් සිසුන් සරසවි සිසුන් රවටා ඔවුන් දඩමීමා කරගනිමින් ඔවුන් ලවා විප්ලවය කරන්න හදන කුහක දේශපාලන කණ්ඩායම් පිළිබඳ විශ්වාසය නොතැබිය යුතුය යන තර්කය බිඳෙන්නෙ නැති බවත් කියන්න අවශ්‍යමයි.

      Delete
  5. Terrel Abeysinghe හිරු කන්ඩායම හා එහි ක්‍රියා කාරිත්වයන් පිලිබදව විවෘත සාකාච්ඡාවක් විය යුතුයි කියා මා ද පිලිගනිමි. එය විය යුත්තේ කෝන්තර පිරිමාසා ගැනිමේ අරමුනෙන් ද නොවන බව ද මම තරයේ ප්‍රකාශ කරමි. 2008 අප්‍රියල් 5 වෙනිදා රටින් පිට වන තුරු මම හිරු කන්ඩායමේ සාමාජිකයකු ලෙස පේනි සිටියේමි . එහිදි මා කළ කී දේ පිලිබදව මා හට වෙනම අදහසක් ද විවෙචනයක් ද ඇත. ඒය වෙනම කාතාවකි. මම මේ සටහාන තබන්නේ වෙනින් කාරනාවක් නිසාය. එනම් අජිත් පැරකුම් ලියා ඇති මේ ලිපියේ ඇති බරපතල වැරදි කාරනාවක් පෙන්වා දීමටය. එය නම් කිත්සිරි විජේසින්හ ගැන කර ඇති නිර්වචනය සම්පුර්නයෙන් ම වැරදිය. ඔහු ට රටෙන් පිට වන්නට සිදු වුයේ විශේෂයෙන්ම හිරු හා තිබු සම්බන්දයකට වඩා, තිස්සනායගම් ,ජසිකරන් හා මා විසින් පවත්වාගෙන යනු ලැබූ වෙබ් අඩවිය හා සම්බන්ද ය නිසාය. ජසිකරන් හා වලර්මදී ව අත් අඩන්ඩුවට ගත් දිනට පසු දින, තිස්ස හා විජේසින්හ ජසී පිලිබද ව විමසීම ට TIDවෙත ගිය අතර ඔහුන් දෙදේනාව ම රදවාගැනිමේ නියොග මත TIDවිසින් රදවා ගත් අතර, මාගේ මතකය නිවැරදි නම් සති 3කට පසු විජේසින්හ ව මුදා හරිනු ලැබුනි. නමුත් දිගින් දිගට ම TID චරපුරුශයෝ ඔහු ව ලුහු බදිමින් අනේක වදයක් දුන් බව නොදන්නේ බොහොම සුලු පිරිසකි. තව ද විජේසින්හ තිස්සනායගම්, ජසි, වලර්මදි හා මා විසින් පවත්වාගෙන යනු ලැබු වෙබ් අඩවියේ හී මාධ්‍ය වේදියකු ලෙස ද කටයුතු කරන ලදී.

    ReplyDelete
    Replies
    1. ටෙරා, උඹ මේ කතාවට සම්බන්ධ වෙන එක ගැන මං කැමතියි. උඹ විජේසිංහ ගන කියන දේ මං පිළිගත්තා. ඒක මං අයින් කළේ නැතුව ඉරකින් කපලා, එහෙමම තිබ්බා. සිදු වූ අපහසුතාවට කණගාටුව පළ කරන්න නම් ඕනැ යයි මම සිතන්නේ නැහැ. හේතුව, මේව දේශපාලනික සංවාදයේ කොටස් නිසා.

      හිරු කණ්ඩායම මේ කාරණා ගැන හිතන්නේ ජූඩ් ලාල් කියන හිටපු පූජකතුමා දේශපාලනය ගැන හිතන විධියටයි. මේවා කතා නො කළ යුතු පූජනීය දේවල් නෙමෙයි.

      මෙතන තියෙන කාරණය පෞද්ගලික කෝන්තරයක් නෙමෙයි. දේශපාලනය සදාචාරාත්මක, න්‍යායාත්මක, මනෝමූලික, විෂයමූලික ආදී වශයෙන් වෙන වෙන ම විග්‍රහ කරන්න පුළුවන් වුණාට ඒක ක්‍රියාත්මක වෙන්නෙ ඒකීය සමස්තයක් විධියටයි. ඒක තමයි ඒකෙ අව්‍යාජ ස්වරූපය. ඒ ස්වරූපයෙන් ම ඒක ගන්න ඇයි ලැජ්ජ වෙන්නෙ?

      මට නම් හිරු කණ්ඩායමේ රෝහිත භාෂණ, මලික්, ජූඩ් ලාල්, අතුල විතානගේ, මංජුල වෙඩිවර්ධන, ඉන්දික ගමගේ වැනි අයගේ කටයුතු සම්බන්ධයෙන් තිබෙන්නේ ඉතා දරුණු විවේචනයක්. කවුරුවත් මිස්ටර් ක්ලීන්ලා වෙන්න ඕනැ නැහැ. හැබැයි එකට වැඩ කළ යුගයක නාමයෙන් හරි ඇත්ත දැනගන්නට අපට අයිතියක් තිබෙනවා.

      ඒකත් දකුණු අප්‍රිකානු සත්‍ය කොමිෂම වගේ වැඩක් තමයි. උඹලගේ අවාසනාවට මං ඉතුරු වුණා. මං කරන්නෙ එහෙම ඉතුරු වුණ මිනිහෙක් විධියට සමාජයට කළ යුතු යුතුකම.

      වමේ දේශපාලනය ගැන මං කරන සදාචාරාත්මක අභියෝගය භාර නො ගෙන එකෙකුටවත් ඉස්සරහට යන්න බැහැ. යන්න දෙන්නෙත් නැහැ.

      තව පරම්පරාවක් ගඟේ යනවා බලන්න මට නම් උවමනාවක් නැහැ. විශේෂයෙන් ම ඒ මගේ දූලගෙ පරම්පරාව වෙන්නට ඉඩ තිබෙන නිසා.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා