2015-09-27

පනස් වසරක් පුංචි දරුවෙක්

අදට මට පනහයි - නැගිට්ටා විතරයි

රූකාන්තගෙ ගී පදේකින් ඊයෙ රෑ
පනස් හැවිරිදි
පුංචි ළමයෙක් ඉපදිලා
චූ දමාගෙන
නිදි ඇඳේ
නැගිටපං

වහලෙ උළු කැටයක් ගලෝගෙන
ඉර බලන්නට යයි එයා
“හායි! කම්මැලි මාළුවෝ
මොකද හයිබ්‍රිඩ් කාරෙකක්
පිටේ බැඳගෙන ගස් බෙනේ?

“අම්මපා මේ පිස්සු ලෝකය
මොකද මේ හැටි දිය වෙලා
වහින කැත හඳ හතක් පායන ගිනියමේ"
කඳු උඩින් ඔහු පාවෙලා
අවවාදයක් ගන්න මිනිහෙක් හොයනවා

හෙට ඉඳන්වත් පිළිවෙලක්
වෙන්න බලනා පඹ වැලක්
එති එතී මළ පාළුවේ 
මෙහෙම කවියක් ලියනවා

“පුංචි කවියක වලිගයේ
ජීවිතේ රහ දැවටිලා
කාගෙදෝ හුරු කටහඬක්
පනස් වසරින් ඇහෙනවා
දෙනෝ දාහක පාළුවේ
ෆ්ලෑෂ් එළි ගත් අත් මැදින්
කළුවරේ මං හොයනවා
මං කවුද මං දන්නෙ නැහැ
අසරණව හිත අඬනවා"

තවම නො ලියූ
කවිය සිහිනෙන්
සුවඳ සේ ගෑවී මැකී
පනස් වසරක පුරාණේ
ඒ කවිය ඔහු සොයනවා
සියක් වසරක් සෙවූ අතැඟිලි වෙවුලමින්
කවිය ලිස්සා වැටෙනවා 

- අජිත් පැරකුම් ජයසිංහ
2015-09-27

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.