ජවිපෙ දන්න, පෙසපෙ දන්න, අරය දන්න, මෙයා දන්න, අපි නො දන්න වම (පුබුදු ජයගොඩට පිළිතුරක්)

(මෙම සටහන තබන්නේ පුබුදු ජයගොඩ විසින් මහ මැතිවරණයට පෙර දිනයේ ෆේස්බුක්හි තබන ලද සටහනක් ඔස්සේ සංවාදයකට පිවිසීම සඳහා ය. පුබුදුගේ සටහන මෙම සටහන අවසානයේදී රතු පැහැයෙන් දක්වා තිබේ.)

සමාජය ගැන ගතානුගතික විග්‍රහ හා වචන භාවිතයන් ඔස්සේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය නො හැකි ය. ඔබ කියන පළමු ප්‍රවාදය නම් පැහැදිලිව තේරුම් ගත හැකි ය. දෙවන ප්‍රවාදය වන පෙසප පෙනී සිටින බව කියන දෙය සටහන් කිරීම සඳහා ඔබ භාවිතා කරන වචන දෙස බලන්න.

‘අනෙක් ප්‍රවනතාව කියන්නේ මේ අසාධාරණ, අයුක්තිසහගත සහ වහල් බවට ඇද දැමු ජීවිතය භාරගත නොහැකි බවය. අපේ අනාගත පරම්පරා වලට අපි අත්විඳි ඉරණම අත්පත් කර දිය නොහැකි බවය. ඒ නිසා එම ප්‍රවනතාව ප්‍රමුඛතාව දෙන්නේ මේ ක්‍රමය වෙනස් කරන පළමු පියවර තැබීමටය. (ඕනෑම ආරම්භයක් දුෂ්කරය. එහෙත් ආරම්භයක් නැතිව දිනුම් කනුවක්ද නැත.) ඒ සඳහා පීඩිත ජනතාව සූදානම් කිරීමටය. එයට බාධාකාරී සමාජමය අගතීන් පරාජය කිරීමටය.’

‘අසාධාරණ, අයුක්තිසහගත සහ වහල් බවට ඇද දැමු ජීවිත’ යන යෙදුම ගන්න. අපි රජයේ සේවකයන් ගනිමු. ඔවුන්ට එවැනි ජීවිත නැත. ඔවුහු ඉතා පැහැදිලිව ම මහජන මුදලින්, සාපේක්ෂ වශයෙන් අඩුවෙන් වැඩ කර වැඩියෙන් වැටුප් ගනිති. ගොවියෝ මහජන මුදලින් පොහොර සහනාධාර ගනිති. ඔවුන්ගේ වාරිමාර්ග නඩත්තු කරන්නේ මහජනතාවයි. එසේ බැලූ කල මේ අය ද සූරාකන්නෝ ය.

‘අසාධාරණ, අයුක්තිසහගත සහ වහල් බවට ඇද දැමු ජීවිත’ යන අර්ථකථනයට අයත් වන අය සිටිති. ඒ විදේශ ශ්‍රමිකයන්, ක්ලීනිං සර්විස් කම්කරුවන්, කුලී ශ්‍රමිකයන්, වතු කම්කරුවන්, ගෙවල්වල වැඩ කරන කාන්තාවන් වැනි අයයි. ඔබගේ පක්ෂයේ එවැනි අය කීදෙනෙක් ඉන්නවා ද කියා සොයා බලන්න.

ඔබගේ පක්ෂයේ පදනම වන විශ්වවිද්‍යාල සිසුන්ට අවශ්‍ය මේ කියන මිනිසුන්ට විමුක්තිය ලබා දීම ද නැතිනම් අතරමැදි මට්ටමේ සූරාකන්නන් පිරිසක් වන රජයේ සේවකයන්, පෞද්ගලික අංශයේ කළමනාකරුවන් ආදීන් බවට පත් වීම ද?

වමට හැරෙනවා කියන එක අර්ථවත් කරන්නට නම් අපි පළමුව අප සිටින තැන තේරුම් ගත යුතු ය. ඔබගේ වම ෆැන්ටසියකි. එසේම, ඔබ යක්ෂාරෝපණය කරන ධනවාදය ද ෆැන්ටසියකි.

සමාජ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ආරම්භ කළ යුත්තේ යථාර්ථය අවබෝධ කර ගැනීමෙන් මිස ෆැන්ටසි ප්‍රවර්ධනය කිරීමෙන් නො වේ.

සදා නිම කළ විග්‍රහවලට යථාර්ථය ඇතුළත් කිරීමට උත්සාහ කිරීම හා සදා නිම කළ විසඳුම් යෝජනා කිරීම මාක්ස්වාදය හෝ සමාජවාදය හෝ නො වේ. සමාජවාදය යනු මහජන කතිකාව තුළ තත්වයන් විග්‍රහ කර ගැනීම හා මහජන කතිකාව ඔස්සේ විසඳුම් යෝජනා කිරීම හා අත්හදා බලමින් ඉදිරියට යාමයි.

ගතානුගතික පංති විග්‍රහ මත පදනම් වී කිසිවක් කළ නො හැකි ය. පීඩිතභාවය කියන එක තේරුම් ගැනීම ධනපති පංතිය කුමක් ද යන්න තේරුම් ගැනීම තරම් පහසු නැත. නිදසුනක් ලෙස ධනපති ස්ත්‍රියක පවා ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ ගැටලු හේතුවෙන් පීඩිත කාන්තාවක විය හැකි ය. රනිල් වික්‍රමසිංහ ද මේ අර්ථයෙන් ගත් කල පීඩිතයෙකි. 

වර්තමානයේදී පීඩිත පංතිය හෝ කම්කරු පංතිය හෝ අර්ථකථනය කිරීම පහසු නැත. කම්කරු පංතිය, පීඩිත පංතිය, වැඩකරන ජනතාව ආදී වශයෙන් හැඳින්වෙන්නේ තනිකර ෆැන්ටසියකි. වැඩ කරන මිනිස්සු, දිළින්දෝ, පීඩිතයෝ භෞතික ලෝකයේ සිටිති. එහෙත් ඔය කියන ආකාරයේ පංති මිහිපිට නැත. නැති පංතියක උවමනාවන් ඉටු කරන්නට යෝජනා කරන විප්ලව, සමාජවාදය හා වම ගොඩනැගීම ෆැන්ටසි බවට පත් වීම ගැන පුදුම විය යුතු නැත.

පවතින සමාජ ක්‍රමය අසාධාරණයන්ගෙන් පිරී තිබේ. අසමානත්වය ලෝක ස්වභාවයේ මූලික ලක්ෂණයකි. අසමානත්වය අසාධාරණය ජනනය කරයි. අසමානත්වය නැති කළ නො හැකි ය. එහෙත් අසාධාරණය අවම කිරීම ප්‍රායෝගිකව කළ හැකි දෙයකි. මාක්ස්වාදීන් විසින් යෝජනා කරන ලද සමාජවාදී සමානාත්මතාව ප්‍රායෝගික ලෝකයේදී කණගාටුදායක ලෙස අසාර්ථක වී තිබේ. එහෙත්, දියුණු ධනේශ්වර රටවල දක්නට ලැබෙන ඉගලිටරියන් සමානාත්මතාව තුළ යම් සාධාරණත්වයක් හා මානුෂිකත්වයක් තිබේ. එය විෂමතාවන් පිළි ගන්නා මානුෂික ජීවන භාවිතාවකි.

ලෝකයේ තිබෙන්නේ මාක්ස්වාදය හා ෆුකුයාමාගේ ඉතිහාසයේ අවසානය පිළිබඳ ප්‍රවාදය යන දෙක පමණක් නො වේ. අප දකින ආකාරයට නම් නූතන වාමාංශික චින්තනය යනු වාදියකු වීම නොව නිදහස් මතධාරියකු වීමයි.

සදා නිම කළ මාක්ස්වාදී රාමුවක් තුළට යථාර්ථය සංකෝචනය කරන ඔබගේ විප්ලවය හෙවත් ඔබේ න්‍යාය අනුව සමාජ ක්‍රමය වෙනස් කිරීම වෙනුවට අපි ප්‍රජාතන්ත්‍රවාදී මහජන සංවාදය රැගෙන එන්නෙමු. අප ප්‍රජාතන්ත්‍රවාදය මෙතරම් අවධාරණය කරන්නේ එහෙයිනි. ජනතාවට සිතන්න ඉඩ දෙන්න. ඒ වෙනුවෙන් පහසුකම් සපයන්න. ජනතාවගෙන් එකෙක් වන්න. 

කළ යුත්ත දන්නා පෙරටුගාමියකු ලෙස තමන් ගැන සිතීම නවත්වන්න. මේ ඊනියා පෙරටුගාමී මානසිකත්වයෙන් මිදීම වම පටන් ගන්නට හොඳ ආරම්භයකි.

කොහේ හෝ තැන්වල නොවේ හෙට අපි එකම තැනකදී මුණ ගැසෙයි
--------------------------------------------------------------------------------
මෙවර මැතිවරණයේදී ඔබ ඉදිරියේ ඇත්තේ තෝරාගැනීම් දෙකකි. එක ප්‍රවනතාවක් කියන්නේ ෆ්‍රැන්සිස් ෆුකුයාමාගේ "ඉතිහාසයේ අවසානය" පිලිබඳ ප්‍රවාදය යතාර්ථය ලෙස බාරගන්නා ලෙසය. ධනවාදය මෑත කාලය තුල වෙනස් කල නොහැකි නිසා ධනවාදයේ ජීවත් වන අතර එහි රළු බව මග හැරීමට පොඩි පොඩි ප්‍රතිසංස්කරණ ටිකක් දිනා ගැනීමට දේශපාලන ප්‍රමුඛතාව ලබා දෙන ලෙසය. කොළ,නිල, රෝස වම, කොළ පුල්ලි වැටුණු වම ආදී හැම දෙනාම කියන්නේ ඒ එකම කතාවය. අනෙක් ප්‍රවනතාව කියන්නේ මේ අසාධාරණ, අයුක්තිසහගත සහ වහල් බවට ඇද දැමු ජීවිතය භාරගත නොහැකි බවය. අපේ අනාගත පරම්පරා වලට අපි අත්විඳි ඉරණම අත්පත් කර දිය නොහැකි බවය. ඒ නිසා එම ප්‍රවනතාව ප්‍රමුඛතාව දෙන්නේ මේ ක්‍රමය වෙනස් කරන පළමු පියවර තැබීමටය. (ඕනෑම ආරම්භයක් දුෂ්කරය. එහෙත් ආරම්භයක් නැතිව දිනුම් කනුවක්ද නැත.) ඒ සඳහා පීඩිත ජනතාව සූදානම් කිරීමටය. එයට බාධාකාරී සමාජමය අගතීන් පරාජය කිරීමටය.එම ව්‍යායාමයේදී මැතිවරණයක කාර්යභාරය ඉතා කුඩා වුවද ඒ පිලිබඳ සංඥාවක් නිකුත් කිරීමට හෝ මැතිවරණ භාවිතා කල හැකිය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරන්නේ එම ප්‍රවනතාවයය.

ඔබට අගෝස්තු 17වැනිදා තෝරා ගැනීමට විකල්ප මාර්ග දෙකක් ඇත. එක්කෝ දකුණට හැරෙන්න.ඉතිහාසය අවසන් නම් කල යුත්තේ එයයි. එහෙත් ඉතිහාසය අවසන් නොවන අතර එය අප විසින් නිර්මාණය කල යුතුයැයි සිතන්නේනම් වමට හැරෙන්න. රත්නශ්‍රීගේ කවියක කියන ආකාරයට හෙටත් අද වගේමනම් කොහේ හෝ තැන්වල ඉඳිමු. එහෙත් හෙට අද වගේ නෙවෙයි. ඒ නිසා කොහේ හෝ තැන්වල නොවේ හෙට අපි එකම තැනකදී මුණ ගැසෙයි. කොළ,නිල, රෝස වම, කොළ පුල්ලි වැටුණු වම තුල නොව සැබෑ රතු ධජය යට මුණගැසෙයි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ලිපිය ඉතාම අගනේය.100% ක් ම එකඟය.
    මොවුන් භාවිතා කරන වචන බලන්න. මොන තරම් අශිෂ්ටද,අසභ්‍යද කාලකන්නිද කෙටියෙන්ම කීවොත් මොනතරම් කැතද?

    මේ විකාර සිහින දකින අය ට අනුව රජයේ සේවකයාද පීඩිතයෙකි ,මහම පීඩිතයා විශ්ව විද්‍යාල සිසුන්ය.ජවිපෙ නම් පීඩිතයන් අලුත් පීඩිතයන් හමුවී ඇත. පරිපාලාන් නිලධාරීන්, කස්ටම් එකේ වැඩකරන අයද ජවිපෙට අනුව පීඩිතයෝය.


    ඔබගේ වම ෆැන්ටසියකි. එසේම, ඔබ යක්ෂාරෝපණය කරන ධනවාදය ද ෆැන්ටසියකි.

    සමාජ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ආරම්භ කළ යුත්තේ යථාර්ථය අවබෝධ කර ගැනීමෙන් මිස ෆැන්ටසි ප්‍රවර්ධනය කිරීමෙන් නො වේ. //

    ඇත්තම ඇත්තය.


    ලෝකයේ තිබෙන්නේ මාක්ස්වාදය හා ෆුකුයාමාගේ ඉතිහාසයේ අවසානය පිළිබඳ ප්‍රවාදය යන දෙක පමණක් නො වේ. අප දකින ආකාරයට නම් නූතන වාමාංශික චින්තනය යනු වාදියකු වීම නොව නිදහස් මතධාරියකු වීමයි. //

    ඇත්තම ඇත්තය.

    සපත්තුවේ හැඩයට කකුල කපමින් විකාර වචන ටිකක් එහෙට මෙහෙට උඩප්පරන් ගහන මොවුන් කැම්පස් කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ අවුරුදු තුනේ උපාධිය පහ දක්වා දිගු කිරීමත් සමහරෙකුගේ අධ්‍යාපනය කඩාකප්පල්ම කර දැමීමත් හැර වෙන දෙයක් කර නැත.

    මට ඊයේ අසන්නට ලැබුන කනගාටුදායක කතාවකි. වැල්ලවායේ දිළිදු පවුලකින් මැනේජ්මන්ට් කිරීමට ආ සිසුවෙකු ඉතා හොඳින් අධ්‍යාපනය ලබමින් සිටියදී මුන්ගෙ තෙල බෙදීමකට අසුව අධ්‍යාපනය මුළුමනින්ම කඩාකප්පල්කරගෙන දැන් මිරිස් කුඩු,කුළුබඩු පැකට් කර විකුණයි. දෙමවුපියන් මුන් කැම්පස් එවන්නෙ මෙහෙම පිස්සු කෙළින්නද

    මුන් එක් පරම්පරාවකම අධ්‍යාපනය කුජීත කළහ. ඒ අපේ පරම්පරාවයි . අපට උපාධිය ගැනීමට අමතර අවුරුදු කීපයක්ම ගත විය.

    ReplyDelete
  2. තෝ ඉතින් යන්න යනවා
    තොට යන්න අවසරයි
    තොට අරන් යන්න ඇත්තේ
    හොර නාමය විතරයි

    ReplyDelete
  3. //අසමානත්වය නැති කළ නො හැකි ය. එහෙත් අසාධාරණය අවම කිරීම ප්‍රායෝගිකව කළ හැකි දෙයකි. මාක්ස්වාදීන් විසින් යෝජනා කරන ලද සමාජවාදී සමානාත්මතාව ප්‍රායෝගික ලෝකයේදී කණගාටුදායක ලෙස අසාර්ථක වී තිබේ. එහෙත්, දියුණු ධනේශ්වර රටවල දක්නට ලැබෙන ඉගලිටරියන් සමානාත්මතාව තුළ යම් සාධාරණත්වයක් හා මානුෂිකත්වයක් තිබේ. එය විෂමතාවන් පිළි ගන්නා මානුෂික ජීවන භාවිතාවකි//

    සමාජවාදයට මාවත වැටී ඇත්තේ ධනවාදය හරහා බව, මාක්ස් කී බවක් අසා ඇත. සමහරවිට වැරදුනේ මාක්ස්ට නොව, ඉවසිල්ලක් නැති, තුවක්කුවෙන්/ විප්ලවයෙන් බලය අල්ලා සමාජවාදය "නොමඟ ගිය හුදී ජනයාට" බලෙන් පොවෙන්න ගිය විප්ලවවාදීන්ට විය හැක.කැන්ගරු අධිකරණ, මිලේච්ඡ දඩුවම් දීම්, ඒකාධිපතියන් බවට පත් වු " අසහාය" යැයි කියාගන්නා වීප්ලවීය නායකයන්ගේ සදාකාලික බලයේ ‍රැඳී සිටීම සහ රාජ්‍ය ධනවාදය ' පොරොන්දු වූ දේෂය" කරා පීඩිත ජනතාව ගෙන යෑමට අසමත් වීම , පුදුම වියයුතු කාරණයක් නොවේ.

    ධනවාදය හොඳ අතට වෙනස් වෙමින් පවතී. මා එයට ප්‍රජාතන්ත්‍රවාදය / වැඩි දෙනාගේ කැමැත්ත යැයි කීමට කැමතිය. ධනවාදය පෝෂණය වූයේ සමාජවාදී ආකල්ප ඈඳා ගැනීමෙනි."දියුණු ධනේශ්වර රටවල දක්නට ලැබෙන ඉගලිටරියන් සමානාත්මතාව" සර්වසම්පූර්ණ නැති නමුත් ආරම්භයක් හැටියට එය සතු‍ටුදායක දෙයකි. හැමදාම එකම සිංදුව කියමින් පැන්ටසියක ජීවත්වන සමාජවාදී පොතේ ගුරාලාට, වෙනස් වීමට කාළය පැමිණ ඇත. එය ක්‍රියාවෙන ඔප්පු කර පෙන්නනු මිසක " අපිටත් අවුරුදු පහක් දීලා බලන්න" කීවාට, ඒ සූදුවට හුදී ජනයා කැමති වේයැයි සිතීය නොහැක.

    ReplyDelete
  4. http://nelumyaya.com/?p=3968
    me vagema prashnayak mamath riviharage bloga eke ahuva. labuna uththare pramanavath madi. Peratugaminge pakshaye padanama shishya prajava. passe madhyama panthiyata yana.

    ReplyDelete
    Replies
    1. oya Rs 1000 k gewala Aruna salli walata aran eyage aruge adawiya winasa kale mokada?

      Delete
    2. මම එහෙම දෙයක් කලේ කලේ නැත. අරූ තමාගේ කැමැත්තෙන් බ්ලොගය නවතා ඇත. අවශ්‍ය නම් විචාරක වැනි අරුගේ යහළුවෙක් ගෙන් අසන්න. .

      Delete
  5. "වර්තමානයේදී පීඩිත පංතිය හෝ කම්කරු පංතිය හෝ අර්ථකථනය කිරීම පහසු නැත. කම්කරු පංතිය, පීඩිත පංතිය, වැඩකරන ජනතාව ආදී වශයෙන් හැඳින්වෙන්නේ තනිකර ෆැන්ටසියකි. වැඩ කරන මිනිස්සු, දිළින්දෝ, පීඩිතයෝ භෞතික ලෝකයේ සිටිති. එහෙත් ඔය කියන ආකාරයේ පංති මිහිපිට නැත."

    හැම පන්තියකම සිටිනා ඕනෑම හොඳ මිනිහෙක් පීඩිතයෙකු විය හැකිය. පීඩිතයන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීම සහය වීමට රිසි 'මුත් පවතින ක්‍රමය තුළ යා යුතු මඟක් නොදන්නා පීඩිතයෙකු නොවන යැයි සිතිය හැකි කෙනෙකු වුවත් පීඩිතයෙකු විය හැක. හැම කෙනාම බඩ පිරෙන්නට කා බී සර්ව-සාධාරණ අවස්ථා ලැබ සැනසුම් සුසුම් හෙළන දේශයක් ගැන සිහින මවන යසට ඇඳ පැළඳ ගෙන මෝටර් රථයකින් ගමන් ගන්නා කුඩා ගැහැණු ළමයෙකු වුව අත්‍යන්ත පීඩිතයෙකු විය හැකිය.

    ReplyDelete
  6. "‘අසාධාරණ, අයුක්තිසහගත සහ වහල් බවට ඇද දැමු ජීවිත’ යන යෙදුම ගන්න. අපි රජයේ සේවකයන් ගනිමු. ඔවුන්ට එවැනි ජීවිත නැත. ඔවුහු ඉතා පැහැදිලිව ම මහජන මුදලින්, සාපේක්ෂ වශයෙන් අඩුවෙන් වැඩ කර වැඩියෙන් වැටුප් ගනිති."

    පැරා දැන් කියන්නෙ එතකොට රජයේ සේවකයන් පෞද්ගලික අංශයේ සේවකයන්ට සාපේක්ශව අඩුවෙන් වැඩ කරල වැඩියෙන් පඩි ගත් පමනින්ම ඔවුන් අසාධාරණයට අයුක්තියට ගොදුරු වෙලා නෑ කියලද? මට සාපෙක්ශව අනෙකා විශාල අසාධාරණයකට ලක්වූ පමණින් මට සිදු වූ අසාධාරණය සාධාරණයක් වෙනවද???

    ReplyDelete
  7. පැරාගේ ප්‍රජාතන්ත්‍රවාදයද ෆැන්ටසියකි .තව ටික දිනකින් පැරාගේ ප්‍රජාතන්ත්‍රවාදය unp ආන්ඩුවෙන් ලස්සනට ලැබෙවි, මැරයන්ගේ සයිකල් චෙන්,පොලු වලිනුත් පොලිසියේ බැටන් සහ උන්ඩවලිනුත්.එකතමා අපි මෙතෙක් දැකපු ප්‍රජාතන්ත්‍රවාදය.
    A. Fernando

    ReplyDelete
  8. චවන වලට තේරුම් ගණනාවක් ඇත.
    අපේ රටට මාක්ස්වාදය ගෙන ආ අය සමහර වචන වලට අරුත් ලබා දුන්නේ මෙසේය.
    පීඩිතයා - සූරාකෑමට ලක්වන්නා
    සූරාකෑම - අනුන් විසින් මහන්සි වී (කායික හෝ මානසික ශ්‍රමය) හදන දේකින් පල ප්‍රයෝජන ලබාගැනීම
    ධනපතියා - ප්‍රාග්ධනය හිමියා (රුපියල් විසි දාහකට මහන මැෂින් දෙකක් මිලට ගෙන වැටුප් ගෙවා ඇඳුම් මස්සවන්නා ධනපතියෙකි.)
    නිර්ධනයා - ප්‍රාග්ධනය අහිමි වූ අය (මාසික පඩිය ලක්ෂ දෙක තුනක් ලබන අයද නිර්ධනයෝ වෙති.)

    මේ වචන වලට වෙනත් තේරුම් යොදා විවිධ විශ්ලේෂණ සිදුකළ හැකිය. එසේ කළ පමණින් මාක්ස්වාදය බොරු වන්නේ නැත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා