මහ මැතිවරණයෙන් පසු පුරවැසි වගකීම

මැතිවරණයෙන් පසු පුරවැසි සංවිධානයක් විසින් නිකුත් කරන ලද බැනරයකි. 
1994දී එක්සත් ජාතික පක්ෂය පරාජය කර පොදු පෙරමුණ බලයට පත් කරන්නට කලාකරුවෝ, බුද්ධිමත්තු, වෘත්තීය සමිති හා වෙනත් සිවිල් සංවිධාන නායකයෝ විශාල පිරිසක් දායක වූ හ. ඉන් පසු මේ අයගෙන් ඇතැමෙක් තනතුරු, වරප්‍රසාද හා වෙනත් අවස්ථා ලබා ගත් හ. සමාජ නායකයෝ විශාල වශයෙන් මාධ්‍යවලට ලොල් වූ හ. අවසානයේදී රූපවාහිනී තිරයේ කවටයන් බවට පත් වූ හ.

ආණ්ඩු පෙරළියට මුල් වූ සිවිල් සංවිධාන නායකයෝ තනතුරු, වරප්‍රසාද, අවස්ථා හරහා ස්වයංව ම මෙල්ල වී පාලකයන් පාමුල දැවටෙන්නට පටන් ගත් හ. එකිනෙකා සමග පොර වැදුණ හ. තමන්ගේ පෞද්ගලික පැවැත්ම වෙනුවෙන් පාලකයන්ට වන්දිභට්ටකම් කරන්නට පටන් ගත් හ. 1994 බල පෙරළිය ක්‍රම පෙරළියක් නො වූයේ ඒ නිසා ය. අවසානයේදී එදා ජනතා පැතුම වූ ආණ්ඩුව 2014 වන විට අද්භූත සත්වයකු බවට පත් වී තිබිණි.

2015දී මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට පුරවැසි සංවිධාන, වෘත්තීය සමිති, ආගමික නායකයෝ ආදීහු සුවිසල් දායකත්වයක් දුන් හ. දැන් මේ අය ඉදිරියේ ද 1994දී පැවති අභියෝගය ම තිබේ. තනතුරු, වරප්‍රසාද හා වරදාන ලබා ගන්නවා ද? නැතිනම් තමන්ගේ භූමිකාව නැවත අර්ථකථනය කරගෙන ඉදිරියට යනවා ද?

වික්ටර් අයිවන් මහතා විසින් මෑතදී ලියන ලද ලිපියක තේමාව වූයේ නායකයන්ගේ පුංචිකමයි. රටට ලොකු නායකයන් අවශ්‍ය ය. එහෙත්, නායකත්වයට පත් වන මිනිස්සු රටේ අවශ්‍යතාවට සාපේක්ෂව පුංචි වැඩි ය.

දේශපාලන නායකත්වය වෙනුවෙන් අපි දැන් පිරිසක් තෝරා පත් කරගෙන තිබේ. ඡන්දයෙන් තේරී පත් වී සිටින අපේක්ෂකයන් දෙස බලන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, එජාපත් අතර සටන හරියට හොඳ හා නරක අතර ගැටුම ගැන කියවෙන සුරංගනා කතාවක් වැනි ය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් අය වැඩිපුර සලකා බලා තිබෙන්නේ අපේක්ෂකයා කෙතරම් මහින්දවාදියකු ද යන කරුණයි.

සන්ධානයෙන් ජය ගත් අපේක්ෂකයන්ගෙන් බහුතරය අන්ත දූෂිතයෝ ය. නීති විරෝධී මත්පැන් හා හෙරොයින් චෝදනා ලැබුවෝ ය. ස්ත්‍රී ධූර්තයෝ ය. සොරු ය. රත්නපුර දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාපයෙන් පත් වූයේ ජනාධිපතිවරණ සමයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආධාරකරුවකු මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවෙකි.

මේ මහින්දවාදී විපක්ෂය සුළුපටු එකක් නො වේ. එය සෑහෙන ජනවරමක් ලැබූ එකකි. එම ජනවරම ලැබෙන්නේ ඒකාධිපති, වැඩවසම්, පසුගාමී, දූෂිත පාලන ක්‍රමයකට පක්ෂවයි. මේ රටේ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් තවමත් ඔවුන් සමග සිටින බව අපි අමතක නො කළ යුතු ය. තමන් ඉතා ඉක්මණින් නැවත බලය අල්ලන බවට ඡන්දයට පසුදා සිට ම ඔවුහු වහසි බස් දොඩති.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් එජාප ආණ්ඩුව සමග එක් වනු ඇත. නව රජය ස්ථාවර වනු ඇත. එහෙත්, එයට එරෙහි කුමන්ත්‍රණ අවසන් වන්නේ නැත. යහපාලනය වෙනුවෙන් ආණ්ඩුව ලැබූ ජනවරමට එරෙහි අයුක්ති සහගත, බලලෝභී කුමන්ත්‍රණ පැරදවීම සඳහා ආණ්ඩුවට ජනතා සහයෝගය අවශ්‍ය ය.

එසේම ආණ්ඩුව ඉදිරියේ දිග මහජන න්‍යාය පත්‍රයක් තිබේ. අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය ය. පුද්ගල නිදහස අවශ්‍ය ය.

ජාතිවාදයට වැට බැඳිය යුතු ය. ජාතික, ආගමික, කුල ආදී වෙනස් අනන්‍යතා ප්‍රකාශ කරන ප්‍රජාවන්ට සම තැන හා සංහිඳියාව ඇති කළ යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන පරිදි බලය බෙදීම සඳහා පියවර ගත යුතු ය.

අපේ පාලකයන් සොරුන්, අවස්ථාවාදීන් නො වන, ජනතාවට සවන් දෙන, ජනතාවට නායකත්වය දෙන්නට හැකි මහජන සේවකයන් වනවා දකින්නට අවශ්‍ය ය.

අපේ නායකයෝ ජනතාව අතර බහුභාණ්ඩිකත්වය හා කාමසුඛල්ලිකානුයෝගය ප්‍රවර්ධනය කරනවා වෙනුවට සැපවත්, රසවත්, නිරෝගී, අර්ථවත් ජීවිත ප්‍රවර්ධනය කරන්නනෝ විය යුතු ය.

ඒ වෙනුවෙන් මනා ආර්ථික සැලැස්මක් දියත් කළ යුතු ය. අධික ලෙස ණය ගනිමින් සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් මහා පරිමාණ දූෂණයක යෙදෙනවා වෙනුවට රටට ගැලපෙන සංවර්ධ සැලැස්මක් සකසා ගත යුතු ය.

මෙරටට ආයෝජකයන්, සංචාරකයන් අවශ්‍ය මුත්, ආර්ථිකය හැඩගැස්විය යුත්තේ ඔවුන් වෙනුවෙන් නො වේ. මේ රටේ ජනතාවට ගැටලු ඇති කරන ආයෝජන ව්‍යාපෘතිවලට අත නො ගැසිය යුතු ය.

පෞද්ගලික අංශයට ආර්ථිකයේ සම අවස්ථා ලබා දිය යුතු ය. එහෙත්, රජය මනා නියාමනයක් පවත්වාගෙන යා යුතු ය.

අසාධාරණ බදු නො පැනවිය යුතු ය. සමාජ සංවර්ධනයට ඉවහල් වන සුබසාධන සේවා විධිමත් කළ යුතු ය. ඒවායේ ඵලදායිතාව ඉහළ නැංවිය යුතු ය.

ජනතාවට සංස්කෘතික වශයෙන් උසස්, වින්දනාත්මක ජීවිතයක් ගත කිරීම සඳහා අවස්ථා උදා කර දිය යුතු ය.

පරාජිතයන්ගෙන් පලිගැනීම හොඳ දෙයක් නො වේ. එහෙත්, පසුගිය කාලයේ කරන ලද මහා අපරාධ හා වංචා, දූෂණ ගැන විමර්ශනය කළ යුතු ය. මහජනතාවගෙන් පැහැර ගන්නා ලද දේපල ආපසු ලබා ගත යුතු ය.

රජය ජනතාවත් සමග අඛණ්ඩ මහජන සංවාදයක් පවත්වාගෙන යා යුතු ය. මන්ද, ඉහත දක්වන ලද ක්‍රියාමාර්ග පහසු ඒවා නො වේ. එසේම, ඒ හැම එකක් ම ජනප්‍රිය වන්නේ ද නැත. කරන හැම දෙයක් ම රට විකුණන, සිංහල ජාතිය නසන, බටහිර ගැති, අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ යයි කියන්නට දත මැද ගත් ජාතිවාදී, අවස්ථාවාදී විපක්ෂයක් බලයට පත් වී තිබේ. ඔවුන්ට පහසුවෙන් කිති කැවිය හැකි කිරිපල්ලක් සහිත ජනතාවක් ද සිටිති.

පුරවැසි සංවිධාන හා පුරවැසි නායකයන් වැදගත් වන්නේ මෙතැනදී ය. අවශ්‍ය දේ කිරීමටත්, අනවශ්‍ය දේ නො කිරීමටත් ආණ්ඩුව මෙහෙයවිය හැක්කේ ශක්තිමත් පුරවැසි නායකත්වයකටයි. එසේම, යහපාලනය සඳහා අවශ්‍ය මහජන සංවාදය පවත්වාගෙන යාමෙහිදී ද පුරවැසි සංවිධාන ඉතා වැදගත් ය.

අපට සමාජ නායකයන් අවශ්‍ය ය. සිටින නායකයන් රැක ගත යුතු ය. වැඩි වැඩියෙන් නායකයන් බිහි කර ගත යුතු ය. තමන් විසින් ගොඩනගා ගන්නා ලද තත්වය රැක ගැනීමේ බරපතල වගකීමක් පුරවැසි නායකයන්ට තිබේ.

1994දී වුණා සේ පුරවැසි නායකයන් පුරවස්සන් බවට පත් වීම ද, බුද්ධිමතුන් බුදිමතේ ගිලීම ද, කලාකරුවන් නලාකරුවන් වීම ද, සිවිල් සංවිධාන තමන්ට තමන් ම බෙදා ගන්නා සවල් සංවිධාන වීම ද වළක්වා ගත යුතු ය. 1994ට පෙර යුගයේදී රාජ්‍ය බලයට පිටින් බිහි වූ මහා පෞරුෂයන් 1994න් පසු දේශපාලකයන් පාමුල නලියන නිකම් ම නිකම් නරපණුවන් බවට පත් වූ ඛෙදවාචකය නැවත සිදු වීමට ඉඩ නො තැබිය යුතු ය.

ආණ්ඩුකරණයට උදව් කළ යුතු බව ඇත්තකි. එහෙත්, පුරවැසි නායකයන් ලෙස භූමිකාව තෝරා ගත් අයට දැන් ඒ වගකීම අත්හැර දැමිය නො හැකි ය. නායකයන් පුංචි වෙන්නට නො යා යුතු ය. ආණ්ඩුවට පිටින් පුරවැසි බලවේග තවත් ශක්තිමත් කළ යුතු ය. ගමින් ගම ඒවායේ ශාඛා ව්‍යාප්ත කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. යෝජනාවට ආචාරය !

    ReplyDelete
  2. //උතුරට කණ දීගෙන බෝම්බ පුපුරනවා ද අසා සිටින, හීනෙන් ඩයිනමයිට් පෙනෙන මිනිසෙක් ඔබ අසල සිටින්නේ නම් ඒ වනාහි ‘දේශප්‍රේමියෙකි'.

    යූඇන්පීකාරයන් හොරකම් කරනතුරු හා ආර්ථිකයට කෙළ වී ජනතාව කන්න බොන්න නැතිව හාමත් වනතුරු බලා සිටින කෙනෙක් සිටියි නම් ඒ අනිවාර්යයෙන් ම 'මාක්ස්වාදියෙකි'. //

    රනිල්ගේ ආන්ඩුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තු වන්නෙක් සිටිද, එ පැරාය.


    මේ ලිපියේ පැරාගේ සිහිනයෙන් පැරා මුදන්න ළංනොවන්න.
    A.Fernando

    ReplyDelete
  3. දැන් හූ&පී එකෙන් ආවේ සර්ව සම්පුර්ණ මිනිස්සුද ඕයි
    රනිල් - බටලන්ද මිනීමරුවා.
    රනිල්, රවී - මහබැංකු හොරු
    රාජිත - නැව් හොරා
    ගොන්ජා - මන්ද බුද්ධිකයෙක්
    රාජිතගේ පුතා - මෝඩ බත් බැලයෙක්
    සේදසිංහ - තඹ හොරා, ගල් කොරි කප්පමා
    පාඨලී - අසහන කාරයා, නාකි බඩු කාරයා,

    තව ඉන්නවා ඕයි, දැන් මතක් වෙන්නේ නැහැ. ඒවවත් පේන්නේ නැති තමුසේ රට හදන්න උපදෙස් දෙන්න හදන එකනේ ඕයි ලස්සන වැඩේ කියන්නේ

    [රත්නපුර දිස්ත්‍රික්කයෙන් වැඩි ම මනාපයෙන් පත් වූයේ ජනාධිපතිවරණ සමයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ආධාරකරුවකු මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවෙකි.]
    තමුසෙලත් මේ වගේ තෙවරක්පෙරුම කියන හරකව පාර්ලිමේන්තු එව්වේ, එතකොට ඌත් හිරේ හිටියේ.
    වරද මොක වුනත් චොකා මල්ලි තවම චුදිතයෙක් පමණයි.

    අනුන්ගේ ඒවා තමයි වැරදි. තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලේ පේන්නේ නැහැ, අනේ පැරෝ.

    ReplyDelete
    Replies
    1. For how long are you planning to sing the same old tune. At least be creative and find new stuff to talk about without criticizing others. Stupid Bayyas.

      Delete
  4. ගොන්ජාගේ හැසිරීමට සාධක දෙකක් බලපානවා
    1. එයාට එයාගෙම චිත්‍රපටි චරිතය ආවේශ වෙලා. යක්කු එලවන්න මන්තර ගුරුකම් තිබුනට චිත්‍රපටි චරිත ආවේශයක් එලවන්න මත්තර තවම හදලා නෑ.
    2. එයා ක්‍රිස්තියානි කාරයෙක්. සාමාන්‍යයෙන් සිංහල ක්‍රිස්තියානි කාරයෝ හිතාගෙන ඉන්නේ සිංහලයා බල්ලෙක්, දෙමළා දෙවියෙක්. මුස්ලිම් මිනිහා යකෙක් කියලා. ඒ හින්දා එයාලා සිංහල දේශපානඥයෙක්ගේ වැරැද්දක් දැක්කාම ෆෝම් වෙනවා. ඕක සුනිල් පෙරේරටත් අදාලයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා