හෙට පත් වන ආණ්ඩුවෙන් ජනතාවට අවශ්‍ය කුමක් ද?

අද මහ මැතිවරණයේදී ජනතාව විවිධ පක්ෂවලට ඡන්දය දෙන්නට ඇත. හෙට වන විට බලය කා අතට පත් වනවා ද යන්න තීරණය වනු ඇත. 

කවුරු රට පාලනය කළත්, කවුරු විපක්ෂයේ හිටියත්, කවුරු තේරී පත් වුණත්, නො වුණත්, මේ රටට හා එහි ජීවත් වන ජනතාව හෙටින් පසු රජයෙන් බලාපොරොත්තු වන්නේ මොනවා ද යන්න අවබෝධ කර ගත යුතු ය. 

අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය ය. පුද්ගල නිදහස අවශ්‍ය ය. 

ජාතිවාදයට වැට බැඳිය යුතු ය. ජාතික, ආගමික, කුල ආදී වෙනස් අනන්‍යතා ප්‍රකාශ කරන ප්‍රජාවන්ට සම තැන හා සංහිඳියාව ඇති කළ යුතු ය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන පරිදි බලය බෙදීම සඳහා පියවර ගත යුතු ය.

අපේ පාලකයන් සොරුන්, අවස්ථාවාදීන් නො වන, ජනතාවට සවන් දෙන, ජනතාවට නායකත්වය දෙන්නට හැකි මහජන සේවකයන් වනවා දකින්නට අවශ්‍ය ය. 

අපේ නායකයෝ ජනතාව අතර බහුභාණ්ඩිකත්වය හා කාමසුඛල්ලිකානුයෝගය ප්‍රවර්ධනය කරනවා වෙනුවට සැපවත්, රසවත්, නිරෝගී, අර්ථවත් ජීවිත ප්‍රවර්ධනය කරන්නනෝ විය යුතු ය. 

ඒ වෙනුවෙන් මනා ආර්ථික සැලැස්මක් දියත් කළ යුතු ය. අධික ලෙස ණය ගනිමින් සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් මහා පරිමාණ දූෂණයක යෙදෙනවා වෙනුවට රටට ගැලපෙන සංවර්ධ සැලැස්මක් සකසා ගත යුතු ය. 

මෙරටට ආයෝජකයන්, සංචාරකයන් අවශ්‍ය මුත්, ආර්ථිකය හැඩගැස්විය යුත්තේ ඔවුන් වෙනුවෙන් නො වේ. මේ රටේ ජනතාවට ගැටලු ඇති කරන ආයෝජන ව්‍යාපෘතිවලට අත නො ගැසිය යුතු ය. 

පෞද්ගලික අංශයට ආර්ථිකයේ සම අවස්ථා ලබා දිය යුතු ය. එහෙත්, රජය මනා නියාමනයක් පවත්වාගෙන යා යුතු ය. 

අසාධාරණ බදු නො පැනවිය යුතු ය. සමාජ සංවර්ධනයට ඉවහල් වන සුබසාධන සේවා විධිමත් කළ යුතු ය. ඒවායේ ඵලදායිතාව ඉහළ නැංවිය යුතු ය. 

ජනතාවට සංස්කෘතික වශයෙන් උසස්, වින්දනාත්මක ජීවිතයක් ගත කිරීම සඳහා අවස්ථා උදා කර දිය යුතු ය.  

රජය ජනතාවත් සමග අඛණ්ඩ මහජන සංවාදයක් පවත්වාගෙන යා යුතු ය. 

ඔබගේ අදහස් ද එකතු කරන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මං කවුන්සිලේට ගියා නම් ඔය සේරම කොරනවා...!

    ReplyDelete
  2. මේ තමයි ජනතා බලාපොරොත්තු..... ඒකට ජනතාව කාට ඡන්දය දුන්නත් කට අැරගෙන හිටියොත් කිසි දෙයක් වෙන්නෑ..... කරන්න වෙන්නේ තම නියෝජිතයාට බලපෑම් කරලා මේ දේ කරගන්න ඒකයි.

    ReplyDelete
  3. පැරකුම් මම නම් උදේ පාන්දරින්ම ගොහින් ඡන්දෙ දැම්ම. කොහොමත් අලි පාටිය දිනන එකේ ශක්තිමත් විපක්ෂයක් ඇති කරන්න කියල බුලත්කොළේට ගැහුව. ජවිපෙ කියන්නෙ මේ දවස්වල කොහොම හරි තමුන්ගෙ ඡන්ද ගොඩ වැඩිකොරගන්න දඟලන කල්ලියක් නිසා ඔවුන් සැබෑ විපක්ෂයක් වෙයි කියල හිතන්න අමාරුයි. ඒ වගේම ඉතාම අසාධාරණ විදිහට තනතුරින් පන්නා දමපු සුසිල් කාරයටත් මනාපයක් ගැහුව මිනිහට වෙච්චි අසාධාරණේට විරුද්ධව. හැබැයි මිනිහට මම පුද්ගලිකව එච්චර කැමති නැහැ. වෙන දෙන්න සුදුසු ගොබිලෙක් උන්ගෙ ලිස්ට් එකේ හිටියෙ ග්‍රේරු විතරයි. අනුර යාපටත් කොළඹින් ආවනම් දෙන්න තිබ්බ ඌට අනුකම්පාවෙන්.

    මරා කල්ලියේ තක්කඩි අශීලාචාර පාලනය නවත්තපු තැන ඉඳන් මුන්ට පටන් ගන්න දිය යුතු නැහැ. දැන් අපි ශක්තිමත්ව නැගී සිට සිරාට තවත් මරා වගේ දුශ්ට ඒකාධිපතියෙක් වෙන්න ඇති ඉඩකඩ අහුරා දමමු. සිරාගේ ඒකාධිපති වියරුව සුව කරමු.

    ReplyDelete
  4. මෝරණ සඳ ලෙසින් යස පල වන දියත
    තාරණ තෙද විකුම් මහතුන්ගෙන් දිමුත
    තෝරණ රජ මැතින් රජ සබයට සමත
    තීරණ කරගනිව් මෙදවස සුදුසු වෙත

    දනයත් උසස් කුලයත් සමග පුවතර
    දැනුමත් ඉංග්‍රීසි ආදී සද සතර
    මෙමහත් රජ සෙබට පැමිණෙන්ට ගරුතර
    නොමවෙත් සුදුසුකම් දැනගනු මැන මිතුර

    දැනගත් සද සතර වියතුන් සෙව් සුහද
    සත වෙත් කුළුණු යුතු සිය දිවි සෙ හැම සඳ
    ගුණවත් මහතුමෝ රජ සබයට පබඳ
    පැමිණෙත් නම් යෙහෙකි අනිකෙක් නොවේ හොඳ

    (කව් දහස,1923 - "මන්ත්‍රීන් තේරීමට උපදෙසක්" - පියදාස සිරිසේන)

    ReplyDelete
  5. උතුරේ හමුදාව අතින් භීෂනයට හා සංහාරයට ලක්වූ දමිල ජනයාට යුක්තිය ඉටු කලයුතුයි..
    2006-2009 දක්වා රාජපක්ෂලාගේ යුධ අපරාද වලට හා රාජ්‍ය භීශනයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ආ යුතුයි.. (ගෝටාභයගේ සිට ත්‍රිකුනාමලයේ සිසුන් මැරූ එස්ටීඑෆ් ලොක්කා දක්වා)

    ReplyDelete
  6. කිසිම අවස්ථාවක ජවිපෙට චන්දය නොදිය යුතුය. ඔවුන් මාන බලන්නේ රටේ ආණ්ඩුව අස්ථාවර කෙරීමටයි . මේ මැතිවරණයේ එජාප දින්නත් වැඩි අසන ගණනක් ලබා ගන්නේ නැත . මුලින්ම jvp එක රනිල්ට අගමැති වෙන්න ඉඩ දීල මහින්ද ගෙදර යවනවා . ඊට පස්සේ රනිල්ට අව්රුදක් දෙකක් ඉන්න දීල PA එකත් එක්ක ඩීල් දල මිනිහව ගෙදර යවනවා . ඒ වනකොට PA එකේ හොරු ටික පැනල හෝ පන්නලා . 2020 දී JVP එක ප්‍රදාන විපක්ෂය .

    ReplyDelete
  7. ඇත්තටම පැරා වගේ සිහින දකින, යථාර්තය නොදකින ෆැන්ටසිකරුවන් ගැන කවර කතාද ? බහුතරයක් පාලිමන්ට එන ඇත්තො ලක්ෂ 500-1000ක් අතර ගණනක් වියදම් කරල, රුපියල් ලක්ෂෙකට අඩුවෙන් (නීත්‍යානුකූල ) මාසෙ පඩි හම්බවෙන රස්සාවකට එනකොට, ඔබ ඇත්තෙන්ම හිහනවද ඔවුන් ඔබ හෝ මම හෝ මේ රටේ ජනතාව වෙනුවෙන්, ඔබ ඔය කියන සිහින පැතුම් ඉටු කරයි කියලා? මුළු අවුරුදු 5ටම ඔවුන්ගෙ නීත්‍යානුකූල අදායමවනු ඇත්තේ රු. ලක්ෂ 60කි. ලක්ෂ 500-1000ක් වියදම කරල සොච්චම් ගණනක් සොයන්න ජනතා සේවය කරන්න, එක්කො ඔවුන්ට පිස්සු වෙන්න ඕනෙ, නැත්නම් පණ පිටින් නිවන් යන ධාර්මිකයො පිරිසක් වෙන්න ඕනෙ. මේ දෙකම නොවන හොර තක්කඩි පිරිසක් බව අපිටනම් තේරෙයි, හැබැයි බහුතරය සිහින දකී, 67 වසරක් එම හීනය දකී. "මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න" මෙය තමයි ඔබගෙ බ්ලොගයට ගැලපෙන Slogan එක

    ReplyDelete
    Replies
    1. කෝසල ඔබ මතුකළ තර්කය ඉතාම පැහැදිලියි ඒ වගේම ඉතාම නිවැරදියි.

      නමුත් ඕකට මා තවත් යමක් එක්කිරීමට කැමතියි. දැන් ඔබ හිතනවද අජිත් පැරකුම් මේ දවසට පෝස්ට් දෙක දෙක දාන්නෙත් විලි සංගෙ නැතුව එක්තරා දේශපාලන පක්ෂයකට කඩේ යන්නෙත් සමාජවාදී සංකල්ප බිහි කරන්න හෝ හොඳ ශීලාචාර යහපත් රටක් හදන්න සිහින දකින ගමන් කියා? ඕකගෙ ලබ්බෙ සමාජවාදේ. ඕක සල්ලි වලට විලිලැජ්ජ නැතුව ලියන ගමන් මූ සමහර කමෙන්ට් කරුවන්ගෙනුත් සල්ලි ඉල්ලනව මම දැකල තියනව. සල්ලි ගන්න කැමතියි දෙන්න කියල. ඉතින් එහෙම හාල්පාරුවෙක්ගෙන් ආයෙ වෙන මොනව බලාපොරොත්තු වෙන්නද?

      Delete
    2. මෙතෙක් නම් අපට කිසිදු පක්ෂයකින් මුදල් දී නැත. එසේ මුදල් ලබා දීම සම්බන්ධීකරණය කිරීම ඔබට කළ හැකි නම් අගය කරමි.

      Delete
  8. "ලක්ෂ 500-1000ක් වියදම කරල සොච්චම් ගණනක් සොයන්න ජනතා සේවය කරන්න, එක්කො ඔවුන්ට පිස්සු වෙන්න ඕනෙ, නැත්නම් පණ පිටින් නිවන් යන ධාර්මිකයො පිරිසක් වෙන්න ඕනෙ" “පනපිටින් නිවන් යන්න හදනන“ ජනතා සේවකයන් බිහිව ඇතැයි බලාපොරොත්තුවන අපට පිස්සු වෙන්න ඕන. අපේක්ෂා භංගව යන්ඩ රටක් නැතුව ඉන්න, කාලයක් තිස්සේ රැවටුන අපේ අසරණ බව හොඳ හැටි පෙන්නනෙ එවිටයි. ...............එහෙත් තමන් සතු දෑ කැපකරමින් පරාර්ථසේවයේ යෙදුන වටිනා මිනිසුන් අපේ වගේම වෙනත් රටවලත් සිටි බව අමතක කරන්න ඕන නෑ .

    ReplyDelete
  9. මච්ං පැරා උඹේ හීන ඔක්කොම ඉවරයි. උඹ සමාජවාදී අමුඩෙත් ලෙහල ලැජ්ජාවක් නැතුව එක්සත් ජාතික පක්ෂේ ධනේශ්වර ක්‍රමයේ සරන ගියේ මහින්ද ගැනයි සිංහල බෞද්ධ බලවේගයයි ජාතිකසංවිධාන එකමුතුවයි ගැන බද්ධ වෛරයෙන් කියල හැමෝටම හිතාගන්න ලේසියි. කොහොම උනත් උඹේ හීනේ හැබෑ වෙන්නෙනම් නෑ. රනිල් උන්නැහෙට දැන් තියෙන්නෙ පක්ෂ නායකකම රැකගන්න ගැටෙයක් ගහන එක මිස අගමැතිකමට හීන දකින එක නෙවෙයි. දැන් රනිල් දැකපු හීනෙ අහවරයි. අන්න ඌ අරලියගහ මන්දිරෙනුත් අකුලන යන්න ලෑස්ති වෙනව.

    ReplyDelete
    Replies
    1. උදේම ගැහුවද ගොටගේ කුඩු ? අන්න උබලගේ අප්පොච්ච විපක්ෂේ මන්ත්‍රී වෙනවලු. දැක්කේ නැද්ද ? දැන් අඩපන් ලෝකෙම අදුරු වෙනවා, කාක්කෝ පියබන්නේ නෑ, ලිප පත්තු වෙන්න නෑ , ලැට් එකට යන්න බෑ අප්පොච්චි කියා කියා!!! හෙට ඉදල බලපන් මැදමුලනේ සමුපකරේ සබාපති කොරන්න තොපේ වල් අප්පොච්ච!!

      Delete
    2. අඩෝ තෝ තමයි හීන දකින්නේ ඩෝ. පැරා දකින්නේ යථාව. සිළුමිණ නැවතත් විශ්වවිද්‍යාලයක් කරන්නට පැරාට ශක්තිය ලැබේවා!

      Delete
  10. පැරා බුවා වරෙන් මවං. අපි ගොඩ. ජෙප්පෝ අනාථයි. අපි ටීන්ඒ කොම්රැඩ්ස්ලා එක්ක ආණුඩුව පිහිටුවමු අද හවස. මචං සිළුමිණ හොඳ තැනකට ගේන්න ඹ්න උඹ හරි ද?

    ReplyDelete
  11. සිළුමිණ නැවතත් ආසියාවේ සරසවිය කරන්නට නව කර්තෘ පැරාට දිරි බල ලැබේවා! පැරාට මගේ උණුසුම් සුබ පැතුම්.

    ReplyDelete
  12. ටී එන් ඒ එක ඕන වෙන්නේ නැහැ. බැසිල්ගේ ඩීල් එකක් වැඩකරළා ෆෙඩරල් කථාව දාල අඩුම ගානේ 2%-3% ක් සිංහල චන්ද යහපාලන සංධානයට නැතිකළේ උන් තමයි. ආරංචියේ හැටියටනම් කුඩු, බඩු එතනෝල් වලට සම්බන්ධ නැති මෛත්‍රී පාලනයකට කැමති 20 ක් විතර යහපාලන ආන්ඩුවට එකතුවෙනවා. එතකොට 127 ක් එක්ක සහ ජනාධිපති සිරිසේනගේ සහයෝගය ඇතුව ශක්තිමත් ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්. රටේ අධ්‍යාපන, රැකියා, බලශක්ති, කෘශිකාර්මය, සෞඛ්‍ය හොඳ කාලයක් බලාපොරොත්තු වෙන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා